අරුණි ශපීරෝ‍ වෙතින්

සිරගෙදර සටහන් පොත් ලියූ ඇන්ටෝනියෝ ග්‍රම්ෂි

Posted in Uncategorized by arunishapiro on ජූනි 29, 2017

නිරීක්ෂණය දෝෂ සහගත වූ කල නිගමනය ද දෝෂ සහගතයි. විචාරය සඳහා හිතා බලන්නෙ නැතිව හැම අතකින්ම දැවැන්ත තොරතුරු සම්භාරයක් එකතු කරගත්තට මදි. ඥාන විභාගයක් සිද්ධ වෙන්නේ තමන් ඉදිරියේ තියන දත්ත විශ්ලේෂණයෙන් සහ අනුපිළිවෙලකට යෙදීමෙන්. කළින් සටහනක ලිව්ව මෙහෙම: නිවැරදිව සිතන මිනිස් සිතට නිවැරදි ප්‍රස්තුත අවශ්‍යයයි.

දෝෂ සහගත ලෙසින් සමාජය නිරීක්ෂණය කරන මාක්ස්වාදය, මිනිස් සමාජය කොටස් දෙකකට බෙදනව. සේවකයන් සහ සේවාදායකයන්, ශ්‍රම විභජනය, දේපල අයිතිය යනාදී සබඳතා තියන්නෙ ඒ අනුව යටිහැටුම කියන අවශ්‍යතා සපුරා ගන්න මිනිසා කටයුතු කරන කොටසේ. එතැන ඇතිවන සබඳතා සහ අදහස් නිසා සංස්කෘතිය, ආයතන, දේශපාලන බලය, වත් පිළිවෙත් යනාදිය තියෙන අනික් කොටස උඩුහැටුම හැටියට දක්වනව. සංස්කෘතික හෙජමනියක් ග්‍රම්ෂි ඉදිරිපත් කරන්නේ ඔය පසුබිමෙන්.

කාර්මික විප්ලවයත් සමඟ ලෝකෙ මිනිස් සබඳතා වෙනස් වෙද්දී තව දුරටත් පවත්වාගෙන යා නොහැකි වැඩවසම් සමාජය කඩා වැටී දුප්පත් ජීවිතය යහපත් කරවන වෙනසක් සිද්ධ වූයේ කිසිදු විශිෂ්ට දාර්ශනිකයෙක් ගෙනාපු න්‍යායක් නිසා නෙමෙයි. ඒත් වැඩවසම් ‘පංති සටන’ ඉබේම නැතිවෙලා ගිය ඒ ආකාරය බැහැරලමින් ඉඩම් හිමියන්ගේ වරප්‍රසාද බ්‍රිතාන්‍යයේ නොවෙනස්ව පැවති ලෙසකින් ග්‍රම්ෂි සලකන ලදි. ඇමෙරිකාවේ පාරු පැද මගීන් එගොඩ ගෙන ගිය කොරනේලියස් වැන්ඩබිල්ට් නිර්බාධ වෙළඳපොල තුලින් මහා ධනකුවේරයක් වූ ආකාරය නිරීක්ෂණය නොකරන නිසා එවැනි වාතාවරණයක් තුලින් දක්ෂයන්ට ජීවිතය ජයගන්නටත්, ඒ ජයගත් දක්ෂයන් නිසා, මෑත කාලීන ස්ටීව් ජොබ්ස් වැනි අය හේතුවෙන්, යළි යළිත් සියල්ලන්ගේම ජීවිත යහපත් වෙන ආකාරය, එනම් පංති නැති වී ගිය ආකාරය නොසලකා හරියි. වමට අවශ්‍ය පංති සටනක් ඇතැයි කියන්නටයි. ඒ ‘පංති පරතරය’ නැති කරන්නට සැලැස්මවල් හැදීමටයි.

ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනන සහ පක්ෂ විනයට අනුව ඉන්න විශිෂ්ට නායකයෙක් හුවා දැක්වීම වමට අවශ්‍යයයි. නමුත් බලයේ සිටි ‘විශිෂ්ට නායකයන්’ කුරිරු යැයි ඇස් පනා පිට ඔප්පු වෙද්දී දැක්ම ඒ විදියටම ගෙනියන්න බැරි බව ඔවුනට වැටහුණි. නව වමක් එන්නෙ එතකොට. රට පාලනය සඳහා විද්වතාට ඇති අයිතිය එක්ක විශිෂ්ට නායකයා සංකල්පය එකතු කරන ග්‍රම්ෂි ‘ප්‍රැක්සිස් හි දර්ශනය’ නමින් එය ඉදිරිපත් කරලා ඒක පරණ පුරුදු මාක්ස්ගෙ ලෙනින්ගෙ වම නෙමෙයි කිව්ව.

යටිහැටුම විසින් උඩුහැටුම ගැන තීන්දු දෙන්නේ නම්, තවත් විදියකින් කිව්වොත් ආත්මයේ (spirit) ක්‍රියා කලාපයන් යනු ඔවුන් පාලනය නොකරන ආර්ථික ක්‍රියාවලියක අතුරු ඵලයන් නම්, එහෙනම් දේශපාලන (වාමාංශික විප්ලවීය) කටයුතු වලට ලැබෙන තැන කුමක් ද? නිෂ්පාදන බලය වර්ධනය වීම නිසා යටිහැටුම නිතර වෙනස් වෙන්නේ නම්, එවිට ආර්ථික වර්ධනය හා ගැටෙන සමාජ ක්‍රමයක් එහි දී ආරක්ෂා වෙන්නේ කෙසේද? අවුලක පටලවන්නේ මෙතැන දී.

පංති සටන සංකීර්ණ වූ නිසා සමාජ ක්‍රමයට අර්බූදකාරී තත්වයකින් ගැලවෙන්නට හැකියි කියන ග්‍රම්ෂිගේ න්‍යාය, ඊට හෙජමනියේ අයිතිය අල්ලා ගත යුතු යැයි කිව්ව. බුර්ජුවාසි පංතිය බලය සතු කරගන්නේ නිෂ්පාදන ක්‍රම පාලනයෙන් පමණක් නොව, සිවිල් සමාජය තුල සහ රාජ්‍ය තුල ‘හෙජමනිය’ පිහිටුවා ගැනීමෙන්. එහි දී සමාජයට බලපෑම් කළ හැකි සියළු තනතුරු ඔවුන් වෙනුවෙන් වෙන් කර ගන්නව. වාමාංශිකයන් කරන්න ඕන මේව තමන්ට අල්ලා ගැනීමයි. ඒ මාර්ගයෙන් සමාජය වෙනස් කිරීමයි.

ඒත් අර ලෙනින්ල ස්ටාලින්ලාටත් අයින් කරන්න බැරි වෙච්ච වෙළඳපොල කියල එකක් තියෙනවනේ. ඒකෙන් මේ ග්‍රම්ෂි ගෙනා න්‍යාය කොතරම් දෝෂ සහගත දැයි පැහැදිලි වෙනව. වාමාංශික විද්වතුන් දාගත්තට එදා සෝවියට් රුසියාවේ වගේම අද වෙනිසියුලාවේත් රට පාලන කරන පක්ෂයේ ආර්ථික ක්‍රම නැඹුරුව කුමක්දැයි නොතකන වෙළඳපොල එකම විදියට වැඩ කරන නිසා, ආර්ථිකය බංකොළොත් වෙනව.

නිර්බාධ වෙළඳපොලට ඉඩක් ලැබෙන රටවල එකම ධනවතුන් කොට්ඨාශයක් සදා ධනවතුන් වෙලා ඉන්නෙ නැහැ. අලුත් ධනවතුන් බිහිවෙන්නෙ ආණ්ඩුව වෙනස් වෙද්දී නොවේ. ඒ වගේම ඉන්න ධනවතුන් අර ආණ්ඩුවෙන් මේ ආණ්ඩුවට හේත්තු වෙන්නෙත් නැහැ. ඒත් “හැමදාම දියුණු වෙමින් පවතින රටවල” නම් දකින්නෙ ඉහළින් ඉන්න එකම ධනවතුන් පිරිසක්. එයාලගෙ ධනවත්කම් ගැන හෙළිදරව් කරන ප්‍රතිවාදීන් හිරේ යනව. නිවැරදි ප්‍රස්තුත තුලින් බලද්දී ග්‍රම්ෂි නිර්දේශ කරන වෙනස දකින්නට තියෙන්නේ වාමාංශික සැලසුම් වැඩියෙන් තියන රටවල බව පැහැදිලි වෙනව. ඒවයේ තමයි පාලන පංතිය සතුව (අධ්‍යාපනය, තොරතුරු බෙදා හැරීම යනාදී) ජනතාව හිතන විදිය තීන්දු කරන බලය රැඳිලා ඇත්තෙ. ඒවයෙ ජනතාව තමයි හැමදාම දුප්පත්.

මාක්ස්වාදයේ කියන අනිවාර්යෙන්ම එන ඵෛතිහාසික වෙනස ප්‍රතික්ෂේප කළ ග්‍රම්ෂි දේශපාලන තලය ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් යැයි කියනව. එහි දී වෙනසේ ප්‍රධාන තැන ගන්නෙ දේශපාලනයයි. මැකියාවෙලි කියැවීමේ ඵලවිපාකය ආර්ථිකයක් වැඩ කරන හැටි අමතක වී යාම. ග්‍රම්ෂි න්‍යාය අනුව ආර්ථික පීඩනයට එරෙහිව නැඟී සිටින්න පුළුවන් දේශපාලනයට විතරයි. ග්‍රම්ෂි ගැන ඉගෙන ගෙන උපාධි සහතික අරගෙන රාජ්‍ය සේවයට ගිය අය කියන්නේ ආර්ථික සිද්ධාන්ත යකාට ගියාවේ, දේශපාලන අරමුණු පමණක් සලකා බලා නිවාස ණය, ශිෂ්‍ය ණය දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ණය වලට සමාව දෙන්නත් පුළුවන්. එහෙමයි ආර්ථිකය මෙල්ල කරගෙන මැතිවරණ දිනන්නෙ. ආර්ථික අර්බූදය පරාජය කරන්නේ. ඒත් දිගින් දිගටම එහෙම කරද්දී රටේ ජනතාව තව තවත් ආර්ථික පීඩනයට පත්වෙනව. එතකොට නොමිලේ බොහෝ දේවල් දුන් විල්සන්ගෙ ආණ්ඩුව පරාජය වුණා.

කොමියුනිස්ට් ප්‍රතිපත්ති පහළින් නැඟෙන විප්ලවීය වෑයමක් හැටියට නොවී පාලකයන්ගේ හෙජමනිය අනුව ආයතන හරහා උඩුහැටුම ක්‍රමානුකූලව වෙනස් කරගෙන ලබාගන්නා ජයග්‍රහණයක් හැටියටයි ග්‍රම්ෂි සිය න්‍යාය ගෙනාවේ. පරණ හෙජමනිය (ධනවාදයේ) කඩාවැටිල එතකොට නව හෙජමනිය (සමාජවාදයේ) ඉස්මතු වෙනව. වමේ පක්ෂය කළ යුත්තේ විද්වත් අයව සහ සාමාන්‍ය මහජනතාව එකම විනයකින් එකමුතු කරගැනීමයි. අනාගතයේ දවසක රජය අහෝසි කරලා දාලා කොමියුනිස්ට් විද්වතුන් සහ සාමාන්‍ය මහජනතාව එවිට එක හා සමාන අදහස් වලින් ගැටුමකින් තොර ජීවිත ගත කරනව කියල තමයි ග්‍රම්ෂි සිය න්‍යායෙන් කිව්වෙ.

සෝවියට් දේශයේ ආරම්භය ගැන ලියූ සටහන් යළිත් කියවා බැලුවොත් ඔබට පැහැදිලි වේවි මුල් කාලයේ ලෙනින් කිව්වේ ද මේ හා සමාන වූ අදහස්ම බව. මාක්ස්, ඒංගල්ස් රාජ්‍ය පාලනය කරන හැටි විස්තර කළේ නැහැ. ග්‍රම්ෂි පරමාදර්ශී ආණ්ඩුවක් වැඩ කරන හැටි කොතැනක වත් විස්තර කරන්නෙත් නැහැ. ඉතින් නිවැරදිව සිතන මිනිස් සිතකට නැඟුනොත් මේ ග්‍රම්ෂිගේ අනාගත සමාජයේ ගැටුම් විසඳා ගන්නෙ කොහොම ද කියල, ඒකට පිළිතුරක් ග්‍රම්ෂිගේ සිරගෙදර සටහන් පොත් වල නැහැ. මිලියන සීයක් මරපු කොමියුනිස්ට් ව්‍යාපාරයටත් බැරි වුනා ගැටුම් නැති සමාජයක් හදන්න. චෙකා හිටියේ ගැටුම් නැතැයි කියල ලෝකයට පෙන්වන්න.

ග්‍රම්ෂි ගෙනෙන දේශපාලනයේ අරමුණ ප්‍රතිවාදීන් සමඟ ජීවත්වීම නෙමෙයි. ප්‍රතිවාදීන් කිසිවෙක් නැති තත්වයකට ඒමයි.

ග්‍රම්ෂිගේ ‘විශිෂ්ට’ දැක්ම ඒකීය පුද්ගලයන් අතර ගැටුම් නැති, තරඟයක් නැති, දේශපාලන ප්‍රතිවාදීන් නැති සාමකාමී එකා මෙන් හිතන තත්වයකට එන්න, ප්‍රැක්සිස් දර්ශනය දේශපාලනයෙන් හැඩගසලා මිනිස් ස්වභාවය වෙනස් කරන්න.

විප්ලවීය සටනක් නැතිව, දේශපාලන ක්‍රියාවලිය තුලින් මහජනතාව විද්වතුන් යටතේ එකමුතු වෙනවා යැයි කියන ග්‍රම්ෂි කොයි මහජනතාව ගැන ද එහෙම කියන්නේ? ග්‍රම්ෂි සිරගෙදර සටහන් ලියද්දී ජර්මනියේ හිටියෙ (සමාජවාදී) හිට්ලර්ගේ ෆැසිස්ට් රජය. කවදාවත් කොමියුනිස්ට් රජයකට නොතිබිච්ච ලෙසකින් සහාය දක්වපු මහජනතාවක් ඒකට හිටිය. ඉතාලියේ හිටියෙ (සමාජවාදී) මුසොලිනි යටතේ සංවිධානය වූ මහජනතාවක්. ඒත් ෆැසිස්ට්වාදයට එරෙහිව සිරගෙදර සටහන් පොත ලියන සමාජවාදී ග්‍රම්ෂි, හිට්ලර්ගේ මහජනතාව සහ මුසොලිනිගේ මහජනතාව එක්ක ප්‍රැක්සිස් න්‍යායේ ඔහු කියන මහජනතාව එක හා සමාන කළේ නැහැ. ප්‍රස්තුත වැරදුනාම නිගමනත් වැරදෙනව.

හතුරෙක් දක්වමින්, ‘අරගලයක්’ නිර්වචනය කරමින්, න්‍යායක් ගෙනෙන ග්‍රම්ෂි පෙන්වන්නේ විද්වත් අයට පාලන අයිතිය දෙන ඕනම කෙනෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් කියල. බිත්තර කඩන්නෙ නැතිව, ඔම්ලට් හදන්නෙත් නැතිව ග්‍රම්ෂි ක්‍රමයට වීරයෙක් වෙන්න ඒකට පක්ෂපාතී වෙන ඕනම කෙනෙකුට පුළුවන්.

විශ්ව විද්‍යාලයකින් බැහැරව කියද්දී මේ අදහස් වලට කිසිදු වටිනාකමක් නොලැබෙන විද්වතුන්ට ඉතින් ඇන්ටෝනියෝ ග්‍රම්ෂි මහා ලොකු වීරයෙක් වීම පුදුමයක් ද?

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. Hannadige Asanka said, on ජූනි 29, 2017 at 1:11 ප.ව.

    Thanks aruni..!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: