අරුණි ශපීරෝ‍ වෙතින්

හලඩමෝ හෙවත් යුක්රේන මහා ජන සංහාරය

Posted in Uncategorized by arunishapiro on ජූනි 5, 2017

හලඩමෝ (Holodomor) යනු 1932 සහ 1933 යන වසර දෙක තුල දී ස්ටාලින්ගේ ආණ්ඩුව සෝවියට් යුක්රේනයේ මූලික වශයෙන් යුක්රේන වාර්ගික ජන කොට්ඨාශය ඉලක්ක කරගෙන දියත් කළ, ස්වභාවික නොවන හේතු වලින් හටගත් කෘතීම සාගතය හඳුන්වන්නට යොදා ගන්නා නමයි. එය මිලියන 7-10 ක් අතර ජනගහණයක් මරුමුවට පත් කළ මහා ජන සංහාරයයි. නිල වශයෙන් දක්වන සංඛ්‍යාව එය වෙද්දී නිල නොවන වාර්තා මිලියන 12 ක් පමණ ඉහළ වෙති. මේ ගණනට පිටුවහල් කරන ලද, වෙඩිතබා මරන ලද සහ ප්‍රවාහනයේ දී මිය ගිය සංඛ්‍යා ඇතුලත් නොවේ.

ස්ටාලින් මිය ගිය පසු (ස්ටාලින් අපිට දුන් අණ අපි එහි දී ක්‍රියාත්මක කළා පමණයි කියූ) ලියොනිඩ් කෘශ්නෙව්ගේ ‘පුනරුත්ථාපන’ සමයේ දී බොහෝ වාර්තා පුළුස්සා දැමූ නිසාත්, යුක්රේනයේ බහුතරයෙන් මිය ගිය ගම්බද වැසියන් අතර සංඛ්‍යා වාර්තා තබාගැනීමක් සිදු නොවූ නිසාත්, මෙම සාගතයෙන් මිය ගිය සංඛ්‍යාව නිශ්චිතවම ගණනයට හැකියාවක් නැත.

මේ සාගතය ස්වභාවික හේතු නිසා හටගත්තක් නොවේ. මෙය සිවිල් යුද්ධයක් හෝ විදේශ ආක්‍රමණයක් නිසා සිද්ධ වූවක් නොවේ. මේ මහා ව්‍යසනය ස්ටාලින්ගේ සෝවියට් ආණ්ඩුවේ ධාන්‍ය එකතු කිරීමේ ප්‍රතිපත්තිය නිසා ඇතිවූවකි. 1932 ගිම්හානයේ දී දරුවෙක් පවා ධාන්‍ය කරල් කිහිපයක් අස්වැන්නකින් සොරාගත්තේ නම් අත් අඩංගුවට ගැනෙන ආඥාවක් ක්‍රියාත්මක කෙරිණ. යුක්රේන ගම්මාන වටා හමුදා බාධක ඉදිකරන ලද්දේ කුසගින්නේ සිටින ගම්වැසියන්ට ආහාර සොයා වෙන ගමකට යා නොහැකි ලෙසටයි. මේ ව්‍යසනය “සාගතයෙන් පාඩමක් උගන්වා” යුක්රේනයේ නිදහස් ව්‍යාපාරය මුලිනුපුටා දමන්නට ස්ටාලින් දියත් කළ සැලසුමේ ප්‍රථිපලයයි.

1933 ජූනි වෙද්දී දිනකට තිස්දාහක් බැගින් යුක්රේන ජනතාව මිය ගියහ. එයින් තුනෙන් එකක් පමණ වයස 10 ට අඩු දරුවන් වූහ. සෝවියට් රුසියාවට ගොස් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට වාර්තා කරන වෝලටර් ඩුරාන්ටි නම් පුවත්පත් කලාවේදියා එදා මෙසේ කීය: රුසියාවේ සාගතයක් ඇතැයි කීම අතිශයෝක්තියක් නැත්නම් දුෂ්ට අදහස් ඇති අයගේ ප්‍රොපගැන්ඩා උත්සාහයකි. සැබෑ හාමතයක් එහි නැත හෝ හාමතයෙන් මැරෙන අය නැත නමුත් මන්දපෝෂණය නිසා රෝගාතුර වී මිය යන බොහෝ අය සිටිති.” ඔහුට ඒ සඳහා පුලිට්සර් ත්‍යාගයක් හිමිවිණ.

එපමණක් නොව 1933 නොවැම්බර් මාසයේ දී ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට් ස්ටාලින්ගේ කොමියුනිස්ට් රජය පිළිගෙන ඒ සමඟ නව වෙළඳ සබඳතා ගිවිසුම් ගැසීය. ස්ටාලින්ගේ පස් අවුරුදු සැලැස්මට බටහිර තාක්ෂණ හා නිමි භාණ්ඩ අවශ්‍ය වී තිබිණ. ඔවුන් යුක්රේන වැසියන් වෙතින් මංකොල්ල කන ධාන්‍ය එවමින් ඒවා මිල දී ගත්හ. එදා යුක්රේන වැසියන් ඛේදනීය තත්වයකට මුහුණ පා සිටිනවා යැයි බොහෝ දෙනෙක් පිළිගත්තේ නැත.

පසුකාලයක දී රුසියාවේ ජනාධිපති වූ මිකායෙල් ගොරබචොව් ද රුසියන්-යුක්රේන මිශ්‍ර පවුලක උපත ලද්දෙකි. 1933 වසර ඔහුගේ මතකයේ සටහන් වී ඇත්තේ සිය පියාගේ සහෝදරයෙක් සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනෙක් කුසගින්නෙන් මිය ගිය වසර හැටියට බව ඔහු සිය මතක සටහන්වල ලිවීය.

“හාමතයෙන් මරණයට පත් කිරීම” හලඩමෝ යන වචනයේ අර්ථයයි. එය යුක්රේන ‘හලඩ්’ හෙවත් කුසගින්න සහ ‘මෝ’ හෙවත් වසංගතය යන වචන දෙකෙන් එකතු වී හැදෙන්නකි. යුක්රේනයෙන් පිට වී ගිය සංක්‍රමණිකයන් මේ ගැන අවධානයක් ලබාගන්නට ගත් වෑයම් නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පත්, පුලිට්සර් වැනි ත්‍යාග සහ රූසවෙල්ට් වැනි ජනාධිපතිවරු නිසා සාර්ථක නොවිණ. 1978 ගණන් වල දී මේ වචනය ඇමෙරිකාවේ සහ කැනඩාවේ පදිංචියට පැමිණ සිටි යුක්රේන වැසියන් විසින් භාවිතා කර ඇත. ඒත් සෝවියට් දේශයේ ඉතිහාසඥයන් එය ‘ආහාර හිඟය’ යැයි හැඳින්වූහ. කුසගින්න සහ සාගතය යන වචන ඒ සම්බන්ධයෙන් කතාබහේ දී භාවිතය ඔවුනට තහනම් වූහ.

1968 දී ඉතිහාසඥ රොබට් කොන්කුවෙස්ට් විසින් ස්ටාලින් රෙජිමය ගැන සත්‍යය හෙළිදරව්වක් ලොවට ඉදිරිපත් කළේය. මහා භීෂණය: තිස් ගණන්වල ස්ටාලින්ගේ ශුද්ධ කිරීම්. සියළු තොරතුරු ඔහු මහජනයා වෙත ඒකීයපුද්ගලයන් ඉදිරිපත් කරන ලද හෝ කෘශ්නෙව් කාලයේ එළිබැසි නිල වාර්තා වලින් ලබාගන්නා ලදි. සත්‍ය වසන් කිරීම ගැන හේ බැටළු හමක් පොරවා ගත් වෘකයන් සිටි ෆේබියන් සමාජයේ බියට්‍රීස් සහ සිඩ්නි වෙබ්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, ජෝන් පෝල් සාත්‍ර, වෝල්ටර් ඩුරාන්ටි, සහ හැරල්ඩ් ලැස්කි වැනි අයව දැඩි සේ විවේචනය කළේය. ස්ටාලින්ට සහාය දීම ගැන ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩු විවේචනය කළේය.

1986 දී කොන්කුවෙස්ට් විසින් දොම්නසේ අස්වැන්න: සෝවියට් සාමූහිකරණය සහ භීෂණ-සාගතය නමින් හලඩමෝ ගැන ලිවීය.

හලඩමෝ යන්න ප්‍රකාශිත වචනයක් හැටියට සෝවියට් දේශයේ මුලින්ම දකින්නට ලැබෙන්නේ 1988 දී ය.

එය යුක්රේන භාෂා ශබ්දකෝෂයට ඇතුළු වී තිබෙන්නේ 2004 දී ය.

මෙය අනුස්මරණයට හැකියාව යුක්රේනයට ලැබෙන්නේ 2006 දී ය. නොවැම්බර් මාසයේ හතරවැනි සෙනසුරාදා දිනය ඒ සඳහා යුක්රේනය නිල වශයෙන් වෙන් කරන ලද දිනයයි. ඉටිපන්දම් සහ ඉරිඟු එම අනුස්මරණයේ සංකේත හැටියට යොදා ගැනෙයි.

2003 දී එක්සත් ජාතීන් විසින් යුක්රේන, රුසියන්, කසකස් හා වෙනත් සෝවියට් දේශයේ ජාතිකයන් මරුමුවට පත්වීම සෝවියට් පාලකයන්ගේ ආඥාදායක ප්‍රතිපත්ති නිසා සිද්ධ වූවක් හැටියට සාගතය නිර්වචනය කරන ලදි.

2006 දී යුක්රේන පාර්ලිමේන්තුවේ වර්කොව්නා රාදා විසින් හලඩමෝ යනු උවමනාවෙන්ම ගෙනෙන ලද මහා ජන සංහාරයක් යැයි පිළිගැනීම නීතිගත කර එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේපය නීතිවිරෝධී කරන ලදි. යුක්රේන ජනාධිපති (ඩයොක්සින් ගැසීම නිසා මුහුණ විකෘතිව සිටින) වික්ටර් යුෂ්චෙන්කෝ හලඩමෝ ප්‍රතික්ෂේපය අපරාධයක් හැටියට නීතිගත කළ යුතු යැයි ඉල්ලා සිටියෙකි. එහි දී යුක්රේනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධානියා වූ පෙට්‍රො සිමොනෙන්කෝ කියන ලද්දේ යුෂ්චෙන්කෝ සාගතය පෙන්වා ජනතාව අතර ද්වේශය පතුරුවන්න හදනවා කියාත් සෝවියට් යුනියනය උවමනාවෙන් කිසිවෙක් හාමතයේ නොතිබූ බවත්ය.

2010 දී බලයට පත් නව ජනාධිපති වූ වික්ටර් යැන්කොවිච් හිටපු ජනාධිපති යුෂ්චෙන්කෝගේ ස්ථාවරයෙන් වෙනස් මගක් තෝරාගත්ත ද, නීතිය ආපසු හරවන්නට නොගියේය.

2010 දී කියෙව් හි උසාවි මඟින් 1932-33 පැවති මහා ජන සංහාරයේ අපරාධකරුවන් හැටියට ස්ටාලින් ඇතුළු බොල්ෂෙවික් නායකයන් යුක්රේන වැසියන්ට එරෙහි මහා ජන සංහාරයේ සාපාරාධීන් යැයි තීන්දු කරන ලදි. තීන්දුව නොදැක්කා ලෙසින් සිටි යැන්කොවිච්ගේ බලපෑම් නිසා ස්ටාලින්, මොලටොව් ඇතුළු ඒ වන විට මිය යන ලද කිහිප දෙනෙකුට එරෙහි අපරාධ නඩුව විභාග වීම අනතුරුව අත්හැර දමන ලදි.

2008 ඔක්තෝබර් 23 වැනිදා යුරෝපීය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරමින් හලඩමෝ යනු මනුෂ්‍ය වර්ගයාට කරන ලද අපරාධයක් යැයි හැඳින්වීය. යුක්රේනයේ, බෙලාරූසයේ, කසකස්ථානයේ, මොල්ඩෝවා සහ රුසියාවේ මිලියන ගණනක අහිංසක ජනතාවකට මරණය කැඳවන ලද සෝවියට් ආණ්ඩුවේ කුරිරු සහ උවමනාවෙන් ගත් ප්‍රතිපත්ති නිසා සිද්ධ වූවක් යැයි යුරෝපීය පාර්ලිමේන්තු සම්මේලනයේ කවුන්සිලය (PACE) 2010 අප්‍රේල් 27 වැනිදා ප්‍රකාශ කරන ලදි. ඒත් හලඩමෝ යනු යුක්රේන ජනතාවගේ ජනවාර්ගික සංහාරයක් යැයි අනුමැතියට ගෙනෙන ලද යෝජනාව PACE විසින් නිල වශයෙන් පිළිනොගන්නා ලදි.

2015 නොවැම්බර් 7 වැනිදා වොෂිංටන් ඩීසී හි දී හලඩමෝ අනුස්මරණ සිහිවටනයක් විවෘත කරන ලදි. එය ඇමෙරිකන් ජාතික වනෝද්‍යාන සේවය සහ යුක්රේන ආණ්ඩුව එකතුව නිර්මාණය කරන ලද්දකි. මෙම සටහනට යොදා ගන්නා විකිපීඩියා පින්තූරයේ දැක්වෙන්නේ එයයි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on ජූනි 5, 2017 at 6:59 ප.ව.

    Many Soviet and foreign experts believe that Kaganovich was responsible for 1932–33 famine (Holodomor) in Ukraine. He implemented the plans for collectivization which caused a devastating famine in which millions of people died. Kaganovich advocated harsh repression of the Ukrainian farmers. He headed the 1932 grain procurement campaign that led farmers and their families to starve. Men women and children perished in the Ukrainian famine.

    According to Alain Besancon, Professor of History (Sorbonne, France) 1932–33 famine was the well-organized executions that made the terror by starvation in Ukraine a genocide. The artificial famine was imposed on the Ukraine people during 1932 – 1933 took 7 to 10 millions of innocent lives (58th UN General Assembly on 7 November 2003). Hunger also covered the Russian Volga region and northern Kazakhstan. Stalin had two motives while causing a catastrophic situation in Ukraine. One is to stifle Ukrainian nationalism and other is to get peasants under the forced collectivization. Stalin succeeded with a great human cost. Kaganovich played a sinister role and he fully supported the policies of Stalin.

    In his book The God that Failed, the famous writer Arthur Koestler (who visited Ukraine in late summer of 1932 and fall 1933 and spent about three months in the city of Kharkiv) wrote devastating events related to the Holodomor. In addition the attorney Rafael Lemkin in his work The Soviet Genocide in Ukraine tried to present the fact of Holodomor to the Nuremberg trials as genocide of a totalitarian regime (Lemkin, 2009).

    • arunishapiro said, on ජූනි 9, 2017 at 10:13 පෙ.ව.

      Transylvania,

      බොහෝ සෝවියට් සහ විදේශ විශේෂඥයන් කියන්නේ නැතිව එක අයෙක්ගේ හෝ නමක් දැම්මා නම්, කියපු තැනක මූලාශ්‍රයක් එක්ක, ඉතා වටිනව.

      සමාජවාදය වැරදෙන හැම අවස්ථාවකම කවුරු හරි පුද්ගලයෙක්ව හෝ පිරිසක්ව බිල්ලට දීම තාමත් දකින ලක්ෂණයක්!

      ලෙනින් පටන් ගත්ත ධනපතියන්, ඉඩම් හිමියන්, ව්‍යාපාරිකයන් යනාදීන් ඝාතනය, ට්‍රොට්ස්කි විසින් දේශපාලන සිර කඳවුරු වලට දමා බලහත්කාරයෙන් වැඩ ගැනීම, ස්ටාලින් විසින් වමේ හතුරන් ඉක්මවා යමින් රටේ සිවිල් ජනතාව පමණක් නොව පාලකයන් පවා ‘පොදු හතුරන්’ යැයි ඉලක්ක කරද්දී තමන් ද ගොදුරු වේ යැයි වැටහෙද්දී තමයි මේ කරගෙන යන ත්‍රස්තවාදයට අනාගතයක් නැතැයි කියා මොළේ පෑදෙන්නෙ.

      ඒත් ඉතින් ඔවුන් කිසිවෙක් සමාජවාදී ක්‍රමය වැරදියි කියන්නේ නෑ. ඒ ඔක්කොම ස්ටාලින් ඇතුළු හෙංචයියන් පිරිසකගේ උන්මාද ක්‍රියා කියල, ස්ටාලින් මැරුනට පස්සෙ හෙංචයියන් ටිකක් මරල දාලා, හිරේ දාලා, පිටමං කරලා හැබැයි ක්‍රමය දිගටම පවත්වාගෙන යනව. අදත් පූටින්ට ප්‍රතිවාදීන් ඝාතනයට, ඇසිඩ් ගහන්නට, තම කල්ලියට එකතු නොවන ව්‍යාපාරිකයන්ව සිරගත කරන්නට හැකියාව ඇත්තේ කුරිරු මතවාදී ක්‍රමය වෙනස් වී නැති නිසයි.

      Alain Besançon, රොබට් කොන්කුවෙස්ට් ඇතුළු හලඩමෝ ගැන වාර්තා කළ අය ලසාර් කගානොවිච්ව විශේෂයෙන් උලුප්පලා පෙන්වපු තැනක් මට නම් හමුවුනේ නැහැ. ලසාර් කගානොවිච් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ 1932 අගෝස්තු 11 වැනිදා ස්ටාලින් “අපි මේ යුක්රේනයේ පවතින තත්වය නිවැරදි කරන්නට පටන් නොගත්තොත් අපිට යුක්රේනය අහිමි වේවි,” කියලා යවන පණිවිඩයයි. ඒ හැරෙන්නට ඔහු කළ දේවල් ව්‍යචෙස්ලාව් මොලටොව්, ලැව්රෙන්ටි බිරියා වැනි අයත් සහ යුක්රේන කොමියුනිස්ට් පක්ෂයේ නිලතල දැරූ අය අතරත් අතින් වැඩි වෙනසක් නැහැ.

      කෝටා ක්‍රමයට යුක්රේන වැසියන් මරා දමද්දී, හනිකට මරා දාලා තම පක්ෂ හිතෛෂී බව පෙන්වන්නට තව කෝටා වැඩි කරන්නයි හැමෝම පෙළඹුනේ. උදාහරණයක් විදියට පසුව ස්ටාලින්ව බිල්ලට දීලා ගැලවිලා පාලනය අතට ගත්ත නිකිටා කෘශ්චෙව් පොලිටිබියුරෝවෙන් ආපු පනස්දාහක කෝටා එක ඉක්මවා යමින් 55,471 නිලධාරීන්ව මරා දාන්න අණ දීලා 1937 ජූලි 10 වැනිදා ස්ටාලින්ට ලියනවා ex-කුලාක්ලා තව දෙදාහකට වෙඩි තියන්න අවසර දෙන්න කියල. A. N. Shelpian නම් හිටපු KGB බොස් කෙනෙක් 1988 සාක්ෂි දෙනවා කෘශ්චෙව්ගෙ මරණ ලැයිස්තු I. V. Serov නමැති රහස් පොලිස් නිලධාරියා විසින් ඉවත් කරපු බව. 1954 ජූලි 2-9 ත් අතර කෘශ්චෙව් ලියූ පිටු 261 ක් පුච්චලා දාලා තියෙනව. -ස්ටාලින්, සයිමන් මොන්ටෙෆියොරෙ, (2003) පිටු 249.

      ලැව්රෙන්ටි බිරියාගේ නිවස ටියුනීසියානු තානාපති කාර්යාලය බවට හැරිලා තියෙද්දි 2003 දී ටියුනීසියන් තානාපති වාර්තා කළා බිම්ගෙයක් ප්‍රතිසංස්කරණය කරද්දී බිත්ති ඇතුලෙන් මිනිස් ඇටකටු මතුවෙච්ච බව. ඒ නම් බිරියා විසින් දූෂණය කරන ලද කාන්තාවන්ගෙ කියල තමයි ඉහත සඳහන් පොතේම කියැවෙන්නෙ. අන්න එහෙම අය ස්ටාලින් එක්ක ළංවෙලා හිටියෙ කුරිරු මතවාදය එයම ඉල්ලන නිසයි.

      එක් පුද්ගලයෙක් හෝ කට්ටියක් පමණක් පාවා දීලා ගැලවෙන්න බැහැ, මතවාදය කුරිරු වෙද්දී.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: