අරුණි ශපීරෝ‍ වෙතින්

සෝවියට් විප්ලවයේ සාහිත්‍ය

Posted in Uncategorized by arunishapiro on ජූනි 2, 2017

විප්ලවයට පෙර රුසියාවේ සාහිත්‍ය නිර්මාණ අතර බහුතරය ස්ලාවික් ආභාෂයෙන් දායාද වූ ඒවා වූහ. මෝල් ගහක් අතැතිව වංගෙඩියකින් ගුවනින් ගමන් බිමන් යන ‘බබා යගා’ ජන කතා බොහොමයකට පාදක වෙන ජනප්‍රිය චරිතයකි. ප්‍රථම වරට රුසියන් ජන කතා 600 ක එකතුවක් ඇලෙක්සැන්ඩර් ඇෆනාසියෙව් විසින් 1855 දී පටන් කාණ්ඩ කිහිපයකින් පළ කරන ලදි.

1860 ගණන් වෙද්දී සාහිත්‍ය යථාර්ථවාදය රුසියාවට ද පිවිස තිබිණ. ළමා සාහිත්‍ය තුල ස්ලාවික් ජන කතා වලට වඩා වැඩියෙන් යුරෝපීය සුරංගනා කතා සහ ප්‍රබන්ධ දකින්නට පටන් ගැනුණි. 1870 සිට 1880 ගණන් තෙක් විශේෂයෙන්ම ගැහැණු දරුවන් ඉලක්ක කරගෙන ලියන පොත් එළිබසින්නට පටන් ගති. ඒවා ලියන ලද ප්‍රසිද්ධ කාන්තා ලේඛිකාවන් බොහොමයක් සිටියහ. එව්ජීනියා තුර් විසින් ධනවත් ඉඩම් හිමියන්ගේ දූවරැන් ගැන ලියද්දී ඇලෙක්සැන්ඩ්‍රා ඇනෙන්ස්කායා මැද පංතියේ ජීවිකාව උපයන කෙල්ලන් ගැන කතන්දර ලිවීය.

“සතුටින් ඉන්න සියළු පවුල් එක වගෙයි; අසතුටින් ඉන්න හැම පවුලක්ම ඒ අයගේම වූ අසතුටෙන් ඉන්නෙ.” එවැනි සාවද්‍ය වාක්‍යයකින් පොත පටන් ගෙන ලියෝ ටොල්ස්ටෝයි ලියන ඇනා කැරනීනා අයිති වනුයේ සාහිත්‍ය යථාර්ථවාදී ශෛලියටයි. එම පොත 1873 සිට 1877 දක්වා කාලය තුල සඟරාවක කොටස් වශයෙන් පළ විය.

විසිවැනි සියවස ආරම්භයත් සමඟ ළමා පාඨකයන් වෙනුවෙන් විශ්වකෝෂ, චරිතපදාන මෙන්ම විද්‍යාඥයන් විසින් දරුවන් ඉලක්ක කරගෙන ලියූ පොත් සහ සඟරා එළිබසින ලදි. ගැහැණු ළමයින්ට ලියැවුණු පොත් දිගටම ජනප්‍රිය වූහ. ඒත් ‘සාහිත්‍ය යථාර්ථවාදී’ ළමා පොත් තුලින් දුප්පත් දරුවන්ට සිද්ධ වන අකටයුතු ඉස්මතු වීමෙන් ඒ පොත් දොම්නස් බැවින් යුතු වූහ. 70-80 ගණන්වල ලංකාවේ සිංහල සාහිත්‍ය කෘති වලින් ඛේදනීය තත්වයන් උසුලාගත නොහැකිව සියදිවිනසා ගන්නා කාන්තා චරිත බහුලව දකින්නට හැකිවූවා ලෙසින් වෙන්නට ඇති කියා මට සිතේ. ඒවා යථාර්ථවාදී යැයි කියැවුනාට කිසිසේත්ම සැබෑ ලෝකයේ පිළිබිඹුවක් නොවීය. ලංකාවේ වැඩියෙන්ම සියදිවිනසා ගන්නා ලද්දේ පිරිමින් විසිනි. අද ලංකාවේ මෙන්ම ෂර්ලොක් හෝම්ස් සහ එවැනි අනෙකුත් රහස් පරීක්ෂක කතා එදා රුසියාවේ පිරිමි ළමුන් අතර ද වැඩියෙන්ම ජනප්‍රිය වූ පොත් වූහ.

1917 බොල්ෂෙවික් විප්ලවයත් සමඟ සියළු සාහිත්‍ය හා කලා උත්සාහයන් “වැඩ කරන ජනතාවගේ කලාව” යැයි නම් කෙරිණ. ඒ සඳහා Proletkult සංවිධානය ද, “සාමූහික කලාව” දිරිගන්වන්නට Iskusstvo Kommuny සඟරාව ද බිහි වී තිබුණි. ශ්‍රමිකයන්ගේ ගැටළු වලට ප්‍රායෝගික විසඳුම් ගෙනෙන කලාකරුවා තාක්ෂණික සේවකයෙක් විය යුතු යන දැක්මට ලෙනින් සමඟ ව්ලැඩිමියර් යෙව්ග්‍රෆොවිච් ටැට්ලින් සහ ඇලෙක්සැන්ඩර් මිකාහෙලියොවිච් වැනි සුප්‍රසිද්ධ රුසියන් කලාකරුවන් පෙනී සිටියහ.

ශ්‍රමිකයන්ට ප්‍රයෝජනවත් නොවන කලා අංශ මර්ධනය කරන ලදි. කමකට නැති චිත්‍ර ඇඳීමෙන් ශ්‍රමිකයාගේ එදිනෙදා ජීවිතයට ඵලක් නැත. ගෙවල් සහ බඩු මුට්ටු සැලසුම් නිර්මාණය ප්‍රයෝජනවත්ය. 1921 දී “අභිසංස්කරණවාදය” නමෙන් එම දැක්ම සෝවියට් දේශයේ නිල කලා ප්‍රතිපත්තිය බවට පත්විය.

කලාකරුවන් සියළු දෙනාම පාහේ කොමියුනිස්ට් දැක්ම වෙනුවෙන් ප්‍රබන්ධ, පෝස්ටර්, සංඥා පුවරු, සටන් පාඨ යනාදිය ලිවූහ. චිත්‍ර ඇන්ඳහ. සෝවියට් ජන ජීවිතය දක්වන දෑ කැත්තක් හා මිටියක් රැගත් කෝප මුහුණින් යුතු වූ ශ්‍රමිකයන් යදම් කෑලි කෑලි කැඩෙද්දී නැඟිටින ආකාරයේ චිත්‍ර, ලෙනින්ගේ නායකත්වය යටතේ රතු බැනර් යටින් පා තබන සොල්දාදුවන්ගේ පින්තූර, ජලාශ්‍රයක වේල්ල වැඩ කරන හැටි, රේඩියෝව වැඩ කරන හැටි යනාදිය විස්තර කරන රූප පමණකට අවසර ලැබිණ.

ඒවායේ සෞන්දර්යාත්මක ලක්ෂණ දකින්නට තිබීම බුර්ජුවාසි යැයි සැලකෙන ලදි. ඒ නිසා සියළු චිත්‍ර, ප්‍රතිමා, පෝස්ටර් හා ගෘහ නිර්මාණ විලාසිතා තුල පවා රළු, මොට හා ගොරහැඩි ස්වරූප ඉස්මතු කරන ලදි.

මහා ශුද්ධ කිරීම අවසන් වී දශකයක් ගෙවී යද්දී ස්ටාලින් විසින් ‘දේශයේ හතුරන්’ මර්ධනයට මෙහෙයුමක් දියත් කළ විට උපදින අලුත් තාලයේ පොත් රැල්ල “සමාජවාදී යථාර්ථයයි.” එය ස්ටාලින්ගේ පාලනයේ නිල ප්‍රතිපත්තිය විය. එය සෝවියට් දේශයේ ප්‍රථම පස් අවුරුදු සැලැස්මේ අංගයකි.

1928 දී මැක්සිම් ගෝර්කි ගියේ Solovetski Islands දේශපාලන සිරකඳවුරු දැක බලා ගන්නටයි. ඒ කඳවුරුවල මනස් වෙනස් කරන වෑයම් ප්‍රශංසා කරමින් හේ පොතක් ලිවීය. සමාජවාදී යථාර්ථවාද සාහිත්‍යයේ නිර්මාතෘවරයා වූ ගෝර්කිට පසුව ලෙනින් අනුස්මරණ පදක්කමක් ද, මොස්කව් වාසයට මන්දිරයක් සහ නගරයෙන් බැහැර ඩාචාවක් ද සෝවියට් ආණ්ඩුවෙන් ලැබිණ. සිය රටවැසියන් මිලියන ගණනින් මරුමුවට දක්කද්දී නොදැක්කා සේ සිටීම නිසාම මන්දිර හා සම්මාන ලබන්නට සමත් අය ගැන නිහඬ වෙන ලොව බහුතරය මුදල් ලාභ අරබයා පොත් ලියන කතුවරයන් හෑල්ලුවට ලක් කරන හැටි දැකීම මේ තොරතුරු යුගයේ හද කම්පා කරවන්නකි.

ශක්තිමත් මාංශ පේශී වලින් පැසුණු ධාන්‍ය මිටි මොළවා ගත් අයෝමය පුරුෂයන් හා කරට කර හිටගත් පිරුණු රෝස පැහැති කම්මුල් තිබි කාන්තාවන් සතුටින් දිවි ගෙවන හැටි සමාජවාදී යථාර්ථවාදයේ දී චිත්‍රයට නැඟුණි. මිනිස් මනස කොමියුනිස්ට්වාදයට හිතෛෂීව හැඩගසන ඕනෑම පර්යේෂණ කලාවට ඉඩක් ලැබුණි. සමාජවාදයේ සාමූහිකත්වය අගයන වීරක්‍රියා, සුරංගනා කතා සහ ධනාත්මක කතා ප්‍රචලිත විය. වීර කුහුඹුවෙක් ලෙසින් පවුලේ සියල්ලන් සමඟින් නිවසක් හදාගැනීම ගැන සතුටින් සාද පවත්වන්නට හැකියාව තිබුණේ ඉහළ පාලකයන් අතලොස්සකට පමණි.

විප්ලවයේ කවියෙක් හැටියට ජනප්‍රියත්වයක් ලැබූ ව්ලැඩිමියර් මයාකොව්ස්කි ‘හොඳ කුමක් ද සහ නරක කුමක් ද?’ යනාදී නිර්මාණ වලින් ළමා සිත් හැඩගස්වන්නට පෙරමුණ ගත්තෙකි. ‘ඔක්තෝබර් 1917-1918: විප්ලවයේ වීරයන් සහ වින්දිතයන්’ නමින් ඔහු ලියූ පොතේ හොඳ අය වූයේ ශ්‍රමිකයන්, රතු හමුදා සොල්දාදුවන්, නාවිකයා, ඇඳුම් මහන කාන්තාව වැනි අයයි. නරක අය හැටියට කම්හල් අයිතිකරුවා, ඉඩම් හිමියා, ධනවත් ගොවියා, පැවිද්දා, වෙළෙන්ඳා දැක්විණ. 1932 දී ව්ලැඩිමියර් මයාකොව්ස්කි දරුවන් උදෙසා ලියන “මම කවරෙක් වෙන්නම් ද?” යන කවිය චිත්‍ර සමඟින් පොතක් හැටියට බිහිවිය. කැමති ඕනෑම වෘත්තියකට පිවිසෙන්නට හැකියාව ඇතැයි යන හැඟීම එහි අඩංගු වුවද, කැමති දෙයක් කරන්නට සමාජවාදයේ දැක්ම තුලින් ඉඩක් නොලැබෙන බව විමසන්නට කිසිවෙකුට අවසරයක් නොතිබිණ.

මුළු හදවතින්ම පක්ෂයේ දැක්ම ජනතාවට ගෙන යන්නට ඉදිරිපත් වූ කලාකරුවන් පවා වැඩිකල් නොයද්දී විප්ලවයේ හතුරන් වූහ. ශුද්ධ කිරීම් වලට හසුවූහ. දේශයේ හතුරන් වූහ. අනෙක් රටවැසියන් සේ ම, පක්ෂයට ආවඩන ලද ලේඛකයන් ද සිරගත වූහ. පිටමං කර දැමිණ. හාමතයෙන් මිය ගියහ. එසේම සියදිවිනසා ගත්හ. ‘මම කවරෙක් වෙන්නම් ද?’ ලියූ මයාකොව්ස්කි 1930 දී සියදිවිනසා ගත්තේය.

මේ සෝවියට් දේශයේ නිල කලා ප්‍රතිපත්තිය 1980 ගණන් අග දක්වා පැවතිණ. 70 දශකයේ දී ලංකාවේ දරුවන්ට ලෙනින් කියූ ‘ප්‍රයෝජනවත් මෝඩයන්’ විසින් බෙදාහරින සාමූහිකත්වයේ අගය කියන පොත් ලැබිණ. ධනවාදය කුමක්දැයි කියා වැරදියට අර්ථ දැක්වූවා සේ ම සමගියෙන් කටයුතු කිරීම සැබැවින්ම සිද්ධ වෙන්නේ කෙසේදැයි කියා විමසා බලන්නට ද ලංකාවේ කිසිවෙකු ඉදිරිපත් නොවූහ.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on ජූනි 2, 2017 at 2:13 ප.ව.

    කොම්සොමෝල් වියාපාරය හරහා ළදරු සෝවියට් දේශය ගොඩ නැගීමට නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි අපමණ කැපකිරීම් කළේය, එක දිගට ශීත කාලයේ එළිමහනේ වැඩ කළේය, පෝලන්ත හමුදා සහ ප්‍රති විප්ල කොටස් වලට එරෙහිව සටන් කළේය. අවසානයේදී ඔහු ස්නායු රෝගයකට ගොදුරු විය. අංශබාගය නිසා ඔහුගේ දිවිය ඇඳට කොටු විය. බලාපොරොත්තු බිඳ වැටීම හේතුවෙන් ජීවිතය නැති කර ගැනීමට උත්සහ කලද අවසානයේදී ඔහු අලුත් අවියක් ගෙන සටන් බිමට පැමිණියේය. තුවක්කුව වෙනුවට ඔහු පෑන අතට ගත්තේය. ඔහු තමා වටා තිබු අයෝමය වලල්ල බිඳ දැමීය. කුණාටුවකින් උපත ලද්දෝ ඔහුගේ පළමු නවකතාව විය. එහි සාර්ථකත්වය හරහා ඔහු තම අවසාන සහ ලෝක ප්‍රකට නවකතාව රචනා කළේය. එය වානේ පන්නරය ලැබුණු හැටි නම් විය. 1987 වසරේදී මම නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි උපන් යුක්රයිනයේ ශේපිතොව්කා ගම්මානයට ගියෙමි. 1987 කාලය වන විටත් එහි පිටිසර ගතිය බොහෝ දුරට දක්නට තිබුණි. 1993 දී මොස්කව් වලදී ඔව්ස්ට්‍රොව්ස්කි අවසන් කාලයේ ජීවත්වූ නිවසද දුටුවෙමි. නමුත් එම නිවස ඇතුලට යාමට මට නොහැකි විය. ඒ පිලිබඳව මම අද කනගාටු වෙමි. නිකොලායි ඔව්ස්ට්‍රොව්ස්කි පිලිබඳව මට එක ගැටලුවක් තිබේ. ඔහු ස්ටාලින්ගේ කුමන්ත්‍රණ දේශපාලනය හඳුනා ගැනීමට අපොහොසත් විය. ඔහු ස්ටාලින් හැඳින්වුයේ සමුර්ධිමත් යුගයකට අපව ගෙන යන සදාදරණීය නායකයා වශයෙනි . ඇතැම් විට ස්ටාලින්ගේ තත්‍ය ස්වභාවය දැකීමට ඔහුට නොහැකි වුවා විය හැක. එහෙත් 1936 දී ඔහුගේ මරණය සිදුවන විට විටත් ස්ටාලින් දස දහස් ගණනින් ජනයා ගුලර්ග් වහල් ශ්‍රම කඳවුරු වලට ගාල් කරමින් සිටියේය.

    • arunishapiro said, on ජූනි 5, 2017 at 7:16 පෙ.ව.

      Transylvania,

      නිකොලායි ඔස්ට්‍රොව්ස්කි රතු හමුදාවේ සෙබලෙක් හැටියට ඝාතන සිද්ධ වූ හැටි නොදැන සිටියා නොවේ. කුරිරු මතවාදයක් ස්ථාපිතයට හවුල් වීම “අපමණ කැප කිරීම්” 😦

  2. Nanda Wanninayaka said, on ජූනි 3, 2017 at 3:00 පෙ.ව.

    බොහොම ස්තුතියි අරුණි මේ වටිනා ලිපියට. පොඩි කාලේ ඉඳන් සෝවියට් සාහිත්‍ය එක්ක හැදුනු වැඩුණු මට මේ ලිපිය අමා පැණි වගේ..

  3. indranathathenuwara said, on ජූනි 4, 2017 at 3:54 පෙ.ව.

    නොවරදවා කියවමි.
    නිතර සටහන් නොකළත් බෙහෙවින් අගය කරමි.

    • arunishapiro said, on ජූනි 5, 2017 at 7:21 පෙ.ව.

      indranathathenuwara,

      ස්තූතියි.

      මම ‘පුලිස්ට්සර්’ හොයන්නෙ නෑ! මෙච්චර ගාණක් කියවන්න එන තැනක් හෝ මෙච්චර ප්‍රතිචාර ලැබෙනවා කියල කියන්නත් උවමනාවක් නෑ. අදත් හෙටත් කියවන්න එන ඔබ වැනි අය වෙනුවෙන් මේ සටහන් ලියමි.

  4. Manoj said, on ජූනි 5, 2017 at 2:27 පෙ.ව.

    මැක්සිම් ගෝර්කි,ලියෝ ටෝල්ස්ටෝයි ගැන මුලින්ම දැන ගත්තේ කියෙව්වේ “විජය” පත්තරෙන්.ඒ කාලේ ඒ ලේඛකයෝ අපේ වීරයෝ.එත් ඔවුන් ප්‍රචාරණ ව්‍යාපාරයක එක නියෝජිතයින් පිරිසක් බවයි මේ ලියවිලි කියවූ විට වැටහෙන්නේ.

    • arunishapiro said, on ජූනි 5, 2017 at 7:24 පෙ.ව.

      Manoj,

      ගෝර්කි සහ ටෝල්ස්ටෝයි ගැන තව ගොඩක් විස්තර තියෙනව. ‘ප්‍රයෝජනවත් මෝඩයෝ’ කියන වහර මුලින්ම යොදාගත්තේ ලෙනින්. ඒ කොච්චර තොරතුරු ලිව්වත් ඵලක් නෑ මේ වගේ අයට සමාව දෙන්න ස්ටාලින්ව බිල්ලට දීලා අනික් අය ඔක්කොමලා තොත්ත බබ්බු කරන අය අදත් ලොව බොහෝමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: