අරුණි ශපීරෝ‍ වෙතින්

මතවාදයක කුරිරුබව වටහා ගැනීම නොහැකි මන්ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2017

කුරිරු මතවාදය බෙදා හරින්නේ විචාර බුද්ධිමය හැකියාවක් නොමැති වූවාගේ හිතට සමීප යැයි හැඟෙන අයුරකින්. පහසුවෙන් අවුල් ලිහන්නට බැරි තරමට පටලවා, ප්‍රස්තුතයෙන් නිගමනයට එන අතරමැද බොඳකර, ද්වේශයෙන් පුරවන බස් අතරින් කුරිරු අදහස් ඇතුල් කර පිළිගන්වති. ඒකීය පුද්ගල අයිතියට එරෙහි නම්, ධනවාදය අසාර්ථක යැයි සඳහන් නම්, ඉතිරිය විචාරයෙන් තොරව අතිශය ප්‍රබුද්ධ කියමන් වලින් පිරී ඇතැයි ප්‍රශංසා කරමින් වාමාංශිකයන් බාර ගනිති. එම නිර්මාණය ප්‍රබුද්ධ යැයි ඔවුන් සමඟ එකඟ නොවන අය, ගැඹුරු දර්ශනයක් අවබෝධයට හැකියාව නැති අය ලෙස හෑල්ලු කරති!!!

එකා මෙන් සියල්ලන්ම අනෙකා වෙනුවෙන් කැමැත්තෙන් වෙහෙසන සමාජයක් කරා යන පරමාර්ථය උත්කෘෂ්ට ලෙස පෙනුනාට ඊට හැකියාවක් මිනිස් ස්වභාවයට නැතැයි කියා පෙන්වද්දී, වැඩියෙන් හමුවෙන්නේ “ඔව් ඒක එහෙම වෙන්නැති, ඒත් අපි සමාජවාදයට තමයි කැමති,” කියන අයයි. සමාජවාදය යන විෂය හොඳින් පිරික්සා බලන්නට තරම් ළංවීමට පොදු ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ එහි ඇත්ත දැනගන්නට හැකිවේ යැයි බිය නිසා ද? නැත්නම් එහි කුරිරු පැත්ත අනගි පරමාර්ථ වලින් සඟවන ලද නිසා ද?

අපිට ඇමෙරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය, ඇමෙරිකන් සිවිල් යුද්ධය, පළමු ලෝක යුද්ධය ගැන ගෙතුන අනේක වූ ප්‍රබන්ධ සහ වාර්තා කියවන්නටත් නරඹන්නටත් ලැබේ. නාට්සි ජර්මනිය ගැන සහ වියට්නාම් යුද්ධය ආශ්‍රයෙන් ජර්මන් සහ ඇමෙරිකන් හමුදාවන් ගැන දැනගන්නට ලැබෙන නිර්මාණ මහත් සංඛ්‍යාවකි. කොමියුනිස්ට් සහ සමාජවාදී ආඥාදායකයන් කළ අපරාධ ගැන හැදෙන ප්‍රබන්ධ සහ වාර්තා ලොව නැති තරම් ය. උගෝ චෑවෙස් බලයට එද්දී වෙනිසියුලාවේ උත්කර්ෂවත් අනාගතයට සුබපැතුම් ඇතුලත් ප්‍රවෘත්ති සිංහලෙන් පළවිය. ඒත් වර්තමාන වෙනිසියුලාව ගැන කිසිත් පුවත් වාර්තා නොවේ. ඒ ලංකාව වෙනිසියුලාවේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන බව ජනතාවට වැටහේවි කියා බියෙන් ද?

ඔවුන්ගේම ජනතාවට කරන කුරිරු අපරාධ සඟවනවා මෙන්ම, සඟවන්නට නොහැකි වෙද්දී ඒවා යුක්ති සහගත කරති. 1956 දී නිකිතා කෘෂ්නෙව් විසින් පැවැත්වූ ‘රහසිගත ප්‍රකාශනය’ කොමියුනිස්ට් නායකයෙක් විසින් කොමියුනිස්ට් කෲරත්වය ගැන කළ ලොව ප්‍රථම පිළිගැනීමයි. එහෙත් එහි දී කෘෂ්නෙව් තමන් කළ අපරාධ යුක්ති සහගත යැයි පෙන්වීය. භීෂණයේ ඉහළම අවධියේ යුක්රේන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කෘෂ්නෙව් සියළු අපරාධ ස්ටාලින් පිට පටවා තමා සහ අනිකුත් ස්ටාලින්ගේ හෙංචයියන් කළේ ස්ටාලින්ගේ නියෝග පිළිපැදීම පමණක් යැයි කියූහ.

සමාජවාදයේ නාමයෙන් අපරාධ සිද්ධ වෙද්දී ඒවා ලෝකයට හෙළිකරන්නට ගත් උත්සාහය ක්‍රමානුකූල මර්ධනයට සමාජවාදී ප්‍රජාපීඩකයන් සමත්වූහ. නිදහස් ප්‍රකාශනයට අයිතිය ඉල්ලා කෑ මොර දෙන මාධ්‍යවේදීන් ඒ ප්‍රජාපීඩකයන්ට සහාය වූහ.

1922 සිට 1936 දක්වා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මොස්කව් බියුරෝවේ ප්‍රධානියා ලෙස පත් වී ගිය වෝලටර් ඩුරාන්ටි එවූ වාර්තා සඳහා ඔහුට 1932 දී පුලිට්සර් තෑග්ගක් පවා හිමිවිය. එහෙත් ඔහු යුක්රේනයේ ජනතාව සාගතයට ලක් කර මරා දැමීම ගැන හෝ රුසියාවේ පැතිර තිබූ සාගතය ගැන කිසිදු සඳහනක් නොකළේය. අහිංසක මිනිස් ජීවිත මිලියන 100 ක් පමණ මරා දමන්නට සමත් වූ සමාජවාදී නායකයන්ගේ ප්‍රජාපීඩක ක්‍රියාවන් තවමත් බහුතර ජනතාවක් වෙතින් වසන් කෙරෙයි. 1949 දී ස්ටාලින්ගේ මෙහෙයුම් හෙළි කරන්නට ගිය වික්ටර් ක්‍රව්චෙන්කෝ සිට ඇමෙරිකන් එඩ්වඩ් ස්නෝඩන් හට ද පැවරෙන ‘නඩු’ ඊට උදාහරණ වෙති. ඉතින්, සමාජවාදයේ කුරිරු බව හෙළි කරද්දී පහර එන්නේ ඒවායේ නියැළි ප්‍රජාපීඩකයන් වෙතින් පමණක් නොවේ. කොමියුනිස්ට් සඟරා වලින් ක්‍රැව්චෙන්කෝට පරිභව කරන ලදි. ඇමෙරිකන් සමාජවාදීන් ස්නෝඩන් දේශද්‍රෝහියෙක් හැටියට හංවඩු ගැසූහ. සමාජවාදය කුරිරු යැයි පෙන්වද්දී සමාජවාදයට හිතැති සියළු ගැත්තන් කඩි සේ කුලප්පු වෙති.

1918 ගිම්හානයේ දී රුසියාවේ බොල්ෂෙවික්ස් පාලනයේ පැවති පළාත් හි ප්‍රධාන කැරලි 140 කට ආසන්න සංඛ්‍යාවක් සිද්ධ විය. ආහාර පැහැර ගත් බොල්ෂෙවික්ස් පාලකයන්ට මහජනතාව විරෝධය පෑහ. ඔවුන්ට වෙඩි තබා මර්ධනය කිරීම චෙකාට පමණක් නොහැකි වෙද්දී ඔවුන් ඊ ළඟට කරන්නේ ජනතාව වෙතින් ආහාර උදුරාගනිමින් ඔවුන්ව රතු හමුදාවට බඳවා ගැනීම අනිවාර්ය කිරීමයි. ලෙනින් නියෝගයක් යවන්නේ ආහාර උදුරා ගනිද්දී සහ හුවමාරු තහනම් කඩද්දී විරෝධය දක්වන මිනිසුන්ව වෙඩි තබා මරන්නට කියායි. අමු අමුවේ මිනිස්සු මරන්නට හැකි දැඩි සිත් ඇති මිනිස්සු සොයා ගන්න කියායි. උදාහරණයක් හැටියට 1918 ජූලි 24 සිට 28 දක්වා දින පහ තුල දී Yaroslavl හි විශේෂ සෙවීම් කමිටුවකින් තීන්දු වී මිනිස් ජීවිත 428 ක් එසේ වෙඩි තබා මරා දමන ලදි.

ඒ 1918 සැප්තැම්බර් 3 වැනි රතු භීෂණය පටන් ගන්නටත් පෙර. ලෙනින් සහ Dzerzhinsky විසින් ඒ ඒ පළාත් වලට පත් වූ චෙකා රහස් පොලීසියේ අයටත්, පක්ෂ නායකයන්ටත් යැවූ ටෙලිග්‍රෑම් වලින් කියා සිටියේ දරුණු ‘වසංගතයක් මර්ධනය’ කරන ලෙසින් පියවර ගන්නට යැයි කියායි.

1918 අගෝස්තු 9 වැනිදා ලෙනින් ලියන නියෝගයකින් දේශපාලන සිරකරුවන් රඳවන කඳවුරු ඇරඹිණ. ඒවා ඉල්ලා සිටියේ ට්‍රොට්ස්කි සහ Dzerzhinsky විසිනි.

අහා කුමන පුදුමයක් ද? ඒවාට පළමුවෙන් යවන ලද්දේ ‘සැක කටයුතු’ යැයි හඳුන්වන ලද විරුද්ධ පක්ෂ නායකයන්වයි!!! යූරි මාර්ටොව්, ෆෙඩොර් ඩෑන්, ඇලෙක්සැන්ඩර් පොට්‍රෙසොව්, සහ මිකායෙල් ගොල්ඩ්මන් නම් වූ මෙන්ෂවික් පක්ෂයේ ප්‍රධාන නායකයන්ව එසේ රැඳවුම් කඳවුරු වලට ගාල් කරන්නට 1918 අගෝස්තු 15 වැනිදා ලෙනින් සහ Dzerzhinsky එකතුව අත්සන් තැබූහ.

බලය අල්ලා ගන්නා සමාජවාදියාට, සමාජවාදයෙ විවිධාකාර බෙදීම් ගැන නිදහස දීමට කිසිත් උවමනාවක් නැති බව එතැන් පටන් මේ දක්වා සියළු සමාජවාදී අරගල වලින් පෙනී යයි. පංති සටනක දී කළින් ලියා ඇති රටේ නීති අදාල නැතැයි කියමින් ඔවුන් මුලින්ම මරා දමන්නේ තමන්ගේම අදහස් ඇති ප්‍රතිවාදීන්වයි.

“වැඩ කරන ජනතාවට කරන ඇයදීමක්” නමින් Dzerzhinsky සහ ඔහුගේ සහායක ජැන් පීටර්ස් අගෝස්තු 31 වැනිදා නිවේදනයක් නිකුත් කරති. තහනම් කරන ලද ගිනි අවියක් ළඟ තබාගෙන අසුවුනොත් ක්ෂණිකව වෙඩි තබා මරා දමන බව එයින් “වැඩ කරන ජනතාවගේ හතුරන්ට” දන්වති. සෝවියට් රෙජිමය ගැන කටකතා පතුරුවා හරින ඕනෑම අයෙක්ව ක්ෂණිකව දේශපාලන සිර කඳවුරු වලට පිටමං කරනවා යැයි දන්වති.

රතු භීෂණය ඕපපාතිකව හටගත්තක් නොවේ. ප්‍රතිවාදීන් ක්ෂණිකව අත් අඩංගුවට ගෙන රජයේ නිලධාරීන් සහ බුර්ජුවාසියේ හැකි තරම් පිරිසක් මරුමුවට පත් කිරීම ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය විය. යාන්තමින් හෝ බාධා කළහොත් පුළුල් ලෙසින් වෙඩි තැබීම් කළ යුතු බවට ඔවුන් ටෙලිග්‍රෑම් යැවූහ. කුරිරු ලෙසින් මරා දමන්නට අදිමදි කරන අයව ජනතාවගේ කොමිසරියාට් හි පැවති අංශයට වාර්තා කළ යුතු විය. මන්ද, ඒ මහා රතු සංහාර වකවාණුවේ දුර්වල හෝ දෙගිඩියාවට ඉඩක් නොලැබිණ. “ඔබ මැරුවේ නැත්නම්, ඔබ මිය යනු ඇත. ඔබ මරුමුවට පත්වෙන්නට කැමති නැත්නම් ඉතින් මරන්න!” ඒ බොල්ෂෙවික්ස් පාක්ෂිකයන්ට ලැබුණු අණ විය.

මේ කුරිරු මතවාදය වෙනුවෙන්ම අදත් පෙනී සිටින ‘අලුත් වම’ යැයි කියා ගත්තවුන්ගේ අදහස් හෙළිකරන පොතේ කවරය මේ සටහනට ඇතුලත් කරමි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on මැයි 15, 2017 at 11:53 ප.ව.

    වැඩිම කුහක කම් ඊර්‍ෂ්‍යාවන් වලින් කුඩුකේඩු කමින් පෙලෙන මිනිසුන් ඉන්නෙ ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි ? මේ සඳහා යම් හේතු කාරකයන් තිබෙනවාද ? සහෝදරයා කියා කටපුරා කතා කලාට ව්‍යාපාරය අත් හැර ගියොත් සහෝදරයා කියා කටපුරා කියූ එකා ද්‍රෝහියෙකි. හැකිනම් ඌට පිහියක් බැස්සීමට හෝ ගල්කටස් පාරක් දීමට වමේ අයියලා පසුබට නොවේ. මත්පැන් නොබොන , දුම් නොබොන යූඑන්පී කාරයා , ශ්‍රී ලංකා කාරයා ලඟ නැති විනයක් පෙන්වන මේ වම්මුන් හිටි හැටියේම අන්ධව තිරිසනුන් වගේ මහා වයිරයකින් දේශපාලනිකව ගනුදෙනු කර ගන්නේ ඇයි? ඩාස් කැපිටාල් ගැන , හතරවන ජාත්‍යන්තර ගැන කතා කලාට පොඩ්ඩ ගැස්සෙන කොට ලේ සුවඳම සොයන්නේ ඇයි ?

    • arunishapiro said, on මැයි 16, 2017 at 9:53 පෙ.ව.

      Transylvania,

      ඊර්ෂ්‍යාවෙන් පිරුණ කුහක කුඩුකේඩු මිනිස්සු වමට හේත්තු වෙන්නෙ තමන්ගේ උරුමයක් වෙනකෙක් උදුරා ගන්න ක්‍රමයක තමන් ජීවත්වෙනවා යැයි තදින් විශ්වාස කරන නිසයි. එය ඔවුන්ට ලැබුනේ එඩ්මන්ඩ් හසරල්, මාටින් හයිඩෙගර්, හෙගල් යනාදී ජර්මන් විඥානවාදී සම්ප්‍රදාය වෙතින් දායාද වූ කුරිරු මතවාදයේ දැක්ම අනුව කාල් මාක්ස් ලියූ දාස් කපිතාල් වෙතින්මයි. සමස්ත ලෝකවාසීන් නියෝජනය වූවක් නොව ඔවුන් කතා කරන්නේ තම කල්ලියේ දැක්මට සීමිත වූ ජාත්‍යන්තරයක් ගැන!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: