අරුණි ශපීරෝ‍ වෙතින්

ජනතා මර්ධනයෙන් රට පාලනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2017

අනෙක් සෑම රටක දී සේ ම, චීන කොමියුනිස්ට් පක්ෂය එහි ආඥාදායක පාලන බලය අල්ලා ගැනීමට සමත් වූයේ සූක්ෂම ලෙසින් (ගම්බද වලින් පටන් ගෙන නගරයට) ගෙනෙන ප්‍රචණ්ඩ කටයුතු මාර්ගයෙනි.

මහජන ආරක්ෂාව සඳහා පත් කරන ලද නිලධාරීන් සිටි දීර්ඝ ඉතිහාසයක් තිබූ චීන වැසියන්ට ඉහළින් එන අණ පිළිපැදීම අලුත් සංකල්පයක් නොවිණ. එහෙත් ඒ ඒ පළාතේ අය වෙතින් නොව මුළු රටටම එක සේ බලපාන අන්දමින් සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර වී නීති විපර්යාසය පටන් ගැනුනේ මා ඕ සේතුං යටතේ පෙළ ගැසුණු චීන කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලාගත් පසුවයි.

මුලින්ම ‘ජනතා ආණ්ඩුවේ හතුරන්’ යැයි කියා ගණිකා වෘත්තිය, සූදු කෙළීම සහ අබිං ව්‍යාපාර මඬලන්නට හුදී ජනතාව කැමති කරවා ගන්නට ඉතා පහසු විය. අනතුරුව ‘පංති හතුරන්’ යැයි හඳුන්වන පිරිස ඊට එකතු කරන්නට ඔවුනට අපහසු නොවීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව 1949 සිට 1952 දක්වා කාලයේ දී මංකොල්ලාකාරයන් යැයි කියා මිනිස් ජීවිත මිලියන 2 ක් මරා දමන්නටත් ඒ හා තරම් පිරිසක් සිරගත කරන්නටත් පාලකයන් සමත් වූහ.

මහජන සේවයේ යෙදෙන නිලධාරීන් තමන්ට ලැබෙන බලයට කොතරම් ගිජුදැයි යන්න ගැන පාසැල් වියේ පටන් ඕනෑම රටක ඕනෑම පුරවැසියෙකුට අත්දැකීම් නොමඳව ඇත. මර්ධනය මුල් කරගන්නා පාලන ක්‍රමයක දී, අනුන්ට රිදවන්නට කැමති මානසිකත්වයෙන් යුතු පිරිසට ඒ සඳහා නීතිමය අවසර ඇති කදිම ඉල්ලම් පෑදේ.

චීන කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගන්නට පෙර පටන්ම ඔවුනට මිලීෂා හමුදාවක් සිටියහ. 1950 වසර අවසන් වෙද්දී මිලියන 5.5 ක් එහි වූහ. 1953 වෙද්දී ඊට තවත් මිලියන 3.8 ක් ක්‍රියාකරුවන් ඊට එකතු කර, ඔත්තු සපයන්නට තවත් 75,000 කට බලය පවරන ලදි.

කළින් එකිනෙකාගේ ආරක්ෂාව වෙනුවෙන් පැවති සාම්ප්‍රදායික baojia නිලධාරි ක්‍රමය වෙනුවට පවුල් 15-20 ක් ගැන ඔත්තු බලන්නට එක කමිටුවක් බැගින් පත් කරන ලදි. ඒ කමිටුව අධීක්ෂණයට ඉහළ කමිටුවක් පත්කරන ලදි. රාත්‍රියේ යන එන අය, දවසකට වඩා කාලයක් නිවසක රැඳී සිටින අමුත්තන් ගැන, යනාදී වශයෙන් ගමේ කමිටුව ඉහළට යවන වාර්තා සැපයූහ. ගමෙන් පිට යන අයට අවසර පත්‍රයක් අවශ්‍ය විණ. ඒ ගම්වැසියන් බුරුතු පිටින් කොමියුනිස්ට් ගම්මාන හැරදා පිටවී යාම වළක්වන්නටයි. මිනිසාගේ වෙහෙස මංකොල්ලය සඳහා බලාත්කාරය යොදා නොගෙන කොමියුනිස්ට් ක්‍රමය අත්හදා බැලූ රටක් ලොව නැත.

දීර්ඝ වූ චීන ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම පුරවැසියෙක්ම පාහේ යම් ආකාරයක පොලිස් ඔත්තුකාරයෙක් බවට පත් වූහ. 1949 වසර අවසන් වෙද්දී කොමියුනිස්ට් පක්ෂය යටතේ වූ ෂැන්හයි රහස් පොලීසියේ මිලියන 1.2 ක පිරිසක් සේවය කළහ. අත් අඩංගුවේ සිටිය දී සිද්ධ වූ මිය යෑම් ඉහළ ගියේය. අත් අඩංගුවේ සිටිය දී සිද්ධ වූ දිවිනසාගැනීම් වැඩිවිණ. ප්‍රශ්න කිරීම් වල දී දෙන ලද වධහිංසා අතර අතේ මාපට ඇඟිලි වලින් හෝ මැණික්කටුවෙන් එල්ලා තැබීම බෙහෙවින් සිද්ධ වූවකි.

මහජනතාවගේ හතුරන්ව ගාල් කරන්නට දේශපාලන සිරකඳවුරු විවෘත කෙරිණ. ඒවායේ රඳවන ලද්දවුන්ව ඒවායේ නිලධාරීන් අතින් ලිංගික දූෂණයට ගොදුරු වූහ. ඊට අමතරව එක කඳවුරක එක වසරක් ඇතුලත දී හිසට වෙඩි තබා මරා දමන ලද සහ පණ පිටින් වූ මිනිස්සු 1,320 ක් වළලා දමන ලදි. කොමියුනිස්ට් වීමට අකමැති වූ ‘පංති හතුරන්’ උද්ඝෝෂණ කරද්දී ඔවුන්ව අමු අමුවේ මරා දැමීමෙන් විරෝධතාවය මර්ධනය කරන ලදි. යැන්චැන්ග් හි තෙල් නිධි වල සේවයට යැවූ සිරකරුවන් දහස් ගණනකගේ හිසට වෙඩි තබා ඝාතනය කරන ලදි. 1949 නොවැම්බර් මාසයේ දී කැළෑ කඳවුරක උද්ඝෝෂණය කළ දාහක පිරිසක් පණ පිටින් වළලා දමන ලදි.

ප්‍රතිවිප්ලවවාදීන් මර්ධනයට කියා මෙහෙයුමක් නිල වශයෙන් දියත් වනුයේ 1950 ජූලි මාසයේ දී ය. 1951 වෙද්දී එය නාස්තියට එරෙහි, දූෂණයට එරෙහි, රාජ්‍ය නිලධාරිවාදයට එරෙහි ‘විරෝධතා තුන’ යනුවෙන් නම් කෙරිණ. ඊ ළඟට ආ වර්ගීකරණය ‘විරෝධතා පහ’ හැටියට හැඳින්විණ: අල්ලස, වංචාව, බදු මඟ හැරීම, බොරු කීම සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යනාදී බුර්ජුවාසිය ඉලක්ක කරගත් කටයුතු හැටියට එය ජනතාවට ප්‍රදානය කරන ලදි. බටහිර වියතුන් යැයි සැලකෙන ලද්දවුන්ගේ ‘චින්තනය ප්‍රතිසංස්කරණය’ සඳහා මෙහෙයුමක් අනතුරුව පටන් ගැනිණ. ඒ අයව තනතුරු වලින් ඉවත් කර ශ්‍රම සාමූහික වෙතට පිටත් කර යැවිණ. පක්ෂයේ දැක්ම වෙතින් යාන්තමින් හෝ වෙනස් සිතුවිල්ලක් අයෙකුට තිබුනේ නම් එවැන්නා ප්‍රතිවිප්ලවීය යැයි හැඳින්විණ. ප්‍රතිඵලය වූයේ පරිස්ථානීය වශයෙන් පක්ෂ ලේකම්වරුන්ට තමන් යටතේ වූ මහජනතාවගේ ජීවිත රතු භීෂණයෙන් මර්ධනය කරන්නට අසිමීත බලයක් ලැබීමයි.

ෂැන්හයි නගරයේ එක රාත්‍රියක දී පමණක් 3,000 ක්, (මාස හයක දී 38,000 ක්) අත් අඩංගුවට ගැනිණ. බෙයිජිං නගරයේ එක දිනයක දී 220 කට මරණ දණ්ඩනය නියම කර ඔවුන්ව මහජනතාව ඉදිරියේ මරා දමන ලදි. කුඩා ව්‍යාපාර හිමියන් 450,000 ක් විමර්ශනයට ලක් කර ඒවායේ අයිතිකරුවන් සහ කළමනාකරුවන් කුමන හෝ වංචාවකට වරදකරුවන් යැයි තීන්දු කර දඬුවම් දෙන ලදි. ඔවුන් අතරින් ලක්ෂ තුනක් පමණ සිරගත වූහ.

විදේශිකයන්ව ද ඉලක්ක විය. ඉතාලියෙන් පැමිණ සිටි කතෝලික බිෂොප්වරයෙක්ව ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදි. 1950 දී එහි කතෝලික මිෂනාරීවරු 5,500 ක් සිටියහ. 1955 වෙද්දී ඔවුන්ගේ සංඛ්‍යාව අතලොස්සක් බවට පත්වූහ. විදේශ සාක්ෂිකරුවන් නැතිවී යද්දී බලාත්කාර බලයෙන් දැඩි මර්ධනයට හැකියාව පෑදිණ. ඊ ළඟ දශක දෙක තුල දී සියළු ක්‍රිස්තියානි ආගමිකයන් ලක්ෂ ගණනින් අත් අඩංගුවට ගැනිණ. 1949 දී තායිවාන් සහ හොංකොං වෙතට මහජනතාව පළා යෑම අවම කරනු පිණිස ඔවුනට ආගම අදහන්නට ලබා දී තිබුණ අවසර අනතුරුව අහෝසි කර දැමිණ.

විප්ලවීය ප්‍රතිවාදීන් ලක්ෂ අටක් තුරන් කළා යැයි මා ඕ සේතුං ප්‍රසිද්ධියේම කියා සිටියේය. නගර ඇතුලත ඝාතනය කරන ලද සංඛ්‍යාව මිලියනයක් පමණ වෙද්දී, සියදිවිනසා ගත්තවුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතක් පමණ විය. 1951 වසර පටන් ගනිද්දී සියළු කර්මාන්තවල ව්‍යාපාරික අයිතිකරුවන්ගේ සියළු ගණුදෙනු මහජනයා ඉදිරියේ විපරම් කළ හැකි බලය පක්ෂ නිලධාරීන් සතුව පැවතිණ. දරා ගත නොහැකි ලෙසින් බදු බර වැඩි කෙරිණ. 1953 දෙසැම්බර් මාසයේ දී ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රාග්ධනය රජයට බාර දෙන්නට සිද්ධ විය. 1954 වෙද්දී බඩු හිඟය නිසා සලාක ක්‍රමය රට පුරා ක්‍රියාත්මක විය.

වහල් ක්‍රමය නිසා බටහිර රටවල් (විශේෂයෙන්ම ඇමරිකාව) සශ්‍රීක වූවා යැයි වැරදි මතයක් ලොව පවතී. ආර්ථික න්‍යාය වෙතින් පහදා දීමට නොයා අපිට කොමියුනිස්ට් වෑයම් දිහා බැලිය හැකියි. ස්ටාලින්ගේ ශ්‍රම කඳවුරු සහ මා ඕ සේතුං පවත්වාගෙන ගිය ශ්‍රම කඳවුරු නිසා සෝවියට් දේශය හෝ කොමියුනිස්ට් චීනය සශ්‍රීක වූයේ නැත.

1953 වසරේ අවසානය වෙද්දී චීනය තුල ප්‍රසිද්ධියේ උද්ඝෝෂණ පැවැත්වූ අය කිසිවෙක් නොසිටියහ. එහෙත් ජනතා මර්ධනය අවසන් වූයේ නැත. 1955 දී චීන කොමියුනිස්ට් පක්ෂය ‘සැඟව සිටින විප්ලවීය ප්‍රතිවාදීන්’ තුරන් කරන (sufan) නව මෙහෙයුමක් දියත් කරන ලදි. ඒ හිටපු පක්ෂ සාමාජිකයන් සහ යාන්තමින් හෝ නිදහස් අදහස් සඳහා තවමත් පෙනී සිටි අය තුරන් කරන්නටයි. පක්ෂ දැක්ම සියල්ලන් විසින් හිස නැමිය යුත්තක් යැයි කියමින් ලේඛකයන්ව මර්ධනයට මධ්‍යම කමිටුව යොදා ගත් ‘කිනිසි පහ’ ප්‍රතිපත්තිය 1954 ජූලි මාසයේ දී හෙළා දුටු Hu Feng නම් මාක්ස්වාදී රචකයා ඊට මුලින්ම භාජනය වූ පුද්ගලයායි. මේ මෙහෙයුමේ දී 81,000 ක් පුද්ගලයන් අත් අඩංගුවට ගැනුණා යැයි එක මූලාශ්‍රයක් පෙන්වන අතර තවත් මූලාශ්‍රයකින් දැක්වෙන්නේ 770,000 ක සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බවයි. සෑබෑ තොරතුරු තවම හෙළිදරව් වී නැත.

කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරිනි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Gamini Ediriweera said, on ජූලි 11, 2017 at 11:42 පෙ.ව.

    Hi – my name is Gamini Edirweera, living in Tampa, Florida. I am reading your articles for long time and like it very much.
    have a kind of personal questions to you – are you relative of Ari Shapiro – working with PBC? Just for curiosity.

    Gamini Ediriweera

  2. Hannadige Asanka said, on ජූලි 25, 2017 at 12:55 ප.ව.

    thanks a lot


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: