අරුණි ශපීරෝ‍ වෙතින්

මරීන් ල පෙන් පරාජය වමේ ජයග්‍රහණයක් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 7, 2017

“අර දක්ෂිණාංශ අන්තයේ එක්කෙනා දිනුවෙ නැහැ නේද?” ප්‍රංශ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නරඹමින් සිටිය දී අපේ ගෙදරට ගොඩවැදි ඇමෙරිකන් වමේ හිතවතියක් මගෙන් ඇසීය. එහි දී මගේ මතකයට ආවේ කලකට පෙර මම කැළණිය කැම්පස් සිටි කාලයේ පටන් දන්නා හඳුනන හිතවතෙක් කියූ කතාවකි: “අපි මැද්දට එනකොට ඔයා තවත් දකුණට ගිහින්.”

මම දක්ෂිණාංශ නොවෙමි. එසේ කියද්දී මම වාමාංශිකයෙක් යැයි වරදවා වටහා නොගන්න. මම ලිබටේරියන්. එනම් පරණ වම, අලුත් වම, මධ්‍යස්ථ ක්‍රමය යනාදී වශයෙන් දක්වන වමේ අදහස් සියල්ල ප්‍රතික්ෂේප කරන අයෙක්මි.

වම එක පැත්තක ද, දකුණ අනෙක් පැත්තේ ද දක්වන සරල රේඛීය වූ හැඳින්වීම දේශපාලන පක්ෂ ගැන කියද්දී යොදාගන්නා සාමාන්‍ය භාවිතයයි. මෙහි මධ්‍යස්ථයේ ඉන්නේ සමාජයීය ප්‍රශ්න සඳහා වාමාංශික වූ පිළියම් යොදන, ආර්ථික ප්‍රශ්න සඳහා ධනවාදී පිළියම් යොදන අය හැටියට සැලකේ. මේ හැඳින්වීම නිසාත්, වමේ අඩුපාඩු කියැවෙන අදහස් ඉතා සූක්ෂමව යටපත් කරන්නට විද්වතුන්, සාහිත්‍ය රචකයන්, රාජ්‍ය අංශය කදිම ලෙසින් සමත් නිසාත්, මහජනතාවගේ පොදු පිළිගැනීම වී ඇත්තේ දේශපාලන වමේ විරුද්ධ පැත්ත දේශපාලන දකුණ කියායි.

එහෙත් වම සහ දකුණ කියා දේශපාලනය බෙදුනේ කෙසේදැයි විමසන ලද්දාට එම අවුල පැන නඟින්නේ නැත. දක්ෂිණාංශය යනු ලොව පැවති පරණ සම්ප්‍රදායයි. 16 වැනි ලුවී සහ මාරි ඇන්ටොනෙට් රැජින ඝාතනය කරමින් භීෂණ පාලනයක් පැතිර වූ මැක්සිමිලියන් රොබෙස්පියෙර් ද, ට්සාර් පවුල ඝාතනය කළ තවත් භීෂණ සමයක් ගෙනා බොල්ෂෙවික්ස් වාමාංශිකයන් ද, අනුගමනය කළේ පරණ සම්ප්‍රදායෙන් වෙනස් නොවූ මාර්ගයයි. එනම් හූදී ජනතාවගේ තෝරාගැනීම් මොනවාදැයි තීන්දු කරන බලය අල්ලා ගැනීමයි.

එතෙක් වසර දෙසිය ගණනක් පුරා පැවති රජ ක්‍රමයේ රජුට පැවතියාට වැඩි විසල් බලයක් මේ අය තමනට පවරා ගත්හ. පාරම්පරික නීති ක්‍රමවේද අහෝසි කර භීෂණය ඔවුන්ගේ නීතික පිළිවෙත වූහ.

විප්ලවය ගෙනෙන ප්‍රංශයේ වමත්, සෝවියට් වූ රුසියාවේ වමත් පෙනී සිටියේ පෞද්ගලික දේපල අහෝසියටයි. එය අසාර්ථක බව ලොව කිහිප වතාවක්ම පෙනී ගිය බැවින් දැන් වාමාංශිකයන් පෙනී සිටින්නේ රජයේ නියාමනය යටතේ පෞද්ගලික දේපල අයිතියටයි. එමැනුඑල් මැක්‍රෝන් මෙන්ම මරීන් ල පෙන් ද ආර්ථික ගැටළු සඳහා ධනවාදී ක්‍රමය තුලින් විසඳුම් සොයන අය නොවෙති. එසේම සමාජයීය ගැටළු සඳහා ද සියල්ලන්ටම එක හා සමාන පිළිවෙත් යෝජනා කරන අය නොවෙති. දෙදෙනාම රාජ්‍ය මැදිහත්වීම් සඳහා පෙනී සිටින නිසා කවුරු දිනුවත් ප්‍රංශ මැතිවරණයෙන් වෙනසක් සිදු නොවේ. පරාජය වූ ල පෙන් දක්ෂිණාංශ අන්තවාදියෙක් ලෙස හැඳින්වීමෙන් ප්‍රංශ ජනතාව තවත් කාලයක් දක්ෂිණාංශය වමට විරුද්ධ අනිත් කොණ එය යැයි විශ්වාස කරන බොරුවේම මුලාවී සිටීම පමණක් සිද්ධ වෙනු ඇත.

ලංකාවේ දේශපාලන වම හා දකුණ ගැන ‘ස්වදේශිකයෙකුගේ සටහන්’ යන තීරුවේ උදිත දේවප්‍රිය මෙසේ ලියයි: ‘දේශපාලන දකුණ රාජ්‍ය පුළුල් කළ යුතු යැයි විශ්වාස නොකළහ. ඒ හේතුව නිසා, රට කාර්මීකරණය කිරීමේ කාර්යය බොහෝ දුරට වමට පැටවිණ. පරණ වම යැයි කීම වඩාත් උචිතය.”

කාර්මික විප්ලවය ලොව හටගත්තේ සහ කාර්මීකරණයෙන් දියුණුව ලද රටවල් එසේ දියුණු වූයේ රාජ්‍ය හෝ දේශපාලන මැදිහත්වීම් නිසා නොවන බව උදිත දේවප්‍රිය මෙහි දී කිසිත් සැලකිල්ලකට නොගනියි. 1948 ගණන් වල දී ලාංකිකයාට ණය බරක් අත්විඳින්නට ලැබෙන්නේ 1840 ගණන් වල දී ලෙනාඩ් වුල්ෆ් වැනි රාජ්‍ය සේවකයන් ගෙනා කිරීටක භූමි ප්‍රසර්පිත ආඥා පනත වැනි වාමාංශික වූ රාජ්‍ය මැදිහත්වීම් හේතුවෙන් යැයි නොසලකා හැර හේ කතිකාව අරඹයි. 1949 වර්ෂයේ දී සිංගප්පූරුවේ ප්‍රධාන දිවයිනේ පෞද්ගලික ඉඩම් අයිතිය 69% කුත්, කිරීටක ඉඩම් අයිතිය 31% කුත් වූ බව නොසලකා හරියි.

සිංහල රජවරු විසින් සන්නම් වලින් පවරා තිබූ ඉඩම් අයිතිය බ්‍රිතාන්‍යයන් රැජිනගේ ඔටුන්න යටතට පවරා ගත්හ. බ්‍රිතාන්‍යයේ 1925 දේපල පිළිබඳ නීති පනතෙන් සාමාන්‍ය වැසියන්ට සැබෑ පෞද්ගලික ඉඩම් අයිතිය ලැබුණි. පෞද්ගලික නිවාස සඳහා ආයෝජනයට සාමාන්‍ය ලාංකිකයනට අවස්ථාවක් පෑදෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බව දේවප්‍රියගේ ලිපියෙන් කියැවෙයි. නමුත් ලාංකිකයන් ඵලදායී ආයෝජනයක (එනම් කාර්මීකරණයේ) යෙදෙන්නේ නැතැයි කියමින්, ලංකාවේ වාමාංශිකයන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතක් ගෙනෙති. දේවප්‍රිය ඒ 1972 දී ගෙනා ඉඩම් ප්‍රතිසංස්කරණ පනත දේශපාලන සේ ම, ආර්ථික වූ ද අවශ්‍යතාවයක් හැටියට දක්වයි.

මෙහි දී ජේ. කේ. ගැල්බ්‍රෙයිත් නම සඳහන් කරන දේවප්‍රිය ඇමෙරිකානුවාගේ දේශපාලන දැක්ම එන්. එම්. පෙරේරා වෙතින් වෙනස් වූවක් හැටියට සලකයි. ජෝන් කෙනත් ගැල්බ්‍රෙයිත් ඇමරිකන් ලිබරල්වාදියෙක් හෙවත් වාමාංශිකයෙකි. ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් වෙනුවට ලෙනාඩ් වුල්ෆ් වැන්නන් ලැබුණු ලංකාවට 1960 ගණන් වල දී ආර්ථික උපදේශකයෙක් හැටියට ජනාධිපති කෙනඩි යවන්නේ කේන්සියානු අදහස් කරපින්නා ගත් මෙයාව.

පෞද්ගලික දේපල අයිතිය, ඒකීයපුද්ගල නිදහස සහ නීතියේ රීතිය වෙනස්කළ නොහැකි ලෙසින් සියල්ලන්ම සඳහා පිහිටවන ලද්දේ ඇමෙරිකන් ව්‍යවස්ථාවයි. දුප්පත් සංක්‍රමණිකයන් ලෙසින් රටට ගොඩවැදි අය තුරුණු වියේ දී ම ධනකුවේරයන් වෙන්නට සමත් වූ බව ජනතාව දුටුවහ. ඒ නිසා, ගැල්බ්‍රෙයිත් වැනි මාක්ස්වාදීන්ට ‘බුර්ජුවා’ සමාජයක් ගැන කතා කරන්නට හැකියාවක් නැති විය. ඇමෙරිකාවේ පෞද්ගලික දේපල අයිතිය විවේචනයට ඉඩක් නොතිබිණ. ඉතින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ අනවරතයෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵලය යැයි දක්වා ‘පරිභෝජනවාදය’ ඉදිරිපත් කළහ.

මේ පරිභෝජන සංස්කෘතිය රට විනාශ කරනවා යැයි පරණ වාමාංශිකයන් කියද්දී, කේන්සියන් අදහස් කරපින්නා ගත් අර්ථ ශාස්ත්‍ර විද්වතුන් සහ දේශපාලනඥයන් ලැජ්ජා බිය නැතිව පරිභෝජන සංස්කෘතිය දිරිගැන්වූහ. ඉන්පසු එය අනවතරයෙන් එන්නක් සේ හඳුන්වා එය මර්ධනයට රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍ය යැයි කියූහ.

දියුණු රටවල් එසේ දියුණු වූයේ තරඟකාරී වෙළඳපොල නිසා වුවද, ඊට ඉඩදෙන සාම්ප්‍රදායික ආර්ථික න්‍යාය ‘නව කාර්මික රාජ්‍යයක්’ ගොඩනඟන්නට යොදාගත නොහැකි යැයි ගැල්බ්‍රෙයිත් කීය. ‘නව කාර්මික රාජ්‍යය’ යන්නෙන් ගැල්බ්‍රෙයිත් අදහස් කළේ බටහිර පැවති ‘ධනවාදී ආර්ථිකය’ සහ සෝවියට් අධිරාජ්‍යයේ පැවති ‘සමාජවාදී ආර්ථිකයයි’.

මධ්‍යගත සැලසුම් ක්‍රමය, ක්‍රමානුකූලව ලාබ අරමුණ මකා දැමීම, තරඟකාරීත්වයේ කාර්යක්ෂම බව අඩු කිරීම ගැන ලියන පොත් ගණනාවකින් කාර්මික නිෂ්පාදනය සඳහා සමාජීය-ආර්ථික ක්‍රමයක් ගැල්බ්‍රෙයිත් ගෙනෙන ලදි. එයින් කාර්මික සමාජයක් යනු ‘තාක්ෂණික ව්‍යුහයකින්’ පාලනය වෙන පෞද්ගලිකත්වයකින් නොයුතු පද්ධතියක් හැටියට නූගතුන්ට ගිල්ලවන ලදි.

තීරු ලිපිය ලියූ දේවප්‍රිය මේ ඇමෙරිකානුවාගේ දේශපාලන දැක්ම, එන්. එම්. පෙරේරාගේ දැක්මෙන් කොයිතරම් වෙනස් විදියකට දැක ඇත්දැයි පැහැදිලි කර නැත. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ ද, එමැනුඑල් මැක්‍රෝන් සහ මරීන් ල පෙන් අතර ඇති සමානකම් වෙති. එනම් ඒ දෙදෙනා මෙන් මේ දෙදෙනා ද රාජ්‍ය මැදිහත්වීම් තුලින් ආර්ථිකය ගොඩනඟන්නට හැකි යැයි කියන වාමාංශික මුලාවම ගිල සිටිති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: