අරුණි ශපීරෝ‍ වෙතින්

රතු භීෂණය – ලංකාවේ නෙමෙයි 1918 රුසියාවේ!

Posted in Uncategorized by arunishapiro on මැයි 17, 2017

“මිනිසත්බව හොඳ අතට හරවන්නට ඔබට උවමනාවක් ඇත්නම්, මෘගයන් තරමට ආසන්න වූවන් මිනිසුන් බවට හරවන්නට නම්, එහෙනම් ඔවුන්ට ඉඩම් දෙන්න, එවිට ඔබේ අරමුණට ඔබට ළඟා විය හැකියි.” -ෆියඩොර් ඩොස්ටොයොවෙස්කි

දේපල අයිතීන් සඳහා ගෙනෙන ලද නීතිමය වෙනස්කම් තුලින්, බ්‍රිතාන්‍යය රදළ උරුමයේ වූ ඉඩම් මිල දී ගන්නට සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබී එංගලන්තයේ දුප්පතුන් මැද පංතියක් කරා යද්දී, ට්සාර් රුසියාවේ ද එවැනි උත්සාහයකට තැතක් දැරිණ.

සාමූහික ගොවිපොළ අත්හැර ධනවාදී වෙළඳපොල ක්‍රමයට ඉඩදෙන, කෘෂිකර්මය සඳහා කුඩා ඉඩම් අයිතිකරුවන් ගම්බද වැසියන් අතරින් ගෙන ඒමට ප්‍රතිසංස්කරණ යෝජනා කළේ 1908 දී ට්සාර්ගේ ඉඩම් ඇමති වූ පියතෝර් ස්ටොලිපින් විසිනි.

පෞද්ගලික ඉඩම් අයිතියට පාක්ෂික වූ ඩොස්ටොයොවෙස්කි සමඟ ඒ වන විටත් උරණ වී සිටි ලියෝ ටොල්ස්ටෝයි විසින් සාමූහිකය විනාශ කර ඉඩම් අයිතිකරුවන් සිටින පංතියක් නිර්මාණයට යන ඔබේ දරුණු ක්‍රියා නවත්වන්න යැයි කියමින් ස්ටොලිපින් වෙත ලිපි කිහිපයක් ලිවීය.

බොහෝ ගම්බද වැසියන් ඒ සාමූහික ගොවිතැන් අත්හැර දමා පෞද්ගලික ඉඩම් අයිතියට යන්නට මැළි වුවත්, එසේ අවදානම් ගත් දිරිය මිනිසුන් අල්පයක් වූ බැවින් 1906 සිට 1915 දක්වා කාලයේ දී මුළු රුසියාවේම ධාන්‍ය ඵලදාව 14% කින් ද, සයිබීරියාවේ 25% කින් ද වර්ධනය වූවා යැයි කියැවේ.

එහෙත්, දුප්පත්ව සිට මැද පංතියට ඉහළට නඟින්නට හැකි වූ බ්‍රිතාන්‍යයන් සේ මිත්‍ර සංවිධාන හෝ තාක්ෂණික අධ්‍යාපනය ලබාදෙන මිකැනික්ස් ආයතන පිහිටුවන තත්වයට එන්නට රුසියන් වැසියන්ට කාලයක් හෝ අවස්ථාවක් නොලැබිණ. ඝාතන උත්සාහයන් 10 කට පසුව 1911 දී ස්ටොලිපින්ව ඝාතනය කර, අනතුරුව ට්සාර් ඇතුළු රජ පවුලම ඝාතනය කරන ලදි.

1918 අගෝස්තු 30 වැනිදා සිදු වූ ඝාතන වෑයම් දෙකකි. පෙට්‍රොගෑඩ් චෙකා ස්ථානයේ ප්‍රධානියා වූ එම්. එස්. යුරිට්ස්කි සහ ලෙනින් ඉලක්ක වූහ. ඒ වෑයම් දෙක අතර සම්බන්ධයක් නොවිණ. පෙට්‍රොගෑඩයේ චෙකා විසින් සිය හිතවත් නිලධාරියාව මරා දැමූ නිසා ඒ ගැන පළිගන්නට උවමනා වූ හමුදා කැඩෙට් තරුණයෙක් යුරිට්ස්කිව ඝාතනය කළේය. ලෙනින්ට වෙඩි තැබුවා යැයි වහාම අත් අඩංගුවට ගත් ෆැනී කැප්ලන්ව දවස් 3 කට පසුව නඩු නොමැතිව වෙඩි තබා මරන ලදි. නමුත් පසුව ලැබෙන තොරතුරු වලින් පෙනී යන්නේ චෙකා ඇතුලේම ලෙනින්ට එරෙහි මෙහෙයුමක් පැවති බවයි. සමහර විට වෙඩි තබන්නට ඇත්තේ දේශපාලන සිරකඳවුරක වාසයෙන් බොහෝ දුරට ඇස් අන්ධ වී තිබුණ ෆැනී කැප්ලන් ද නොවේ යැයි අද සැක කෙරේ.

“ප්‍රංශ සහ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙකරුවන් සහ දක්ෂිණාංශය සමාජවාදී විප්ලවීයවාදීන් මේ ඝාතන දෙකට මුල් වූවා” යැයි බොල්ෂෙවික්ස් ආණ්ඩුව නිල නිවේදනයන් නිකුත් කර භීෂණය වැඩි කළ යුතු යැයි කියා සිටියහ. සැක කරන සියළු අයවළුන් ගැන ලිපි ගොණු එකතු කරන බව දන්වා සිටියහ. වැඩ කරන ජනතාවගේ මහා භීෂණයෙන් ප්‍රතිවිරුද්ධවාදීන්ගේ හයිඩ්‍රාව මර්ධනය කළ යුතු යැයි කියා සිටියහ.

සැප්තැම්බර් 3 වැනිදා ඉස්වෙස්ටියා පුවත්පත (1917 සෝවියට් ආණ්ඩුවේ නිල පුවත්පතක් හැටියට අරඹන ලද්ද) වාර්තා කළේ පෙට්‍රොගෑඩයේ චෙකා විසින් 500 කට වඩා අත් අඩංගුවට ගත් පිරිසක් වෙඩිතබා මරා දැමූ බවයි. චෙකා වාර්තා පෙන්වන්නේ ඒ සැප්තැම්බරයේ දී පෙට්‍රොගෑඩයේ දී පමණක් 800 කට වඩා පිරිසක් මරා දමන ලද බවයි.

බොරිස් පැස්ටර්නෙක්ගේ ‘ඩොක්ටර් ශිවාගෝ’ ප්‍රබන්ධයෙන් බොල්ෂෙවික්ස් විරෝධී පෙළපාලි පවත්වන සමාජවාදීන්ව අමු අමුවේ මරා දැමූ හැටි කියවන්නට ලැබෙන්නේ 1957 ගණන් වෙද්දී ය.

සැප්තැම්බර් 5 වැනිදා පංති හතුරන් වෙතින් ජනතාව ආරක්ෂාව කරගන්නට යැයි කියමින් රතු භීෂණය නීත්‍යානුකූල කෙරිණ. මොස්කව් හි සිරගෙවල් තුල රඳවා සිටි සිය ගණනක්ව මරා දමන ලදි. “පළිගැනීම සඳහා ඇති මහජනතාවගේ යුක්ති සහගත වූ ආශාව” ගැන කියන්නට චෙකා විසින් සතිපතා පුවත්පතක් පළ කළහ.

ග්‍රිගොරි සිනොවියෙව් නමැති බොල්ෂෙවික්ස් නායකයෙක් 1918 සැප්තැම්බර් හි දී මෙවැනි ප්‍රකාශනයක් නිකුත් කරන ලදි: “අපේ හතුරන් අයින් කරන්නට, අපිට අපේම වූ සමාජවාදී මිලිටරිවාදයක් උවමනායි. සෝවියට් රුසියාවේ ජනගහණයෙන් මිලියන සියයෙන් මිලියන 90 ක් අපි හා රැගෙන යමු. ඉතිරි අයට කියන්නට අපිට කිසිවක් නැත. ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමිය යුතුයි.”

අත් අඩංගුවට ගත්, වෙඩි තබා මරා දැමූ, දේශපාලන සිර කඳවුරු වෙත යැවූ සංඛ්‍යාවන් ගැන ඔවුන් උදම් ඇනූහ. මේ ඝාතන පොදු ජනතාවගේ පළිගැනීම් නොවන බව ඔවුන්ට අවබෝධ වෙන්නට පටන් ගනිද්දී, එනම් පටන් ගෙන සති හයක් යද්දී මධ්‍යම කමිටුව විසින් මේ පත්තරය නවත්වන ලදි.

රතු භීෂණයේ පළමු රැල්ලෙන් මරණයට පත්වූවන් සංඛ්‍යාව කොපමණක්දැයි නිශ්චිතවම කිව නොහැකියි. චෙකා හි තවත් ප්‍රධානියෙක් වූ ලැට්සිස් කියන්නේ 1918 වසරේ දෙවැනි භාගය තුල චෙකා විසින් වෙඩි තබා මැරූ සංඛ්‍යාව 4,500 ක් කියායි. 1918 ඔක්තෝබරයේ මෙන්ෂවික් නායක යුරි මාර්ටොව් ඇස්තමේන්තු කළේ චෙකා අතින් සැප්තැම්බර් සිට ඝාතනය වූ සංඛ්‍යාව “දහ දාහකට වැඩි” යැයි කියායි.

1825 සිට 1917 දක්වා වසර 92 ක කාලය තුල දේශපාලන හේතු සම්බන්ධයෙන් ට්සාර් උසාවි වලින් (යුද්ධාධිකරණ ද ඇතුළුව) මරණ දඬුවම් නියෝග කර ඇත්තේ 6,321 ක පිරිසකටය. ඒ මරණ දඬුවම් බොහොමයක් ක්‍රියාත්මක නොකර ඔවුන්ව බලහත්කාරයෙන් වැඩ ගන්නා සිර කඳවුරු වලට යවා ඇත.

වර්තමානයේ දත්ත සම්පාදනය කරන අය ගණන් බලා ඇත්තේ 1918 සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා මාස දෙක ඇතුලත පමණක් පැවති රතු භීෂණයේ දී චෙකා නියෝග වලින් 10,000 සිට මිලියන 1.5 ක් අතර සංඛ්‍යාවක් මරා දමන ලද බවයි. ලැබෙන නව තොරතුරු නිසා සංඛ්‍යාව ඉහළ යනවා මිසෙක අඩුවෙන බවක් නොපෙනේ යැයි 1994 සිට Death by Government සම්පාදනය කරන රුඩොල්ෆ් රමල් විසින් පෙන්වා දෙයි.

සටහනට එකතු කරන පින්තූරය ලුඩ්විග් වොන් මීසස් ලියූ සමාජවාදය පොතේ කවරයයි. මීට කළින් මේ ඡායාරූපය දැමූ විට පොතේ කියැවෙන්නේ කුමක්දැයි නොදත් සමාජවාදයට හිතැති අය නම පමණක් කියවා ලයික් දැමූ හැටි සිහිවේ. සටහන කොමියුනිස්ට්වාදයේ කළු පොත හෙවත් Black Book of Communism ඇසුරිනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. chanaka said, on මැයි 17, 2017 at 10:00 පෙ.ව.

    this is very important to translate.. even this much, I realize many .. thanks


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: