අරුණි ශපීරෝ‍ වෙතින්

සෝවියට් අධිරාජ්‍යවාදය නොහොත් ලෝක විප්ලවය

Posted in Uncategorized by arunishapiro on මැයි 26, 2017

පළමුව යුරෝපය ද ඉන්පසුව ලෝකය ද සමාජවාදී කිරීම 1848 ලියැවුන කොමියුනිස්ට් ප්‍රඥප්තියේ අරමුණකි. “ලෝකවාසී වැඩකරන ජනතාවෙනි, එක්වෙයව්!” ඒ සඳහා ලියූ සුප්‍රසිද්ධ සටන් පාඨයයි. ඒත් රුසියාවේ වගේම අන් රටවලත් සිද්ධ වූයේ අවිගත්තවුන් සුළු පිරිසක් විසින් බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය රටවැසියන් දක්කන්නට යොදා ගැනීමයි. බටහිර අධිරාජ්‍යවාදය හෙළා දැකිය ද, මේ කුරිරු මතවාදයෙන් කරපින්නා ගත්තවුන් රට රටවලට රිංගා පුරවැසියන් ඝාතනය ද, ඒවායේ හදා තිබුණ ගොඩනැඟිලි සහ සමාජ ආයතන සුනු විසුණු කිරීම ද, සියළු වෑයම් තුල කැපී පෙනෙන ලක්ෂණයයි.

ලෝක විප්ලවය ගෙනෙන්නට ලෙනින් මුලින්ම ඇහ ගැහැව්වේ ජර්මනියටයි. පළමුවැනි ලෝක යුද්ධයෙන් හටගත් යුරෝපීය දේශපාලන වියවුල් අතර දැවැන්ත වූ ද, සංවිධානාත්මක වූ ද, කර්මාන්ත අංශයේ වැඩ කරන ජනතාවක් එහි සිටියහ. 1918 දෙසැම්බර් මාසයේ දී බර්ලින් නගරයේ ස්පාටකස් නමින් කල්ලියක් හදන්නේ රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලීබ්නෙක්ට් දෙනෙනා විසිනි.

ලෙනින් සේ ම ඔවුන් ද ව්‍යවස්ථාදයක සභාවකට අකමැති වූ අයයි. ඔවුන් අනිත් සමාජවාදී කණ්ඩායම් සමඟ එකතුව ජර්මන් සමාජවාදී පක්ෂය KDP හැදූහ. බර්ලිනයේ කැරැල්ලක් පටන් ගන්නට වෑයම් කළ ද එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවේ හමුදාවෙන් මර්ධනය විණ. එවැනිම වෑයමක් බෙවේරියා හි ගෙනෙනුයේ ඉයුජින් ලෙවිනේ නම් KPD නායකයායි. 1919 අප්‍රේල් 13 වැනිදා ඔවුන් ජනරජ කවුන්සියලක් හදාගෙන, බැංකු ජනසතු කරමින් රතු හමුදාවක් හැදීමට කටයුතු කළහ. මියුනික් හි සාමූහික වාසස්ථානය හමුදාව විසින් අප්‍රේල් 30 වැනිදා වටලන ලදි. මැයි 13 වැනිදා ලෙවිනේ අත් අඩංගුවට ගෙන, මරණ දඬුවම නියම කර, ජූනි 5 වැනිදා වෙඩිතබා මරා දැමිණ.

මෙවැනි විප්ලවීය මෙහෙයුම් අතරින් හංගේරියාවේ දී ගන්නා වෑයම කැපී පෙනෙන්නකි. පළමු ලෝක යුද්ධයේ ජයග්‍රාහකයන් දෙන තීන්දුවෙන් ට්‍රාන්සිල්වේනියාව අහිමි වීම හංගේරියාවේ අයට දැඩි සේ දැනුන මදිපාඩුවක් විය. ඒ වෙද්දී බොල්ෂෙවික් පක්ෂය සිය ලෝක විප්ලවය පටන් ගැනීම සඳහා 1918 දී රුසියන් නොවන කොමියුනිස්ට් හිතවාදීන් එකතු කර “විදේශීය කොමියුනිස්ට් කණ්ඩායම්වල සමිති සම්මේලනය” හදා තිබිණ. යුද සිරකරුවන් වෙතින් හැදුන බොල්ෂෙවික්වාදී හංගේරියන් පිරිසක් ඉහත කණ්ඩායමේ සිටියහ. මේ අයගෙන් 20 දෙනෙකුව 1918 ඔක්තෝබර් මාසයේ දී හංගේරියාවට එවන ලදි. නොවැම්බර් 4 දා හංගේරියන් වැඩකරන ජනතාවගේ (කොමියුනිස්ට්) පක්ෂය පිහිටුවන ලදි. බේලා කුන් මොස්කව් හි පැවති මෙම විදේශීය … සම්මේලනයේ සභාපති විය. ඔහු ක්‍රියාකරුවන් 80 දෙනෙකු සමඟ ඇවිත් ක්ෂණයෙන් හංගේරියන් … කොමියුනිස්ට් පක්ෂයේ නායකයා විය. 1919 මුල වෙද්දී තවත් 300 ක් පමණ සෝවියට් විප්ලවකරුවන් හංගේරියාවට පැමිණියහ. බොල්ෂෙවික්ස් මුල්‍යාධාර වලින් මේ හංගේරියන් කොමියුනිස්ට්ලා සංවිධානය කරන ලදි.

බොල්ෂෙවික්වාදය තරයේ හෙළා දුටු Népszava (ජනතාවගේ හඬ), හංගේරියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ නිල පුවත්පත විය. මේ කොමියුනිස්ට් පක්ෂය 1919 පෙබරවාරි 19 වැනිදා සොල්දාදුවන් සහ විරැකියාවෙන් සිටි පිරිසක් එකතු කර කණ්ඩායමක් සංවිධානය කළේ පුවත්පතේ මුද්‍රණාලය අල්ලාගෙන එය විනාශ කර දැමීම සඳහාය. ගැටුමට පොලීසිය මැදි විය. 100 ක් තුවාල ලබා 8 දෙනෙක් මිය ගියහ.

ඒ රාත්‍රියේ දී ම, බේලා කුන් සහ ඔහුගේ සහචරයන්ව අත් අඩංගුවට ගන්නා ලදි. මුද්‍රණාලයේ ගැටුමෙන් මිය ගිය තම සගයන් ගැන පළිගන්නට පොලීසිය විසින් සිරකරුවන්ට අත් අඩංගුවේ දී පහර දෙන ලදි. හංගේරියාවේ ජනාධිපති මිහාලි කරොල්යි කොමියුනිස්ට් නායකයාගේ සුව දුක් විමසන්නට සිය ලේකම් එවන ලදි. ජනාධිපතිගේ ලිබරල් ප්‍රතිපත්ති නිසා බේලා කුන්ට සිය කොමියුනිස්ට් වැඩ කටයුතු කරගෙන යන්නට අවසරයක් ලැබුණි. සිරබාරයේ සිටිය දී ම හේ කොමියුනිස්ට් පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර හවුලක් හදන්නට සමත් විය. ඒ අස්සේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිද්ධ විණ. අත් අඩංගුවේ සිටි සියළු කොමියුනිස්ට් අය නිදහස් වූහ. ‘සෝවියට් ජනරජයක්’ පිහිටුවන්නට ඔවුන් සමත් වූහ. බොල්ෂෙවික් ආකෘතිය අනුව විප්ලවීය කවුන්සිලයක් හදා සෝවියට් ජනතාවගේ කොමිස්සාර්ලා පාලකයන් ලෙස ඔවුන් පත් කරගත්හ.

එම කොමිස්සාර්ලාගේ ප්‍රථම රැස්වීමේ දී ඔවුන් විප්ලවීය උසාවි පිහිටුවා ජනතාව අතරින් තෝරාගන්නා අයව එහි විනිසුරුවන් පත් කරගන්නට තීරණය කළහ. බුඩපෙස්ට් සමඟ නිතර ට්‍රෙලිග්‍රෑම් මඟින් සම්බන්ධ වූ ලෝක වැඩ කරන ජනතාවගේ ප්‍රධානියා වූ ලෙනින් අනුශාසනා කළේ සියළු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ ‘කුඩා-බුර්ජුවාසියට’ වෙඩිතබා මරා දමන්න කියායි. හංගේරියන් වැඩකරන ජනතාවට යවන පණිවිඩයක ලෙනින් සිය භීෂණය මෙසේ සාධනීය කරයි: “සූරාකන්නන්ගේ, ධනවාදීන්ගේ, ලොකු ඉඩම් හිමියන්ගේ, සහ ඔවුන්ගේ හෙංචයියන්ගේ විරෝධය හනිකට, සමාව නොදී, තිරසර ප්‍රචණ්ඩත්වයකින් මර්ධනය කළ යුතු බව වැඩ කරන ජනතාවගේ ආඥාදායකත්වය ඉල්ලා සිටියි. මෙය වැටහෙන්නේ නැත්නම් එයා විප්ලවකරුවෙක් නොවේ.”

වැඩි දවසක් යන්නට මත්තෙන් වෙළඳ කොමිස්සාර්, ආර්ථික කටයුතු කොමිස්සාර් සහ අලුත් උසාවිවල ප්‍රධානීන් විසින් රටේ ව්‍යාපාරිකයන්ව, කාර්මික සේවකයන්ව, සහ නීතීඥයන්ව සමාජයෙන් කොන් කළහ. තාප්පවල අලවන ලද එක පෝස්ටරයක “වැඩ කරන ජනතාවගේ සමාජයක ජීවත්වන්නට ඉඩ ලැබෙන්නේ වැඩකරන අයට පමණි!” යැයි ලියා තිබුණි. වැඩට යාම අනිවාර්ය විණ. සේවකයන් 20 කට වඩා ඇති ව්‍යාපාරයක් ක්ෂණයෙන් ජනසතු කෙරිණ. ඊ ළඟට සේවයක් 10 දෙනෙක් සිටින ව්‍යාපාර ජනසතු කෙරිණ. වැඩිකල් නොගිහින් සියළු ව්‍යාපාර ජනසතු කරන ලදි.

හමුදාව සහ පොලීසිය විසුරුවා හැරිණ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ විප්ලවකරුවන් ගෙන් පමණක් නව හමුදාවක් නිර්මාණය විය. ආණ්ඩුවේ විප්ලවීය කවුන්සිලයේ භීෂණ කණ්ඩායමක් හැදිණ. ඔවුන්ව හැඳින්වුනේ ‘ලෙනින්ගේ කොල්ලෝ’ කියායි. එහි ප්‍රධානියා රුසියාවේ සිරකරුවෙක්ව සිටි ටිබෝර් ස්සැමුඑලි ය. ලැඩිස්ලාස් ඩොබ්සා නම් වූ තරුණ නාවුක භටයෙකු, හිටපු රාජ්‍ය ලේකම් සහ දුම්රිය සේවාවේ ප්‍රධානියා වූ ඔහුගේ පුත්‍රයා, සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙක් පමණ මේ භීෂණ කණ්ඩායම විසින් මුලින්ම ඝාතනය කළහ.

ඊ ළඟට ඒ ලෙනින්ගේ කොල්ලෝ භීෂණ කණ්ඩායම Szolnok නගරයේ කිහිප දෙනෙකුට වෙඩි තබා එය හංගේරියන් රතු හමුදාව යටතට පැවරූහ. තමන්ට පවරාගත් දුම්රියකින් ගම් පළාත්වල ගමන් කරමින් ඔවුන් සාමූහිකරණයට විරෝධ වෙන ගම්බද වැසියන් එල්ලා මැරූහ. සමහරුන්ට වෙඩි තැබූහ. එසේ මරණ ලද ගණන් නිශ්චිතව දැනගන්නට නොහැකි වුවත් 500 කට නොඅඩු සංඛ්‍යාවක් ඒ මාස කිහිපයේ දී මරා දමන ලදැයි සැලකේ.

රුමේනියාවේ භටයන් මේ රතු හමුදාවටත් ලෙනින්ගේ කොල්ලන්ටත් තර්ජනය කළ කණ්ඩායමයි. ඔවුන් සමඟ හංගේරියන් ජනතාව එක්වීම වැළැක්වීමට එවිට ඔවුන් පොදු හතුරෙක් සොයාගත්හ. ඒ පොදු සතුරා යුදෙව්වන් වූහ. යුද්ධයෙන් අවතැන්ව සිටි පෝලන්ත සම්භවයෙන් යුතු යුදෙව්වන් පන්දාහක් ආහාර සොයාගන්නට හංගේරියන් මායිම් හරහා එද්දී ඔවුන්ගේ බඩු භාණ්ඩ උදුරාගත් බේලා කුන් ඔවුන්ව රටින් පිටමං කරන ලදි. හංගේරියන් ජනතාව ලෙනින්ගේ කොල්ලන්ගේ භීෂණ ක්‍රියාවලට විරෝධය පෑහ. භීෂණ කණ්ඩායම සංශෝධනය කරන වෑයමක් ගෙනෙන්නට හැදුව ද, ඒ වෙද්දී ඔවුන්ට එරෙහි ජනතා ප්‍රතිචාරය අයහපත් යැයි දැකි නිසා ඔවුන්ට අනාගත විප්ලවීය සමාජයේ ඉඩක් නැතැයි කියා කොමියුනිස්ට් පක්ෂය විසින්ම ප්‍රසිද්ධ කරන ලදි. ශුද්ධ කිරීම් තුලින් විප්ලවයට සහාය දුන් අය පාවා දීම සමාජවාදය බලහත්කාරයෙන් ගෙනෙන ලෝක විප්ලවයේ සාමාන්‍ය ලක්ෂණයකි.

ඒ අස්සේ බුඩාපෙස්ට් හි සාමූහික වාසස්ථානයේ විසූ බේලා කුන්ට විරුද්ධව ඇතුලතින්ම බල අරගලයක් හටගති. බොහෝ විට එය දියත් කරන ලද්දේ ලෙනින්ගේ කොල්ලන්ගේ ප්‍රධානියා වූ ටිබෝර් ස්සැමුඑලි යැයි සැලකේ. 1919 අගෝස්තු 1 වැනිදා බේලා කුන්ට ඉතාලි හමුදාවේ ආරක්ෂාව යටතේ බුඩපෙස්ට් වලින් ඉවත්වෙන්නට සිද්ධ විය. 1920 ගිම්හානයේ ඔහු සෝවියට් දේශයේ දේශපාලන කොමිස්සාර් වී රතු හමුදාවේ ක්‍රයිමියා භීෂණ මෙහෙයුම් බාරගත්තේය. ස්ටාලින් සමයේ ට්‍රොට්ස්කිවාදියෙක් යැයි නම් වී ගුලාග් කඳවුරකට යවන කුන්ව එහි දී වෙඩි තබා මරා දමන ලදි. ස්සැමුඑලි ඔස්ට්‍රියාවට පළා යන්නට තැත් කරද්දී අත් අඩංගුවට ගැනිණ. ඔහු අගෝස්තු 2 වෙනිදා දිවිනසා ගන්නා ලදි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Hannadige Asanka said, on මැයි 27, 2017 at 11:01 පෙ.ව.

    thanks aruni

  2. Manoj said, on මැයි 29, 2017 at 12:28 පෙ.ව.

    සෝවියට් දේශය උත්කර්ෂවයට නංවන කතා අපි ඕනෑ තරම් අසා තිබුනත් ඒ සෝවියට් ක්‍රමවේදයන් තුල තිබු ආඥාදායකත්වය ගැන වැඩි යමක් දැන ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ලියවුනු සිංහල ලිපි,පොත්වල ඇති අඩුවක් නිසා වෙන්න ඇති.දැන් “ගුරු ගීතය,වනේ පන්නරය ලැබූ හැටි,අම්මා’ වගේ පොත් වල සිංහල පරිවර්තන බොහොමයක් තියෙනවා වගේ අරුණි මේ සටහන් ලියන්න උපයෝගී කරගන්න බව කියන ” Stalin, The Court of the Red Tsar “,”කොමියුනිස්ට්වාදයේ කළු පොත” වගේ කෘති වල සිංහල පරිවර්තන නැතිද සිංහල පාඨකයින්ට කියවන්න.

    • arunishapiro said, on මැයි 29, 2017 at 3:37 ප.ව.

      Manoj,

      සෝවියට් යථාර්ථවාදය කියන ශෛලිය යොදාගෙන ඒත් යථාර්ථයෙන් බෙහෙවින් වෙනස් වෙච්ච, පාලකයන්ගේ වාරණයට ලක් නොවූ රුසියන් ප්‍රබන්ධ විතරයි සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ.

      මැක්සිම් ගෝර්කි ලියූ අම්මා පොතේ සිංහල පරිවර්තනයෙන් උදාහරණ ගනිමු:
      “බලන්නකො හරියට මිනිස්සුන්ට අලුත් දෙවියෙක් මැවුනා වගේ නෙව! හැම දෙනාම හැම දෙනා සඳහා! හැම දෙයම හැම දෙනාටම!”
      “මිනිසා එකිනෙකාට ගරු කරන දවස එළඹෙයි. එදාට සෑම මිනිසෙක්ම තරු මෙන් දිළිසෙන බව මම දනිමි! සිය නිදහස පෙරටු කරගනිමින් විවෘත හදවත් ඇතිව, කෝපයෙන් තොරව පිරිසිදු හදවත් ඇතිව, මිනිසුන් ගමන් කරනු ඇත. එදාට මිනිස් ජීවිතය මිනිසාට සේවය කරනු ඇත. ඔහුගේ ප්‍රතිමූර්තිය උසස් වනු ඇත: නිදහස් මිනිසාට සෑම ජයක්ම ලබා ගත හැකිය. එදාට මිනිස්සු නිදහසේ සත්‍ය ගරු කරමින් ජීවත් වනු ඇත. ලෝකය සිතින් බදාගෙන, එයට වඩා ගැඹුරු ලෙස ආදරය කරන මිනිස්සු ඉතාම හොඳ මිනිස්සු හැටියට ගණන් ගනු ඇත. ඉතාම හොඳ මිනිස්සු නිදහස්කාමීන් වනු ඇත. ඔව්හු ඉතා සුන්දර අය වෙති! එවැනි ජීවිතයකට පා තබන අය ශ්‍රේෂ්ඨ වනු ඇත…”

      ඒත් රුසියන් විප්ලවයෙන් පසුව හැම දෙනාම තමන්ගේ ජීවිතය බේරාගන්න පවුලේ අය පවා පාවා දුන්න. පාලක පංතියට හැම දෙයක්ම ලැබෙද්දී බහුතර ජනතාව හාමතයෙන් සහ වෙඩි පහරට ලක් වීමෙන් මැරිලා ගියා. මිනිස්කමට ගරු කරනවා වෙනුවට මිනී මස් කන තැනට පත්වුණා. කොමියුනිස්ට් රටක වැසියා අනෙක් සෑම දෙනා දිහාම සැකයෙන් බලන්න හුරුවුණා. ප්‍රතිමූර්තිය උසස්වීම වෙනුවට හෘදය සාක්ෂිය දරාගන්න බැරිව සමාජවාදයේ කුරිරු බව වැටහිච්ච අය සියදිවිනසා ගත්ත.

      මම දන්න තරමින් සැබැවින් සිදු වූ දේවල් ගැන කිසිවක් තවම සිංහලට පරිවර්තනය වෙලා හෝ ප්‍රකාශනය වෙලා නැහැ. ඒත් “වෛරයේ මිදි ඵල” වැනි සමාජවාදය අගයන පොත් අදත් සිංහලට පරිවර්තනය වී ප්‍රකාශනය වෙනව. නමුත් සිංහලෙන් කියවන අයට දැනගන්න ලැබෙනවා ද මන්ද ඒ පොතෙන් හැදිච්ච සිනමා නිර්මාණයට ස්ටාලින්ගේ සෝවියට් දේශයේ වෙච්චි දේ ගැන. ධනවාදය ඉහළින්ම ඇතැයි සැලකෙන රටේ දුප්පත් මිනිස්සු දුක් විඳින හැටි බලාගන්න කියල 1948 දී එය The Road to Wrath නම දාලා ප්‍රදර්ශනයට ඉඩ දුන්න. ඒත් රුසියන් ප්‍රේක්ෂකයන් දුප්පත්ම ඇමෙරිකන්කාරයාටත් වාහනයකට අයිතිය තියනවා කියල දකින්නට පටන් ගනිද්දී වහාම ප්‍රදර්ශනය තහනම් කළා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: