අරුණි ශපීරෝ‍ වෙතින්

දොස්තර කැරැල්ල

Posted in Uncategorized by arunishapiro on ජූනි 12, 2017

රුසියාවේ ට්සාර් යුගයේ දී පීඩා විඳි යුදෙව්වන් අතර බහුතරය බොල්ෂෙවික් විප්ලවයට එක්වූ අයයි. නාට්සි මරණ කඳවුරු ගැන ලෝකය දැනගන්නට පටන් ගනිද්දී සෙමැටික්-විරෝධය සෝවියට් දේශයේ ද යළි හිස ඔසවන්නට විය. ඒ නිසා කොමියුනිස්ට් උත්සාහයට ඇප කැප වී සිටි යුදෙව්වන් අතර බහුතරය සිය නම් ගම් යුදෙව් යැයි කැපී පෙනීමෙන් වෙනස් කරන්නට පටන් ගෙන තිබිණ. ස්ටාලින්ගෙන් පසුව නායකත්වයට පත්වෙන්නේ කවුදැයි කියන බල අරගලය ඒ වෙද්දී ඇතුලත ඇරඹී තිබිණ.

1942 දී ජර්මනියට පහර දීමට ඇමෙරිකන් ආණ්ඩුව එකඟ කරගන්න යැයි සෝවියට් දේශය එහි යුදෙව්වන්ට ඇමෙරිකාවේ වාසය කළ යුදෙව්වන් වෙතින් තදින් ඉල්ලා සිටින්න යැයි කියූහ. ඒ සඳහා ‘සෝවියට් යුදෙව් ෆැසිස්ට්-විරෝධී කමිටුව’ පිහිටුවන ලදි. රචකයන්, රංගන ශිල්පීන්, කිවියන්, පියානෝ වාදකයන් මෙන්ම සෝවියට් පරමාණු බෝම්බයේ පියා ලෙසින් හැඳින්වෙන පියතොර් කපිට්සා නම් භෞතික විද්‍යාඥයා ද එහි ක්‍රියාකාරී සාමාජිකයන් වූහ. ඒත් වැඩිකල් යන්නට මත්තෙන්, එය යුදෙව් එකමුතුවේ ව්‍යාපාරයක් බවට හැරිණ.

1930 ගණන් වල සයිබීරියාවේ නැගෙනහිර පැත්තේ චීන මායිමේ කාන්තාර සහ ගොහොරු බිම් ප්‍රදේශයේ Birobdidzhan නමින් පිහිටුවන ලද ජාතික යුදෙව් රාජ්‍ය ඒ වෙද්දී අසාර්ථකව තිබිණ. යුදෙව්වන් 40,000 කට අඩු ප්‍රමාණයක් එහි පදිංචියට ගොස් සිටියහ. ඒ වෙනුවට ස්වෛරී යුදෙව් ජනරජයක් ක්‍රයිමියාවේ පිහිටුවන්නට යැයි ඉල්ලමින් 1944 පෙබරවාරියේ දී, යුදෙව් කමිටුවේ නායකයන් ස්ටාලින්ට ලිපියක් යැවූහ.

එසේම, නාට්සීන් විසින් සෝවියට් දේශයේ කළ යුදෙව් ජනසංහාර ගැන මෙන්ම, සෝවියට් දේශය තුල ‘යුදෙව්වන් මුහුණ පාන අස්වාභාවික සිද්ධීන්’ ගැන ද තොරතුරු එකතු කරන්නට කමිටුව පටන් ගත්හ. ඉඩදුන් අරමුණ ඉක්මවමින් යන කමිටුවේ ක්‍රියාකලාපය ගැන පාලකයන් අසතුටට පත්වූහ.

සෙමැටික්-විරෝධය රුසියාවේ පැවතිණ. නාට්සීන් මරන්නේ කොමියුනිස්ට් අය සහ යුදෙව්වන් පමණක් යැයි සිතූ මහත් ජනතාවක් සතුටින් සිටියහ. ජර්මන් හමුදා අල්ලාගත් ප්‍රදේශයන්හි විවෘතවම කරන ලද යුදෙව් ඝාතන වල දී පළාතේ ජනතාවගෙන් එතරම් විරෝධයක් එල්ල නොවීය.

ස්ටාලින් විශේෂයෙන් යුදෙව්වන්ට ද, පොදුවේ වෛද්‍යවරුන්ට ද, අකමැති වූ අයෙකි. යුදෙව් කමිටුවේ ජාතිකවාදී නැඹුරුවක් ඇතැයි 1946 ඔක්තෝබර් 12 වැනිදා රාජ්‍ය ආරක්ෂක ඇමති වික්ටර් අබකුමොව් මධ්‍යම කාරක සභාවට දැන්වීය. ස්ටාලින් ඊශ්‍රායෙල් රාජ්‍යය හදන විදේශ ප්‍රතිපත්තියට පක්ෂපාතීව සිටියේය. ඒ නිසා එම කමිටුවට එරෙහි කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොවීය.

එහෙත් සෝවියට් දේශය විසින් පලස්තීනය බෙදන්නට පක්ෂව එක්සත් ජාතීන්ට චන්දය දුන් සැණින්, 1947 නොවැම්බර් 29 වැනිදා සෝවියට් යුදෙව් ෆැසිස්ට්-විරෝධී කමිටුව අහෝසි කර දමන්නට අණ දෙන ලදි. යුදෙව්වන් විශාල පිරිසක් සෝවියට් රජයේ ඉහළ තනතුරු හොබවමින් සිටියහ. ඔවුන්ව ශුද්ධ කිරීම ක්‍රමානුකූලව සංවිධානය කෙරිණ.

1947 දෙසැම්බර් 19 වැනිදා කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලදි. 1948 ජනවාරි 13 වැනිදා එහි සභාපතිව සිටි සොලමන් මිකොයෙල්ස් මින්ස්ක් හි දී ඝාතනය විය. නිල ප්‍රකාශය වූයේ ඔහු රිය අනතුරකින් මිය ගිය බවයි. සෝවියට් විරෝධී ප්‍රොපගැන්ඩාවෙහි යෙදෙනවා යැයි කියමින් 1948 නොවැම්බර් 21 දින කමිටුවේ ක්‍රියා සහ එහි සියළු ප්‍රකාශන තහනම් කරන ලදි. ඊ ළඟ සති කිහිපයේ දී කමිටුවේ සෙසු සමාජිකයන්ව ද අත් අඩංගුවට ගැනිණ. 1949 මුල් වසර කිහිපයේ දී මොස්කව් සහ ලෙනින්ග්‍රෑඩ් විසූ යුදෙව් විද්වතුන් සියල්ලන්වම පාහේ අත් අඩංගුවට ගන්නා ලදි. අනතුරුව කලා, ජනමාධ්‍ය, ප්‍රකාශනය සහ වෛද්‍ය වෘත්තිය යන ක්ෂේත්‍ර බොහොමයකින් යුදෙව්වන්ව ක්‍රමානුකූලව ඉවත් කිරීම ද පටන් ගැනිණ.

ස්ටාලිනෝ ලෝහ සංකීර්ණයේ දී ‘ඉංජිනේරු කඩාකප්පල්කාරීන්’ හැටියට අත් අඩංගුවට ගෙන 1952 අගෝස්තු 12 වැනිදා වෙඩි තබා මැරූ සියල්ලන්ම පාහේ යුදෙව්වන් වූහ.

රාජ්‍ය රහස් සහිත ලිපි නැතිකරගැනීම නිසා මොලටොව්ගේ යුදෙව් බිරිඳව ද අත් අඩංගුවට ගෙන වසර 5 කට සිර කඳවුරකට යවන ලදි. ස්ටාලින්ගේ පෞද්ගලික ලේකම්ගේ යුදෙව් භාර්යාව ද ඔත්තු බැලීමේ වරදට 1952 ජූලි මාසයේ දී වෙඩි තබා මරා දමන ලදි. පවුලේ අය වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම ස්ටාලින් හෙළා දැකි නිසා මොලටොව් සහ ලේකම් කිසිත් නොවූ ලෙසකින් ස්ටාලින් සමඟ කටයුතු කළහ.

1953 ජනවාරි 13 වැනිදා ස්ටාලින්ගේ සමීපතම සහායකයන් දෙදෙනෙක්ව ඝාතනය කළ නමයකින් යුතු ‘ත්‍රස්තවාදී දොස්තරවරුන්ගේ කල්ලියක්’ සොයා ගත්තා යැයි ප්‍රාව්ඩා පුවත්පතේ වාර්තාවක් පළවිය. සෝවියට් දේශපාලන සහ හමුදා නායකයන් ඝාතනයට බටහිර සහාය ලැබෙන පස්වැනි භටපෙළක් සම්භාවනීය වෛද්‍යවරුන් අතර සිටිනවා යැයි සෝවියට් මාධ්‍ය වලින් ප්‍රචාරය විය. ඔවුන්ගේම සුභ සිද්ධිය සඳහා දියුණුවෙන නගර වලින් යුදෙව්වන් දුෂ්කර පළාත් වලට යැවීමට පාක්ෂිකව ඉතිරිව සිටි යුදෙව් නායකයන්ම අත්සන් තැබූ ලිපි පුවත්පත්වල පළවිය.

මිලියන දෙකක පමණ සෝවියට් යුදෙව්වන් ඝාතනයට පාර කැපිණ. රහස් පොලීසියෙන් යුදෙව්වන් ඉලක්ක කරගත් ‘සිද්ධීන්’ වැඩි වී, ප්‍රමුඛ පෙළේ යුදෙව්වන් විසින්ම ඒ ගැන යමක් කළ යුතු යැයි ඉල්ලා සිටිය දී, පියවර තුනකින් සමූලඝාතනය සැලසුම් කෙරිණ. මුලින්ම සියළු සෝවියට් යුදෙව්වන් නැගෙනහිර යුරාල් දේශයට දුම්රියෙන් පිටමං කිරීම, දෙවනුව, යුදෙව් නායකයන් එකිනෙකාට උරණ කරවීම, තෙවනුව සියළු කඳවුරුවල සිටින ඉහළම දක්ෂයන් මරා දැමීම.

සෝවියට් දේශයේ දීර්ඝායුෂ අධ්‍යයන සඳහා ප්‍රවීණ වූ යුදෙව් වෛද්‍යවරිය අත් අඩංගුවට ගැනෙද්දී වයසට යමින් සිටි ස්ටාලින් ඇයව පමණක් නිදහස් කරන ලදි. සෝවියට් දේශයේ යුදෙව්වන් ඉලක්ක කරගත් මහා ශුද්ධ කිරීමක් ස්ටාලින්ගේ මරණය නිසා නැවතුණි.

ස්ටාලින්ගේ මරණයෙන් අනතුරුව විශේෂයෙන්ම විද්වතුන් වූ සෝවියට් යුදෙව්වන් රට අත්හැර යන්නට අවසර ඉල්ලා සිටියහ. 1950 සහ 60 ගණන් වල දී අවසර දුන්නේ තම වෘත්තීයේ දක්ෂතා අනුව ඉහළ යන දැඩි ගාස්තුවක් ගෙවා රටින් පිටවෙන්නටයි. රටේ ඉතිරි වෙන ඥාතීන්ව රජයේ අනුදැනුමෙන් සමාජය තුල හෑල්ලුවට ලක් වූවද 1970 ගණන් වෙද්දී මිලියන ගණනක යුදෙව්වන් රුසියාවෙන් ඊශ්‍රාලයට ද එතැනින් ඇමෙරිකාවට ද ආහ.

Advertisements

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: