අරුණි ශපීරෝ‍ වෙතින්

ලෙනින්ගේ න්‍යායවාදය මාක්ස් වෙතින් නොලැබූ නවෝත්පාදනයක් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 6, 2017

කාර්මික විප්ලවයෙන් යුරෝපයේ හටගත් වෙනස කාල් මාක්ස් විසින් වැරදියට දැක වැරදියට විග්‍රහ කළේය. ගම් පළාත්වල හාමතෙන් සහ ලෙඩ දුකින් මිය යනවා වෙනුවට හූදී ජනතාව කම්හල් පිරි නගරවල දවසේ වේතන හොයාගන්නට සමත් වෙද්දී ඒවායේ පැවති දුක්ඛිත තත්වයන් පමණක් සැලකිල්ලට ගෙන, එතැනින් පටන් ගත් හූදී ජනතාවගේ සමෘද්ධිය නොසලකා හැර, සැබෑ වෙනස එතෙක් පවැති සූරාකන ක්‍රමයේ ම අලුත් ආකාරය හෙවත් ‘ධනවාදය’ යැයි හැඳින්වීය. එය අවසන් වී ඊ ළඟට එන පරමාදර්ශී තත්වයක් ගැන කාල් මාක්ස් කුරිරු මතවාදයක් ලොවට ඉදිරිපත් කළේය. ඕපපාතිකව හටගත් සැබෑ වෙනස වෙනුවට රජකල පැවති ලෙසින්ම සුලුතරයකට බලය පැවරීම අලුත් වෙනසක් යැයි හූදී ජනතාවට ගිල්ලවන්නට වාමාංශිකයන් සමත් වූහ.

අසාර්ථකත්වය හමුවේ යළි යළිත් නව ජාත්‍යන්තරය, නව දැක්ම, අලුත් වම, අපේ දැක්ම යනාදී වදන් වලින් ඉදිරිපත් කරන්නේ රජවරු සේ ජීවත්වෙන සුලුතරයකගේ බලයෙන් සියල්ලන්ගේ වෙහෙස සහ එහි ඵලදාව මංකොල්ලන ක්‍රම යැයි මුලින්ම පෙන්වා දුන් අය ගැන ඔබ අසා ඇත්ද?

මාක්ස්ගේ නොවැරදීම එන ඵෛතිහාසික ක්‍රියාවලිය විචාරයට ලක් කරන ලද අය ගැන ඔබ අසා ඇත්ද?

1902 දී ‘නූතන ධනවාදය’ සහ 1909 දී ‘සමාජවාදය සහ සමාජ ව්‍යාපාරය’ ලියූ ඩබ්. සොම්බාට්, 1908 දී ‘එංගලන්තයේ ව්‍යවස්ථාදායකයේ ඉතිහාසය’ ලියූ ඊ. ඩබ්ලිව්. මේට්ලන්ඩ්, 1922 දී මිය ගිය පසුව ප්‍රකාශනය වෙන ‘ආර්ථිකය සහ සමාජය’ ලියූ මැක්ස් වෙබර් ඒ අය අතර වූහ.

කාල් මාක්ස්ගේ ශ්‍රම න්‍යාය විචාරයට ලක් කළ අය ගැන ඔබ අසා ඇත්ද?

1896 දී ‘කාල් මාක්ස් සහ ඔහුගේ වැසුණු පද්ධතිය’ ලියූ ඉයුජින් බොම්-බැවර්ක්, 1922 දී ‘සමාජවාදය’ ලියූ ලුඩ්විග් වොන් මීසස් ඒ අය අතර වූහ.

කාල් මාක්ස් ලියූ බොරු සවිඥානය, පරාරෝපණය සහ පංති සටන ගැන න්‍යායන් විචාරයට ලක් කළ අය ගැන ඔබ අසා ඇත්ද?

1909 දී ‘සමාජවාදය ගැන විචාරාත්මක විමර්ශනයක්” ලියූ ඩබ්ලිව්. එච්. මැලොක්, ඉහත සඳහන් ඩබ්. සොම්බාට්, 1945 දී ‘විවෘත සමාජය සහ එහි හතුරන්’ ලියූ කාල් පොපර්, 1967 දී ‘සමාජවාදී චින්තනයේ ප්‍රධාන ප්‍රවාහයන්’ ලියූ රේමන්ඩ් ආරොන් ඒ අය අතර වූහ.

මේ සඳහන් කරන අය දේශපාලන දැක්මේ දක්ෂිණාංශ යැයි සැලෙකන අය නොවෙති. එසේම ඔවුන් ‘සමාජ සාධාරණත්වය’ යන අදහසට විරුද්ධ වූවන් ද නොවෙති. එනමුත් ඔවුන්ගේ විචාරය හාස්‍යයට ලක් කරනවා විනා පිළිතුරක් දෙන්නට අලුත් වම අසමත් ය.

කාල් මාක්ස් ලියූ කියූ අදහස් බහුතරය කිසිත් වෙනසකට ලක් නොකර පිළිගත් පුද්ගලයා වී. අයි. ලෙනින් ය. සමාජවාදය තුල දැකිය හැකි පරස්පර විරෝධය නිසාම ඒ අදහස් ස්ථාපිතයට බලහත්කාරය අවශ්‍ය වේ.

කාර්මික විප්ලවයෙන් පසුව වැඩකරන ජනතාවගේ ආර්ථික සහ සමාජ තත්වයන් කෙමෙන් දියුණුවට පත්වෙන බව දකිද්දී, ඉහත සඳහන් කළ යුරෝපීයයන් කාල් මාක්ස්ගේ දැක්ම විචාරය කළහ. ඒ ජීවන තත්වයන් දියුණු වූයේ ඔවුන්ට ‘අල්ලස් දීම’ නිසා යැයි මාක්ස් කීය. ඒ අල්ලස් දුන්නේ යුරෝපීයන්ගේ යටත්විජිත වල වාසය කරන ස්වදේශීන් තරයේ ආණ්ඩු කිරීමෙන් තම අලාභ පියවා ගත් ධනවාදීන් බවත්, පළමු ලෝක යුද්ධය යනු ‘අමතර ලාබ’ උපයන්නට ගෙනා ‘අධිරාජ්‍යවාදී’ යුද්ධයක් බවත් මාක්ස්ගේ අදහස තවත් ඉදිරියට ගෙන යමින් ලෙනින් කීය.

ඊ ළඟට, ධනවාදීන් විසින් වැඩ කරන ජනතාවට අල්ලස් නොදුන්නත්, කිසිම විටෙක වැඩ කරන ජනතාව ඔවුන් විසින්ම සමාජවාදී විප්ලවයක් ගෙනෙන්නේ නැතැයි ලෙනින් කීය. රුසියාවේ වැඩ කරන ජනතාව දකින ලෙනින් කම්කරුවන් (ශ්‍රම බලය පමණක් සහිත වූවන්) යනු විප්ලවීය පංතියක් නොවන බව හොඳ හැටියට අවබෝධ කරගත්තේය. මෙය මාක්ස්වාදයේ ප්‍රධාන ප්‍රස්තුතය ඍජුවම ප්‍රතික්ෂේප කරන අවබෝධයකි. මේ වැඩ කරන ජනතාව අර ධනවාදීන්ගේ ලාබයෙන් දැනට ලැබෙනවාට වඩා වැඩි කොටසක් ඉල්ලා ගන්නට සමත් වුවහොත් විප්ලවය අත්හැර දමන අයයි.

“සියළු රටවල ඉතිහාසය පෙන්වන්නේ තමන්ගේ වෙහෙසෙන් පමණක් වැඩ කරන ඒ ජනතාවට හැකියාව ඇත්තේ වෘත්තීය සමිති සවිඥානයක් ගොඩනඟා ගන්නට පමණකි,” යැයි ‘කළ යුත්තේ කුමක් ද’ යන ලිපියේ ලෙනින් කීය.

ඉතින් වෘත්තීය සමිති සවිඥානයක් වර්ධනය පමණක් සිද්ධ වේ නම්, අර ඉතිහාසයේ අවසන් පියවර වූ කොමියුනිස්ට්වාදයට පිවිසෙන්නේ කෙසේද?

වැඩ කරන ජනතාවට මාර්ගෝපදේශනය දෙන්නේ විද්වතුන් නම්, එහෙනම් විද්වතුන්ට මාර්ගෝපදේශනය දෙන්නේ කවුරුන් ද?

අනම්‍ය ධූරාවලියක, ඉතා දැඩි පක්ෂ විනයකින්, තමා මුලසුන දරන්නා වූවකින්, එය කළ හැකි යැයි ලෙනින් කියා සිටියේය. මාක්ස් ඉදිරිපත් කරන ලද අදහස තවත් ඉදිරියට ගෙන යන ක්‍රියා පටිපාටියක් ලෙනින් හැදුවේය. වැඩ කරන ජනතාව ජයග්‍රහණය කරා මඟ පෙන්වීම පමණක් නොව, ඒ ජය අත්පත් කරගත් පසුව ද වැඩකරන ජනතාව සඳහා බලයේ තෝන්ඩු අල්ලා සිටිය යුතු බව ලෙනින් කියා සිටියේය.

මාක්ස් ගෙනා අදහස් ලෙනින් වෙනස් කළා යැයි සමහරු කියති. නැත, ඔහු මාක්ස් ගෙනා අදහස් ක්‍රියාවට නඟන ක්‍රමය සොයාගත්තා පමණකි.

ලෙනින් නරකයි, ඒත් ට්‍රොට්ස්කි හොඳයි කියන අය ද සිටිති. මුලින් ලෙනින්ව විවේචනය කළ ද, ට්‍රොට්ස්කි ද අනතුරුව ලෙනින්ට මහත් සේ සහයෝගය දැක්වීය. ‘ත්‍රස්තවාදයට පක්ෂව: ත්‍රස්තවාදය සහ සමාජවාදය’ යැයි 1920 දී ලියන ට්‍රොට්ස්කි වැඩ කරන ජනතාව තුල පවතින විවිධ සංවර්ධිත මට්ටම් ගෙනහැර පායි. වැඩ කරන ජනතාවකගේ ආඥාදායකත්වයට අවශ්‍ය වනුයේ සියල්ලන්ගේම එකමුතුවෙන් ඇති කැමැත්ත, එකමුතුවෙන් සිද්ධ වෙන මග පෙන්වීම සහ එකමුතුවෙන් සිද්ධ වෙන ක්‍රියාවයි.

එය සාධනය කරගන්නේ කොහොම ද?

වැඩ කරන ජනතාව පැහැදිලිව දක්කාගෙන යන්නට නම් අඩුපාඩු නැති අභ්‍යන්තර විනයක් තිබිය යුතුයි.

මාක්ස්ගේ සමාජවාදයේ ‘විද්‍යාත්මක’ බව පැහැදිලි කිරීම අවිද්‍යාත්මක යැයි මාක්ස් විසින්ම කියූ නිසා, දැක්ම ක්‍රියාවට නඟන හිඩැස පුරවන්නට, අනුගමනය කළ යුතු ක්‍රමය ගැන විරසක වෙන සමාජවාදීන් සියල්ල එකතු කරවන්නට ලෙනින් තමන් අතට බලය ගත් ඒ ජිල්මාට්ටුව ඉදිරිපත් කළේය. බලය අල්ලාගත් පසුව ඔහු එතැනින් එහාට ගියේ නැත.

“උද්ඝෝෂණයේ අරමුණ බලය අල්ලා ගැනීමයි; එහි දේශපාලන අරමුණ ගැන අපිට කළ හැක්කේ කුමක්දැයි කියා ඊට පස්සෙ බලමු.” – ලෙනින්, නොවැම්බර් 6, 1917

අදත් වාමාංශිකයන් (පෞද්ගලික දේපල අයිතිය කප්පාදු කරන සියල්ලන්) පොදුවේ කරන්නේ අනාගත සමෘද්ධිය පොරොන්දු වෙමින් බලය අල්ලා ගැනීම පමණකි.

අදත් වාමාංශිකයන් පොදුවේ කරන්නේ යළිත් වතාවක් අසාර්ථක වෙද්දී නැහැ ඒ සැබෑ සමාජවාදය නෙමෙයි කියා කීම පමණකි.

සටහනට එකතු කරන්නේ අන්තර්ජාලයෙන් ලබාගත්තකි. මා කළේ එහි ඉංග්‍රීසි වචන සිංහලට හැරවීම පමණකි. මෙවැන්නක් මා හැදුවා නම් එහි මීට වඩා මුහුණු සංඛ්‍යාවක් එකතු කරන වෑයමක් ගන්නවා නිසැකය.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මැයි 15, 2017 at 1:22 පෙ.ව.

    කම්කරු පංති විඥාණය සහිත පක්ෂය විසින් නායකත්වය දීම. මත විප්ලවය සිදු කල යුුතුයි සහ සමාජවාදය පවත්වාෙගන යාා යුතුයි//// ඒ් අය වැරදි ෙනාවන ෙදවියන් විය හැකියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: