අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස් අපිට කළ හැකි දේ

Posted in Uncategorized by arunishapiro on මැයි 29, 2017

හිට්ලර් පාලනය ගැන නිර්මාණය වූ ප්‍රබන්ධ මහත් රාශියකි. මහා පලා යෑම (1950) බ්‍රිතාන්‍ය යුද සිරකරුවන් රඳවන ලද (වර්තමාන පෝලන්තයේ) ස්ටාලැග් ලුෆ්ට් III කඳවුරෙන් පලා යෑම ගැන ඍජු වාර්තා ඇසුරින් පෝල් බ්‍රික්හිල් ලියූ අප්‍රබන්ධයකි. ඒ ඇසුරෙන් ස්ටීව් මැකුවීන් රඟපාන එනමින්ම වූ චිත්‍රපටිය 1963 දී බිහිවිය.

හිට්ලර් යුදෙව්වන්ට කළ කුරිරුකම් ගැන හැදෙන නව නිර්මාණ නැවතී නැත. ඩයාන් ඇකර්මන් ලියූ “සත්තුවත්ත පාලකයාගේ භාර්යාව” (2007) පොතෙන් සිනමා නිර්මාණයක් මේ වසරේ දී බිහිවිය. පොත පාදක කරගන්නේ වෝසාව් සත්තුවත්තේ අධ්‍යක්ෂකගේ භාර්යාව වූ ඇන්ටෝනිනා සබින්ස්කාගේ දිනපොතයි. ජර්මන් ආක්‍රමණිකයන් පෝලන්තයේ යුදෙව්වන්ව වෝසාව් ගෙටෝ වලට ගාල් කරද්දී එතැනින් 300 ක පිරිසක් පෝලන්ත විරෝධන ව්‍යාපාරයෙන් බේරාගත් ආකාරය ගැන ඇයගේ දිනපොතේ ඇති සත්‍ය තොරතුරු පාදක කරගෙන මවන ප්‍රබන්ධය පොතේ සහ චිත්‍රපටියේ දිග හැරේ.

හිට්ලර් පට්ට ගහන නමුත් අපිට ලෙනින්ගේ, ස්ටාලින්ගේ, මාඕ, කැස්ත්‍රෝ, චේ හා චෑවෙස් යනාදීන්ගේ කුරිරුකම් ගැන කියැවෙන ප්‍රබන්ධ හෝ චිත්‍රපටි ලැබෙන්නේ ඉතා මෑතක දී ය. ඒ චිත්‍රපටි බිහිවෙන්නේ හොලිවුඩ් වෙතින් නොවේ. ඒවා බෙදාහැරෙන්නේ ප්‍රධාන රූපවාහිනි මාධ්‍ය වලින් නොවේ. ටිබෙට් හි චීන පීඩක ප්‍රතිපත්තියට ප්‍රසිද්ධියේ විරෝධය දක්වන රිචඩ් ගියර් දැන් හොලිවුඩ් හි රඟපෑමෙන් අයින්කරන ලද්දෙකි.

වෙනිසියුලාවේ මාර්තු අග සිට අද දක්වාම නොනැවතී පැවතෙන උද්ඝෝෂණ ව්‍යාපාරය ගැන ද සමාජවාදයට හිතවාදී ජනමාධ්‍ය නිහඬව සිටිති. දක්ෂිණාංශ පක්ෂයක් වෙනිසියුලාවේ බලයේ සිටියා නම් පමණක් ලංකාවේ පත්තර වලින් ද ඒ උද්ඝෝෂණකරුවන් ස්නයිපර් ප්‍රහාර වලින් මරා දමන්නට හමුදා නායකයන් කතාබහ කරන හැටි ගැන ප්‍රවෘත්ති මෙන්ම ලාංකීය විද්වතුන්ගේ කතිකා වලින් ද පිටු පිරී යනු ඇත.

උද්ඝෝෂණ යනු ප්‍රසිද්ධියේ දකින්නට ලැබෙන්නයි. විරෝධන ව්‍යාපාර රහසේ සිද්ධ වෙති.

ප්‍රංශය ඇතුළු ජර්මනිය ආක්‍රමණය කළ අනෙක් රටවල තිබුණ ද, හිට්ලර්ට විරුද්ධ මහජන විරෝධන ව්‍යාපාරයක් ජර්මන් රටවැසියන් අතරින් දකින්නට නොලැබුණි. හිට්ලර් බලයට එන්නට පෙර දශක ගණනාවක් එඩ්මන්ඩ් හැසරෝල්, මාටින් හෛඩෙගර්, අර්න්ස්ට් යුන්ගර් වැනි අය වෙතින් ප්‍රචණ්ඩත්වය කෲරත්වය ජර්මන් ජනතා හදවත් තුල ප්‍රශංසාවට පත්වී තිබිණ.

පෝලන්තය, එස්ටෝනියා වැනි සෝවියට් දේශය ආක්‍රමණ කළ රටවල දකින්නට තිබුණ ද, ලෙනින්, ස්ටාලින් ඝාතන මෙහෙයුම්වල දී සෝවියට් රටවැසියන් අතරින් ද මහජන විරෝධන ව්‍යාපාර දකින්නට නොලැබුණි. ලෙනින් බලයට එන්නට වසර 60 කට පමණ පෙර මිකායෙල් බකුනින් වෙතින් ජර්මන් ආභාෂයෙන් ලැබෙන කුරිරු මතවාදය රුසියන් වැසියන්ගේ හදවත් තුල ප්‍රශංසාවට පත්වී තිබුණි.

ඉතින් දේශීය විරෝධන ව්‍යාපාර නොමැතිව, තම රටවැසියන් මරා දැමීම එක පැත්තකින් කරගෙන යද්දී, අනෙක් පැත්තෙන් සෝවියට් දේශය වෙනත් දේශයන්හි පුරවැසියන් මරා දමමින් ලෝක විප්ලවයේ යෙදුණහ. මානුෂික අයිතීන් ගැන කතාබහක් සිද්ධ වන සෑම අවස්ථාවක දී ම බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අනුන්ගේ රටවල මිනිස්සු මරනවා යන අවලාදය මේ එදා සෝවියට් සහ අද රුසියන් මෙහෙයුම් ගැන නොදන්නා අය වෙතින් අපිට නිතර අහන්නට ලැබේ.

ඇමෙරිකාව එකතු වූ තැන පටන් ඕනෑම යුද්ධයක් ගැන කතන්දර සහ සිනමා ප්‍රබන්ධ ඇමෙරිකාවෙන්ම දකින්නට ලැබුණ ද, රුසියාවේ ලෝක විප්ලවය ගැන ප්‍රබන්ධ වින්ඳනයට අවස්ථාවක් පෑදෙන්නේ ඉතා මෑතක දී ය. ඒ එම රටවල් රුසියාවේ ග්‍රහණයෙන් මිදී සිය ආර්ථිකයන් නංවාලන්නට සමත් වෙද්දී ය.

1957 දී හංගේරියාවේ උද්ඝෝෂණය අසාර්ථක වීමත් සමඟ කොමියුනිස්ට් රහස් පොලීසියේ මැඬලීම් හමුවේ දිග හැරෙන ආදර කතාව පීටර් බර්ජෙන්ඩි අධ්‍යක්ෂණය කරන ‘විභාගය’ The Exam (2011) නමින් වූවයි. එය දැන් ඇමෙරිකාවේ ප්‍රේක්ෂකයන්ට ඇමසොන් හරහා නරඹන්නට හැකියාව පෑදී ඇත.

දෙවැනි ලෝක යුද්ධයේ දී යුරෝපයේ දැවැන්තම විරෝධන ව්‍යාපාරය මෙහෙයවුනේ පෝලන්තයේය. එය ජර්මන් සහ සෝවියට් ආක්‍රමණිකයන් දෙගොල්ලන්ම විසින් පිහිටුවා ගත් අධිවාස යටින් පැතිර පැවතියකි. ආර්මියා ක්‍රජෝවා (නිජභූමි හමුදාව, AK) එහි විශාලතම සංවිධානයයි. එයට කොමියුනිස්ට් සහ අන්තවාදී දක්ෂිණාංශ කල්ලි එකතු නොවූහ.

පෝලන්තයට බටහිරෙන් නාට්සී ඇතුල් වෙද්දී, නිල වශයෙන් නිල ප්‍රකාශනයක් නිකුත් නොකර නැගෙනහිරෙන් පෝලන්තය ආක්‍රමණය කළේ සෝවියට් දේශයයි. ස්ටාලින්ගේ විදේශ ඇමති සහ හිට්ලර්ගේ විදේශ ඇමති අතර අත්සන් වූ මොලටොව්-රිබන්ට්‍රොප් ගිවිසුම තුලින් ඔවුන් පෝලන්තය බෙදා ගත්හ. රතු හමුදාව හා සටන් වැදි පෝලන්ත සොල්දාදුවන් 3,000 – 7,000 ත් අතර සංඛ්‍යාවක් මිය ගියහ. 230,000 – 450,000 ත් අතර සංඛ්‍යාවක් සිරබාරයට ගැනිණ. අවි අත්හරින්නේ නම් පෝලන්ත සොල්දාදුවන්ට නිදහස පොරොන්දු වූවද, ඔවුන් යටත් වූ සැණින් සිරකරුවන් හැටියට අත් අඩංගුවට ගන්නා ලදි. ආක්‍රමණය සිද්ධ වෙද්දී පවා සිරබාරයට ගත් සිරකරුවන් දස දහස් ගණනින් මරා දැමිණ. පෝලන්ත හමුදා රෝහලක සේවකයන් සහ රෝගීන් 42 ක් මරා දැමුණි. ස්සැක් සටනේ දී අල්ලාගත් පෝලන්ත හමුදා නිලධාරීන් සියල්ලන්ටම වෙඩි තබා මරා දමන ලදි. කත්‍යන් සංහාරයේ දී පෝලන්ත හමුදාවේ සහ සිවිල් ජනතාව 22,000 ක් ඝාතනය කරන ලදි.

Katyń (2007) මේ සංහාරය ගැන හැදෙන චිත්‍රපටියකි. එය පාදක කරගන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය: කත්‍යන් කතන්දරය නමින් අන්ද්‍රේස් මුලාසික් Andrzej Mularczyk ලියූ පොතයි.

සෝවියට් නිසි බලධාරීන් විසින් 1939 දී පෝලන්ත ආක්‍රමණය කිරීම සහ එහි විස්තර යටපත් කරන ලදි. ඔවුන් එය ‘නිදහස් මෙහෙයුමක්’ යැයි හඳුන්වන්නට පටන් ගත්හ. 1989 වසර දක්වාම, මොලටොව්-රිබෙන්ට්‍රොප් ගිවිසුමක් තිබුනා යැයි ප්‍රතික්ෂේප කිරීම සෝවියට් දේශයේ නිල ප්‍රතිපත්තිය විය. පෝලන්ත-සෝවියට් මිත්‍රත්වයේ නාමයෙන් දෙරටේ කොමියුනිස්ට් ආණ්ඩු දෙක අතර ප්‍රතිරූපය පවත්වාගැනීම සඳහා ඒ ගැන ලෝකයට හෙළිකිරීම තව දුරටත් වාරණය ආරක්ෂා විණ. 1989 දී ගිවිසුමක් පැවතියා යැයි පිළිගැනීමෙන් පසුව ද එය ව්ලැඩමියර් පූටින් වැන්නන් අතින් සාධාරණීයකරණය විය.

2009 අගෝස්තු 23 වැනි දිනය මේ ස්ටාලින්වාදයේ සහ නාට්සිවාදයේ අනුස්මරණ යුරෝපීය දිනය හැටියට යුරෝපීය පාර්ලිමේන්තුව නම් කරන ලදි. අගෝස්තු 23 වැනිදා ඒ සඳහා අපක්ෂපාතී සැමරුම් පැවැත්වීමට ඉඩ ලැබෙද්දී එසේ කළහොත් රුසියාවෙන් ‘දැඩි ඵලවිපාක’ අත්විඳින්නට ලැබෙනවා යැයි ඔවුන් තර්ජනය කළහ.

එනමුත් මෙතෙක් කාලයක් ආරක්ෂා කරගත් වාරණ බිඳහෙලන්නට දිනපතා දියුණු කරන තාක්ෂණය හරහා නිදහස් අපි සමත් වෙමු.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Manoj said, on මැයි 30, 2017 at 3:42 පෙ.ව.

    අරුණි මේ ලිපි මාලාව මා ඉතා ප්‍රිය කරනවා.බොහොම ස්තුතියි මේ ලියවිලි වලට.
    සෝවියට් දේශයත්,ජර්මනියයේ හිට්ලර් පාලනයත් සමග යම් යම් ගිවිසුම් තිබුණු බව මා අසා කියවා තිබෙනවා.ඒ ගැන තව යමක් කියන්න පුලුවන්ද ?

    • arunishapiro said, on මැයි 30, 2017 at 8:15 පෙ.ව.

      Manoj,

      සෝවියට් වෙන්නට කළින් ලෙනින්ගේ බොල්ෂෙවික් රජය අත්සන් කළේ බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුම. ඒක අනුව පළමුවැනි ලෝක යුද්ධයෙන් අයින් වෙලා සමහර පෙදෙස් ජර්මනියට ආපහු බාරදුන්න. 1918 දී ජර්මනිය යටත් වීමත් සමඟ ඒ ගිවිසුම අවසන් වුණා.

      ජර්මනියේ හිට්ලර් සහ සෝවියට් දේශයේ ස්ටාලින්ගේ රජය අතර ඇති වූ ගිවිසුම තමයි මොලටොව්-රිබෙන්ට්‍රොප් කියාත්, නාට්සි-සෝවියට් කියාත්, ජර්මන්-සෝවියට් ප්‍රචණ්ඩත්වයෙන් අයින්වීමේ ගිවිසුම කියාත් හැඳින්වෙන්නේ.

      රටවල් දෙක එකඟ වූයේ ඊ ළඟ වසර 10 තුල දී එකිනෙකා සමඟ යුද වදින්නේ නැතැයි කියා. ස්ටාලින්ට උවමනා වූයේ සෝවියට් යුද හමුදාව ශක්තිමත්ව ගොඩනඟන තෙක් ජර්මනියෙන් එන ආක්‍රමණයකට මුහුණ නොදී ඉන්න. හිට්ලර්ට ඕන වුනේ රුසියාව එක්ක යුද්ධ නැතිව පෝලන්තය අල්ලාගන්න. ඒ හැරෙන්නට මේ රහස් ගිවිසුමේ ඔවුන් නැගෙනහිර යුරෝපය බෙදාගන්න හැටි ගැනත් කතා කරගත්ත. ඉදිරි සටහනකින් ඒ නැගෙනහිර යුරෝපයේ වෙච්ච සිද්ධියක් ලියන්නම්. 1939 සැප්තැම්බර් 22 දා නාට්සි ජර්මනියේ සහ සෝවියට් දේශයේ හමුදා දෙක එකතු වෙලා බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් කියන නගරයේ නිල උත්සවයක් පැවැත්වූවා. ඒ ජර්මන් හමුදාව අල්ලාගෙන සිටි නගරය සහ බලකොටුව සෝවියට් දේශයේ රතු හමුදාවට බාර දෙන්න. 1941 ජූනි මාසේ දී නාට්සි හමුදා සෝවියට් දේශය ආක්‍රමණය සමඟ ගිවිසුම බිඳ වැටුණ.

  2. Hannadige Asanka said, on ජූනි 2, 2017 at 5:34 පෙ.ව.

    ස්තූතියි අරුනි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: