අරුණි ශපීරෝ‍ වෙතින්

‘සොසො’ නොහොත් ‘කොබා’ නොහොත් ජෝසෆ් ස්ටාලින්

Posted in Uncategorized by arunishapiro on මැයි 24, 2017

1922 සිට 1953 දක්වා බොල්ෂෙවික් පක්ෂයේ ලේකම් වූ ද, 1941-1953 දක්වා සෝවියට් දේශයේ අගමැති වූ ද, ජෝසෆ් ස්ටාලින් ගැනයි මේ සටහන.

සෝවියට් දේශයේ ඉඩම් 1917 දී ජනසතු කරන ලද නිසා ගොවිතැන් සාමූහිකව කිරිම 1920 ගණන් වල දී සිට තැන තැන ඇරඹී තිබිණ. පංතියක් හැටියට කෘෂිකර්මයේ යෙදී සිටි කුලාක් අයව මුලිනුපුටා දමන්නට 1930 දී ස්ටාලින් දියත් කළ කුලාක්හරණය නිසා ආහාර හිඟය යළිත් පැතිර යද්දී, ඔහු රජයේ නියාමන යටතේ කොල්කෝස් නමැති සාමූහිකරණ කෘෂිකාර්මික ක්‍රමය නිර්මාණය කළේය. මෙය සෝවියට් දේශයේ 16 වැනි කොංග්‍රසයෙන් අනුමත කරනු ලැබූ පළමු පස් අවුරුදු සැලැස්මයි.

එතෙක් පැවති සමූපාකාර ක්‍රමයේ ලක්ෂණ ඉවත් කෙරිණ. ඉඩම් නොවන සියළු සම්පත් නාමික සම-අයිතියකින් යුතුවිය. මෙවැනි සාමූහික ගොවිපොලකින් කැමැත්තෙන් අයින්වීමට නිදහසක් නොමැති විය. සියළු තීරණ ‘ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරන ලද’ කළමනාකරණයෙන් සිද්ධ වූ නිසා ඵලදායී නිෂ්පාදනයේ යෙදෙනවා වෙනුවට සැලසුම් සහ ඉලක්ක හැදීමත්, රබර් මුද්‍රා තැබීමත් පමණකට සේවය සීමා වූහ. විප්ලවයේ 12 වැනි සංවත්සරයේ දී, ජනතාව කැමැත්තෙන් එකඟ වූවා යැයි කියමින් සම්මත කරගන්නා පරිපූර්ණ සාමූහිකරණයෙන් ලෙනින් ගෙනෙන ලද ‘නව ආර්ථික ප්‍රතිපත්ති’ ඉවත් කෙරිණ.

1928 දී ස්ටාලින්ගේ ආණ්ඩුව තවත් සමාජ කොට්ඨාශයක් හා විරසක වූහ. ඒ ‘බුර්ජුවාසි විශේෂඥයන්’ හැටියට සැලකුණ ස්පෙට්සි හෙවත් කාර්මික අංශයේ ‘සුදු කොලර’ තනතුරු හා කොමිසරේට් හි කළමණකාරන තනතුරු හොබවන ලද පිරිසයි. පතල් කර්මාන්තයේ කඩාකප්පල් සැලැස්මක් හෙළිදරව් වූවා යැයි නිවේදනය කර, බටහිර මුල්‍ය කොම්පැණි හා ගණුදෙනු පවත්වන ලදැයි කියමින් ඉංජිනේරුවන් සහ විධායක කළමනාකරණ තනතුරු දැරූ 53 දෙනෙකුට බරපතල චෝදනා ගෙනෙන ලදි.

එය 1922 න් පසුව මහජනතාවට ප්‍රදර්ශනය කිරීම සඳහා පවත්වන ලද ප්‍රථම නඩුවයි. එහි දී 11 දෙනෙකුට මරණ දඬුවම නියම විණ. 5 දෙනෙකු වෙඩි තබා මරා දැමිණ. අනතුරුව කඩාකප්පල්කරුවන් යැයි හඳුන්මින් දහස් ගණනින් ඉංජිනේරුවන් සහ විධායක තනතුරු දැරූ අයව අත් අඩංගුවට ගෙන නඩු තීන්දු කරමින් දඬුවම් හැටියට මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපාර වලට ගාල් කරන ලදි. ඒ අංශයන්හි සේවය කළවුන් අතරින් විශාල සංඛ්‍යාවක් GPU ට “හතුරන් ගැන” ඔත්තු සපයන්නට කැමැත්තෙන් ඉදිරිපත් වූහ.

මෙවැනි පීඩක මෙහෙයුම් නිසා ආර්ථිකය තවත් දුබල විය. විරැකියාව ඉහළ යමින් අපරාධ තවත් වැඩි විය. සිරගෙවල් පිරී යද්දී අපනයනය සඳහා වනාන්තරය කපා ලී නිෂ්පාදනය කරන්නට සිරකරුවන්ව ඈත පිටිසර සිර කඳවුරු හදා ඒවාට වලට පිටත් කර හරින ලදි. ලී අපනයන නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා 1928 දී සොලොවෙට්සි කඳවුරේ GPU සිරකරුවන් 38,000 ක් වූහ.

1930-31 වසර වල දී ගෙන යන කුලාක්හරණයේ දී ගම්බද ජනතාව මිලියන 2 කට වඩා සංඛ්‍යාවක් උන්හිටි පළාත් වලින් සයිබීරියාවේ සහ කසකස්ථානයේ වනාන්තර මැදට යවන ලදි. පිටමං කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සීතල දරා ගැනීමට නොහැකිව, ආහාර නොමැතිව සහ පැතිර ගිය බෝවෙන රෝග නිසා ලක්ෂ ගණනින් කුලාක් වැසියන් මිය ගියහ. ගුලාග් සිර කඳවුරු වල 1935 වෙද්දී ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් සේවය කළහ. සමහර අවස්ථාවල දී ඔවුන් මිනීමස් කෑහ. ඒ ඛේදවාචකයේ පටන් ගැනීම පමණි.

ගම්බද වැසියන් සහ කර්මාන්ත සේවකයන් මට්ටු කරන්නට ගෙනා ප්‍රතිපත්ති නිසා 1932-33 දී ආහාර හිඟය වැඩි වී යළිත් දරුණු සාගතයක් පැතිර ගියේය. ලෙනින් ගෙනා සාගතයේ දී මෙන් විදේශ සහනාධාර ඉල්ලන්නට ඉඩකඩක් ස්ටාලින් ඇතුළු පාලකයන් නොදුන්හ. ඒ වෙනුවට ඔවුන් පැතිර යන සාගතය මුලින් රට්ටු වෙතින් ද, අනතුරුව සෙසු ලෝකය වෙතින් ද වසන් කළහ. සාමූහික ගොවිපල ක්‍රමයෙන් පැතිර ඇති සරු වගා බිම් සහ පැසසුම් කළ යුතු වාරිමාර්ග ක්‍රම වලින් “මහේශාක්‍ය අස්වනු” දකින්නට ඇතැයි කියා රැඩිකල් පක්ෂයෙන් ප්‍රංශ සෙනෙට් සභිකයෙක් වූ එඩුවර්ඩ් හෙරියට් සහ පුලිට්සර් තෑගි දිනන වොල්ටර් ඩුරාන්ටි වැනි ‘ප්‍රයෝජනවත් මෝඩයන්’ ලොව එමට සිටියහ.

ස්ටාලින් ගෙනා දේශපාලන ප්‍රතිපත්ති වලින් ඇති වෙන මෙහ දරුණු සාගතය නිසා 1932-33 දී මිලියන 6 ක ජනතාවක් මිය ගියහ.

1937-38 දී GPU චෝදනා වලින් පමණක් වෙඩි තබා මරන ලද සංඛ්‍යාව 680,000 කි.

1934-1940 දී සිර කඳවුරු වල දී මිය ගිය සංඛ්‍යාව ලක්ෂ හතරකි. ප්‍රවාහනයේ දී මිය ගිය සංඛ්‍යාව ඊට ඇතුලත් නැත.

පිටමං කරන ලද්දවුන්, සරණාගතයන් අතරින් ලිඛිතව සටහන් වෙන මරණ සංඛ්‍යාව ලක්ෂ හයකි.

2,200,000 ක සංඛ්‍යාවක් බලහත්කාරයෙන් උන් හිටි තැන් වලින් පිටුවහල් කරන ලදි.

1934-1941 දක්වා ගුලාග් කඳවුරු වෙත යවන ලද සංඛ්‍යාව මිලියන හතක් යැයි සැලකේ. 1953 වෙද්දී වයස අවුරුදු 4 ට අඩු අනාථ ළදරුවන් 35,000 කට අධික සංඛ්‍යාවක් මේ කඳවුරු වල සිටියහ. ස්ටාලින්ගේ මරණයෙන් පසුව 1953 මැයි 27 වැනිදා මිලියන 1.2 ගුලාග් සිරකරුවන් නිදහස් කරන ලදි.

මේ ශුද්ධ කිරීම් නමින් වූ මහා භීෂණ යුගය 1936 සිට 1938 දක්වා පැවතුණි. එහි දී මිය ගිය බහුතරය කාගේ කවුරුන්දැයි කියා කිසිවෙක් නොදත්හ.

1939 අගෝස්තු 24 වැනිදා හිට්ලර් සහ ස්ටාලින් ඔවුනොවුන්ට එල්ල කරන ප්‍රචණ්ඩත්වයෙන් වැළකෙනවා යැයි පොරොන්දු ගිවිසුමක් අත්සන් කළහ. හිට්ලර් සහ ස්ටාලින් දෙදෙනාම ගෙන ගියේ එක හා සමාන අයිඩියලොජි යැයි දකින්නට බැරි අය තවම බොහෝ වෙති.

භීෂණයෙන් සහ බලහත්කාරයෙන් වැඩ ගැනීම රුසියාවේ කොමියුනිස්ට්වාදයයි. මිලියන 25 ක් අවතැන්ව සිටියහ. ඒත් දේශපාලක පංතියේ ඉහළ තනතුරු දැරූ අය ගෙව්වේ ඩාචා නමින් හැඳින්වෙන ජර්මන් විලාසිතා වලින් හැදූ සුපිරි මන්දිර වලයි. ඔවුන්ගේ දරුවන්ගේ සතුට පිණිස සත්තු වත්තක් ඉදි කිරීම එවක විලාසිතාව විය. ස්ටාලින්ට Zubalovo One නමින් මන්දිරයක් විය. එය වටා විසල් උද්‍යානයක එළවළු පාත්ති, කිරි ගවයන්, පාත්තයන් හා තාරවන්, හාවන්, කුකුලන්, මල් පාත්ති, ස්ට්‍රෝබෙරි හා චෙරි ගස් ද, ටෙනිස් සෙල්ලම් කරන්නට සහ අශ්වයන් පිට යන්නට අවශ්‍ය පහසුකම් ද තිබිණ. දරුවන්ගේ නිදන කාමර ඉහළ මහලේ වූ අතර වැඩිහිටියන් පහල මහලේ නිදාගත්හ. නිවසේ බිලියඩ් කාමරයක්, පුස්තකාලයක්, රුසියන් නාන කාමරයක් සහ සිනමා කාමරයක් ද තිබිණ. තමන්ටත් පවුලටත් අවශ්‍ය සියළු සැප සම්පත් රජයෙන් ලබාගන්නට සමත් වූ ඔවුනට මුදල් භාවිතයට අවශ්‍යතාවයක් නොවීය.

ස්ටාලින් ඇතුළු පාලන බලයට ගිජු වූවන්, තමනට අභියෝගයක් එල්ල වේ යැයි සැක කරන ඕනෑම දේශපාලකයෙක්ව ද, ඔවුන්ගේ අඹු දරුවන්ව ද, මරා දමන්නට කිසිත් ලෙසකින් පසුබට නොවූහ. කිසිවෙක් හෝ පවුලේ අයෙක් බේරා දෙන්න යැයි කියා අයැදින ලද හොත් කොතරම් ජනප්‍රිය වූවත්, කෙතරම් දක්ෂ වූවත්, කොතරම් හිතවත්ව සිටියත්, ඔවුන්ව ද ක්ෂණිකව ඝාතනයට කිසිත් ලෙසකින් පසුබට නොවූහ.

ජනතාවක් මරුමුවට කැඳවාගෙන ගිය කුරිරු මතවාදය ස්ටාලින්ගේ මරණයෙන් අවසන් නොවීය. වෙනිසියුලාව අනිවාර්ය වැඩ ගැනීම මේ වසරේ නීත්‍යානුකූල කරන ලදි. ඔම්ලට් නොහදන බිත්තර කැඩීම උත්කර්ෂවත් කරන ප්‍රංශ ඇලෙන් බදියූ වැනි මාක්ස්වාදීන් කියවන ශ්‍රී ලාංකික ප්‍රයෝජනවත් මෝඩයින් අදත් නොමඳව සිටිති.

Simon Sebag Montefiore විසින් 2003 දී ලියන ලද Stalin, The Court of the Red Tsar සහ කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරින්.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on මැයි 24, 2017 at 7:49 ප.ව.

    ඒත් දේශපාලක පංතියේ ඉහළ තනතුරු දැරූ අය ගෙව්වේ ඩාකා නමින් හැඳින්වෙන ජර්මන් විලාසිතා වලින් හැදූ සුපිරි මන්දිර වලයි///// ඩාකා නොවෙයි දාචා නොහොත් ඩාචා ,

  2. Transylvania said, on මැයි 24, 2017 at 7:50 ප.ව.

    Many Soviet and the international politicians observed certain abnormal traits in Stalin’s character. Vladimir Ilyich Lenin saw Stalin as a rude unsympathetic person. Leon Trotsky noticed Stalin’s unstable emotions. Nikolai Bukharin identified his insatiable desire for power disregarding moral values. Among the international politicians Winston Churchill become aware of Stalin’s coldness when he laughed and joked about the killing of hundreds of thousands of Soviet Kulaks while dining with him in 1942 at the Yalta conference. The Yugoslav Communist politician Milovan Đilas perceived inappropriate humor, sycophancy, vulgarity and extreme manipulativeness in Stalin.

    • arunishapiro said, on මැයි 25, 2017 at 6:37 පෙ.ව.

      Transylvania,

      නමුත් ඒ කිසිම කෙනෙක් අනුන්ගේ වෙහෙසේ ඵලදාවට වෙනකෙකුට අයිතියක් ලැබෙන ක්‍රමයක දී ස්ටාලින් වැන්නෙක් අනවරතයෙන්ම බලය අල්ලා ගන්නට සමත් වෙන පාලකයා යැයි පිළිගත්තේ නැහැනේ.

      ලෙනින් කරපු දේවල් ස්ටාලින්ට වඩා අඩු වූයේ ලෙනින් කළින් මිය ගිය නිසා නෙවෙයි කියල හිතන අයත් ඉන්නව.

      ට්‍රොට්ස්කි කරපු කුරිරු ක්‍රියා ස්ටාලින්ට සහ ලෙනින්ට වඩා අඩු වූයේ ඒ දෙන්නටම වඩා ට්‍රොට්ස්කිට අල්ලගන්න ලැබිච්ච බලය අඩු වූ නිසා නෙවෙයි කියල හිතන අයත් ඉන්නව.

      ස්ටාලින්ව බලයට ගෙනාවේ ලෙනින් සහ ට්‍රොට්ස්කි එක්ක මුල ඉඳන් වැඩ කරපු නිකොලායි බුකරින්ම කියල අමතක කරන අයත් ඉන්නව.

      ආර්ථිකය සහ සමාජය (1925) ලියන මැක්ස් වෙබර් පොදු සමාජයෙන් කැපිලා පෙනෙන්න සමත්වෙන නායකයාගේ පෞරුෂය ගැන ලිව්ව. එයාට අනිත් අයට වඩා සුවිශේෂී බලයක් සහ ගුණාංග තියෙන විදියට සමාජය සලකන හැටි. අනිත් අයට නැති සුවිශේෂී දැක්ම එයාට තියෙන නිසා එයා යටතේ තමන්ගේ දියුණුව සැලසෙනවා යන විශ්වාසයෙන් පොදු ජනතාව ඒ නායකයා වටේ එක් රොක්වන ආකාරය.

      සිය වෙහෙස කෙසේ යොදවන්නේ ද, එහි ඵලදාව කෙසේ ප්‍රයෝජනයට ගන්නේ ද කියල හැම පුද්ගලයාටම තීරණය කරන්නට ඉඩක් ලැබෙන ධනවාදයේ එහෙම නායකයෙක්ට ඉඩක් නැහැ.

      ඇඩම් ස්මිත් ඒක පෙන්නල දුන්නේ 1776 දී.

      ඔය ට්‍රොට්ස්කිල, ලෙනින්ල, බුකරින්ල ස්ටාලින් දුෂ්ට යැයි කිව්වට සමාජවාදී ක්‍රමය වැරදියි කිව්වේ නැහැ!!!!

      • Transylvania said, on මැයි 25, 2017 at 8:18 පෙ.ව.

        ලෙනින් පන්තියකට එරෙහිව භීෂණය යොදා ගත්තා. ඔහු ඝාතන සඳහා යොදා ගත්තේ පෝලන්ත ජාතික ෆීලික්ස් දෙර්ශීන්ස්කි. සාර් රජ පවුල ඝාතනය කරන්නේත් ලෙනින් ගේ නියෝග මත​. ස්ටාලින්ට බලයට එන්න උපාකර කලේ බුහාරින්, කාමිනියෙව් , සිනවියෙව්. මේ අයටත් පසුව ස්ටාලින් වැඩ දුන්නා. ස්ටාලින්ට විරුද්ධ උනේ ට්‍රොස්කි සහ කෘප්ස්කයා පමණයි. ස්ටාලින් කලේ අර ඝාතන තව මහා පරිමානයෙන් කිරීම​. ට්‍රොස්කි බලයට ආවත් කරන්නේ මහා ඝාතන​. මේ ඉතිහාසය මනෝවිද්‍යාත්මකව පැහැදිලි කිරීමට මම PTSD in the Soviet Union යන පොත ලිව්වා. ලංකාවේ ඉන්න වෙන්ඩ ලෙනින්ලා මේ ඉතිහාසය හදාරලා නෑ. ඔවුන් ලෙනින්ව කියවූයේ ගුරු ගීතය හරහා පමණයි. මගේ පොත පිලිබඳව මෙතනින් කියවිය හැක​. ලින්ක් :

  3. krishramanayaka71 said, on මැයි 30, 2017 at 12:55 පෙ.ව.

    ස්ටාලින්ගෙ වැඩ ගැන එයාගෙ හතුර උනු ට්‍රොට්ස්කි වාදින් ලිව්ව මොස්කව් අවනඩු පිටුපස කියන පොත ස්ටාලින්ගෙ වැඩ ගැන ලස්සනට කියනව. හැබැයි ට්‍රොට්ස්කිගෙ වැඩ ගැන ඒකෙ නෑ.

    • arunishapiro said, on මැයි 30, 2017 at 7:56 පෙ.ව.

      krishramanayaka71,

      ස්ටාලින් නොඑන්නට අපිට අහන්න ලැබෙන්නෙ ලෙනින්ට පසු පීඩකයෙක් වූ ට්‍රොට්ස්කි ගැනයි. 1905 දී පෙට්‍රොගෑඩ් සෝවියට් නිර්මාණයේ සිට 1921 ක්‍රෝන්ස්ටාඩ් කැරැල්ල දක්වා ඔහු මේ කුරිරුකම් පවත්වාගෙන යෑමට සෑහෙන වැඩ ගොඩක් කළා. විප්ලවීය හමුදා කමිටුව, 1918 දී ජර්මන් අය එක්ක ගණුදෙනු කළ ප්‍රධාන පුද්ගලයා වීම, රතු හමුදාව නිර්මාණය, යුද කොමිස්සාර්, වගේම ආර්ථික ක්‍රමවේද ගේන්නටත් ලෙනින් එක්ක කරට කර වැඩ කළේ ට්‍රොට්ස්කි. ස්ටාලින්ගේ හෙංචයියෙක් ට්‍රොට්ස්කිව මරලා දැම්ම නිසා අපිට අහන්න ලැබෙන්නෙ ස්ටාලින් ගැනයි.

      අපි අපිට කියාගන්න වාමාංශිකයන්ව දක්කාගෙන යන්න අනිකුත් මිනිසුන් අභිබවා ගිය හැකියා වලින් යුතු නායකයෙක් නැතිවම බැරිකම ඒ කුරිරු මතවාදයේ දෝෂයක් යැයි රැළේ යන අය නොදැකීම කැපී පෙනෙන ලක්ෂණයක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: