අරුණි ශපීරෝ‍ වෙතින්

චෙකා අතින් චොප්ප වීම

Posted in Uncategorized by arunishapiro on මැයි 14, 2017

රුසියාවේ පොදු ජනතාව වෙනසක් ඉල්ලා සිටිය දී, බොර දියේ මාළු බාගන්නට සමත් වූ බොල්ෂෙවික්ස් තාවකාලික පාලනය සංකීර්ණ වූවකි. මහජනයා හමුවේ “සෝවියට් බලය” පෙන්වීම මධ්‍යම විධායක කමිටුව තුලින් නියෝජනය විය. ආණ්ඩුවේ නීති සම්පාදනය කළ ‘ජනතා කොමිස්සාර්වරුන්ගේ සෝවියට් කවුන්සිලය’ (SNK) දේශීය සහ ජාත්‍යන්තර නීත්‍යානුකූල බව සහ පිළිගැනීම ලබාගන්නට වෙහෙසුණහ.

බලය අල්ලා ගන්නට ප්‍රධාන වූ විප්ලවීය සංවිධානය වූයේ පසුව චෙකා නමින් හැඳින්වෙන එවක දී පෙට්‍රොගෑඩයේ විප්ලවීය මිලිටරි කමිටුව (PMRC) යැයි හැඳින්වෙන ලද්දයි. මෙහි ප්‍රධානියා වූ Feliks Dzerzhinsky නැමැත්තා මෙසේ කීය: “මොහොතකින් ක්‍රියාවට නැංවිය හැකි ව්‍යුහයකින් යුතු නම්‍ය හා සැහැල්ලු මෙය කිසිම රාජ්‍ය අධිකාරි බලයක බලපෑමකින් තොර වූවකි. ප්‍රතිවාදියා චොප්ප කරන්න අවශ්‍ය වූ අවස්ථාවක මෙම ජනතා ආඥාදායකත්වයේ මිට මොළවාගත් යකඩ හස්තයට කිසිත් සීමා පැනවී නොතිබිණ.” පරණ ක්‍රමය බිඳහෙලන්නට බොල්ෂෙවික්ස්ට පමණක් ප්‍රමාණවත් පිරිසක් නොමැති බව පැහැදිලි කරන ඔහු ඕපපාතිකව හටගෙන තිබෙන මහජනතාවගේ විප්ලවීය සටන්වලට ඉඩදිය යුතු යැයි ද, අනතුරුව බොල්ෂෙවික්ස් විසින් යා යුතු මාර්ගය කුමක්දැයි පෙන්වන්නම් යැයි ද කීය.

ඕපපාතික මිනිස් ක්‍රියාවන් සමාජයට අහිතකර යැයි කියූ බොල්ෂෙවික්ස් එසේ එයම සිය බලය අල්ලා ගැනීමට පාවිච්චි කළහ.

චෙකා යැයි පසුව හැඳින්වෙන මෙම රහස් පොලීසියට ‘ජනතා ආඥාදායකත්වයේ මිට මොළවාගත් යකඩ හස්තය’ යැයි නම වැටිණ. PMRC යේ නිලධාරීන් 60 ක් වූහ. ඉන් 48 ක් බොල්ෂෙවික්ස් වූ අතර ඉතිරිය බොහෝ වශයෙන් සමාජවාදී විප්ලවවාදීන් ද, අල්පයක් සමාජවාදී ආරාජිකයන් ද වූහ. එහි රූපික සභාපති වූයේ සමාජවාදී විප්ලවවාදීන් නියෝජනය කළ ඇලෙක්සැන්ඩර් ලැසිමියර් නැමැත්තාය. එහි දින 53 ක පැවැත්ම තුල දී ආඥා 6,000 ක් ලියැවුණි. පරණ කුඩා කඩදාසි කැබලි වල සභාපති සහ ලේකම් යැයි හඳුන්වාගත් විසිදෙනෙකු මේ ආඥා අත්සන් කළහ.

ජනතා කොමිස්සාර්වරුන් (SNK) දහසකින් පමණ යුතු ජාලය හසුරුවන ලද්දේ ද මේ PMRC මාර්ගයෙනි. බොල්ෂෙවික්ස් මධ්‍යම කමිටුවෙන් සහ ආණ්ඩුවෙන් ස්වාධීනව තීන්දු ගත් මේ කොමිස්සාර්වරුන් වගකිව යුතු වූයේ PMRC ට පමණි.

1900 ගණන් මුල දී සිට රුසියාවේ කම්හල් කම්කරුවන්ට බෙදන ලද්දේ විවිධාකාර සමාජවාදී අදහස් පමණකි. ඒ නිසා රටේ බලය අල්ලාගත් විවිධ සමාජවාදී පිරිස් අතර බල අරගලය උග්‍ර විය. PMRC යටතේ කොමිස්සාර්වරුන් ප්‍රතිවිප්ලවකරුවන් මර්ධනය පටන් ගත්හ. පෙට්‍රොගෑඩයේ වූ බුර්ජුවා සහ මධ්‍යස්ථ සමාජවාදී යැයි සැලකුණ ප්‍රධාන පුවත්පත් ආයතන වසා දැමිණ. රේඩියෝ සහ ටෙලිග්‍රාෆ් සංනිවේදන ස්ථාන අල්ලා ගත්හ. නගරයේ පුද්ගලික අයිතියෙන් යුතු වූ තට්ටු නිවාස සහ වාහන ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා ‘රාජ සන්තක’ කළහ.

‘ජනතාවගේ හතුරන්’ යන වහර PMRC හි ප්‍රකාශනයකින් ඉදිරිපත් විය. බැංකු, භාණ්ඩාගාර, දුම්රිය මාර්ග, තැපැල් හා ටෙලිග්‍රාෆ් සේවා යනාදී සියල්ලේ සහ රාජ්‍ය පරිපාලනයේ වූ ඉහළ තනතුරු දැරූ නිලධාරීන් අතරින් ‘ජනතාවගේ හතුරන්’ යැයි හඳුන්වන ලද අයගේ නම් ලැයිස්තු වසා නොදැමූ පුවත්පත් වලින් නිවේදනය කෙරිණ. ඒ නම් ලැයිස්තු මහජන ස්ථාන වල අලවන ලදි.

ඊට දින කිහිපයකට පසුව තවත් නිවේදනයක් කෙරිණ. කඩාකප්පල් ක්‍රියා, වෙළඳපොල සමපේක්ෂණ කරනවුන්, සහ අවස්ථාවාදීන් යනු මේ ජනතාවගේ හතුරන් යැයි දන්වා ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන ක්‍රොන්ස්ටාඩ් සිරගෙවල් වලට යැවීම නියම විය.

‘ජනතාවගේ හතුරන්’ සහ ‘සැකකරුවන්’ යන හැඳින්වීම් රුසියාවේ මහජනතාවගේ මරණය කැඳවන්නට සමත් වූහ. ලෙනින් විසින් අත්සන් තැබූ ආඥාවකින් පක්ෂය පිරී ඇති ජනතාවගේ හතුරන්ව වහාම විප්ලවීය උසාවිය ඉදිරියට ගෙන ආ යුතු යැයි කියැවිණ. පරණ උසාවි ක්‍රම අහෝසි කර ඇති බැවින් නව නීති පනත් ගෙනෙන තෙක් ‘විප්ලවීය ක්‍රමයට සහ එහි නීතියට අනුකූලව’ තීන්දු දිය යුතු යැයි ප්‍රකාශ කෙරිණ.

එම අපහැදිලි ප්‍රකාශයෙන් වූයේ විවිධ පක්ෂ අතර බල අරගලය තවත් තීව්‍ර වීමයි. ඒ අස්සේ පරණ පුද්ගලික කෝන්තර පිරිමහ ගැනීම, ප්‍රතිවාදීන් මරුමුවට පත්කිරීම පමණක් නොව බලයේ ඉන්නට නම් බලය පෙන්විය යුතු යැයි සිතමින් හිතුමතයේ මරා දැමීම රට පුරා හැම අත පැතිර ගියේය. උදාහරණයක් හැටියට 1918 මාර්තු මුල දී දේශපාලනඥයන්, නීතීඥයන්, පුවත්පත් කලාවේදීන්, ගුරුවරු සහ රජයේ සේවකයන් යනාදී වූ 240 ක පිරිසක් යාල්ටා හි මරා දැමිණ. ඔවුන් ජනතාවගේ හතුරන් වූයේ කෙසේදැයි කිසිවෙක් පැහැදිලි නොකළහ.

මෙය 1917 ඔක්තෝබර් විප්ලවයෙන් හටගත්තා වූ අනපේක්ෂිත ප්‍රතිඵලයක් නොවේ. ලෙනින් එය ‘සාධාරණ සිවිල් යුද්ධයක්’ යැයි හැඳින්වීය. පොදු ජනතාව අතර ‘සමාජ පළිගැනීම්’ සද්භාවී වූවක් හැටියට බොල්ෂෙවික්ස් නායකයන් ජනතාව දිරිමත් කළහ. පාලන බලය බොල්ෂෙවික්ස් පක්ෂයට අල්ලා ගැනීම සඳහා ඔවුන් ජනතාව ලවාම උනුන් එකිනෙකාව මරාගන්නට උල්පන්දම් දුන්හ.

1917 දෙසැම්බරයේ චෙකා හි වැඩ කළේ සියයක් වැනි සංඛ්‍යාවකි. මාස හයක් යද්දී එහි සේවය කළ සංඛ්‍යාව 12,000 ක් වූහ. එහි දී Dzerzhinzky ලෙනින්ට ලිපියක් යවමින් අපි දිවා රෑ සේවය කරන්නේ පාන්, සීනි, තේ, බටර් හෝ චීස් නැතිව. අපිට ආහාර සලාක සපයන්නට වහාම පියවර ගන්න. නැත්නම් ඒවා බුර්ජුවාසියෙන් ලබාගන්නට අපිට අවසර දෙන්න යැයි කියා සිටියේය. තමන්ව මරන්නට එන අයට සපයන්නට ආහාර නිෂ්පාදනය කළ අය රටේ හිඟ වූ බැවින් ඉතින් ඊ ළඟට සිද්ධ වූයේ තම පරිහරණය සඳහා එකතු කරගත් ආහාර ඔවුන් ‘ජනතාවගේ හතුරන්’ යැයි හඳුන්වා ඔවුන් වෙතින් බලහත්කාරයෙන් උදුරා ගැනීම ඇරඹීමයි.

විප්ලවීය සමාජවාදී පක්ෂයේ වූ අයිසැක් ස්ටයින්බර්ග් එකළ අධිකරණ කොමිස්සාර් ලෙසින් පත්ව සිටියේය. චෙකා රහස් පොලීසියේ ක්‍රියාකලාපය නිසා එහි නීත්‍යානුකූල බව ගැන හේ ලෙනින් විමසීය:

“ජනතාවගේ අධිකරණ කොමිස්සාරියක් පැවතීමේ අරමුණ කුමක් ද? ඊට වඩා හොඳයි සමාජය සම්පූර්ණයෙන් විනාශය කරන ජනතා කොමිස්සාරියක් තිබුණ නම්. එතකොට ඒක මිනිස්සුන්ට වටහාගන්න වැඩියෙන් පහසු වේවි.”

“අනගි අදහසක්,” ලෙනින් පිළිතුරු දුනි. “අන්න එහෙම තමයි මාත් දකින්නෙ. කණගාටුයි ඒත් එහෙම හඳුන්වන්න බැරි එක ගැන.”

බොල්ෂෙවික්ස් අය 1917 දී පටන්ගත් කුරිරු මිනිස් ඝාතන සිද්ධ වූයේ මානුෂික අයිතීන් ගැන නොදත් රුසියන් පොදු ජනතාව තමන්ව රැවටූ සමාජවාදී පරාදීසිය විශ්වාස කළ බැවිනි. එයින් වසර පනහකට පමණ පසුව මානුෂික අයිතීන් මොනවාදැයි හරිහැටියට නොහඳුනන ලංකාවේ වැසියන් ද එවැනිම ඉරණමක් අත්විණ. එයින් පසුව ද ලාංකිකයා ඒ මානුෂික අයිතීන් මොනවාදැයි සොයා බලනවා වෙනුවට රජයේ ආරක්ෂාව සෙවීය. ඉතින් තවත් වසර 15 ක් යද්දී නැවතත් කුරිරු මිනිස් ඝාතන සිද්ධ වූ භීෂණ සමයක් උදාවිණ.

සටහන The Black Book of Communism ඇසුරින්.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. chamodmm said, on මැයි 14, 2017 at 9:15 පෙ.ව.

    ගොඩක් ස්තූතියි ලිපියට.රුසියාව ගැන ලියවුණු තවත් ලිපි තියේනම් ඒවායේ ලිපින ලබා දෙන්නට පුළුවන්ද.මම මේ ලිපිවලට සහ ක්ෂේත්‍රයට අළුත් නිසා ගොඩක්ම පැහැදිලි නැහැ.

  2. Transylvania said, on මැයි 14, 2017 at 10:23 පෙ.ව.

    Dzerzhinsky accepted terror as a normal administrative method that ought to be implemented to clean the post-revolutionary society. He used his traumatic prison experiences to impair his victims. He copied many of these torture methods and interrogated suspects.

    Felix Dzerzhinsky publicly stated: We stand for organized terror – this should be frankly admitted. Terror is an absolute necessity during times of revolution. Our aim is to fight against the enemies of the Soviet Government and of the new order of life. We judge quickly. In most cases only a day passes between the apprehension of the criminal and his sentence. When confronted with evidence criminals in almost every case confess; and what argument can have greater weight than a criminal’s own confession?”

    Satter (2013) states that from 1918 to 1919 ten thousand persons were shot on Dzerzhinsky’s orders. After eliminating so called the enemies of the people he had no remorse or any guilt. He gave clear orders to arrest counter revolutionists. Most of these arrests were based on class origin. In 1918 following instructions were issued to Cheka officials: “First you must ask him to what class he belongs, what his social origin is, his education and profession. These are the questions that must determine the fate of the accused. That is the meaning of the Red Terror”

  3. krishramanayaka71 said, on මැයි 15, 2017 at 2:36 පෙ.ව.

    නිලධාරිිවාදය හුදෙක් ලෙනින්ගෙ පසුව නැග අආ එකක් බව කියා ට්‍රොට්ස්කිවාදින් ඇඟ බේ්රා ගත්තද එය ලෙනින්ගෙ ( 1917 ) මුල් කල පටන් බිහිව ආ හැටි දකින්නට පුලුුවන් . මේ් ලිපිිය තුලත් එය මනාව කතාකරනව


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: