අරුණි ශපීරෝ‍ වෙතින්

රුසියන් සිවිල් යුද්ධය සහ මහා සාගතය

Posted in Uncategorized by arunishapiro on මැයි 22, 2017

සිවිල් යුද්ධයේ නාමයෙන් සිදු වූයේ බොල්ෂෙවික්ස් කල්ලිය විසින් අනෙකුත් සියළු දේශපාලන ක්‍රියාකරුවන් මර්ධනය කිරීමයි. වැඩ වර්ජනයේ යෙදීම නිසා හෝ වැඩකරන ජනතාව නොවේ යැයි සැලකූ නිසා ආහාර සලාක අහිමි වූ රටේ ජනතාව කළුකඩකාරයන්ගේ පිහිට පැතූහ. රජය බඩු නිෂ්පාදනයට හෝ බඩු තොග බෙදන්නට නොදත් නිසා ආර්ථිකය කඩා වැටෙද්දී, ‘නව ආර්ථික ප්‍රතිපත්ති’ කියා වෙළඳපොල මිල ගණන් වලට ඉඩදෙන්නට සිද්ධ වී සිටි බොල්ෂෙවික්ස් පාලකයන්, පෞද්ගලික ව්‍යාපාරිකයන්ව සමපේක්ෂකයන් යැයි ඕනෑම අවස්ථාවක දී දඬුවම් ලැබිය හැකි කොට්ඨාශයක් බවට හඳුන්වා තිබිණ. ගම්බද ජනතාවගේ අස්වනු රජයට පවරා ගන්නා බලතල පක්ෂයට පවරා ගන්නා ලදි.

1921 ජූනි 11 වැනිදා නිකුත් කළ ආඥා පනත් අංක 171 මෙම සිවිල් යුද්ධයේ කුරිරුබව කියා පායි.

1. නම කියන්නට ප්‍රතික්ෂේප කරන ඕනෑම පුරවැසියෙක් දුටු තැන මරා දමනු.
2. ආයුධ සඟවා තැබෙන ඕනෑම ගමක් ගැන තීන්දුවක් දෙන්නට දිස්ත්‍රික්ක හෝ පළාත් දේශපාලන කොමිසමට අවසර ඇත. අවි ආයුධ සඟවා ඇති තැන් හෙළි නොකරන්නේ නම් අත් අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට වෙඩි තබා මරා දමන බලය ද ලැබේ.
3. සඟවාගත් අවි ආයුධ අසුවුනහොත්, ක්ෂණිකව පවුලේ වැඩිමහල් පුත්‍රයාට වෙඩි තබා මරා දමන්න.
4. මංකොල්ලකාරයෙක්ට උදව් කරන ඕනෑම පවුලක් අත් අඩංගුවට ගැනීමට සහ පළාතෙන් පිටුවහල් කිරීමට අවසර ඇත. ක්ෂණිකව පවුලේ වැඩිමහල් පුත්‍රයාට වෙඩි තබා මරා දමන්න.
5.මංකොල්ලකාරයන්ට උදව් කරන ලද පවුලකට උදව් කරන පවුල් වලට ද එයාකාරයෙන්ම දඬුවම් දිය යුතුයි. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයාට ක්ෂණිකව වෙඩිතබා මරා දැමිය යුතුයි.
6. මංකොල්ලකාර පවුල් පළා ගොස් ඇත්නම්, ඔවුන්ගේ බඩු භාණ්ඩ සෝවියට් රෙජිමයට පාක්ෂික වූ ගම්වැසියන් අතර නැවත බෙදාහැරිය යුතුයි. ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනිතැබීම හෝ කඩාබිඳ දැමීම කළ යුතුයි.
7. මේ ආඥා පනත එයාකාරයෙන්ම සේ ම කිසිත් සමාවක් නොමැතිව ක්‍රියාවට නැංවිය යුතුයි.

මේ ආඥා පනත නිකුත් වූ දිනට පසු දිනයේ දී සියළු විප්ලවකරුවන් සැඟවී සිටින වනාන්තර වලට වසවිෂ වායුව ගසා මරා දැමිය යුතු යැයි තීරණය කෙරිණ. ඉන් මිය ගිය සංඛ්‍යාවන් ගැන සංඛ්‍යා දත්ත තවමත් සම්පූර්ණයෙන් විමර්ශනය වී නැත.

ආහාර හිඟය තවත් ප්‍රථුල ලෙසින් සෝවියට් දේශය පුරා පැතිර ගියේය.

1921 ජූනි මාසයේ දී කෘෂිකාර්මික, ආර්ථික හා වෙනත් විශ්ව විද්‍යාල ආචාර්යවරු එකතුව සාගතයට එරෙහිව සටන් වැදීම පිණිස ‘සමාජ කමිටුවක්’ පත් කරගත්හ. ලෙනින් ඔවුන් හමුවීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් ජාත්‍යන්තර මට්ටමෙන් සබඳතා ගොඩනඟාගෙන තිබූ ඔවුන් විදේශ ආධාර හැටියට ආහාර, ඖෂධ සහ සත්ව ආහාර එකතු කර ඒවා බෙදාහරින්නට මධ්‍යම කමිටුවේ අවසරය ලබාගන්නට සමත් වූහ. රතු කුරුස සංගමයේ නම යොදාගන්නටත්, ඒ ආධාර ප්‍රවාහනයටත් ඔවුනට අවසර ලැබිණ. සෝවියට් දේශයේ එවැනි උත්සාහයකට අවසර ලැබුණ ප්‍රථම සහ අවසන් අවස්ථාව එය විය.

1921 ජූලි 7 වැනිදා රුසියන් සත්‍යලබ්ධික පල්ලියේ ප්‍රධානියා ‘නරක් වූ මස් වුවත් මේ හාමතෙන් පෙළෙන ජනතාව සතුටින් අනුභව කරනු ඇත, ඒත් දැන් එය පවා සොයාගන්නට අසීරුයි. කොහේ ගියත් ඇහෙන්නේ අඬන කෙඳිරිගාන හඬ. ජනතාව මිනීමස් කන්න හිතන තත්වයට ඇවිත්.’ යැයි කියා සිටියේය.

යුක්රේන දේශයන් වෙතින් මිනී මස් කෑම වාර්තා විය.

1921 ජූලි 12 වැනිදා සාගතය පැතිර යාමට හේතුව ඉඩෝරය යැයි ප්‍රාව්ඩා පුවත්පතේ පළ විය.

ඒත් ජූලි 21 වෙද්දී හාමතයෙන් මිය ගිය මිනිස්සු දහස් ගණනින් මහමඟ ඇද වැටී සිටීම තව දුරටත් වසන් කරන්නට නොහැකි තත්වයකට රට මුහුණ පා සිටියහ.

“අපේ කෘෂිකර්මය දියුණු නැති නිසා, සංවිධානාත්මක නැති නිසා, කෘෂිකර්ම දැනුම බාල නිසා, යල් පැන ගිය ක්‍රම වගා මාරු කරන්නට යොදාගන්නා නිසා, යනාදී වශයෙන් මේ සියල්ලම අපේ ඉතිහාසයේ ප්‍රතිඵල” යැයි මධ්‍යම කමිටුව එවිට කියා සිටියහ.

සාගතයට හේතුව වගා කළ ගොවියන් වෙතින් ඔවුන්ගේ ආහාර පමණක් නොව ඔවුන්ගේ ධාන්‍ය බීජ පවා උදුරාගත් ක්‍රමවේදය යැයි ප්‍රසිද්ධියේ කියන්නට එහෙත් කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

මිනිස්සු සාගතයෙන් මැරී වැටෙද්දී උද්ඝෝෂණ ද ඉබේම නැවතී තිබිණ. සාගතයෙන් පෙළුන ජනතාව පක්ෂ මූලස්ථාන වටා රැස්ව සිටියේ ආහාර බෙදා දේවි යැයි බලාපොරොත්තුවෙනි. පණ අදිමින් බිම වැතිර සිටි අයව පන්නා දමන්නට ද හැකියාවක් නොවීය.

සාගතයේ නාමයෙන් 1922 මාර්තු සිට මැයි දක්වා පල්ලි සතු දේපල රජයට පවරා ගැනීම සිද්ධ විය. ඊට විරුද්ධව ජනතාව හඬ නැඟීම වළක්වන්නට පූජකවරුන් 2,691 ක්, යතිවරයන් 1,962 ක් සහ කන්‍යා සොහොයුරියන් 3,447 ක් මරා දමන ලදි. ලෙනින්ගේ අණ මත දේපල රජයට ගැනීමත් පල්ලියේ අයව මරා දැමීමත් ප්‍රසිද්ධියේ කරන ලදි.

1922 ගිම්හානය සාගතය දරුණුම වූ කාලයයි. මිලියන 30 ක ජනතාවක් සාගතයෙන් පෙළුනහ. මධ්‍යම කමිටුව විසින් ඔවුන්ගේ නිලධාරීන් සහ හමුදා භටයන් යනාදී මිලියන 3 කට පමණක් කඩින් කඩ ආහාර සපයන්නට සමත් වූහ. රතු කුරුස සංගමය, ක්වේර්කස්, ඇතුළු ඇමෙරිකන් සහනාධාර සංවිධානය මිලියන 11 කට පමණ සංඛ්‍යාවකට දිනපතා ආහාර සැපයූහ.

1921 සහ 1922 වසර දෙක තුල දී රුසියාවේ වාමාංශික දේශපාලනය නිසා හටගත් සාගතයෙන් පෙළුන මිලියන 29 ක ජනගහණයකින් මිලියන 5 ක් පමණ මිය ගියහ.

ඇමෙරිකන් සහනාධාර ලැබීමත් සමඟ 1921 අගෝස්තු 27 වැනිදා ඒ සාගතයෙන් පෙළෙනවුන්ට සහනයක් ගෙන ඒම පිණිස පිහිටුවා ගනු ලැබූ සමාජ කමිටුව විසුරුවා හරින්නේ ලෙනින් ගෙනෙන යෝජනාවක් අනුවයි. එහි සමහර සාමාජිකයන්ව වහාම අත් අඩංගුවට ගන්න යැයි ද, අනෙක් කමිටු සාමාජිකයන්ව මොස්කව් වලින් පිටමං කරන්න යැයි ද, එහි ප්‍රධානින් වෙන වෙන පළාත් වලට විසිරුවා හරින්න යැයි ද, ඔවුන් අතර සම්බන්ධීකරණයට ඉඩක් නොතබන්න යැයි ද, ඔවුන් ගැන නිති විපරමින් සිටින්න යැයි ද කියා සිටියේය. රජයේ නිවේදනයකින් ඒ කමිටුව විසුරුවා හැරියේ ඔවුන් සේවය ප්‍රතික්ෂේප කළ නිසා යැයි පතුරුවා හැරීම ද යෝජනා කළේය. එපමණක් නොව, සියළු පුවත්පත් වලින් මේ අයට පරිභව කළ යුතු යැයි ද, රටේ මිනිස්සුන්ට උදව් කරනවාට වඩා විදේශ සංචාරයට මේ අය කැමතියි කියා පතුරවා යැවිය යුතු යැයි ද යෝජනා කළේය.

එම යෝජනා එයාකාරයෙන්ම ක්‍රියාවට නැඟිණ.

“කුසගින්න සමඟ සෙල්ලම් එපා” ප්‍රාව්ඩා, 1921 අගෝස්තු 30
“සහානාධාර කමිටුව .. ප්‍රතිවාදීන්ගේ සහායට” ඉස්වෙස්ටියා, අගෝස්තු 30
“කුසගින්නේ සමපේක්ෂකයන්” කොමියුනිස්ටිෂෙස්කි, 1921 අගෝස්තු 31

අත් අඩංගුවට ගැනුණු සහ පිටමං කර දමනු ලැබූ කමිටුවේ අය නිර්දෝෂී යැයි කියන්නට අයෙක් ඉදිරිපත් වෙද්දී, චෙකා හි ඩිජරෙන්ස්කිගේ සහායකයෙක් වූ Josif Unshlikht මෙසේ කියා සිටියේය:
“ඔබ කියනවා කමිටුව නිර්දෝෂී කියල. එක වෙන්නැති. නමුත් ඔවුන් වටා සමාජය එකතු කරගන්න ඔවුන් සමත් වෙලා තියනව. අපිට ඒකට ඉඩදෙන්න බැහැ. ඇටයක් වතුරට දැම්මම එතැන මුල් ඇදෙනව. සමාජය පුරා මුල් පතුරවන්න මේ කමිටුව සමත් වෙලා… ඒ මුල් වලින් ඇදලා අයින් කරල පාගලා දානව හැරෙන්නට අපිට වෙන විකල්පයක් නැහැ.”

මාසයකට වැඩි කාලයක් මහජන උද්ඝෝෂණය පැතිර පවතින, සිවිල් යුද්ධයක් කරා ඇදෙන වර්තමාන වෙනිසියුලාවේ මධූරෝ ආණ්ඩුව ලෙනින්ගේ රුසියාවට වඩා වෙනස් නොවේ. උද්ඝෝෂණ පවත්වන මහජනතාවට ස්නයිපර් පහර දෙන ආකාරය ගැන ජනරාල්වරයෙක්ගේ කතාබහ ඊයේ පෙරේදා විඩියෝ පටියකින් හෙළිවුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: