අරුණි ශපීරෝ‍ වෙතින්

වැඩකරන ජනතාවගේ ආඥාදායකත්වයේ යකඩ හස්තය

Posted in Uncategorized by arunishapiro on මැයි 12, 2017

කොපමණ බලවත් වූවත්, රටක පාලනය බලය අල්ලා ගත්තෙකුට තනිකර ප්‍රචණ්ඩ බලයෙන් පමණක් රටවැසියන් ආණ්ඩු කළ නොහැකියි. ඉතා විශාල මන්ත්‍රී මණ්ඩලයකින් යුතු ලංකාව වැනි රටක වුවත්, රටවැසියන් ප්‍රචණ්ඩත්වයෙන් පාලනය කරන්නට සිද්ධ වේ නම්, ඒ සඳහා මහජනතාවට සමානුපාතිකව දේශපාලකයන් සිටිනුයේ ස්වල්පයකි.

රජයේ බලාත්කරය නීත්‍යානුකූල කරන්නට දේශපාලන දැක්ම අවශ්‍යයයි. එය නොමැතිව සූරාකෑමට ලක්වෙන අයව එය ඔවුන්ගේම යහපත පිණිස කරන වැඩක් යැයි හඟිස්සවන්නට නොහැකියි. ඉතින් යකඩ හස්තය විල්ලුද අත්වැසුමකින් වැසිය යුතුයි.

බදු එකතුකරන්නා ත්‍රාසග්‍රහණයෙන් මුදල් පැහැර ගන්නෙක් නොවන්නේ සහ පොලිස් නිලධාරියා මදාවියෙක් නොවන්නේ, ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයට අවසර ලැබෙන බලය නීත්‍යානුකූල යැයි ජනතාව පිළිගත් විට පමණි.

ඕනෑම සමාජයක සාමය සහ ක්‍රමවත් බවක් පැතිර පවතින්නට නම්, එක හා සමාන වූ ලෙසින් ක්‍රියාත්මක වෙන, කිසිවෙකුටත් අඩු වැඩි වාසි නැති නීති පද්ධතියක් අවශ්‍යයයි. බටහිර නීති ඉතිහාසය විමසද්දී උත්සාහයන් සහ වැරදීම් වලින්, තරඟකාරී වූ උසාවි පද්ධති වලින්, ප්‍රශ්න නිරාකරණය කළ පල්ලි පංසල්, මැදිහත් සමාධානය කරන රාජ්‍ය නොවන ආයතන, යනාදියෙන් බොහෝ දුරට සමාජයේ බහුතරය කැමැත්තෙන් එකඟ වෙන නීති පද්ධතියකට පිවිසි බව පෙනේ.

‘රජයක් විසින් ගෙනෙන නීතියේ රීතියක්’ ලොව නැත. ව්‍යවසායකත්වයේ තීන්දු සෑම විටම පාක්ෂික වූ ද, ඒවා ඉදිරිපත් කරන අයගේ ඇජෙන්ඩාවකට සමපාත වූ ද, රජයේ ඒකාධිකාර බලයෙන් සමාජයට අනුගමනය කරන්නට සිද්ධ වෙනවා වූ ද, වෙති.

මෙතෙක් ලෝකයේ සෑම කොමියුනිස්ට් උත්සාහයක්ම සුළු පිරිසක් මෙහෙයවන ප්‍රචණ්ඩත්වයෙන් ගෙනෙන ලද්දක් මිසෙක මහජනතාව කැමැත්තෙන් පිළිගත්තක් නොවේ. එසේම මේ උත්සාහයන් ජනතාවට ගිල්ලවන ලද නායකත්වය තුල ‘වැඩ කරන ජනතාව’ නියෝජනය වෙන්නේ ඉතා කලාතුරකින්. බහුතරය රෝහණ විජේවීර වැනි රුසියාවෙන් වෛද්‍ය උපාධි හදාරන්නට තරම් වරප්‍රසාද ලත් අයයි!

යාන්තමින් හෝ බලය අල්ලා ගන්නට සමත් වූ සැණින් මේ අය අනුන් වෙනුවෙන් නීති හදා ඒවා නීත්‍යානුකූල බවකින් තම පාක්ෂිකයන්ට ගිල්ලවන්නට සමත් වූහ. අපිට මෙය මුලින්ම දකින්නට ලැබෙන්නේ 1917 නොවැම්බර් 21 වැනිදා ලෙනින් ගෙනෙන නියෝගයෙන්. උසාවි, නීතීඥ වෘත්තිය සහ නීති සභාව අහෝසි කර දැමීමෙන් හිතුමතය අනුව අත්අඩංගුවට පත්නොවීම සඳහා එතෙක් රුසියාවේ පැවති මහජනතාවගේ ආරක්ෂාව ඉවත් කරන ලදි. අනතුරුව බොල්ෂෙවික් පක්ෂයේ ‘නීති’ ක්‍රියාත්මක කරන්නට චෙකා නමින් රහස් පොලිස් බලකායක් නිර්මාණය කරන ලදි. ඒත් චෙකා අතින් චොප්ප කිරීමෙන් පමණක් රට ආණ්ඩු කරන්නට නොහැකි නිසා මේවා ‘නීත්‍යානුකූල’ කරවන්නට අවශ්‍ය විණ. ඒ සඳහා යොදාගත් දේශපාලන දැක්ම වූයේ මහජනතාවගේ කැමැත්තට එරෙහි වූ ‘බුර්ජුවා’ අය පමණයි යුක්තිය පසඳලන්නට උසාවි හොයන්නේ යැයි කියා සිටීමයි. එනම් උසාවි හොයා යන අය ‘ජනතාවගේ හතුරන්’ යැයි හැඳින්විණ.

නීතිය යනු සමාජයක් ආණ්ඩු කරන්නට සහ එහි විනය සඳහා වූ පැත්තක් නොගත් රීති සමූහයක් නොවේ. එය තුවක්කුවක් රැගත් මතියකි. පාලන බලය අල්ලා ගන්නා අයට කැමති නීතියක් ගෙන එන්නට හැකියි. එය ක්‍රියාවට නංවන්නට බහුතරය ගිලින දැක්මක් ද, විරෝධය මර්ධනය පිණිස ප්‍රචණ්ඩ බලකායක් ද, අවශ්‍ය වේ.

දේශපාලනයෙන් ගෙනෙන ව්‍යවස්ථාදායක නීතිය ලොව බිහිවෙන්නට පෙර වූයේ සම්ප්‍රදායෙන් ලැබුණ නීති වූහ. ඒවා විමධ්‍යගත වූහ. වෝහාර/බැවහර නීතිය යැයි හැඳින්වෙන ව්‍යවහාරයේ පැවති නීති වලට රජවරුන් ද යටත් වූහ. උදාහරණයක් හැටියට රජ පවුලකින් පමණක් විවාහ කරගන්නට පැවති සම්මත නීතිය රජුට පවා වෙනස් කළ නොහැකි විය. සාමාන්‍ය රටවැසියෙක් හා සරණ යන්නට නම් රජකම අත්හරින්නට සිද්ධ විණ. මධ්‍යගත සැලසුම් ක්‍රමයෙන් ආණ්ඩුවකට ලැබෙන ඒකාධිකාරී බලය එහි දී නොමැති විය. ජනතාවගේ පාලනයෙන් යුතු ආණ්ඩු ක්‍රමයක් ලොවට දායාද කළ ඇමෙරිකාව මේ විනාශකාරී ලක්ෂණය කල්තියා දුටු හෙයින් වෙනස් කළ නොහැකි මිනිස් අයිතීන් සහ බලය බෙදී පවතින ලෙසකින් වූ රාජ්‍ය ව්‍යවස්ථාවක් හැදූහ.

රාජ්‍ය බලය යොදාගෙන ලොව පැතිර ගිය කොමියුනිස්ට් භීෂණ පාලනය පටන් ගැනෙන්නේ 1917 නොවැම්බරයේ බොල්ෂෙවික්ස් විසින් තමන්ව ‘කොමියුනිස්ට්’ යැයි හඳුන්වා ගැනීමෙනි. විවිධ කල්ලි වලට බෙදී තැන් තැන්වල කළ දාමරික ක්‍රියා සහ කුඩා පිරිස් ඝාතනය ආණ්ඩු ක්‍රමයක් යටතේ සම්පූර්ණ බලයකින් යුතු ප්‍රථුජන සංහාර එතැන් සිට ලොව පටන් ගැනිණ.

සද්භාවී කතිකාවේ සහ ඵෛතිහාසික විමර්ශනයේ දී කොමියුනිස්ට් අපරාධ ගැන අහන්නට ලැබෙන්නේ යාන්තමටය. කතිකාව පටන් ගනිද්දීම යුරෝපීය ආක්‍රමණ සහ අධිරාජ්‍යවාදය ගැනත්, ඇමෙරිකාව විසින් ස්වදේශීන්ව බටහිරට පළවා යැවීම ගැනත්, වහල් ක්‍රමය ගැනත්, කතාබහෙන් කොමියුනිස්ට් අපරාධ පිළිබඳ සංවාදයක් ඇතිවීම වහාම යටපත් කරනු ලබයි. ස්ටාලින් විසින් මැරූ සංඛ්‍යාව ජෝර්ජ් බුෂ් පුතා විසින් මරණ ලද සංඛ්‍යාවට වඩා අඩු යැයි ඇමෙරිකන් තරුණ පිරිස් විශ්වාස කරන බව මෑතක දී පළ වූ ප්‍රවෘත්තියකි. එය පුදුමයක් නොවේ. පහසුවෙන් සොයා ගත හැකි තොරතුරු වලට වඩා මේ අයගේ සිත් ඇදී යන්නේ වැරදි ඇඟවීමක් සමඟ මූලාශ්‍රයක් නොදක්වා පෙන්වන ඡායාරූපයක් විශ්වාසයටයි.

අප පිවිස සිටින්නේ තොරතුරු යුගයට යැයි කියැවේ. සාර්ථකවීම කෙසේ වෙතත් ජීවිතයේ ආරක්ෂාවට අවශ්‍ය තොරතුරු පවා මොනවාදැයි කියා හෝ නොදන්නේ නම්, එවැනි ජීවිතයකට කුමක් සිද්ධ වේ ද?

පහුගිය දවසක ඇමෙරිකන් ස්වදේශීන්ගේ උත්සවයක් නරඹද්දී ෆේස්බුක් මාර්ගයෙන් බෙදාගත් ඡායාරූප නිසා ඒ ගැන සටහනක් ලියන්න යැයි ආරාධනා කිහිපයක්ම ලැබුණි. සංචාරක ගමන් ඇතුළු වෙනත් කාලීන මාතෘකා යටතේ ලියන්නට යැයි ඇරයුම් ද ලැබේ. කොමියුනිස්ට්/සමාජවාදී ක්‍රමයට කිසිම රටක බහුතරයේ කැමැත්ත නැති වුවත් රටේ පාලන බලය අල්ලාගන්නට එම දැක්ම ඇති කල්ලියක හැකියාව කිසිවිටෙක අවතක්සේරු කළ නොයුතුයි. එවැනි අවස්ථාවක දී ධනවත් අය වහාම පිටරටවලට යති. දුක් විඳිනුයේ ඔවුන් බේරාගන්නවා යැයි කියන සාමාන්‍ය මහජනතාවම වෙති. සිංහලෙන් ලියැවී නැති මේ කොමියුනිස්ට් ඉතිහාසය සටහන් තබන්නට දැනුවත් හෝ නිර්භීත වූවෙක් එනතෙක් බලා සිටිය නොහැකි බැවින් මේ සටහන් මම මට හැකි පමණින් එකතු කරමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: