අරුණි ශපීරෝ‍ වෙතින්

මල් සීයේ මෙහෙයුම

Posted in Uncategorized by arunishapiro on ජූලි 12, 2017

නිදහස මැකී යද්දී දැනුම ද හිඟ වී යයි. නිදහස යනු යම් පාලකයෙක් හෝ කමිටුවක් විසින් මෙයාකාර යැයි තීන්දු කරන ලද නිදහස නොවේ. දැනුම යනු ද යම් වියතුන් පිරිසක් විසින් මෙයාකාර යැයි තීන්දු කරන ලද දැනුම ද නොවේ.

මෙම මෙහෙයුම, සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ විසිවැනි කොංග්‍රසය එතෙක් කාලයක් කුරිරු ලෙසින් කටයුතු කළ විධායක බලය ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු යැයි කියා සිටි කාලයේ දී සිද්ධ වූවකි.

කලාවේ සහ විද්‍යාවේ ප්‍රගතිය වෙනුවෙන් මල් දහසක් පුබුදුවන්නට ගෙනෙන ලද මෙහෙයුම 1956 වසර අග දී දියත් කරන ලදි. එක හේතුවක් හැටියට දක්වන්නේ සමාජයෙන් පළවා හරින ලද වියතුන් නැවතත් කොමියුනිස්ට් පක්ෂයට එකතු කර ගැනීමයි. තවත් හේතුවක් හැටියට දැක්වෙන්නේ මාඕ සිය බලය විභාගයට බඳුන් කිරීමයි. මහජනතාව අතර පවතින විරුද්ධාභාසයන් නිවැරදි විදියට හසුරවන්නේ කෙසේදැයි පහදන මාඕ පැවැත්වූ දේශනයෙන් මල් සීයේ මෙහෙයුම දියත් විණ. රාජ්‍ය නිලධාරීන් ගැන ඇති විවේචන නිසා ආණ්ඩුව වැඩියෙන් හොඳ අතකට හැරෙනවා යැයි මාඕ එම දේශනයෙන් කියා සිටියේය.

1957 පෙබරවාරි 27 වැනිදා ඒ දේශනය ප්‍රකාශනයක් හැටියට මහජනතාව අතට පත්විණ. හතුරන් වෙතින් පක්ෂයට එල්ල වෙන ද්වේශ සහගත විනාශකාරී ප්‍රකාශ නොව ජනතාව අතර හටගන්නා වූ රජයේ වැරදි හදා ගැනීම සඳහා වූ විවේචන දිරිගැන්වීමක් හැටියට මෙහෙයුම පටන් ගැනිණ.

“මල් සීයයක් පිපෙන්නට ඉඩ දෙන්න; අදහස් දක්වන ගුරු කුල සීයයකට වාද කරන්නට ඉඩ දෙන්න,” යන කවියෙන් මෙහෙයුම සඳහා නම ලබාගන්නා ලදි. මෙහෙයුම ගැන මහජනතාව දැන සිටිය ද විවේචනයට ඉදිරිපත් වූ අය නොසිටියහ.

1957 වසන්තයේ දී මධ්‍යම රජයේ ප්‍රතිපත්ති ගැන විවේචන ගෙන ඒම අවශ්‍ය යැයි මාඕ තදින් කියා සිටියේය. විද්වත් හැටියට ඉතිරි වී සිටියවුන්ට ඉදිරියට එන්නට යැයි රජයෙන් දැඩි බලපෑම් සිද්ධ විය.

රතු හමුදාවේ දීර්ඝ පාගමනෙන් පසුව Yan’an හි සිද්ධ වූ පිළිසකර මෙහෙයුම බොහෝ අයගේ මතකයේ තිබිණ. එය පක්ෂ දැක්ම නිවැරදිව දන්නවාදැයි සොයා බලන දැඩි පීඩන යටතේ වූ ශුද්ධ කිරීම් සිද්ධ වූ අවස්ථාවකි. කොමියුනිස්ට් විද්වතුන් බොහොමය නිහඬව සිටියේ මෙය ද එවැනි පියවරක් යැයි සැක කරමිනි. ඒත් සාමාන්‍ය ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලද බහුතරය වෙතින් විවේචන ඒම ඇරඹිණ. 1957 මැයි 1 දා සිට ජූනි 7 දක්වා කාලය තුල මිලියන ගණනින් ලිපි අගමැති කාර්යාලයටත් වෙනත් අධිකාරියන්ටත් ගලා ආහ. අනතුරුව වියතුන් වෙතින් විශ්ව විද්‍යාල තුල පෝස්ටර් ඇලවෙන්නට පටන් ගැනිණ. වීදිවල රැළි පැවැත්විණ. සඟරාවල ලිපි පළ වූහ.

ඒ වෙද්දී ස්ටාලින්ව ප්‍රසිද්ධියේ හෙළා දැක්ක නිකිටා කෘශ්නෙව් නිසා හංගේරියන් විප්ලවයට ඉඩ ලැබුණ ආකාරය මාඕ දුටුවේය. කළින් කළ දේශනය දක්ෂිණාංශ විරෝධී වූවක් ලෙසින් වෙනස් කර අලුතින් ලියන ලදි!

1957 ජූලි මාසයේ දී මාඕ මෙහෙයුම නවතා දැම්මේය. විවේචනය කරන ලද වියතුන්, නිලධාරීන්, ශිෂ්‍යයන්, කලාකරුවන් යන පොදුවේ එරෙහි වූ සියල්ලන්ටම ‘දක්ෂිණාංශිකයන්’ හැටියට හංවඩු ගැසී ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන ලදි. ඔවුන්ව ඇසුරු කිරීම අත්හැර දැමිණ. සියදිවිනසා ගැනීම් බහුල විය. වාසස්ථාන රක්ෂාව අනුව ලැබී තිබුණ බැවින් අසල්වැසියන් සහ කාර්යාල සගයන් වෙතින් ඔවුන්ව මෙන්ම ඔවුන්ගේ දරුවන් පවා අපහාසයට සහ උසුළු විසුළු වලට ලක්වූහ. ඉදිරියට ආ අයව ඝාතනය නොවිණ. ඒ වෙනුවට එසේ විවේචනයට ඉදිරිපත් වූ අයගෙන් ලක්ෂ 4-7 අතර පිරිසක් පව් ගෙවීම පිණිස වසර 20 ක කාලයකට සිරගත වීම හෝ දුෂ්කර පළාත්වලට පිටමං කර යැවීම කරන ලදි. නිල වශයෙන් ප්‍රතිසංස්කරණය වුවද ඔවුන් ආපසු නගරවලට එන්නට වරම් නොලදහ. මෙසේ පිටමං කිරීම දඬුවමක් සේ ම, එය ඊ ළඟට ආරම්භ කරන “ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම” සඳහා වූ ලකලැහැස්තියක් විය.

චීන ඉතිහාසය තුල රජය විසින් නිදහස් අදහස් වලට ඉඩ දීමත් අනතුරුව එය මර්ධනයත් සිද්ධ වූ අවස්ථා බොහොමයකි. අදහස් කියා පාන්නට නැවතත් ඉඩක් ලැබෙන්නේ 1980 ගණන් අග දී ය. මල් සීයේ මෙහෙයුම දී තරම් දිරිගැන්වීමක් රජයෙන් සිද්ධ නොවිණ. 1989 ටියැනමන් චතුරශ්‍රයේ විරෝධතා සමඟ එය ද නැවතිණ.

ඕනෑම අවස්ථාවක දී සමාජවාදී රජයක් අදහස් කියා පාන්නට ජනතාවට නිදහස් ඉඩකඩක් ලබාදෙනවා යැයි කියද්දී මහජනතාව විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුයි. දක්කාගෙන යන්නට බැරි අදහස් ඇතැයි හෙළිදරව් වෙද්දී රජයේ තනතුරු අහිමි වීමත් මෙන්ම පුද්ගලිකව කරගෙන යන ව්‍යාපාර සඳහා ද වැටවල් බැඳෙන්නට එහි දී මහත් ඉඩක් ඇති බැවිනි.

සමාජයෙන් තුරන් කර දැමිය යුතු හතුරන් ඇතැයි යන්න, අනෙකාගේ වෙහෙසේ ඵලදාවට අයිතියක් ඇතැයි කියන ක්‍රමයේ පවතින මූලික තර්කයයි. හතුරන් අඩු වී යද්දී අලුතින් හතුරන් සොයා ගැනීම සිද්ධ වේ.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. Hannadige Asanka said, on ජූලි 25, 2017 at 12:55 ප.ව.

    බොහොම ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: