අරුණි ශපීරෝ‍ වෙතින්

එන්න ග්‍රම්ෂි කවුදැයි හඳුනාගන්න

Posted in Uncategorized by arunishapiro on ජූනි 26, 2017

අර්ථශුන්‍ය සම්ප්‍රලාප පතුරුවා හරිමින්, සිවිල් සමාජය විනාශ කරන්නට හැකි ලෙසකින් නීතිය, ව්‍යවස්ථාව සහ සිවිල් අනුක්‍රමය ගැන අදහස් අවුල් ගාලක පැටලවීම වර්තමාන ලංකාවේ බහුල ලෙසින් දකින්නට තිබුණ ද, එය ලෝකයේ අලුත් දෙයක් නොවේ. වියත්/විද්වත් ජීවිතය යනු වාමාංශිකයන් පමණක් පෙනී සිටින්නක් හැටියට දක්වමින්, එය ජීවිතය පරදුවට තබමින් ආරක්ෂා කරන දෙයක් හැටියට දක්වමින්, සංස්කෘතිය අල්ලා ගන්නට සටනක් දියත් වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි.

‘බුර්ජුවාසී’ අයගේ ‘දෝෂ සහගත දැක්ම’ හැටියට යථාර්ථය ප්‍රතික්ෂේපයෙන් වියත්/විද්වතුන් අතින් ශුද්ධ කර ලැබුවා වූ ශ්‍රමික සවිඥානය ප්‍රථම වරට ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙනවා යැයි ජර්මන් භාෂාව කතා කරන රටවල පැතිර ගිය දැක්ම විය. සෝවියට් කොමියුනිස්ට් කුරිරු ක්‍රියාකාරකම් ලෝකයේ සාමාන්‍ය මහජනතාව වෙතින් සැඟවෙද්දී, ධනවාදී රටවල් ද ෆැසිස්ට්වාදයේ කුරිරු බව පමණක් අවධානය යොමු කළහ.

ෆැසිස්ට්වාදියා යැයි කීම අපහාසයක් වෙද්දී කොමියුනිස්ට්වාදියා යැයි කීම ෆැසිස්ට්වාදයට ඍජුවම එරෙහි වූ පරමාදර්ශී උත්කෘෂ්ටයකට කැප වූවෙක් ලෙසින් ඉදිරිපත් කෙරිණ. එදා සෝවියට් වෑයමේ තතු ලොවෙන් වසන් කළා සේ ම, වර්තමාන වෙනිසියුලාවේ මෙවසරේ අප්‍රේල් සිට ජූනි වෙද්දී උද්ඝෝෂකයන් 76 දෙනෙකුව මධූරෝ රජය විසින් ඝාතනය කිරීම ලෝක ප්‍රධාන මාධ්‍ය තුලින් ඇසෙන්නේ නැතිවා සේ ම, ෆැසිස්ට්/කොමියුනිස්ට් වෙනස්කම් ගැන සාමාන්‍ය වැසියාට පහදා දෙන ප්‍රධාන ජනමාධ්‍ය හෝ මහජන මුදලින් ආදායම් උපයන වියත්/විද්වත් උත්සාහයන් ලොව ඉතා විරල වෙති.

කොමියුනිස්ට් ෆැසිස්ට් සටනක් ලෙසින් ග්‍රම්ෂි විසූ ඉතාලියේ සමාජය අත් දුටුවේ සංස්කෘතිය අල්ලාගන්නට දියත් වූ වාමාංශික උත්සාහයයි. ‘ජීනියස් විය හැකියි’, ‘අතිශය දක්ෂ දාර්ශනිකයෙක්’, 20 වැනි සියවසේ බටහිර යුරෝපයේ ඔරිජිනල් කොමියුනිස්ට් චින්තකයෙක්’ යනාදියෙන් බ්‍රිතාන්‍යයේ එරික් හොබ්ස්බාම්, ලුවි ඇල්තූසර් වැනි වියත්/විද්වත් හැටියට පෙනී සිටිනවුන් ග්‍රම්ෂි ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළහ. කොමියුනිස්ට් සහ ෆැසිස්ට් යන දෙකම ජනතාව පාලනයට ගන්නා ලද කුරිරු සමාජවාදී වෑයම් බව පහදන්නට දාර්ශනික දැනුම තිබුණ බහුතරය මහජන මුදලින් යැපුණ අය නොවූහ. ඒ නිසාම ඒ අයට ප්‍රධාන ජනමාධ්‍ය, පාසැල් සහ විශ්ව විද්‍යාල තුලින් ජනතාව දැනුවත් කරන්නට ඉඩ නොලැබිණ.

පාර්ලිමේන්තුවට ද උගතුන් අවශ්‍ය සහ ස්වභාවික එලීට්, විද්වතා සහ ආණ්ඩුව යන කළින් මම ලියූ සටහන් දෙකක් මෙහි දී කියවන්නේ නම් මේ සටහන පහදා ගැනීමට තරමක් පහසු වේවි.

සමාජයක සියල්ලන්ම යහපත සහ දියුණුවට කරා පා තබන නොවරදින ක්‍රමය සහ එකම ආචාර ධාර්මීය වූ මාර්ගය කුමක්දැයි වටහාගත් අය ඒ ගැන තම තමනට හැකි පමණින් අනුන් අවබෝධයට ගත් උත්සාහය නැවැත්වූයේ නැත. තාක්ෂණයේ දියුණුවත් සමඟ මා වැනි මෙසේ පෞද්ගලිකව අදහස් බෙදාගන්නා වෑයම් එන්න එන්න තවත් පහසු වෙමින් පවතී.

ග්‍රම්ෂි, සංස්කෘතික සටන සහ හෙජමොනිය ගැන වර්තමාන ලාංකිකයා දන්නේ වමේ අදහස් වලින් පමණි. වෙනිසියුලාව ගැන දැන දැනම නිහඬව සිටින ජනමාධ්‍ය කලාවේදීන් සේ ම, යළි යළිත් අසාර්ථක වන දැක්ම ගැන නිහඬ ඉතිහාස, ආර්ථික, දේශපාලන ආචාර්යවරුන් ලංකාවේ සිටිති. ඒ අය නිහඬව සිටින නිසා ‘නිව්ස්පීක්’ යොදා ගනිමින් වියත් මගක් යැයි පෙන්වා යළි යළිත් අසාර්ථක වූ යල් පැන ගිය මතවාදයේම නැවතත් ජනතාව දක්කන්නට ගන්නා වෑයමක් අද ලංකාවේ ඇත.

1926 දී ෆැසිස්ට් ආණ්ඩුවෙන් සිරගත කරන ලද ඇන්ටෝනියෝ ග්‍රම්ෂි වාමාංශිකයන්ගේ සිත් සතුටින් පුරවන්නට සමත් අදහස් සිරබාරයේ සිටිය දී ලියා රෝගාතුර වී නිදහස් ජීවිතයක් අත්නොවිඳම මිය ගියේය. ස්ටාලින් ගැන හෙළිදරව් වෙද්දී ලෙනින් සහ ට්‍රොට්ස්කි ද එවැනිම කුරිරුකම් කළ අය යැයි පැහැදිලි වෙද්දී, ඉදිරිපත් කළ න්‍යාය ක්‍රියාවට නැඟීමට හෝ එහි ඵලවිපාක දකින්නට නැතිවම මිය ගිය ෆැසිස්ට් විරෝධී විප්ලවීය වීරයෙකු ලෙසින් ග්‍රම්ෂිව ප්‍රදානය විය.

ප්‍රායෝගික දේශපාලනයේ දී, පවතින අර්බූදකාරී තත්වයෙන් ජනතාව ගලවා ගන්නට හැකි ගැලවුම්කරුවන් ලෙසින් වමේ පක්ෂ පෙනී සිටීම වම සහ දකුණ බෙදීමේ මුල පටන් දකින්නට හැකි වූවකි. දූෂිත පාලනය නැත්නම් බලයේ ඉන්න පාලකයන්ගේ නොහැකියාව හෝ නොසැලකිලිමත්කමෙන් වූ දෝෂ නිවැරදි කරන්නට දත් සාමාන්‍ය මිනිසුන් අතරින් විශිෂ්ට වූ නායකයන් තමනට ඇතැයි වම හැම විටම හුවා දක්වයි. ලෙනින් සහ ස්ටාලින් 1930 ගණන් සහ 1940 ගණන් වල දී ඉදිරිපත් කරන ලද්දම, ග්‍රම්ෂි විසින් 1960 ගණන් වල දී සිය අනුගාමිකයන්ට ඉදිරිපත් කළේය. එනම්, විප්ලවීය පුහුණුව සහ න්‍යයාත්මක නිරවද්‍යතාවය යනු එකම විදියේ ගුණාංග බවයි. ඉගෙනීම යනු ප්‍රඥාව බවත්, ප්‍රඥාව යනු පාලනයට ඇති අයිතිය බවත් ය.

අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් හැටියට නායකත්වය සැලකීම රෝමානු කතෝලික පල්ලියේ විශ්වාසයකි. විශේෂයෙන්ම එය ඉතාලියේ ජාතික සංස්කෘතියේ ප්‍රථුලව පැවති විශ්වාසයක් විය. ග්‍රම්ෂි කළේ එය ආගමෙන් ඉල්ලා ගෙන නිරාගමික පැත්තකට ගෙන යාම පමණකි.

අනෙකුත් මාක්ස්වාදීන් වෙතින් වෙනස් මගක යමින්, වියත්/විද්වත් අයගේ භූමිකාව අතිශයෙන් වැදගත් යැයි තහවුරු කරන්නට ග්‍රම්ෂි සෑහෙන පරිශ්‍රමයක් දැරීය. වෙළඳපොල රස්සාවකට සුදුසුකම් කිසිත් නොමැති විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට ග්‍රම්ෂි විශිෂ්ට වීම පුදුමයක් නොවේ. එසේම උපාධි සහතිකයෙන් රජයේ රස්සාවක් හොයන උපාධි අපේක්ෂයාට ද ග්‍රම්ෂි විශිෂ්ට වීම පුදුමයක් ද? එපමණක් නොව, වෙළඳපොල තරඟයට අසමත්, එද්දලවාදයට ඉඩක් ඇත්නම් පමණක් ධනවත් වන්නට සමත් ධම්මික පෙරේරා වැනි අයවත් වීරයන් සේ හුවා දක්වන්නට ග්‍රම්ෂි න්‍යායෙන් හැකියාව ලැබේ. ඒ, සැබෑ සත්‍යය යනු ඉගෙනීම නිසා ලැබූ ප්‍රඥාව ඇති උගතුන් කියන දේ පමණක් වූ බැවිනි. වමේ උගතුන් ධම්මික පෙරේරා වීරයෙක් යැයි කියන්නේ ද එවිට ඔහු වීරයෙක් ය!!

පොදු ජනතාව අතරින් ඉගෙනීම ලබන්නේ කවුරුන් දැයි තීරණය කර, ඒ අල්පයට වියත්/විද්වතුන් විසින් නිර්දේශ කරන ලද පරිදි ඉගෙනීම සපයා, අනතුරුව සහතික ප්‍රදානය වූවන් ප්‍රඥාවන්තයන් යැයි තීරණය කර, ඔබව පාලනයට ඒ අය සුදුස්සන් යැයි කීම අත්හදා බැලුවේ යාන්තමින් ජයගෙන 1964 සිට 1970 දක්වා වූ බ්‍රිතාන්‍යයේ හැරල්ඩ් විල්සන් ගේ ආණ්ඩුවයි. විල්සන්ගේ ආණ්ඩුවේ ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල වලින් පළමු පංතියේ උපාධි ලැබූ 7 දෙනෙක් සිටියහ. ග්‍රම්ෂි වෙතින් පන්නරය ලැබූ එදා බ්‍රිතාන්‍යය සමාජවාදීන්ට රජය මගින් බෙදන අධ්‍යාපනය ඉතා වැදගත් වූ නිසා, රටේ ආරක්ෂාවට වැඩියෙන් අධ්‍යාපනය බෙදීමට වැඩි මුදල් යොදවන ලදි. අධ්‍යාපන ආයතන පිහිටුවමින්, ගුරුවරුන්ට 13% කින් පඩි වැඩි කරමින්, විසල් ප්‍රචාරණ ව්‍යාපාර, ගුරු පුහුණු සහ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණ එමට සිද්ධ විය. පාසැල් අධ්‍යාපනයෙන් පසුව සෑම සිසු සිසුවියකටම ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අයිතියක් ගැන පනතක් ගෙනෙන්නට ඔව්හු සූදානම් වූහ.

ඒත්, ආණ්ඩුවක වැය සඳහා මුදල් සපයන්නේ කවුරුන්දැයි සමාජවාදීන්ට නිතර අමතක වෙන්නකි. වියත්/ විද්වත් අය තීරණය කරන පාඨමාලා වලින් වෙළඳපොල රැකියා සඳහා සුදුස්සන් නැත්නම්, සහතිකයක් තිබීමෙන් හොයාගන්නට ලැබෙන්නේ රජයේ රැකියාවක් පමණි. වැය කළ මුදල් අනුව ප්‍රතිඵල නොලැබී ආණ්ඩුව බංකොළොත් වෙද්දී සමාජවාදී විල්සන් තෝරා පත් කරගත් රටේ ජනතාවම බංකොළොත් බවෙන් ගැලවෙන්නට මාග්‍රට් තැචර් බලයට ගෙනාහ. දියුණු රටවලට විල්සන්ලා මෙන්ම මාග්‍රට් තැචර්ලා ද සිටිති. ඉතින් ඔවුන් බංකොළොත් වූව ද යළි ගොඩ එති. ලංකාව වැනි නොදියුණු රටවල මාග්‍රට් තැචර්ලා නැත.

අද හැරී පොටර් පොත නිකුත් වී විසි වසරක් ගෙවෙන දිනයයි. එවක කිසිවෙක් අසා නොමැති ඒ පොත ගැන සමීප හිතවතුන් දැනුවත් කළ ආකාරය මගේ සිහියට එයි. වසර විස්සක් කොහේ ගියා ද? අතීතයේ කළ කී අනුවණ ක්‍රියා ගැන, එන එන සෑම නව පරපුරක්ම අලුතින් දැනුවත් කරන්නට සිද්ධ වෙන බව එහි දී මගේ සිහියට නැඟුණි. ජෙරමි කෝබින්ගේ නොමිලේ සපයත හැකි ඉහළ අධ්‍යාපන ගැන රැවටුණු තරුණ පිරිසක් සිටිය ද, යාන්තමින් ජයගත් අනිත් පැත්ත නිසා බ්‍රිතාන්‍යය යළිත් වරක් සමාජවාදී ප්‍රතිපත්ති වලින් ගැලවෙන්නට උත්සාහ කරමින් සිටියි. ඒත් අසරණ ලංකාවේ වැසියන්ට නම් සිද්ධ වී ඇත්තේ නැවත නැවතත් වැරදි න්‍යායන්ම අනුගමනය කරමින්, අනුවණ පාලකයන්ම පත්කර ගනිමින් සිටින්නටයි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 26, 2017 at 9:56 පෙ.ව.

    “අර්ථශුන්‍ය සම්ප්‍රලාප පතුරුවා හරිමින්………..” ලංකාව මුහුණ දෙමින් ඇති තත්ත්වය මේ වැකියෙන් කදිමට චිත්‍රණය වී තිබෙනවා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: