අරුණි ශපීරෝ‍ වෙතින්

මිකැනික්ස් ඉන්ස්ටියුට්ස්, ගැල්බ්‍රෙයිත් සහ ජේම්ස් පීරිස්

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2017

ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලට ආර්ථික උපදෙස් දෙන්නට ගිය මාක්ස්වාදී ජේ. කේ. ගැල්බ්‍රෙයිත් 2006 දී මිය යද්දී ඔහුට ලෝකය වටෙන් ගෞරව උපාධි 50 ක් පිරිනැමී තිබුණි. ලංකාවේ වැසියන්ට එවැනි ආචාර්ය ගෞරව උපාධි සහ ‘කලාපීය හොඳම මුදල් ඇමති’ වැනි පිදුම්වල ‘රහ’ දැනෙන්නට පටන් ගත්තේ මෑතක දී ය!

පරිභෝජනවාදය විසින් ජීවිතය අරක්ගෙන ඇතැයි මතය ලොවට ඉදිරිපත් කරන්නට ඉසුරුමත් සමාජය (1958) පොතෙන් ගැල්බ්‍රෙයිත් සමත් වෙයි. එයට විසඳුමක් හේ ගෙන එයි. නිෂ්පාදනයෙන් මිනිසාව හසුරවනු ලබන නිසා, දරීද්‍රතාවය හමුවේ පැන නඟින මහජන අපවිත්‍රතාවයෙන් ගොඩ එන්නට නම් මහජන සේවා වැඩි කළ යුතු යැයි හේ කියයි. රජයෙන් බෙදන එම අධ්‍යාපන, සුබසාධන සහ මධ්‍යගත සැලසුම් සඳහා ගෙවන්නටත්, එසේම ‘පරිභෝජනයට ඇබ්බැහිකරන’ නිෂ්පාදනය පාලනය සඳහා නිෂ්පාදනයට බදු ගැසිය යුතු යැයි ද හේ කියයි.

ගැල්බ්‍රෙයිත් ආර්ථික උපදෙස් සැපයූ ආසියානු රටවලට ගිය පසු පරිභෝජනයට ඇබ්බැහි කරනවා තියා රටේ අවශ්‍යතා පිරිමහන නිෂ්පාදනයක් පවා සිද්ධ නොවන බව ඔහුට පිළිගන්නට සිද්ධ වුණි. ඒ හමුවේ ඔහු කියා සිටියේ විදෙස් ණය සහ ආධාර වලින් මධ්‍යම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉතින්, එවැනි වාමාංශික අර්ථ ශාස්ත්‍රඥයන්ගේ උපදෙස් ලබා විදෙස් ණය ආධාර ලබමින්, මාක්ස්වාදී මධ්‍යම සැලසුම් අසාර්ථක වෙද්දී, අපට පර්කින්ස් වැනි අය ලියන ආර්ථික ඝාතකයන් ගැන අහන්නට ලැබේ!

නමුත් ඉතිහාසයෙන් අපිට අහන්නට ලැබෙන්නේ නැත්තේ සාර්ථක වූ ක්‍රමවේද ගැනයි.

ගොවි සහ වෙළඳ පසුබිමක ඇතිදැඩි වූ ඉංග්‍රීසි ජාතික රිචඩ් කොබ්ඩන් සිය මාමා යටතේ මස්ලින් හා කැලිකෝ රෙදි වෙළඳාමෙන් වෘත්තිය පටන් ගත්තෙකි. ඉන්පසු මැන්චෙස්ටර් හි කැලිකෝ රෙදි කම්හලක සම-අයිතිකරුවෙක් හැටියට මහත් ධනයක් උපයාගන්නට හේ සමත් විය.

බ්‍රිතාන්‍යයේ දුප්පත් ජනතාවට විළිවසාගත හැකි පමණින් නොව, මාරුකර අඳින්නට වස්ත්‍ර ලැබෙන්නට පටන් ගත්තේ මේ රෙදි කර්මාන්තකරුවන් හේතුවෙනි. රෙදිවැල් එල්ලෙන්නට පටන් ගන්නේ එතැන් පසුවයි. දිළිඳුබව නිසා පැවති මහජන අපවිත්‍රතාවයකින් ගොඩ එන්නට ලැබුනේ එතැන් සිටයි.

ධනවත් වූ රිචඩ් කොබ්ඩන් කළේ කුමක් ද? සිය කර්මාන්තයේ ආරක්ෂණය සඳහා රදළයන් සහ එක්වී නීති ගෙන ඒම නොවේ. විළිවහගන්න සමත් වූ ජනතාවගේ කුසගිනි නිවාළන්නට කටයුතු කිරීමයි.

නිර්බාධ වෙළඳාම වෙනුවෙන් ඔහු ආරම්භ කළ තිරිඟු-විරෝධී නීති ලීගය එංගලන්තයේ මහත් වෙනසක් සිදු කරන ලද්දකි. සාමය, මැදිහත්-නොවීම, වියදම් අඩු කිරීම සහ නිර්බාධ වෙළඳාමට යළි ඉඩදීම යනාදී මාතෘකා ගැන ‘එංගලන්තය, අයර්ලන්තය සහ ඇමෙරිකාව, මැන්චෙස්ටර් කර්මාන්තකරුවෙක් විසින් ලියයි’ නමින් හේ 1835 දී පත්‍රිකාවක් ප්‍රකාශනය කළේය. 1836 දී ඔහු රුසියාව නමින් ලියන ප්‍රකාශනයෙන්, වානිජ්‍ය කටයුතු ආරක්ෂා කරගන්නට යැයි කියමින් සහ බලය තුලනය කළ යුතු යැයි කියමින් රුසියානු භීතියක් පතුරවමින් දැවැන්ත අවි ආයුධ ගොඩගහන විදේශ ප්‍රතිපත්ති සැකසීම ගැන විරෝධය දැක්වීය.

කොබ්ඩන් පටන්ගත් පළමු සාර්ථක දේශපාලන මෙහෙයුම වූයේ තිරිඟු නීති අහෝසිය සඳහා ජනතාව දැනුවත් කිරීමයි. ආනයන කරන තිරිඟු සඳහා ගෙනෙන ලද බදු නීති වලින් බ්‍රිතාන්‍ය ඉඩම්හිමියන්ව ආරක්ෂා කෙරිණ. ඒ නිසා ධාන්‍ය මිල ගණන් විකෘති වූ ඉහළ මට්ටමකින් තබාගන්නට හැකියාව ලැබිණ. දක්ෂිණාංශයේ රදළ ඉඩම්හිමියන් මේ නීතිවලට පක්ෂ වූහ. නීති නිසා මිල ඉහළ යන හැටි ගැන මහජනතාව සහ උගතුන්ව දැනුවත් කර ජනවිරෝධයක් ගෙනෙන්නට රිචඩ් කොබ්ඩන් සමත් විය.

අනතුරුව, 1860 දී කොබ්ඩන්-ෂෙවැලියර් ගිවිසුම තුලින් ප්‍රංශය විසින් බ්‍රිතාන්‍ය නිමි භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු අඩු කිරීමත්, බ්‍රිතාන්‍ය විසින් ප්‍රංශ වයින් හා බ්‍රැන්ඩි වලට තීරු බදු අඩු කිරීමත් සිද්ධ විය. දෙපැත්තෙන්ම භාණ්ඩ අපනයන දෙගුණයකින් වැඩිවිණ.

බදු පනවනවා වෙනුවට බදු අයින් කිරීමෙන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යන දෙපැත්තම සැබෑ වාසි ලබන බව අනුන්ගේ ජීවිත හසුරවන්නට රුචි වූවන් නොසලකා හරිති. බෙදන්නට දන්නවා කියාගත් දේශපාලකයන් රජ සැප විඳිද්දී නොදැක්කා සේ සිටින ඔවුන් රජයේ මැදිහත්වීම් අඩුකරන්න යැයි යමෙක් කිව්වොත් පමණක් පරල වෙති.

කාර්මික විප්ලවයෙන් බිහිවූ නව දැනුමකින් යුතු (අද අපි සිවිල් සහ මෙකැනිකල් ඉංජිනේරුවන් හැටියට සලකන අය) 18 වැනි සියවස අවසානයේ දී මෙකැනික්ස්ලා නමින් හැඳින්විණ. මේ අයට ක්‍රමවත් දැනුම සපයන්නට මෙන්ම කර්මාන්ත අංශයේ හිඟ පුරප්පාඩු පියවන්නට තරුණ ආධුනිකයන්ව පුහුණු කරගන්නටත් කර්මාන්තකරුවන් විසින්ම යාන්ත්‍රික දැනුම පිළිබඳ අධ්‍යාපන ආයතන ආරම්භ කළහ.

මෙකැනික්ස්ලා සහ කාර්මික ශිල්පීන්ගේ සමාජයක් නිව්යෝර්ක් නගරයේ පටන් ගැනෙන්නේ 1785 දී ය. 1820 දී ඔවුන් නොමිලේ යා හැකි පාසැල් ඇරඹූහ. 1821 දී ස්කොට්ලන්තයේ එඩින්බරා හි නව මැද පංතියේ අයගේ දායකත්වයෙන් වැඩ කරන ජනතාවට යාන්ත්‍රික පුහුණුව ලබා දෙන පළමු ආයතනය පිහිටුවනු ලැබීය. එංගලන්තයේ ලිවර්පුල් හි එවැන්නක් ඇරඹෙන්නේ 1823 දී ය. 19 වැනි සියවස මැද කාලය වෙද්දී එක්සත් රාජධානිය තුල එවැනි ආයතන 700 කට වඩා පැතිර පැවතිණ. පසු කාලයක දී මේවා වෙනත් විද්‍යාල සහ විශ්ව විද්‍යාල බවට ද පත්විය.

රැකියාවල නියුතු සුළු ශිල්පීන්ට පුස්තකාල ගාස්තු දරාගත නොහැකි වූ නිසා සමාජ සත්කාර සමිති මේ ‘යාන්ත්‍රික ආයතන’ පටන් ගත්තේ සුළු කුලියකට වෘත්තීය සහ දිරිගැන්වීම් රැගත් කියවන්නට දැය ඉදිරිපත් කිරීමෙනි. ඒ පුස්තකාල ජනප්‍රිය වෙද්දී ඒවාට ප්‍රබන්ධ-නොවන වෙනත් කෘති සහ ප්‍රබන්ධ ද එකතු කෙරිණ.

පෞද්ගලික අංශයෙන් මේ මෙකැනික්ස් පුස්තකාල ක්‍රමය දශකයක් හෝ දෙකක් පමණක් පැවතිණ. කුලියක් නොමැතිව පොත් ලැබෙන 1850 මහජන පුස්තකාල පනත සම්මතවීමත් සමඟ ඒවා නැති වී ගියහ.

එංගලන්තයේ අධ්‍යාපන ලබා එන ජේම්ස් පීරිස් ලංකාවේ නීතීඥ සභාවට එකතු වෙන්නේ 1887 දී ය. බ්‍රිතාන්‍ය ලංකාව පනවන ලද වී බද්ද ඒ නීතීඥ ගොවියාගේ ගමන වෙනස් මගකට හැරවීය. වී බද්ද ඵලදාව අනුව ගෙවන ලද්දකි. නියමිත මුදලින් ගෙවිය යුතු යැයි පනත නියම කරන ලදි. අස්වනු නරක් වූ හෝ අඩු ඵලදාවෙන් යුතු කාලයන් හි ගෙවිය යුතු බද්ද වෙනස් නොවිණ. ගෙවා ගන්නට නොහැකි වූ දහස් ගණනක ගොවියන් ණයකාරයන් වූහ. බදු නොගෙව්වා යැයි ගොවි ඉඩම් රාජ සන්තක විය.

ජේම්ස් පීරිස් විසින් මේ වී බද්ද ගැන වාර්තා කොබ්ඩන් සමාජයට යවන ලදි. 1893 දී ඒ බද්ද අහෝසි විණ.

දිළිඳුකමට සහ ඒ නිසා පවතින අපිරිසිදුකමට වැඩියෙන් හේතු වනුයේ නූගත්කම යැයි තරයේ විශ්වාස කළ ලංකාවේ පීරිස් හා එකතුවෙන උගත් හා ධනවත් අය සිය වගකීමක් හැටියට සමාජ සේවය සඳහා යොමු වූහ. 1915 ජනවාරි 29 වැනිදා කොටුවේ පුස්තකාලයේ දී Ceylon Social Service League හි පළමු මහ රැස්වීම පැවතිණ. ඔවුන්ගේ අරමුණු වූයේ:
(1) මහජනතාවට අධ්‍යාපනය
(2) කාර්මික අධ්‍යාපන
(3) සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂාව
(4) වෛද්‍ය සහන සේවා
(5) පුද්ගලයාගේ ආර්ථිකය දියුණුව යනාදිය සැපයීමටයි.

කොටුවේ පුස්තකාලයේ සමාජ දැනුවත් කරන පංති උගන්වන්නට පීරිස් විසින්ම පටන් ගත්තේය. පාසැල් වියේ දරුවන් පන්දහසකට කාර්මික පුහුණුව ලබාදෙන ලදි. වෘත්තිකයන් 50 දෙනෙකු සඳහා රෑ පාසැලක් පටන් ගන්නා ලදි.

පෙබරවාරියේ දී පීරිස් මහත්මිය දවස් දෙකක් පැවති බසාර් එකක් සංවිධානය කර එයින් රුපියල් 13,001.67 ක් ද, ඊ ළඟ දවස් 4 ඇතුලත තවත් රුපියල් 7,000 ක් පරිත්‍යාග වශයෙන් ද ලබාගන්නට සමත්වූවාය. කොළඹ ඩීන්ස් පාරේ අක්කර බාගයක රුපියල් විසිදාහක ගොඩනැඟිල්ලක් සහ තවත් ගොඩනැඟිලි ඉදිකරන්නට සංගමය සමත් වූහ.

ඒ සුබසාධන මධ්‍යස්ථානවල දිළිඳු අතදරුවන්ට ආහාර සැපයිණ. මහජන සෞඛ්‍ය ප්‍රදර්ශන පැවැත්වූහ.

එහෙත් 1915 මැයි 29 දා කොළඹ හටගත් උද්ඝෝෂණ නිසා රටපුරා මහජන රැස්වීම් තහනම් කිරීමෙන් මේ සංගමයේ කටයුතු ඇණහිටියේය.

මෑත ලංකාවේ පවා කාර්මික ක්ෂේත්‍රයට පිවිසෙන්නට උවමනා වූ ආධුනිකයන්ට තාක්ෂණික පුහුණුව ලබාදුන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සිටිය බව මේ බ්ලොග් ලියන්න පටන් ගත් නිසාම මම දැනගතිමි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. sach said, on මැයි 27, 2017 at 5:28 පෙ.ව.

    අරුණි, ගෝඨාභය ගැන හිතන්නේ මොකක්ද?

    • arunishapiro said, on මැයි 29, 2017 at 2:46 ප.ව.

      sach,

      ගෝඨාභය ගැන කියලා අහන්නේ ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගැන ද? එයා ගැන හිතන්න මට කිසිම උවමනාවක් නැහැ 😀 සමහර විට ඔබ අහන්නෙ වෙන ප්‍රශ්නයක් වෙන්නැති!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: