අරුණි ශපීරෝ‍ වෙතින්

සාමය, ඉඩම්, සහ පාන් පොරොන්දු වූ ලෙනින්

Posted in Uncategorized by arunishapiro on මැයි 18, 2017

“සාමය, ඉඩම්, සහ පාන්!” ඒ 1917 ඔක්තෝබර් විප්ලවයේ සටන් පාඨයයි!

රතු භීෂණයේ ජන සංහාරය රුසියාව පුරා පැතිර යද්දී, සෝවියට්ලාටත් ඉහළින් සහ පක්ෂයටත් ඉහළින් මහජනතාව චොප්ප කරන චෙකා පොලීසිය මෙල්ල කරන නීති අවශ්‍ය යැයි විප්ලවයේ පැරැන්නන් වූ නිකලායි බුකහරින්, ඇලෙක්සැන්ඩර් ඔල්මිනිස්කි වැනි අය ඉල්ලා සිටියහ. නියාමනය සඳහා පත් වූ ලියෝ කෙමෙනෙව්, එය පිරී ඇත්තේ සාහසික අපරාධකරුවන්, පරපීඩාවෙන් සතුට විඳින්නන් සහ පිරිහුණු ලුම්පන් කම්කරුවන් වෙතින් යැයි කියා එය අහෝසි කර දමන්න යැයි කීවේය.

ඒත් චෙකා බේරාගැනීමේ සහායට ආවේ ඩිජෙරෙන්ස්කි, ලෙනින්, ස්ටාලින් සහ ට්‍රොට්ස්කි වැනි අයයි.

ඔවුන් ගෙනා අනගි විසඳුම කුමක්දැයි ඔබ සිතන්නේ ද?

රටේ ආයතන ගැන, විශේෂයෙන් චෙකා ගැන, අපහාස කිසිවක් පළ නොකළ යුතු යැයි බොල්ෂෙවික්ස් පුවත්පත් වූ ප්‍රාව්ඩා සහ ඉස්වෙස්ටියා සඳහා නියමයක් ලෙනින්ගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කමිටුව අනුමත කළේය.

“හොඳ කොමියුනිස්ට්කාරයෙක් යනු හොඳ චෙකිස්ට් කෙනෙක්.” -ලෙනින්

මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ගැන පෙනී සිටිනවා යැයි කියන වාමාංශිකයා එදා පටන් අද දක්වා තමනට පාලන බලය ලැබුණු සෑම අවස්ථාවක දී ම කරන ලද්දේ ලෙනින් එදා ගෙනා අනගි විසඳුම ක්‍රියාවට නැංවීමයි.

චෙකා යටතේ සියළු හමුදා කාණ්ඩ එකතු කෙරිණ. වානේ පන්නරය ලැබූ හැටි ප්‍රබන්ධයේ කියැවෙන දුම්රිය මිලීෂියාව, රතු හමුදාව, ජනසතු කළ ආහාර එකතු කරන බලඇණි, වෘත්තීය වර්ජන හා විරෝධතා මැඩළීමේ යෙදී සිටි අය, පුරෝගාමී දේශයන්හි සටන් වැදි බලඇණි යනාදී සියල්ල ජනරජයේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වූ හමුදාව යැයි කියා එකතු කරන ලදි.

ඕක්‍රානා නම් වූ ට්සාර්ගේ රහස් පොලීසියේ සිටින ලද්දේ 15,000 ක සංඛ්‍යාවකි. වසර 3 ක් ඇතුලත 250,000 ක පූර්ණ කාලීන ඒජන්තවරුන් බඳවා ගත් චෙකා හමුදාව රටේ විනිසුරු, ජූරිය සහ අලුගෝසුවා වන බලය තමන් සතු කරගත්හ. බොල්ෂෙවික් පාලනයට එරෙහි විරෝධය මැඬලන්නට නඩු නොමැතිව හිසට වෙඩි තැබීම, සිර කඳවුරු වලට ගාල් කිරීම සහ වහල් ශ්‍රමයට යැවීම වැනි භීෂණ ක්‍රම යොදාගත්හ.

1918 දී රතු හමුදාවෙන් පළා යන සංඛ්‍යාව මිලියනයකට වඩා අධික වූහ. 1919 දී පළා යන සංඛ්‍යාව මිලියන දෙකක් පමණ විය. 1921 වෙද්දී රතු හමුදාවෙන් පළා ගිය සංඛ්‍යාව මිලියන 4 ක් පමණ වූහ. 1919 දී ලක්ෂ පහක පමණ පළා ගිය හමුදා භටයන් අත් අඩංගුවට ගන්නා ලදි. 1919 වෙද්දී ඒ සංඛ්‍යාව ලක්ෂ අටක් පමණ විය. 1920 වෙද්දී මේ රතු හමුදාවෙන් පළා යන භටයන් අත් අඩංගුවට ගැනීම සඳහා චෙකා හමුදා විසින් විශේෂ බලකායක් යොදවන ලදි. ලෙනින්ගේ අණ මත පළායන ලදැයි සැක නම් එතැනම වෙඩි තබා මරා දමන බලය ලැබිණ. පළා ගිය හමුදා භටයන්ගේ පවුල් සහ ඔවුන්ට උදව් කරන අයවත් දේශපාලන සිර කඳවුරු වෙතට යැවිණ. 1918 සැප්තැම්බර් මාසයේ දී රුසියාවේ ප්‍රාන්ත 12 ක පමණක් පළාගිය හමුදා භටයන් 48,735 ක් අත් අඩංගුවට ගැනිණ.

දේශපාලන තර්ජන මැඬලමින් සිටි චෙකා රටේ ‘නව ආර්ථික ප්‍රතිපත්තිය’ ද ක්‍රියාත්මක කරන්නට පටන් ගති. මිල පාලනය නිසා බඩු හිඟයක් පැතිරිණ. ගොවියන් වෙතින් සහ වෙළෙන්ඳන් වෙතින් ආහාර තොග රජය සතු කරගනිමින් හමුදාවේ අයට ආහාර සැපයූහ. (වර්තමාන වෙනිසියුලාවේ මෙය එයාකාර ලෙසකින්ම මේ දිනවල සිද්ධ වේ.) වික්ටර් හියුගෝ ලියූ සිංහලට පරිවර්තන වූ මනුතාපය හි එන ජෝන් වැල්ජෝන් වැනි කුසගින්න නිසා හොරකම් කළ අයව අලුත් වර්ගීකරණයකට ලක් වූහ. මං පහරන මදාවියන් -bandit සිරකරුවන් අතර එක් අලුත් කොට්ඨාශයයි. 1918 සැප්තැම්බර් හි දී මං පහරන මදාවියන් 7,325 ක් අත් අඩංගුවට ගැනිණ. ඉන් 2,230 ක ගේ හිසට වෙඩි තබා මරා දමන ලදි.

වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියා ගනිමින් බලය අල්ලාගත් බොල්ෂෙවික්ස් කල්ලිය කම්හල් තුලින් නැඟී ආ වෘත්තීය සමිති විරෝධය ද මර්ධනය කළේ බුර්ජුවා අය සමාජයෙන් ඉවත් කළ ආකාරයෙන්මයි. උදාහරණයක් හැටියට 1919 මාර්තු 16 වැනිදා පුටිලොව් කම්හල වෙත කඩා වැදුණු චෙකා එහි වැඩ වර්ජනයේ යෙදී සිටි 900 ක් සේවකයන් අත් අඩංගුවට ගත්හ. ඊ ළඟ දින කිහිපය තුල දී කිසිත් නඩු ඇසීමකින් තොරව 200 කට පමණ වෙඩි තබා මරා දමන ලදි.

රතු හමුදා භටයන්ට සහ චෙකා බලකායට ආහාර සලාක තිබුණි. එහෙත් කම්හල් හි සේවය කළ වැඩ කරන ජනතාවට කුසගින්න පිරිමසා ගන්නට ප්‍රමාණවත් තරමට ආහාර නොතිබිණ. ඔවුන් ද රතු හමුදා භටයන්ට ලැබෙන තරමේ සලාක ඉල්ලා සිටියහ. බොල්ෂෙවික්ස් අයට ඇති වරප්‍රසාද ඉවත් කරන්න යැයි ඉල්ලා සිටියහ. මාධ්‍ය නිදහස ඉල්ලා සිටියහ. නිදහස් මැතිවරණ ඉල්ලා සිටියහ. ඒ උද්ඝෝෂණ කළ සියල්ලන්වම චෙකා විසින් ඝාතනය කළේ කිසිත් අනුකම්පාවක් නොමැතිව වැඩ කරන ජනතාවගේ උන්නතිය සඳහා වූ විප්ලවයේම නාමයෙනි.

එසේ විරෝධය පෑ වර්ජනකරුවන්ව සහ ඔවුන්ට සහාය දුන් රතු හමුදාවේ භටයන්වත් ඇස්ට්‍රාඛාන් නගරයේ දී 1919 මාර්තු 12-14 දින ඇතුලත වොල්ගා ගඟට අත්හැරියේ ඔවුන්ගේ ගෙල වටා කළුගල් බැඳීමෙනි. 2,000 – 4,000 දක්වා මිනිස් ජීවිත සංඛ්‍යාවක් එහි දී වෙඩි වැදීමෙන් හෝ ගිලීමෙන් මිය ගියහ.

1919 අප්‍රේල් මාසයේ දී චෙකා විසින් දේශපාලන සිරකඳවුරු නීත්‍යානුකූල කරමින් සිරකරුවන් වර්ග 16 කට බෙදූහ. 1919 මැයි මාසයේ සිර කඳවුරු වල සිටියේ 16,000 ක් වැනි සංඛ්‍යාවකි. 1921 සැප්තැම්බර් වෙද්දී ඒ සිර කඳවුරුවල 70,000 කට වඩා පිරිසක් රැඳවිණ. එහෙත් මේ සංඛ්‍යා වලට “දාමරිකයන්” යැයි සැලකුණු අය සඳහා වූ කඳවුරුවල සිටි පිරිස් එකතු කර නැත. උදාහරණයක් වශයෙන් ටැම්බොව් ප්‍රාන්තයේ 1920-1921 කාලයේ පැවති ගම්බද වැසියන්ගේ කැරැල්ල නිසා සිර කඳවුරු හතක් ආරම්භ කරන ලදි. ආහාර උදුරාගන්නට එන චෙකා හමුදාවට විරෝධය දක්වන ලද්දවුන් ‘දාමරිකයන්’ සහ ‘දාමරිකයන්ගේ පවුල්වල අය’ යැයි කියා සිරගත කරන ලද හා පිටුවහල් කරන ලක්ෂයක පමණ ගම්බද වැසියන් සිටියහ. ඒ අය අතරින් 15,000 ක් පමණ ඝාතනය කරන ලදැයි සැක කෙරේ.

මේ සියල්ල සිද්ධ වූයේ ‘යුද කොමියුනිස්ට්වාදය’ නමින් ප්‍රජා පීඩනය පටන් ගන්නට පෙරයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: