අරුණි ශපීරෝ‍ වෙතින්

වැඩකරන ජනතාව වෙනුවෙන් වැඩකරන ජනතාව විසින්ම

Posted in Uncategorized by arunishapiro on මැයි 4, 2017

වැඩවසම් යුගයේ දී රජුට ඉඩම් අයිතිය ද, රදළ ප්‍රභූන්ට හා ආගමික පූජකවරුන්ට ඉඩම් බාරකාරත්වයේ අයිතිය ද තිබිණ. දේශයක බහුතරය වූ සෙසු ජනතාව ප්‍රවේණි දාසකම් කරමින් ජීවිත ගැට ගසා ගත්හ. උපත ලැබූ පළාතෙන් බැහැරව යන්නට ඔවුනට හැකියාවක් තිබුනේ රජු යුද්ධයකට ගියොත් පමණි. සීත ඍතුවක් පැවතෙන රටවලින් ඇහෙන්නේ මංකොල්ලය පිණිස කල්ලි ලෙසින් ආයුධ සන්නද්ධව ගිය නෝර්වේ වයිකිං ගැන මිසෙක දේශ දේශයන්හි සංචාරය කළ ඒකපුද්ගල තාපසයන් ගැන නොවේ.

කාර්මික විප්ලවයත් සමඟ ඇති වු සමාජයීය දියුණුවෙන් නවකතා නිර්මාණය ලෝකයේ පැතිර යන්නට පටන් ගැනිණ. රොබින්සන් කෲසෝ නවකතාව ලියූ විලියම් ඩිෆෝ ලොව අපූරු ප්‍රබන්ධයක් ගොතන ලද නවකතාකරුවෙක් පමණක් නොව එවක සමාජය ගැන වාර්තා රැසක් ඉතිහාසයට එකතු කළ අයෙකි. 1697 දී එංගලන්තයේ හැම අත පැතිර පැවති මිත්‍ර සංගම් -friendly societies- ගැන ඩිෆෝ වාර්තා කළේය.

ශිල්ප ශ්‍රේණී වෘත්තීන්හි නියැළුන අය පටන් ගත් ඒ සංගම් කාර්මික විප්ලවයෙන් ජවය ලබා 18 වැනි සියවස මැද වෙද්දී බ්‍රිතාන්‍ය නගරවල විවිධ නම් වලින් වර්ධනය වූහ. අල්ල පාමින් අයැද ලබාගන්නා ආධාර වලින් වෙනස් යැයි පිළිගත් මේවා ස්වාධීන පුද්ගලයන්ට සහාය සපයන්නට, වැඩ කරන ජනතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව විසින්ම නිර්මාණය කළ ආයතන වූහ.

රක්ෂණය සහ තැන්පතු ගැන අදහස් සමාජයේ දුප්පතුන්ට දන්වමින්, තම අනාගතය තමන් සැලසුම් කරගන්නේ කෙසේදැයි කියාදෙන මේ මිත්‍ර සංගම් සමාජයීය, අධ්‍යාපනික හා ආර්ථික සේවා සැපයූහ. දේශන, නැටුම් හා රැඟුම් යනාදියෙන් සාමාජිකයා දැනුවත් කරන හා රසාස්වාදය සපයන රැස්වීම් එමඟින් පැවැත්විණ.

මිත්‍ර සංගම් කළමනාකරණය වූයේ ඒවායේ සාමාජිකයන් අතින්. ඒ නිසා වැඩකරන ජනතාවට විධායක කුසලතා ගොඩනඟා ගන්නටත් එයින් අවස්ථාවක් පෑදිණ.

19 වැනි සියවසේ මේ ෆ්‍රෙන්ඩ්ලීස් හා උරට උර ගැටෙන්නට වානිජ්‍ය රක්ෂණ කොම්පැණිවලට හැකියාවක් නොමැති විය. ඒ නිසා වෙළඳ රක්ෂණ කොම්පැණි ධනවතුන්ට සහ ව්‍යාපාරිකයන්ට පමණක් සේවය සැපයූහ. ඒවායේ හටගත් වියවුල් සහ අසාර්ථකත්වයන් වැඩකරන ජනතාවගේ සැකයට පාත්‍ර විය. බහුතරයකට සේවය සපයන්නට හැකියාව පෑදීම නිසාම, ධනවතුන්ට හා ව්‍යාපාරිකයන්ට පිරිනැමූ හා සමාන සේවයක් වැඩකරන ජනතාවට අඩු මිලකට සපයන්නට හැකියාව මිත්‍ර සංගම්වලට ලැබුණි. මේ මිත්‍ර සංගම් සේවාදායකයන් සොයා ගියේ නැත. ඔවුන්ට අලෙවිකරුවන් නොසිටියහ. ඔවුන් කොමිස් නොගත්තහ. සාමාජිකත්වය තුලින්ම වරින් වර වෙනස් වෙමින් පත් වූ කළමනාකරුවන් ස්වේච්ඡාවෙන් සංකේත වේතනයකට සේවය සැපයූහ.

ජනතාව වෙතින්ම ජනතාව සඳහාම ස්වේච්ඡාවෙන්ම පිහිටුවා ගත් ආයතනයක් එසේ ඕපපාතිකව හටගෙන වෙළඳපොල ජයගති.

මිත්‍ර සංගමක සාමාජිකයෙකුට තමන්ගේම සැලසුමක් හැදිය හැකියාව ලැබිණ. වයස 50 දී නැත්නම් 60 දී විශ්‍රාම යනවා ද, තමන්ගේ වේතනයට සමාන ලෙසින් විරැකියාවේ දී හෝ රෝගී කාලයේ දී මුදල් ලබාගන්නවා ද, යනාදී වශයෙන්. අවශ්‍ය වූයේ ඉහළ වාරිකයන් ගෙවීම පමණි. මුලින් පැවති ‘වැඩ කිරීමට නොහැකියාව’ හදිසි අනතුරක් නිසා ද නැත්නම් රෝගී තත්වයක් නිසාදැයි විමසුනේ නැත. පසුව මෙය වයසට යෑමේ දී අබල දුබල වීම සඳහා රක්ෂණයක් බවට ද හැරිණ.

බොහෝ මිත්‍ර සංගම් වෛද්‍ය සේවා, භූමදාන කටයුතු සඳහා, වැන්දඹුවන්ට වාර්ෂික දීමනා, අනාථ දරුවන්ට අධ්‍යාපන වියදම් යනාදිය ගෙවූහ. සාමාජිකයන්ට සහ පවුල්වල අයට වැඩිහිටි නිවාස, රොගීන්ට සත්කාරගාර ඉදි කළහ. මිත්‍ර සංගම් ආරම්භයේ දී රැකියාවන් සොයා සංචාරයේ යෙදෙන අයටත්, කුමක් හෝ ආපදා අවස්ථාවක දී විරැකියා සහනාධාර ගෙවූහ.

මේ සංගම් වලින් වැඩියෙන්ම ගෙවීම් කර ඇත්තේ දරු ප්‍රසූතියෙන් පසු කාලය සඳහා සහ විශ්‍රාම වැටුප් වලටයි.

1750 ගණන් වල වර්ධනය වූ මේ බ්‍රිතාන්‍ය මිත්‍ර සංගම් ඒ ඒ විපැත්ති සඳහා ගෙවීම් කර වසර අවසානයේ දී සංගමයේ ඉතිරි වූ මුදල් එහි සාමාජිකයන් අතර බෙදා ගත්හ. වයස්ගත වූවන්ට ගෙවන මුදල් නිසා නිතර පාහේ තරුණ සාමාජිකයන් බඳවා ගැනීමට සිද්ධ වීම ඔවුන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයයි.

19 වැනි සියවසේ කම්හල් අයිතිකරුවන් ඒවායේ වැඩකරන ජනතාවට කුරිරු ලෙසින් සැලකුවා යන්න තතු විමසන්නට නුහුරු අයගේ විශ්වාසයයි. කම්හල් බිහිවීම ලොව පැතිර යද්දී, කම්හල් සේවකයන් බහුල වෙද්දී කම්හල් මිත්‍ර සංගම් බිහිවූයේ ද ඕපපාතිකවයි. කම්හල භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කරද්දී මේවායේ කළමනාකරණය ඒවායේ වැඩකරන ජනතාව අත වූහ. ඒවායේ සාමාජිකත්වය ලබාගැනීමට වැඩකරන ජනතාව දිරිගැන්වූයේ කම්හල් අයිතිකරුවන්මයි. වැඩකරන ජනතාවගේ සුළු මුදල් පරිත්‍යාග වලින් එකතු වූ හැදෙන එවැනි සංගම් නඩත්තුවට කම්හල් අයිතිකරුවන් අමතර මුදල් සහනාධාර සැපයූහ. එවක කරන ලද අධ්‍යනයකින් පෙනී යන්නේ දරුවාගේ සහ මවගේ නිරෝගී භාවය වෙනුවෙන් මෝල් අයිතිකරුවන්ගේ සංගමය විසින් දරු ප්‍රසූතියට පෙර හා ඉන් පසුව ප්‍රමාණවත් කාලයක් සේවයේ යෙදීමෙන් අයින් වී සිටීම දිරිගන්වන ලද බවයි.

ගොඩනැඟිලි සංගම් නමින් බිහි වූ මිත්‍ර සංගම් වර්ගය වැඩකරන ජනතාවගේ මුල්‍ය ආයතන වූහ. ඔවුන් ණය දුන්නේ වැඩකරන ජනතාවට නිවසක් මිල දී ගන්නටයි. එවැනි සංගම් අතර සමහර ඒවා සියළු සාමාජිකයන් නිවසකට අයිතිය කියන්නට සමත් වූ පසු විසුරුවා හැරිණ. තාවකාලික නොවූ සංගම් වර්තමානයේ දකින්නට ලැබෙන බැංකු සේ කටයුතු කළහ.

මේ ගොඩනැඟිලි සංගම් අරමුදල් වලින් ලබාගත් ණය මුදල් ගෙවීමෙන් 1918 සිට 1939 දක්වා එංගලන්තයේ ඉදිකරන ලද නිවාස තුලින් බාගයක් ඉදිකර තිබේ.

මේ මිත්‍ර සංගම් නැති වී ගියේ මුල්‍ය අර්බූද හෝ ඒවා අසාර්ථක ලෙස කළමනාකරණය වූ නිසා නොවේ. ඒවා අසාර්ථක වූයේ ආණ්ඩුව මැදිහත්වීම නිසයි.

බ්‍රිතාන්‍ය රදළයන් මේ වැඩකරන ජනතාවගේ විශාල අරමුදල් ගිණුම් දැක දේශපාලන බලය ඔවුන් අතට යාවි (වෙළඳපොල ජයගනීවි) යැයි බියගත්හ. ඒවා මර්ධනය පිණිස, නීතිවිරෝධී සංගම් පනත, වෙන්වීමේ රැස්වීම් පනත යනාදී විවිධ පනත් සම්මත කළහ.

ඒවා අතරින් 1793 දී සම්මත වී තිබූ රෝස් පනත ‘ආරක්ෂාව පිණිස යහපත් සමාගම වෙනුවෙන් සංගම්’ සඳහා ඉඩදීම නීතියෙන් රිංගන්නට හැකි එකම මාර්ගයක් විය.

යුරෝපීයයන් සමාජවාදී වෙද්දී, 1818 දී සාමාජිකත්වය සඳහා ‘විද්‍යාත්මක’ ගාස්තු ප්‍රමිතියක් පනතක් විසින් සම්මත කෙරිණ. මෙයින් ගාස්තුව හැම තැනම එක හා සමාන වී, තරඟයට ඉඩක් නොලැබී විසල් ෆ්‍රෙන්ඩ්ලීස් විසින් කුඩා ෆ්‍රෙන්ඩ්ලීස් ගිලගන්නා ලදි.

1870-75 කාලයේ ෆ්‍රෙන්ඩ්ලීස් අධ්‍යයනය සඳහා රාජකීය කොමිසමක් පත් කෙරිණ. පාර්ලිමේන්තුව විසින්, භූමදාන සහ විශ්‍රාම සහනාධාර වැනි කල්තියා කිව හැකි ‘සිද්ධි’ ගැන අවධානය යොමු කරමින් රජය දියත් කළ සැලසුමක් නිර්මාණය කරන ලදි.

1911 දී ජාතික රක්ෂණ පනත ගෙනෙන ලදි. රාජ්‍ය සපයන සහනාධාර වැඩි කර, සේවකයා වෙතින් සහ සේවය සපයන්නා විසින් කළ යුතු අනිවාර්ය ගෙවීමක් තුලින් එය මුල්‍යකරණය විය. රාජ්‍ය සැලසුම ක්‍රියාවට නංවන්නට මිත්‍ර සංගම් දක්කවන ලදි. සහනාධාර ලබාගැනීම සඳහා පද්ධති දෙකේම අයැදුම්පත් පුරවන්නට සිද්ධ විය.

1946-48 වෙද්දී කම්කරු පක්ෂයේ ආණ්ඩුව ජාතික රක්ෂණ පනතේ සහනාධාර නවත්වමින් මිත්‍ර සංගම් අත්හැර දමා, ප්‍රතිසංස්කරණය කරන ලද පරිපාලනය සම්පූර්ණයෙන්ම රජය යටතට පවරා ගන්නා ලදි. අරමුදල් අහිමි වීමෙන් සහ වැඩි සහනාධාර මට්ටම් ගෙවන්නට සිද්ධ වීමෙන් එහි දී බොහෝ මිත්‍ර සංගම් වසා දැමිණ.

Friendly Societies: Voluntary Social Security and More ඇසුරින්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: