අරුණි ශපීරෝ‍ වෙතින්

වැඩ කරන ජනතාව හැර වෙන ජනතාවක් සිටිනවා ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 3, 2017

උපත්තියෙන් දායාද වෙන රදළ සමාජ තත්වය සහ ඒ අනුව උරුම වෙන විශේෂ වරප්‍රසාද අහිමි වීම පැහැදිලිවම දකින්නට ලැබෙන්නේ 19 වැනි සියවසේ එංගලන්තයේ ඉඩම් නීති වෙනස්වීමේ දී ය.

1912 සිට 1925 දක්වා එංගලන්තය ගැන කියැවෙන ඩවුන්ටන් ඇබී 2010 දී නිර්මාණය වූ ටෙලිනාට්‍යයකි. හයික්ලෙයාර් මන්දිරය එය තිරගත වන සැබෑ ස්ථානයයි. දිගහැරෙන්නේ කාලයේ වෙනස්කම් වලට ලක්වෙමින් ගෙතෙන රදළ පංතියේ ක්‍රෝලි පවුලේ කතාවයි.

වැරදි විදියට ඉතිහාසය කියවා වැරදි දැක්ම ඉදිරිපත් කළ කාල් මාක්ස්ට වැරදුනේ කොතැනදැයි පැහැදිලිව පෙනී ගිය කාලයයි.

ඒ වෙද්දී චාල්ස් ඩිකන්ස් වැනි ඊට කළින් බිහි වූ නවකතාකරුවන් ලියූ පොත් වලින් වැඩ කරන ජනතාවගේ ගැහැට මනාවට විස්තර වී තිබුණ. නමුත් ඒ ගැහැට වලට මුහුණ දෙන්නට කළින් රදළ නොවූ ගම්බද වැසියන්ගේ ජන ජීවිත ඉතා දුක්ඛිත විය. කන්න නැතිවුනාම, බෙහෙත් නැතිවුනාම, අතේ පයේ හයි හත්තිය නැතිවුනාම මැරිලා යන ජීවිත ඔවුන් ගෙවද්දී රදළ ප්‍රභූන් උරුමයෙන් ලැබුණ වස්තුවෙන් ජීවත් වූහ. සූදු කෙළීම නිසා දුප්පත් වූ ධනවතුන් අතර සියදිවිනසා ගැනීම පවා දකින්න ලැබුණි. ඩිකන්ස් ලියන ඩොම්බෙ සහ පුතා -Dombe and Son- පොතේ පරිදි දරු ප්‍රසූතියේ දී මැරෙන ප්‍රභූ ආර්යාවන් සහ ළාබාල කාලයේ දී ම ලෙඩ දුකකින් මැරිලා යන ප්‍රභූ උරුමක්කාරයන් වෙතින් එදා සැබෑ ලෝකය නිරූපනය වූහ.

ඩවුන්ටන් ඇබී ටෙලිනාට්‍ය පටන් ගන්නේ පවුලේ අර්බූදයකින්. මේරි ක්‍රෝලි පවුලේ උරුමය රැකගත හැකි රදළ සැමියෙක් සොයා නොගත හොත්, පියාගේ අභාවයත් සමඟ පවුලේ සැමට පාරට බහින්නට සිද්ධ වෙන තත්වයක් උදාවීමෙනි. මෙය එවක පැවති ස්වාමි පුරස්කාරය හෙවත් පවුලේ වැඩිමහල් පුත්‍රයාට සත්‍ය දේපල දායාද වීමේ නීතිය හා බැඳෙන fee tail නීතියයි.

රොබට් ක්‍රෝලි ස්වාමි පුරස්කාරය හිමිවූ පුද්ගලයායි. ඔහුට දියණියන් තිදෙනෙක් සිටිය ද පුතෙක් නැත. රොබට් මිය ගිය විට ඔහුගේ සියළු දේපල පරම්පරාවේ වෙන අයෙකුට හිමිවේ. ඒ අය හා විවාහ වුවහොත් ඔවුනට ඒ මන්දිරයේ දිගටම වාසය කළ හැකියි.

මේ ක්‍රමයේ ආරම්භය මධ්‍යතන යුගයේ දී සිද්ධ වූවකි. පියා විසින් දියණියගේ විවාහයේ දී මැරිටජියම් -maritagium නමින් නීතිමය ඉඩම් පවරා දීමක් සිද්ධ විය. 1150 වසර දී පමණ, නීතියට එකතු කරන ලද වෙනස්කම් දකින්නට ලැබිණ. තෑගි කිරීම කාන්තාවට හා ඇයගේ සැමියාට වුවත්, ඉඩම් උරුමය ඒ සැමියාගෙන් ලද දරුවන්ට ලැබෙන්නකි. ඇයට දරුවන් නැත්නම් ඉඩම් අයිතිය තෑගි කළ අයට හෝ ඔහුගේ උරුමක්කාරයන් වෙතට නැවතත් ලැබේ. කිසිවෙකුට ඉඩම් හිමියා සහ උරුමක්කාරයා යන දෙකේම එකවර ඉන්නට නොහැකි රීතියක් විය. ඒ කොන්දේසි ඇතුලත් කිරීම සාම්ප්‍රදායිකව සිද්ධ වූවකි. ඉඩම් අයිතිය ‘පවුල’ තුල තබාගැනීම ප්‍රධාන අරමුණ විය. 1285 පාර්ලිමේන්තුවෙන් එය සම්මත නීතියක් කෙරිණ. 1450 ගණන් වෙද්දී මේ නීතිය නිසා, ඉඩම් හිමි නොවූ, රදළ නොවූ, වෙළඳාමෙන් ධනවත් වී සිටි අයට මිල දී ගත හැකි ඉඩම් සීමිත විය. 19 වැනි සියවස වෙද්දී මේ පිළිවෙත ඉවත් කරගන්නට රදළයන්ට ද අවශ්‍ය විණ. 1833 දී දඩ සහ අයකරවා ගැනීමේ පනත සම්මත විණ.

1925 දේපල පිළිබඳ නීති පනතෙන් මෙම පිළිවෙත මුළුමනින් අහෝසි වී සැබෑ පුද්ගලික දේපල නිර්මාණයට අවසර ලැබිණ. ඩවුන්ටන් ඇබී කතාවේ අවසන් කොටසේ දී සිද්ධ වෙනුයේ මෙයයි. ඒ සමාජයේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පැහැදිලි වෙනස්කම් ඇති කල කාලයයි. මන්දිරයේ වැඩකරපු සේවිකාව මන්දිරයේ තේ සාදයන්ට එන කාලය. ඉඩම් හිමි රදළ පංතියේ බලය මැද පංතියට මාරු වෙච්ච කාලය.

නිදහස සහ ඒකීයපුද්ගල වගකීම තුලින් ආර්ථික සාර්ථකත්වයකට එන්නට හැකි වූ පුද්ගලයන් ගැන නවකතා පොත් බිහිවෙන්න පටන් ගත්ත කාලය.

රොබට් පීල් නොහොත් පාස්ලි පීල් නමින් වූයේ කපු මෝලක අයිතිකරුවෙකි. කුඩා ඉඩමක වගා කටයුතු වල නිරත වූ ගොවියෙකි. කපු රෙදි කර්මාන්තයේ පාස්ලි කොළ හැඩය නිර්මාණය කළ වෙළඳ ජයක් ලබාගත්තෙකි. ඔහු මිය යද්දී කම්හල් 23 ක අයිතිකරුවෙක් වන්නට සමත් වූයෙකි. පසු කාලයක දී බ්‍රිතාන්‍ය අගමැති වූ සර් රොබට් පීල්, ඔහුගේ පුතා විය. 1802 දී මෝලක වැඩ කරන දරුවන්ගේ පැය ගණන සීමා කරන්නටත්, මෝල අයිතිකරුවන් ලවා යම් අධ්‍යාපනයක් සපයන්නටත් නියම වෙන ලෙසින් ආධුනික පුහුණුකරුවන් සඳහා වූ සෞඛ්‍ය සහ ආචාර ධර්ම පනත හේ හඳුන්වා දුනි. එය සම්මත වෙන්නේ 1817 දී ය, කපු කර්මාන්තයට පමණක් බලපාන ලෙස කපු මෝල් සහ කම්හල් පනත නමිනි.

ඩවුන්ටන් ඇබී කතන්දරය තුලින් දිගහැරෙන ඉතිහාසය විමසද්දී අපිට දැනගන්නට ලැබෙන්නේ මේවායි. ඔටුන්නට හිමි වූ ඉඩම්, රජුගේ නියම යටතේ රදළ ප්‍රභූන්ට භුක්ති විඳින්නට ලැබුණි. ඉන්පසුව ඔවුන් සිය උරුමක්කාරයන්ට පවරන සම්ප්‍රදාය පටන් ගත්හ. එහෙත් ගොවියන් කර්මාන්තකරුවන් වෙන්නට සමත් වෙද්දී, වෙනස්කම් ඇතිවිය යුතු නිසාම වෙනස් නීති බිහි වු ආකාරයයි. තවත් විදියකින් කිව්වොත්, උරුමයෙන් දායාද වෙන නීතිය නිසා තව දුරටත් එංගලන්තයේ ස්වභාවික සම්පත් සංවර්ධනය වීම ඇණ හිටියදී, ආර්ථිකය නිසියාකාරව වැඩ නොකරද්දී, රටේ නීති වෙනස් වූ බවයි.

ඉඩම් අයිතිය ගැන සැබෑ වෙනසක් සිද්ධ කිරීමට මිලියන ගණනින් මිනිස් ජීවිත ඝාතනය කළ විප්ලවයක් අවශ්‍ය නොවිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: