අරුණි ශපීරෝ‍ වෙතින්

පංති නැති සමාජයක් පොරොන්දු වී පාලක පංතිය බිහිකිරීම

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2017

සෝවියට් රුසියාව පොරොන්දු වූයේ භෞතික සහ සමාජයීය සමානාත්මතාවයෙන් යුතු පංති නැති සමාජයකි. ඒත් ඔවුන් ගෙනෙන ලද්දේ බලය සහ වරප්‍රසාදය දැක්වෙන ධූරානුක්‍රමවේදයකි. අල්ලස් හා දූෂණ, කුමන පුද්ගලයාව දන්නවා ද යන්න සහ ප්‍රියකරනවුන්ට වැඩියෙන් සැලකීම සෝවියට් සමාජවාදී සමාජයේ සහමුලින් පැතිර පැවතිණ. ලංකාව වගේමයි.

සියල්ලේ අයිතිය, නිෂ්පාදනය සහ බෙදාහැරීම රජය සතු වූ නිසා, ‘සලකන්නට’ අවශ්‍ය කුමන අයට දැයි දැන සිටීම ඉතා වැදගත් විය. භාණ්ඩ බෙදා හරින අමාත්‍යාංශ සඳහා, පක්ෂයේ තනතුරු සඳහා, ජනසතු කරන ලද කර්මාන්තවල නිෂ්පාදන අධීක්ෂණය සඳහා, පක්ෂයේ දැක්ම අනුව සමාජය දැනුවත් කරන පුවත්පත් කර්තෘවරු, වෘත්තීය සමිති හසුරුවන පක්ෂ අධ්‍යක්ෂකවරුන් යනාදී තනතුරු වලට මිනිස්සු අවශ්‍ය විණ. බොහෝ දුරට ලංකාව වගේමයි.

කඩා බිඳ දැමූ ට්සාර් ක්‍රමයේ සුන්බුන් වලින් නව මිනිසෙක් හදන්නට පොරොන්දු වූ රතු සමාජවාදීන්ට හිටියේ ද ස්වාර්ථය පෙරදැරි කරගත් මිනිස්සු පමණි. වාසිදායක මාර්ග සොයා යන, තමන්ගේ සහ තම පවුලේ හා හිතවතුන්ගේ ජීවිත වැඩි දියුණු කරගන්නට හැකි අවස්ථා සොයන, ‘සමාජයට පවරණ ලද’ හිඟ සම්පත් පෞද්ගලික භාවිතයට යොදාගන්නට නොපසුබට, සෝවියට් ආණ්ඩුවේ මිත්‍රකම් හදාගත් අය මිසෙක පත් කරගන්නට වෙන ජනතාවක් නොසිටියහ.

බ්‍රිතාන්‍යයෙන් ගැලවෙන ලංකාව ආදේශ කරගත්තේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයයි. අනතුරුව සමාජවාදයෙන් පොරොන්දු වූ යහපත හා දියුණුව සාධනය නොවෙද්දී බනින්නේ නම් කිසිදා ඉඩ නුදුන්, සෝවියට් වෑයමේ අසාර්ථකත්වය සඟවා සමාජවාදය උත්කර්ෂවත් කරමින් ඇඩම් ස්මිත් ගැන කියා නොදෙන මහාචාර්යවරුන් උගන්වන ධනවාදයටයි.

සෑම සමාජවාදී උත්සාහයක්ම අසාර්ථක වනුයේ මන්දැයි අවබෝධයට අවංකවම සත්‍යය පවසන්නා සහ හද පතුලෙන්ම බොරුව පතුරවන්නට ඉදිරිපත් වෙන්නා අතර වෙනස පහදා ගන්නට අවශ්‍යයයි.

සෝවියට් පාලනය යටතේ අත් දැකි කුරිරු තත්වය එසේ නොවේ යැයි විශ්වාසයකින් එම තතු දත් අය රැවටුනේ නැත. ඔවුන් එය උන්මාදයක් පමණක් සේ සලකති. එම උන්මාදයට ඉඩක් ලැබෙන්නේ, අයෙකුගේ වෙහෙසේ ඵලදාවට වෙනකෙකුට අයිතිය කිව හැකියි කියන කුරිරු මතවාදය බව පිළිගන්නට ඔවුන් හද පතුලෙන්ම අකමැති වෙති.

හැරල්ඩ් ලැස්කි ඊට කදිම උදාහරණයකි. අපේ කාලයේ විප්ලවය ගැන ආපසු හැරී බැලීමක් -Reflections on the Revolution of Our Time නමින් පොතක් ලියන ඔහු 1946 සැප්තැම්බර් 19 වැනිදා Town Meeting Air නමින් වූ ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගී විය.

රුසියාවේ කොමියුනිස්ට් අපරාධ ගැන කතාබහේ දී, “රුසියාව අපරාධ කරලා නැහැයි, සිතාගන්න බැරි තරම් මෝඩකම් සහ දැවැන්ත වැරදි කරලා නැහැයි කියන එක නෙමෙයි මගේ කර්තව්‍යය; ඇමෙරිකාවත් ඒවා කරලා තියෙනව, මහා බ්‍රිතාන්‍යයත් ඒවා කරලා තියෙනවා,” යැයි ලැස්කි කීය.

ඉහත ලැස්කි ලියූ පොතේ මෙසේ සඳහන් වේ: “1936 දී ව්‍යවස්ථාවෙන් දුන් පොරොන්දු තිබුණ ද, ස්ටාලින්ගේ අනුගාමිකයන්ට හැර අනිත් අයට නිදහස් ප්‍රකාශයට ඉඩක් නැත, රැස්වීම් පවත්වන්නට හෝ මාධ්‍ය නිදහසක් නැත. හැමෝම දන්නවා මැතිවරණ බොරුවට තියන ඒවා කියල; පක්ෂය කියන එක ප්‍රතික්ෂේප කරන අයට චන්ද අපේක්ෂකත්වය ලැබෙන්නෙ නැහැ. ඔවුන්ගේ චන්ද පත්‍රිකා වුනත් කියැවෙන්නේ ස්ටාලින්ට ගයන දේව ගීතිකා වගේ. නිදහසේ ගමන් කිරීම දැඩි සේ සීමා කරල තියෙන්නෙ. විදේශිකයන් ඇසුර පවත්වා ගැනීම දිහා සැකයෙන් බලන්නෙ. හිතුමතයේ අත් අඩංගුවට ගන්නව. දීර්ඝ කාලීනව සිරගත කරනව සහ නඩු නැතිව වෙඩි තබා මරනව. ආණ්ඩුවේ අවසරයක් නැතිව පුරවැසියන්ට පිටරට යන්න බැහැ. දේශපාලන වැරදි ගැන නඩු අහන්නේ රහසිගතව. හබායස් කෝපස් ආඥාවකට අයිතියක් නැහැ. සාමූහික දේපල වලට හානියක් කළොත් නැත්නම් හොරකම් කළොත් මරණ දඬුවම නියම වෙනව. අපරාධ නීතියේ 58 වැනි ඡේදය අනුව කොමියුනිස්ට් කම්කරුවන් අතර ‘ෂොක් සේවක’ ගෞරව නාමය දිනාගත් අයෙකුට උසුළු විසුළු හෝ නීතිය ඉදිරියට ගේන්න හැදුවොත් මරණ දණ්ඩනය ලැබෙනව.”

එතැන දී ලැස්කි ලියූ පොත කියවාගෙන ගිය මැක්ස් ඊස්ට්මන්ව නවත්වා “ඉතින් මේ ගැන කුමක් හෝ කියනවා ද” යැයි ලැස්කි ගෙන් වැඩ සටහනේ නිවේදකයා විමසීය. ලැස්කි දෙන්නේ එක පිළිතුරකි. ‘නැහැ.’ සමාජවාදියා යනු හද පතුලෙන්ම බොරුවට කැප වූවෙකි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ආණ්ඩු මානුෂික අයිතිවාසිකම් කඩද්දී, ඒවා සිද්ධ වෙද්දීම, ඒ ගැන මුලින්ම සහ නොබියව හඬ නැඟුනේ ඒ රටවල රටවැසියන් වෙතින්මයි. උදාහරණයක් හැටියට 1964-65 ගණන් වල දී උතුරු වියට්නාමයට සෝවියට් සහනාධාර, සෝවියට් ගුවන් නියමුවන් යැවෙද්දී සහ උතුරු වියෙට්නාම් කොමියුනිස්ට් කැරලිකරුවන්ට සෝවියට් දේශයේ පුහුණු ලැබෙද්දී සෝවියට් දේශයේ ඒ ගැන ප්‍රශ්න කරන්නට කිසිවෙක්ට ඉඩක් නොලැබුණි.

එහෙත් වියට්නාම් යුද්ධයට විරෝධය දක්වමින් ලොව විශාලතම විරෝධතා රැළිය පැවැත්වුනේ වොෂිංටන් ඩී සී හි දී ය. රුසියාවේ සිට උතුරු වියට්නාමයට ‘සහනාධාර ගඟක්’ ගලන බව 1967 ටයිම් සඟරාව වාර්තා කරන ලදි. නමුත් සමාජවාදීන් හුරු වී ඉන්නේ ටයිම් සඟරාවේ ඡායාරූප හුවා දක්වමින් වැරදි අර්ථ කථන පතුරුවන්නට පමණි.

සමාජවාදය යන කුරිරු මතවාදයේ අයහපත් ඵලවිපාක ඇතිවෙන්නේ නොවෙනස්වන මිනිස් ස්වභාවය නිසා යැයි කියද්දී එයින් අදහස් වනුයේ කුමක් ද? අයෙකුගේ වෙහෙස යොදවන්නේ කෙසේදැයි කියා හෝ එහි ඵලදාව ප්‍රයෝජනයට ගන්නේ කෙසේදැයි කියා තීන්දු කරන්නට වෙන අයට අයිතියක් ඇතැයි කියන දැක්ම බාරගන්නා සෑම අවස්ථාවක දී ම, පාලක පංතියකට බෙදන බලය පැවරීම යුක්ති සහගත යැයි පිළිගැනේ.

ධනවාදය යනු අයෙකු සිය වෙහෙස කෙසේ යොදවන්නේ ද, සහ එහි ඵලදාව කෙසේ පරිහරණය කරන්නේ ද යන්න තීරණය කිරීමයි. සමාජවාදය යනු පුද්ගලයෙක් කෙසේ වෙහෙසෙනවා ද, කෙසේ වෙහෙසේ ඵලදාව පරිහරණය කරනවා ද යන්න තීරණය පාලකයන්ට බාර දීමයි.

කුලියට පදවන ත්‍රීවීල් රියැදුරන්ට වයස 35 ක් විය යුතු යැයි නීතියක් ලංකාවේ ප්‍රවාහන අමාත්‍යංශය ගෙනෙන්නට යෑම පාලක පංතිය යොදා ගන්නා සමාජවාදයේ ප්‍රචණ්ඩත්වයට කදිම උදාහරණයකි.

පාලකයන් සහ පාලිතයන් යන භේදය වැඩි වර්ධනය කරන සමාජවාදය තව දුරටත් පංති සටන අහෝසි කරනවා යැයි බොරුව පතුරවන්නට හද පතුලෙන්ම කැප වී සිටින ලැස්කි වැන්නන්, පුරවැසියන්ට දක්වන ප්‍රචණ්ඩත්වය හමුවේ නිහඬව සිටිනවා සේ ම, සමාජවාදී පාලකයන් තමනට, තම පවුලට, නෑදෑ හිතවතුන්ට හිඟ පොදු සම්පත් බෙදා ගනිද්දී ද නිහඬව සිටිති.

“ක්‍රෙම්ලිනයේ සලාක යනු සාමාන්‍යයෙන් ලබාගත නොහැකි නිෂ්පාදනයන් විශේෂයෙන් ලබාගන්නට හැකියාව ලැබීමයි. ඉහළම ප්‍රමිතියකින් වූ ආහාර සඳහා එහි සාමාන්‍ය මිලෙන් බාගයකටත් අඩුවෙන් ගෙවා මිල දී ගන්නට ඉහළම තනතුරු දරණ අයට හැකියි. විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ ප්‍රමිතියෙන් යුතුව මේ විශේෂ සලාක වරප්‍රසාදය ලබන හතළිස්දාහක් මොස්කව් හි සිටිති. රතු කේන්ද්‍රයට ඉදිරියෙන් ක්‍රෙම්ලිනයට මුහුණ ලා ඇති දැවැන්ත GUM කඩමන්දිරයේ සම්පූර්ණ අංශ මහජනයාට විවෘත නැත. ඒවා ඉහළම තනතුරු දරණ අයට පමණක් වෙන් කර ඇත. ඊට පහළ මට්ටමේ තනතුරු දරණ අයට වෙනත් විශේෂ කඩවල් ඇත. ඔක්කොම ‘විශේෂ’ යැයි හැඳින්වේ. විශේෂ කම්මල, විශේෂ රෙදි අපුල්ලන්නන්, විශේෂ ක්ලිනික්, විශේෂ රෝහල, විශේෂ සේවා. ඒ වචනයේ අර්ථය කොතරම් නින්දාශීලී විදියට යොදාගෙන ඇත්ද!” බොරිස් යෙල්ට්සින්, Against the Grain, (1990)

රටවැසියන්ට සමාජවාදයේ නාමයෙන් දේශපාලන ප්‍රජාපීඩනය ගෙනන ලද්දේ රුසියාව පමණක් නොවේ. මන්දිරවල වාසය කරමින්, රස බොජුන් බුදිමින්, රෝල්ස් රොයිස් වලින් ගමන් කරමින්, රොලෙක්ස් අත් ඔරලෝසු අඳිමින්, දූ දරුවන්ව පිටරට බඩු සවාරි වලට යවමින්, ලෙනින් අවශ්‍ය යැයි කියූ ‘ප්‍රයෝජනවත් මෝඩයන්ගේ’ සහායෙන් සමාජවාදී පාලකයන් අදත් යහතින් වැජඹෙති.

සටහනට එකතු කරන ලෙනින්ගේ රෝල්ස් රොයිස් එකේ සහ වියට්නාම් විරෝධතා රැළියේ ඡායාරූප ගත්තේ ගූගල් වලින්. “සහතිකයෙන්ම අපි ඝාතන කරනවා,” කියා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අත්පොළසන් ලැබූ චේ ගුවේරාගේ රොලෙක්ස් ඡායාරූපය ගත්තේ රොලෙක්ස් සඟරා වෙබ් අඩවියෙන්.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Hannadige Asanka said, on මැයි 25, 2017 at 7:52 පෙ.ව.

    Thanks aruni

  2. Transylvania said, on මැයි 25, 2017 at 10:23 ප.ව.

    සමාජවාදී රට වල පන්ති භේදයක් නොමැති බව ලංකාවේ වම්මු විශ්වාස කළහ​. එහෙත් මගේ සත් වසක අද්දැකීම් අනුව සෝවියට් සමාජවාදී රාජ්‍යයේද එකල සෙසු සමාජවාදී රටවල් වූ පෝලන්තය , නැගෙනහිර ජර්මනිය​, බල්ගේරියාව රුමේනියාව යන රටවලද පන්ති භේද තිබූ බව නිරීක්‍ෂණය විය​. වෛද්‍ය පීඨයේ ධනවත් බලවත් සිසු සිසුවියන් මෙන්ම දුප්පත් සාමාන්‍ය පවුල් වලට අයත් වූ සිසු සිසුවියන් ද වූහ​. මින් සමහර දෙනෙකු මට තවම මතකය​. අප සමග නේවාසිකාගාරයේ සිටි ඊගර් පැමිණියේ කියෙව් නගරයෙනි. ඔහු සතුව වටිනා ඇඳුම් පැළඳුම් තිබූ අතර මේවා ඔහුගේ පියා මිලදී ගන්නා ලද්දේ බටහිර රටවල කරන ලද සංචාර වලදීය​. ඊගර් ගේ පියා කියෙව් නගරයේ කොමියුනිස්ට් පක්‍ෂයේ බලවතෙකි. ධනවත් සහ බලවත් පුද්ගලයන් අතර සාමාන්‍ය පවුල් වලින් පැමිණි දුප්පත් සිසු සිසුවියන් ද මට මතකය​. අපගේ නේවාසිකාගාරයේ සිටි වැලේරාට තිබුනේ පරණ ජර්සි කීපයක් , ශත වර්ශ කාලක් පමණ පරණ වූ හම ගිය හිම කබායක් සහ කලිසම් කීපයකි. ඔහු ඩෙනිම් කලිසම් වලට කෙතෙක් ඇළුම් කලේද යත් මගේ කාමරයට පැමිනි විට මා බටහිර ජර්මනියෙන් මිලදී ගත් ඩෙනිම් කලිසම් ආශාවෙන් අතගෑවේය​. රීගා පලාතේ තරුණයෙක් ඩෙනිම් කලිසමක් අත් කර ගැනීම සඳහා මිනිසෙකු මරා දැමූ කතාවක් ද ඔහු මට කීවේය​. වැලේරා කී පරිදි ඩෙනිම් කලිසම ඇඳි පුද්ගලයා පාළු පාරක යන විට ඔහුගේ ඩෙනිම් කලිසමට ලොබ බැඳි තරුණයෙක් කලිසම්කරුගේ හිසට ගලකින් ගසා ඔහුව මරා දමා ඩෙනිම් කලිසම පැහැර ගන්නා ලදි. පසුව පොලිසිය විසින් මිනීමරුවාව කොටු කර ගන්නා ලද්දේය​. අපගේ කණ්ඩායමේ සිටි වලෝෂ්නා දෙවන වසරේදී වින්ටර් විභාගයෙන් පසු ඉකි ගසමින් අඞනවා මම දුටුවෙමි. එයට හේතුව මම ලීනා ගෙන් ඇසුවෙමි. ලීනා කීවේ ඇයට ඇනටමි විභාගයට තුනක් ලැබී ඇති බවයි. (වෛද්‍ය පීඨයේ ලකුණු දුන්නේ මෙසේය ; පහ යනු විශිෂ්ඨද , හතර යනු හොඳ ලෙසටද තුන යනු සාමාන්‍ය මට්ටමද දෙක යනු අසමත් ලෙසටද යනුවෙනි ) වලෝෂ්නා අසමත් වී නැති බවත් සාමාන්‍ය මට්ටමේ තුනක් ලැබුවාට පොළවේ හැපී අඞා වැටීම අනවශ්‍ය බවත් මම ලීනාට කීවෙමි. ඊට පිළිතුරු ලෙස ලීනා පැවසුවේ විභාගයට තුනක් ලැබීම නිසා ලබන සිමෙස්ටරය දක්වා වලෝෂ්නාට ස්තිපෙන්දියා (stipend ) නොලැබෙන බවත් ඇයගේ දෙමාපියන් දුප්පත් ගොවීන් බවත් ය​

  3. Manoj said, on මැයි 26, 2017 at 1:40 පෙ.ව.

    කලින් සටහන කියවන විට මට සිතුනා කොමියුනිට්ස් පාලනයක් නොවුනත් අපේ රටවල් වලත් කොමියුනිට්ස් ලක්ෂණ තියෙනවානේ කියලා.මේ ලිපිය තුලින් එක තවත් තහවුරු වෙනවා.වෙනසකට තියෙන්නේ කොමියුනිට්ස් පාලනයකට වඩා අපේ රටවල් වල නාමිකව හෝ “ප්‍රජාතන්ත්‍රවදයක්” පැවතීම.

    • arunishapiro said, on මැයි 26, 2017 at 8:08 පෙ.ව.

      Manoj,

      ලංකාව කොමියුනිස්ට් වෙන්න යන පාරේ ගමන් කරන සමාජවාදී රටක්. බ්‍රිතාන්‍යයන් දායාද කළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නිසා තමයි තවමත් කොමියුනිස්ට් නොවී යාන්තම් ගැලවිලා ඉන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: