අරුණි ශපීරෝ‍ වෙතින්

ඔස්ට්‍රියාවට මීසස් සිටිය දී රුසියාවට හිටියේ ලුනචාර්ස්කි

Posted in Uncategorized by arunishapiro on මැයි 2, 2017

රට පුරා උද්ඝෝෂණ දිගින් දිගටම පැතිරෙද්දී, පොලීසිය සංවිධානය වෙන්නට පෙර ජනතාවගේ මිලීෂීයාවක් හදා එය සහ යුද හමුදාව එකතු කර සියළු මහජනතාව යුද අවිගත්තවුන් කළ යුතු යැයි කියමින් “අපේ විප්ලවයේ වැඩකරන ජනතාව කළ යුතු දේවල්’ Tasks of the Proletariat in Our Revolution නමින් 1917 දී ලෙනින් අප්‍රේල් නිබන්ධන ලිවීය.

තාවකාලික ආණ්ඩුවට සහාය නොදීම. සෝවියට් බලය සඳහා සටන් වැදීම. විශාල වතුයායාන් ජනසතු කිරීම. බැංකු ජනසතු කිරීම. කර්මාන්ත අංශය වැඩකරන ජනතාවගේ පාලනයට පැවරීම. පොලීසිය සහ හමුදාව වෙනුවට වැඩකරන ජනතාවගේ මිලීෂීයාවක් පිහිටුවීම. පැරණි රාජ්‍ය නිලධාරීන් වෙනුවට වැඩකරන ජනතාවගේ පාලනයක් පිහිටුවීම. කොමියුනිස්ට් පක්ෂයක් නිවේදනය කිරීම; අලුත් ජාත්‍යන්තරයක් පිහිටුවීම.

1848 ප්‍රංශ ව්‍යවස්ථාව විවේචනය කරමින් රාජ්‍ය නිලධාරිවාදයකින් යුතු ආණ්ඩුවකට කළ හැකි සහ කළ නොහැකි දෑ පෙන්වන රචනාවක් ලියූ ෆෙඩ්රික් බැස්ටියාට් වෙතින් කොතරම් වෙනස් ද?

එවක ලෝක ජනතාව වැඩවසම් ක්‍රමයෙන් හා අධිරාජ්‍යවාදයෙන් ගැලවෙන නව නීති සහ ක්‍රමවේද සෙවූ කාලයයි. වසර 100 ක් ගෙවී යද්දී සත්‍යය පිළිවෙතක් ඉදිරිපත් කරන ලද්දේ කවුදැයි බුද්ධිමතාට අවබෝධ කරගන්නට පුළුවනි. ඒත් තවමත්, පටන්ගෙන වැඩි කලක් නොයද්දී ආරක්ෂා කරගන්නවා යැයි කියූ වැඩකරන ජනතාව මිලියන ගණනින් මරුමුවට පත්කළ වැඩ පිළිවෙත ඉදිරිපත් කළ රචකයාව අභිනන්දනයට පත්කරන අන්දම නූගත් අය වෙතින් දකින්නට ලැබේ.

වැඩකරන ජනතාවගේ යැයි කියා හැදූ මිලීෂීයා හමුදාවට අවි ආයුධ නොතිබිණ. අවි බලය පාක්ෂිකයන් අත වැඩිකළ චැවේස්ගේ වෙනිසියුලාව මෙන්ම එදාත් විරුද්ධ මත දරන අයට තුවක්කු අයිතිය තහනම් විණ. ඇමෙරිකාවෙන් ධාන්‍ය ආධාර ලබාගනිමින් හැම්බර්ග් වලට යුක්රේන ධාන්‍ය විකුණා සිය රටවැසියන් මර්ධනය කරන අවි ආයුධ සඳහා මුදල් ඉපැයූහ. චීනයට තෙල් සපයා අවි ආයුධ ලබාගන්න අද වෙනිසියුලාව කරන්නේ ද සිය රටවැසියන් හාමතෙන් සහ බෙහෙත් ඖෂධ නොමැති නිසා යෙදෙන උද්ඝෝෂණ මර්ධනය පිණිස හමුදාව අවි ආයුධ වලින් බලසම්පන්න කිරීමයි.

චෑවිස්ටා වෙනුවට අද වෙනිසියුලාවේ මධුරිස්ටා සිටිති. එදා සෝවියට් දේශය බිහිවෙද්දී සිටියේ ජනතාවගේ කොමිස්සාර්වරුන්ගේ කවුන්සිලයක් මගින් 1918 ජනවාරියේ දී නිර්මාණය වූ රතු හමුදාවයි.

බහුතරය යැයි කියැවෙන රුසියන් වදනින් හැදුනාට බොල්ෂෙවික්ස් පක්ෂය කිසිවිටෙක බහුතරය නොවීය. රතු හමුදාවට බැඳී හාමතයෙන් ගැලවෙන්නට සිය දහස් ගණනින් ගැහැණු පිරිමි හමුදා බඳවා ගැනීම් කඳවුරු කරා ඇදී ගියහ.

ජනතාවගේ පාලනයක් යැයි හැඳින්වුන ද, බොල්ෂෙවික්ස් පක්ෂයේ මතවාදයට එරෙහි වූ අයව හාමතයේ තැබීම, මරණය නිසැක සයිබීරියාවට පිටුවහල් කිරීම සහ පාක්ෂිකයන්ගේ තීන්දු අනුව මරා දැමීම සිද්ධ විණ. එයින් වූයේ අලුත් මිනිසෙක් බිහිවීම නොවේ. පණ බේරාගත්තවුන් විරුද්ධ මතවාදයක් ඇතැයි පෙන්වා නොසිටින්නට හුරුවීමයි.

පක්ෂයේ දැක්ම හෙවත් සෝවියට් යථාර්ථය නම් අධ්‍යාත්මික කොටු කිරීමට ලක්වූ පසුව ජීවිතය පවත්වාගන්නට අවශ්‍ය භෞතික දේවල් පවා ලබාගන්නට අවස්ථාව පෑදුනේ පාක්ෂිකයන්ට පමණි. වර්තමාන වෙනිසියුලාවේ ද පාක්ෂික යැයි පොරොන්දු වෙන අයට ආහාර බෑග් බෙදනු ලබයි.

ඉතිහාසය නොදන්නා අයට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ කෙසේද?

1917 ඔක්තෝබර් 26 වැනිදා බොල්ෂෙවික් මධ්‍යම කමිටුව අලුත් ආණ්ඩුවේ නව සාමාජිකයන්ව පෙට්‍රොගෑඩයේ පැවති දෙවැනි කොංග්‍රසයට හඳුන්වා දුන්හ. එහි ජනතා කොමිස්සාර්වරුන්ගේ කවුන්සිලයේ (Sovnarkom) සභාපති ලෙස කටයුතු කළේ ලෙනින්. ලෙනින් සමඟ ට්‍රොට්ස්කි සහ ඇනටොලි වැසිලියෙවිච් ලුනාචාර්ස්කි ද එහි බහුතරය හඳුනන ජනතා කොමිස්සාර්වරුන් වූහ. නම් කියවද්දී වැඩියෙන්ම අත්පොළසන් නාදය ලැබුනේ ඒ නම් වලටයි.

සූරාකෑම නවතා දැමිය හැකි බුද්ධියේ ජයග්‍රහණය බොල්ෂෙවික් අය එදා සැමරැවේ “අපේ දරුවන්ගේ දරුවන් ඔවුන් භුක්ති විඳින ආශ්චර්යය දැක හිස නමා ආචාර කරාවි!” කියමිනි. එසේ කියූවේ මහා විද්වතෙක් හැටියට පාක්ෂික හදවත් දිනා සිටි ලුනාචාර්ස්කි. අධ්‍යාපනය සඳහා වූ ජනතා කොමිස්සාර්වරයායි. නිලතලයේ සම්පූර්ණ නාමය වූයේ Narodnyi Komissariat Proveschcheniya යන්නයි. එය කෙටියෙන් Narkompros විය. ට්සාර් අමාත්‍යාංශයක යොදා ගැනුණු නිල නාමයකින් එන prosveshchenie යන වචනය ‘අධ්‍යාපනය’ කියා මෙන්ම ‘බුද්ධිමය විචාරමය ප්‍රඥාව’ යැයි ද අර්ථ දැක්වෙන්නකි.

ලුනචාර්ස්කි විප්ලවයේ කිවිඳෙකි. දර්ශනය හා කලාවට ළැදි වූවෙකි. විද්වතුන් අතර බොල්ශෙවික් ලෙසින් ද, බොල්ශෙවික් අය අතර විද්වතෙක් යැයි ද තමන්ව හඳුන්වා ගත්තෙකි. වැඩකරන ජනතාවගේ අධ්‍යාත්මික ආඥාදායකත්වය සපයන්නා හැටියට හැඳින්වුණු අයෙකි.

‘ස්වභාව ධර්මයෙන් අසාමාන්‍ය ලෙසින් දායාද ලැබූවෙක්’ වූ ලුනචාර්සිකිව ‘ඔබ දන්නවා ද, මම එයාට හරි කැමතියි, එයා විශිෂ්ට සහෝදරයෙක්! එයාට තියෙනවා ප්‍රංශ වැනි ප්‍රබුද්ධියක්…’ යැයි ලෙනින් කියා ඇත. ඉහළ සමාජ තත්වයක් ඇති පවුලකින් පැවත ආ ලුනචාර්ස්කි ද ස්විට්ස්සර්ලන්තයේ ඉගෙනීම ලැබුවෙකි. යුරෝපයේ සංචාරය කරන ලද්දෙකි. සමාජවාදී දේශපාලනය නිසා රටෙන් පිට වී ගිය ලෙනින් ඇතුළු සමූහය සමඟ ආපසු රුසියාව බලා එන්නට සමත් වූවෙකි. ඔහු 1917 දී සීල් තබන ලද දෙවැනි දුම්රියෙන් ආපහු ජර්මනිය හරහා රුසියාවට පිවිසියෙකි.

ජනතාවගේ ආඥාදායකත්වයෙන් ගෙනෙන පාලනයක් කිව්වාට සෑම සමාජවාදී සහ සෑම කොමියුනිස්ට් උත්සාහයකම අති විශිෂ්ට නායකයෙක් උත්කර්ෂයට නැඟෙයි. ඔවුන් අතර ඇති බලඅරගලයෙන් වැඩියෙන්ම නුසුදුසු වූවා ඉහළටම එයි.

“ඔබ විසින්ම වටහාගෙන තියෙනවා Narkompros ලාට කිසිවක් කරන්නට බැරි බව. අපි කියනවා ‘මේ සියල්ල නිෂ්පාදනය කරන්න අයිතිය අපිට දෙන්න …’ කියලා. ඔවුන් අපිට කියන්නේ වෙසෙන්ඛා ඒවා නිෂ්පාදනය කරන බවයි. එහි අර්ථය කිසිවක් නිෂ්පාදනය නොවෙන බවයි. මධ්‍යම සැලසුම්වාදය කියන්නේ ‘ඔබ තනියම කරන්න එපා, ඔබ වෙනුවෙන් අපි එය කරදෙන්නම් කියා,’ ඒත් ඇත්තෙන්ම කිසිවක් කරන්නේ නැහැ. සමහර විට අපිට තවත් විමධ්‍යගත කරන්න අවශ්‍ය ඇති. එතකොට ඔබට උවමනාවනෙන්ම ක්‍රෑර විදියට මට බනින්න පුළුවන්. අනිත් ජනතා කොමිස්සාර්වරුන් සියල්ලන්ටම බනින්න පුළුවන්, ඒ අපිට නිෂ්පාදනය කරගන්න අයිතිය දුන්නොත් පමණයි. අපිට මුදල් හෝ සම්පත් දෙන්න එපා. අපිට මේ උපකරණවල නිෂ්පාදනය පටන් ගන්න අයිතිය පමණක් දෙන්න…” ඇනටොලි වැසිලියෙවිච් ලුනාචාර්ස්කි 1920 සැප්තැම්බරයේ දී VTSIK පැවැත්වූ කතාවක දී පාසැල් වලට රෙදි, සපත්තු, පැන්සල් යනාදිය සපයන්නට අසාර්ථක වෙද්දී එසේ කියා සිටියේය. නමුත් VTSIK නාර්කොම්ප්‍රෝස්ලාට සිය අවශ්‍යතා නිපදවා ගන්නට අයිතිය නොලැබිණ. කම්හල් හා ඍජුව ගණුදෙනු කරන අයිතිය නොදුන්හ.

නිෂ්පාදන අයිතිය, එනම් රටේ සියළුම ආර්ථික කටයුතු සහ රජයේ මුල්‍ය සම්පත් සැලසුම් කරන බලය වෙසෙන්ඛා නම් වූ ඉහළ පාලකයන් කල්ලියක් සතුව තිබිණ.

1921 මාර්තු මාසයේ දී ලෙනින් බොල්ෂෙවික් පක්ෂයේ 10 වැනි කොංග්‍රසය ඉදිරිපිට කියා සිටියේ විප්ලවයේ යම් දෝෂයක් ඇති බවයි. බොල්ෂෙවික් විප්ලවයෙන් රුසියාව “අගාධයකට වැටෙන්න යන අද්දරකට,” (“very edge of the abyss”) පැමිණ ඇති බවයි.

වැඩවසම් ආර්ථිකය උදුරා දමන්නට ගත් වසර හතර හමාරක වෑයම සාර්ථක වුවත්, බොල්ෂෙවික් අයට රුසියාවේ සම්පූර්ණ පාලන බලය තිබුණත්, හාමත වලින්, මරණ වලින් හා ස්වභාව ධර්මයා ගෙනෙන ලද විනාශ වලින් ගොඩ එන්නට ක්‍රමයක් නැතිබව සැමට පෙනිණ.

යුක්රේනයේ බැංකු ක්‍රමය ගලවා ගත් ලුඩ්විග් වොන් මීසස් ලියන ලද සමාජවාදයේ ආර්ථික ගණනය ලිපිය ඒ වෙද්දී යුරෝපයේ බුද්ධිමතුන් අතර ජනප්‍රිය වූවකි. යුරෝපීයයන් පරිපූර්ණ සමාජවාදයෙන් අයින් වෙමින් සිටියහ.

අධිරාජ්‍යවාදී යුද්ධ එපා යැයි ලියූ ලෙනින් සිය රටවැසියන්ටම වෙඩි තබන කමිටු හැදීය. ස්වයං නීර්ණ අයිතිය ගැන ලියූ ලෙනින් තමා යටතේ වූ යුක්රේන වැසියන්ගේ ජාතික පිබිදීම මර්ධනයට ඔවුන්ගේ ධාන්‍ය උදුරාගෙන ඔවුන්ව මරුමුවට යැවීය. වැඩකරන ජනතාව කළ යුතු දේ කියමින් ඔවුන්ට කළ හැකි හා නොහැකි දේවල් තීරණයට ඉහළ කමිටුවකට බාර දුනි.

අලුත් ක්‍රමයෙන් රට බංකොළොත්වෙද්දී, ජනතාවට දිවි පවත්වාගන්නට අවශ්‍ය භෞතික දේවල් සපයන්නට හමුදාවට හා කොමිස්සාර් කමිටුවලට නොහැකි බව පෙනී යද්දී, ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරත නොහැකියි යන රුසියන් Khozrachyot සංකල්පයට ඉඩ දී ලෙනින් නව ආර්ථික පනත NEP (Novaya Eknomonicheskaya Politika) පිහිටුවනු ලැබීය.

ඒත් ඒවා රජයේ නියාමනයෙන් සිද්ධ විය. සරලව කිව්වොත් ට්සාර් රජ කාලයේ ‘සූරාකෑම’ රුසියාවේ නැවතත් පටන් ගැනිණ.

නිකලායි ඔස්ත්‍රොවෙස්කි සිය ජීවිත කතාව පදනම් කරගෙන ලියූ වානේ පන්නරය ලැබූ හැටි පොතේ, කතා නායකයා වන පවෙල් හොඳ ජීවිතයක් ගතකර තමන් කාලානුචිත දිවිනසා ගැනීමක් ගැන මොහොතකට සිතයි. ඒ ලෙනින් මිය ගිය පසුව ඔහු තම ජීවිතය දිහා විස්සෝපයෙන් බලන කාලයයි. කකුල් අහිමි වූ මැෂින්ගන් වෙඩික්කාරයන් තුවක්කු කරත්තවල නැඟී සටන් බිමට ගිය හැටි සිහි කරන පවෙල් සිය පොකැට්ටුවේ ඇති ඇමෙරිකාවේ නිපැදවූ බ්‍රවුනින් තුවක්කුව එළියට ගනියි.

“සිල්ලර වීර ක්‍රියා, මගෙ කොල්ලො! ඕනම මෝඩයෙකුට පුළුවන් එයාට වෙඩි තියාගන්න. ඒක තමයි යන්න පුළුවන් ලේසි මාර්ගය. බියගුල්ලාගේ මාර්ගය. ජීවිතේ කරදර වැඩිවෙද්දී ඔළුවට බුලට් එකක් ඇතුල් කරන්න ඕනෑම වේලාවක පුළුවන්. ඒත්, ජීවිතය ජයගන්න ඔබ උත්සාහ කළාද? වානේ උගුලෙන් ගැලවෙන්න කළ හැකි දේ සියල්ලම ඔබ උත්සාහ කර බැලුවාද? …. ඔබේ ජීවිතය ප්‍රයෝජනවත් කරගන්න.”

ව්ලැඩිමියර් මායාකොව්ස්කි රුසියාවේ සෝවියට් කිවියෙකි, නාට්‍ය රචකයෙකි. චිත්‍ර ශිල්පියෙකි. නළුවෙකි. ඒත් සෝවියට් යථාර්ථයට පමණක් ඉඩදෙමින් සංස්කෘතික වාරණ වැඩිවෙද්දී ඊට විරුද්ධව පෙනී සිටියෙකි. ලෙනින්ව දැඩි සේ අගය කළ ඔහු ලෙනින් මිය ගිය පසු සුප්‍රසිද්ධ වූ කවි උපහාරයක් ද ලිවීය. 1930 දී ඔහු සියදිවිනසා ගත්තේය.

සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී ක්‍රමය වැඩ නොකරන බව දුටු සෝවියට් රතු සහෝදරයන් බුරුතු පිටින් තමන්ගේම හිසට වෙඩිතබාගෙන මිය ගිය කාලයයි ඒ. එහෙත් ක්‍රමය ප්‍රතික්ෂේප නොකළ පාලකයන් නිසි බලධාරීන් ලවා සෝවියට් යථාර්ථයට අනුකූල ප්‍රකාශනයට අවසර නිකුත් කළහ. ඔස්ත්‍රොවෙස්කිගේ ප්‍රබන්ධයට අවසර ලැබීම පුදුමයක් නොවේ.

සදාදරණීය පවූලූශා කියාදෙන පාඩම කුමක්ද?

ජීවිතය ජයගන්න නම් කළ යුත්තේ පරපීඩක ආණ්ඩුව කුමක් කළ ද ඊට විරුද්ධත්වයක් නොදක්වා සිටීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: