අරුණි ශපීරෝ‍ වෙතින්

දරුවන් පැහැරගෙන ගොස් යුද සටන්කාමීන් කරවීම විප්ලවය ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2017

“අපි අවශ්‍ය වූ තරම් මිනිස්සු මැරුවේ නැහැ. … විප්ලව සාර්ථක වෙන්නේ ලේ වලින් ගංගා රතු වෙලා යද්දී, මිනිස් වර්ගයා පරිපූර්ණ කිරීම ඔබේ ඉලක්කයක් නම් එහෙනම් ලේ හලන්නට අවශ්‍යයි.” පරාජයට හේතුව අහද්දී අරෙස් වෙලූචියෝටීස් පිළිතුරු දී ඇත්තේ එහෙමයි. ඔහු ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජිකයෙක්, ග්‍රීක ජාතික විමුක්ති පෙරමුණේ හමුදා අංශයේ (EAM) සහ ග්‍රීක ජනතාවගේ නිදහස් පෙරමුණේ යුද හමුදාවේ (ELAS) හි නායකයෙක් විය.

මහා දාර්ශනික ප්ලේටෝ ද කොමියුනිස්ට් අදහස් ඉදිරිපත් කළ බව මීට කළින් ලියා ඇත්තෙමි. ඒත් සෝවියට් දේශය තරම් ප්‍රථුල සේ පැතිර යන විනාශකාරී ලෙසකින් ඒ කුරිරු මතවාදය ක්‍රියාවට නඟන්නට ඊට කළින් ලෝකයේ කිසිම රජෙක් හෝ ආණ්ඩුවක් සමත් නොවීය.

නැගෙනහිර යුරෝපීය සමාජවාදී රටවල බහුතර ජනතාව කැමැත්තෙන්ම කොමියුනිස්ට් වූයේ නැත. පෝලන්තයේ පටන් සෝවියට් දේශයේ “මිත්‍ර රටවල්” හැදෙන්නේ දේශපාලන කුමන්ත්‍රණ, යුද්ධ සහ කුරිරු ඝාතන වලින් පසුවයි.

මුසෝලිනිගේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කළ විරෝධන ව්‍යාපාර බොහොමයක් ග්‍රීසියේ තිබිණ. ඔවුන් සියල්ලන්ම තමන්ගේ සංවිධානයට සාමාජිකයන් බඳවා ගන්නට පොරකෑහ. පරාජිත වූ ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂය වර්තමාන උස්බෙකිස්තානයට ගෙන යන ලදි. යුද්ධයෙන් වූ හානිය හැම අත පැතිර යද්දී ලක්ෂයක පමණ ජනතාවක් රටෙන් පිටවූහ. යුද්ධය අවසන් වූ පසුව පවා ඔවුන් රට හැර ගියහ.

මේ සටහන අවතැන් වූ සරණාගත දරුවන්ට රටෙන් එපිට සිට මෙහෙයුම් ගෙන ගිය ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය සලකන ලද ආකාරයයි. සමාජවාදී ක්‍රමයක් යටතේ ඇතිදැඩි කරන්නට සෝවියට් දේශයේ උපදෙස් යටතේ බලහත්කාරයෙන් අනාථ දරුවන් සහ අවතැන් වූ දෙමව්පියන්ගෙන් දරුවන් පැහැරගත් බව ග්‍රීක රජයේ නිල ප්‍රකාශය විය. ඒ සරණාගත දරුවන්ව සෝවියට් මිත්‍ර රටවලට නැව් හා දුම්රිය මාර්ග වලින් පටවා යවන ලද ආකාර හෙළිදරව් වීමත් සමඟ ග්‍රීක රජයේ ප්‍රකාශය සත්‍යයක් බව පැහැදිලි විණ.

1947 අග වෙද්දී යුද්ධයෙන් අවතැන් වූ ග්‍රීක සරණාගතයන් 25,000 ක් ඇල්බේනියාවේ ද, මැසඩෝනියාවෙන් පැමිණි සරණාගතයන් 14,000 ක් යුගොස්ලාවියාවේ ද වාසය කළහ. මේ අය අතර දරුවන් බොහොමයක් සිටියහ. යුගොස්ලාවියාවේ පමණක් 6,000 ක් සිටියහ. මව හෝ ඥාතීන් සමඟ ජීවත් වූ අය සිටිය ද, කාත් කවුරුත් නැති අනාථ දරුවන් සඳහා “ළමා ගම්මාන” පිහිටුවන ලදි.

දරුවන්ට සහනාධාර සපයන ග්‍රීක කමිටුව යන්න 1948 දී බිහිවෙන්නේ මේ සරණාගත දරුවන්ගේ සුබසාධනය සහ අධ්‍යාපනය ගැන සොයා බලන්නටයි. ඒ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය විසින් ස්ථාපිත කරන ලද්දකි.

1948 මාර්තු 4 වැනිදා ‘නිදහස් ග්‍රීසියේ රේඩියෝ’ නාලිකාවෙන් වයස අවුරුදු 15 ට අඩු දරුවන් තාවකාලික ආණ්ඩු පාලනය පැවති ප්‍රදේශ වලින් ඉවත් කරන්නට යැයි පාක්ෂිකයන්ට දැනුම් දෙනු ලැබිණ. වයසක කාන්තාවන්ට එකතු කරගත් දරුවන් රැගෙන යුගොස්ලාවියා සහ ඇල්බේනියා මායිම් හරහා යන්නට අණ ලැබිණ. තරුණ කාන්තාවන්ට කොමියුනිස්ට් පාක්ෂිකයන්ට එකතු වෙනු පිණිස කඳුකරයට යන්නට අණ ලැබිණ.

දරුවන් 8,000 ක් කැස්ටෝරියා ප්‍රදේශයෙන් ඉවත් වී ගියා යැයි සැලකේ. 1948 වෙද්දී මන්දපෝෂණය, විවිධ රෝගාබාධ හා ගමන් අනතුරු වලින් සෑහෙන සංඛ්‍යාවක් මිය යන ලදි.

අවුරුදු 2-3 වයසැති දරුවන්ට මව්වරු සමඟ ඉන්නට ලැබුණ ද බොහෝ දරුවන්ව බලහත්කාරයෙන් දෙමව්පියන් වෙතින් ඉවත් කර සෝවියට් දේශයේ මිත්‍ර රාජ්‍යයන්ට පිටත් කර හරින මෙහෙයුම් පටන් ගෙන තිබුණි.

1948 අප්‍රේල් පළමු සතියේ දී දකුණු ඇල්බේනියාවේ පිහිටි Korçe නගරය ආසන්නයට දරුවන් 6,000 ක් ගෙනැවිත් තිබිණ. එහෙත් ඔවුන් සඳහා සකස්කරන ලද පහසුකම් නොමැති විය. ඔවුන් ආහාර ඉල්ලා හිඟාකන්නටත්, විසිකරන ලද ලීක්ස් කොළ සහ දොඩම් ලෙලි කමින් ජීවත්වන්නටත් පටන් ගත්හ. ඉතින් ඒ දරුවන්ව ට්‍රක් රථ වලට පටවා බිටෝලා නම් යුගොස්ලාවියා නගරයට ගෙනහින් එතැනින් රුමේනියාවට, චෙකොස්ලෝවැකියාවට, සහ හංගේරියාවට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලදි. සමහර දරුවන් ස්ටාලින්ග්‍රාඩ් බලා යන බඩු නැව්වලට පටවන ලදි.

1948 සිසිරයේ දී රුමේනියාවේ සහ ඇල්බේනියාවේ සිටි සරණාගත දරුවන් පෝලන්තයට යවන ලදි. තවත් පිරිසක් ඊ ළඟ වසන්තයේ දී ද පෝලන්තයට යවන ලදි. 1949 දී ඇල්බේනියාව සහ චෙකොස්ලෝවැකියාව හරහා ග්‍රීක් බස කතා කරන සරණාගත දරුවන් 1,200 ක් නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේ පදිංචි කරවන ලදි.

1948 නොවැම්බර් 17 වැනිදා තෙවැනි එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ දී මේ ග්‍රීක දරුවන් රටෙන් ඉවත් කිරීම හෙළා දකින යෝජනාවක් සම්මත විය. 1949 නොවැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ සම්මේලනය ඒ දරුවන් ආපහු ග්‍රීසියට යවන්න යැයි ඉල්ලා සිටියහ. එහෙත් ඒ යෝජනා කොමියුනිස්ට් රටවල් නොසලකා හැරියහ. දරුවන් එසේ තම කොමියුනිස්ට් දේශයන්හි රඳවාගෙන සිටින්නේ ඒවායේ තත්වය ඔවුන් ගෙදර දී අත්විඳින තත්වයට වඩා සුපිරි නිසා කියමින් එය මානුෂික ක්‍රියාවක් යැයි ඔවුන් ප්‍රතිචාර දැක්වූහ. ග්‍රීසියේ කොමියුනිස්ට් පක්ෂයේ නිලතල දරන ස්වල්ප පිරිසකගේ දරුවන් හැරෙන්නට, එසේ පිටමං කිරීම නිසා ඉතා අසරණ තත්වයන්ට අනෙකුත් දරුවන් මුහුණ දුන් බව ලෝකයා වෙතින් වසන් කෙරිණ.

1949 ජූලි මාසයේ දී යුගොස්ලාවියාවේ ජනරාල් ටිටෝ රුසියාවේ ස්ටාලින් සමඟ විරසක වී යුගොස්ලාවියාව සහ ග්‍රීසිය අතර මායිම වසා දැමීය. එවිට යුගොස්ලාවියාව ‘හතුරු රාජ්‍යයක්’ යැයි ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය නිල වශයෙන් නිවේදනය කළහ.

1950 වෙද්දී රුමේනියාවේ 5,132 ක් ද, චෙකොස්ලෝවැකියාවේ 4,148 ක් ද, පෝලන්තයේ 3,590 ක් ද, හංගේරියාවේ 2,859 ක් ද, බුල්ගේරියාවේ 672 ක් ද මෙසේ ග්‍රීසියෙන් ඉවත් කර යවන ලද දරුවන් සිටි බව කියැවේ.

ඔවුන්ගේ අධ්‍යාපනයට පක්ෂ දේශපාලනය ඉගැන්විණ. වයස 13 දී බලහත්කාරයෙන් කාය ශ්‍රමික රැකියා ඔවුන්ව යොදා ගැනිණ.

කොමියුනිස්ට් ලෝක විප්ලවයේ අරමුණ වූයේ ග්‍රීක සිවිල් යුද්ධයෙන් අවතැන් වූ දරුවන් බලහත්කාරයෙන් ගෙන ගොස් පක්ෂයට හිතෛෂී යුදකාමී නව පරම්පරාවක් හැදීමයි. ඒත් අනෙකුත් සෑම රාජ්‍ය මෙහෙයුමක් සේ ම එය ද අසාර්ථක විණ. 1956 දී කොන්ස්ටන්ටිනයිඩීස් නැමැති ග්‍රීක තරුණයෙක් සෝවියට් යුනියනට එරෙහිව හංගේරියන් අය සමඟ එකතු වී සටන් වැද මිය ගියේය. අනෙකුත් තරුණයන් බටහිර ජර්මනියට පළා ගියහ. 1950 සිට 1952 දක්වා කාලයේ දී ආපහු ග්‍රීසියට එන්නට අවසර ලැබෙන්නේ දරුවන් 684 කට පමණි.

1963 වෙද්දී කොමියුනිස්ට් රටවල උපන් දරුවන් හාර දහසක් පමණ ආපසු ග්‍රීසියට යවන ලදි. සෝවියට් දේශය කඩා වැටීමත් සමඟ, ප්‍රජාතන්ත්‍රවාදය හිස ඔසවද්දී පෝලන්තයේ වාසය කළ දහස් ගණනක ග්‍රීක වැසියන් ආපහු සිය රට බලා ගියහ.

Loring M. Danforth, Riki Van Boeschoten ලියූ Children of the Greek Civil War: Refugees and the Politics of Memory (2012), Dr. Niki Karavasilis ලියූ The Abducted Greek Children of the Communists: Paidomazoma (2006) සහ කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරින්.

හිට්ලර් වෙතින් දරුවන් 669 ක් බේරාගත් නිකලස් වින්ටන් ගැන මම කළකට ඉහත දී ලියූ සටහනක් මෙතැනින් කියැවිය හැකියි. සැබෑ වීරයන් කවුදැයි තීරණය ඔබට බාරයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: