අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රතිවිප්ලවීය ක්‍රියා නමින් නව අපරාධ වර්ගීකරණය

Posted in Uncategorized by arunishapiro on මැයි 23, 2017

එතෙක් රුසියානු ඉතිහාසයේම නොවි විරූ ලෙසකින් මුළු මහත් ජනතාව අසරණ තත්වයකට වැටී සිටිය ද, කොමියුනිස්ට් ක්‍රමය වලංගු නැතැයි කියන්නට කිසිවෙකුට ඉඩක් නොලැබිණ. සියළු ප්‍රතිවිප්ලවීය ක්‍රියා සඳහා ක්ෂණික මරණ දඬුවම ලැබිය යුතු යෝජනාව ගෙනන ලද්දේ ලෙනින් විසිනි.

දේශපාලනය සඳහා ප්‍රචණ්ඩත්වය යොදාගැනීම නීත්‍යානුකූල කිරීමත් සමඟින් 1922 පෙබරවාරි 6 වැනිදා චෙකා රහස් පොලීසිය අහෝසි කර දමා ඒ වෙනුවට රාජ්‍ය දේශපාලන අධ්‍යක්ෂක මණ්ඩල පරිපාලනය හෙවත් GPU නම් ආයතනය පිහිටවනු ලැබීය. නම වෙනස් වූවත් එහි සේවකයන් සහ පරිපාලන ව්‍යුහයේ වෙනසක් සිදු නොවීය. නම වෙනස් කිරීමෙන් සිද්ධ වූයේ ජනතාව සහ රජය අතර සියළු ගැටුම් නිරාකරණයට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම දීර්ඝ කාලීනව පවතින ලෙසට නීත්‍යානුකූල වීම පමණි.

ප්‍රතිවිප්ලවීය ක්‍රියාවක යෙදුනා යැයි තීන්දු වූ අයට ලැබෙන දඬුවම සේ රටින් පිටුවහල් කිරීම පටන් ගැනිණ. එසේ පිටමං කරනු ලැබූ අය නැවත සෝවියට් දේශයට පා තබා අසුවුවහොත් ක්ෂණිකව මරා දමත හැකිවිණ.

1922 මැයි 20 වැනිදා ඩිජෙරෙන්ස්කි වෙතට ලියූ ලිපියකින්, ප්‍රතිවාදීන්ට සහාය දුන් සියළු රචකයන්, ගුරුවරුන්, විද්වතුන් රුසියාවෙන් පිටුවහල් කරන මෙහෙයුම ඉතා සූක්ෂමව සංවිධානය කළ යුතු යැයි ලෙනින් පවසයි. ඒ අනුව මුලින්ම පිටුවහල් කරන්නේ සාගතයේ දී ආහාර බෙදන්නට හදාගත් සමාජ කමිටුවේ වූ සර්ගෙ ප්‍රොකොපොවිච් සහ යිකතරීනා කුස්කෝවා යන දෙදෙනා ඇතුළු 160 ක විද්වතුන් පිරිසකි. ශීත ඍතුවට අඳින එක කබායක්, ගිම්හානයට අඳින එක කබායක්, එක සූට් කට්ටලයක් සහ මාරු කරන්නට ඇඳුම් කට්ටලයක්, රෑට අඳින ෂර්ට් දෙකක්, මේස් කුට්ටම් දෙකක්, යට කලිසම් දෙකක්, සහ විදේශ මුදල් වලින් ඩොලර් විස්සක් පමණක් මේ අයට රැගෙන යා හැකි විය. ආපහු ආවොත් වෙඩි තබනවා යන්න තමන් දන්නේ යැයි ඔවුන් පිටමං වෙන්නට පෙර ලියවිල්ලකට අත්සන් තැබූහ.

1923 වසර මුල පටන් 1927 වසර අවසානය දක්වා පාලකයන්ට තර්ජනයක් එල්ල කරන්නට සමත් වූවෙක් රුසියන් සමාජයේ කුමන පැත්තකින් හෝ සොයා ගන්නට නොවීය. වෙඩිපහර වැදීමෙන් අඩපණව සිටි ලෙනින්ව දේශපාලන බල අරගලයේ පැත්තකට විසි විණ. 1924 ජනවාරි 24 දා ලෙනින් මිය ගියේය.

ජනගහණයෙන් 85% ක් පමණ වූ ගම්බද වැසියන් කෘෂිකර්මය නැවත නඟාලන්නට පියවර ගත්හ. සාගතය කෙමෙන් අඩු වී ජනතාවට නැවතත් කන්න ලැබුණි. කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට ලැබුණු මිල ගණන් අඩු වූහ. කාර්මික නිෂ්පාදන හිඟ වූ අතර ඒවා මිලෙන් ද අධික වූහ. බදු මට්ටම් ද ඉහළ වූහ. ආහාර නිෂ්පාදනයේ යෙදුනු ගම්වැසියන්ට තමන් නගරවාසීන්ට වඩා පහළ පංතියක ඉන්නා බවක් දැනෙන්නට පටන් ගැනුණි. ඔවුන් ජීවත් වූ පළාත්වල අධිකාරි බලය යොදාගෙන ඒ නිලධාරීන් කැමති ලෙසකින් ඔවුන්ට සලකන්නට හැකියාව දිගින් දිගටම පැවතිණ. මත්පැන් භාවිතය වැඩිවිණ. අල්ලස් දූෂණ වංචා වැඩිවිණ.

GPU විසින් සාමාන්‍ය වැඩ කරන සේවකයන් අතර සිද්ධ වෙන සියළු කටයුතු නිරීක්ෂණය කර දැනුම් දීමට ඒජන්තවරුන් පත් කර තිබිණ. ගම්බද සංචාරයට යන සේවකයන් රැගෙන එන්නේ මොනවාදැයි ඇසුරු කරන්නේ කාවදැයි සියල්ල ගැන විපරම් කෙරිණ. වැඩ වර්ජන නොමැති වූවත්, විරැකියාව ඉහළ වූවත්, යම් උද්ඝෝෂණයක් ඇති කරන්නට හැකියාව ඇති අය ගැන GPU විසින් ඇස් ගසා ගෙන සිටියහ. නමුත් සැලකිය යුතු කලබල සිද්ධ නොවීය.

GPU පිහිටුවීමෙන් පසු 1953 දක්වා සිද්ධ වු එකම සේවක අඩු කිරීම 1924 -1926 කාලය තුල සිද්ධ විය.

“සමාජයට අනතුරුදායක පුද්ගලයෙක්” යන ප්‍රතිවිප්ලවීය කටයුත්තක යෙදුනෙක්ව හැඳින්වීම 1924 දී පටන් ගැනිණ.

1926 දී ඩිජෙරෙන්ස්කි මිය ගියේය. එහි ප්‍රධානියා වූයේ වයචෙල්ස්ලාව් රුඩොල්ෆොවිච් මෙසිනෙස්කි නැමැත්තායි. ඒ වන විට GPU තුල ට්‍රොට්ස්කිට සහ බුකරින්ට එරෙහිව ජෝසෆ් ස්ටාලින්ගේ මෙහෙයුම් ක්‍රියාවට නංවන්නට පටන් ගෙන තිබිණ.

1927 ජනවාරි මාසයේ ‘සෝවියට්-විරෝධී සහ සමාජයට අනතුරුදායක’ අය වර්ගීකරණය යුහුසුළු කෙරිණ. ඒ වසරේ දී එසේ වර්ගීකරණය කරන ලද සංඛ්‍යාව 72,000 කි.

ලෙනින්ග්‍රෑඩයේ පැවති කොමියුනිස්ට් සංවිධාන අතරින් පක්ෂයේ අයිඩියලොජියට එකඟත්වයක් නොදක්වන අය යැයි පුද්ගලයන් දිනපතා සොයා ගැනිණ. බල අරගලයේ ඕනෑම ප්‍රතිවාදියෙක් එසේ නම් කර, ඔවුන්ව පක්ෂයෙන් නෙරපා හැරීම පමණක් නොව, සිය ගණනින් ඔවුන්ව ඈත පිටිසර පළාත්වලට පිටමං කරන ලදි. ඔවුන් සමාජයට අනතුරුදායක යැයි නම් කරන ලද නිසා ඔවුන්ට රස්සා දීමට ගම්බද ජනතාව පවා බිය වූහ. ට්‍රොට්ස්කිට පක්ෂපාතී වූවන් ද රට පුරා දහස් ගණනින් එසේ වර්ගීකරණය කර, සිය ගණනින් අත් අඩංගුවට ගෙන දේශපාලන සිරකඳවුරු වලට ගාල් කරන ලදි. ට්‍රොට්ස්කිවත් අනතුරුව සෝවියට් දේශයෙන් පිටමං කෙරිණ.

බොල්ෂෙවික්ස් භීෂණය අවසන් කර, සෝවියට් රුසියාව කඩාකප්පල් කරන ‘ප්‍රතිවිප්ලවීය’ වෑයමක් නැඟී ඒම මර්ධනය කර රට බේරාගත් ජෝසප් ස්ටාලින් පක්ෂයේ ශක්තිමතා හැටියට ඉදිරියට ආවේය.

ඒත් සමාජවාදයට හැම විටම හතුරෙක් සිටිය යුතුමයි. සියළු වැරදි පටවන්නටත්, සියළු භීෂණ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්නටත් ජනතාවට ‘හතුරෙක්’ පෙන්වන්නට අවශ්‍යයයි. මෙවර සෝවියට් පාලකයන් “ගම්බදවාසී හතුරා” වර්ගීකරණය ගෙන ආහ.

කාර්මික නිමි භාණ්ඩ හිඟ වීමත් සහ ඒවායේ මිල වැඩිවීමත් නිසා, රජය විසින් අඩු මිලට කෘෂිකාර්මික නිෂ්පාදන මිල තීරණයත්, එකතු කරන ලද ආයතනවල අඩුපාඩුකම් නිසාත්, බදු ඉහළ යාම නිසාත්, 1928 දී ගම්බදවාසී ගොවියන්ගේ කෘෂිකාර්මික ඵලදාව අඩු විය. ස්ටාලින් විසින් මෙය ‘කුලාක් වැඩ වර්ජනයක්’ යැයි නම් කළේය.

වෙළඳපොලේ මිලෙන් කාලකටත් වඩා අඩු මිලකට සිය කෘෂිකාර්මික නිෂ්පාදන රජයට බාර දෙන්නට ගොවියන් අකැමති වෙද්දී, ස්ටාලින් රජය කළේ රජයට පවරාගන්නා ප්‍රමාණය හතර ගුණයකින් වැඩි කිරීමයි. දණ්ඩ නීතියේ 107 නියමය ගෙනැවිත්, මිල ඉහළ යන ලෙසකින් කටයුතු කරන ඕනෑම අයෙකුට වසර 3 ක සිර දඬුවමක් නියම විය. මේ නියමය ඉතා ප්‍රථුල ලෙසින් ක්‍රියාත්මක කරන ලදි. වසර දෙකක් තුල දී බදු මට්ටම් දහ ගුණයකින් ඉහළ යවන ලදි.

ජෝසෆ් ස්ටාලින් විසින් ‘කුලාක්හරණය’ පටන් ගත්තේ එතැනින්.

මේ සටහන් මාලාව ලියන්නේ සමාජවාදයේ කළු පොත ඇසුරින්.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මැයි 24, 2017 at 2:26 පෙ.ව.

    ට්‍රොට්ස්්කි වාදින් තර්ක කරනුයේ නිලධාරිවාදය නැග ආවේ ස්ටාලින් ප්‍රමුඛ අය නිිසා බවයි.නමුත් ලෙනින් ගෙ මූලිකත්වයෙන් විප්ලවය සිද්ද වු දා පටන්ම නිලධාරිවාදය බිහිව එන අයුරු පැහැදිලියි. ඒ ගැන මෙම ලිපි මාලාව කියවීම තුලත් දැනුමක් ලබා ගත හැකියි

    • arunishapiro said, on මැයි 24, 2017 at 7:46 පෙ.ව.

      krishramanayaka71,

      කුරිරු මතවාදයක් සුද්ද කරන්න බැහැ කියල තාම පිළිගන්නෙ නැති අය ඕන තරම් ඉන්නව. කාල් මාක්ස්ට බැරිවෙච්ච දේ ලෙනින් කරන්න ගියා. ට්‍රොට්ස්කිට ලැබිච්ච සුළු බලය පවා ඔහු පවා පාවිච්චි කළේ මිනිස් ජීවිත හානියට. ලෙනින් කරගෙන ගිය දේ ඊටත් වඩා කාර්යක්ෂමව කරන්න ගියේ ස්ටාලින්. අන්තිමට නිලධාරිවාදය ඇතුලෙන්ම කඩා වැටුණ. ඔය වෙලාවට බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වැනි සමාජවාදීන් ගැලවෙන්නේ ‘වෙන ජනතාවක් පත් කරගන්න’ වගේ කවියක් ලියල!!!

  2. Manoj said, on මැයි 24, 2017 at 5:32 පෙ.ව.

    මේ ගැන ලියවුනු පසුගිය සටහන් කිහිපයත් බැලුවා.

    ස්ටාලින් ගේ “ප්‍රතිවිප්ලවාදීන්” පිටු වහල් කිරීමත් දෙවැනි ලෝක යුද්ධ සමයේ “අවසන් විසඳුම” කියලා යුදෙව්වෝ පිටුවහල් කරපු හිට්ලර්ගේ ක්‍රියාදාමයත් එකට සමපාත වෙනවාද ?

    • arunishapiro said, on මැයි 24, 2017 at 7:56 පෙ.ව.

      Manoj,

      ස්තූතියි කියවන්න එනවට.

      කෙටියෙන් කිව්වොත් ඔව්. ජර්මනියේ ජාතික සමාජවාදී චින්තනය කාල් මාක්ස්ට කළින් සිට පැවැත එන එකක්. නාට්සි ගෙන ගිය Zwangswirtschaft කියන්නේ ව්‍යාපාර පාලනය සම්පූර්ණයෙන්ම රජය සතුව තිබීම. හිට්ලර් සමාජවාදී පක්ෂයක ෆැසිස්ට්වාදී නායකයෙක් කියන එක බොහෝ අය නොසලකා හරිනව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: