අරුණි ශපීරෝ‍ වෙතින්

ඉතිහාසයේ දරුණුතම මහා සාගතය (1959-1961)

Posted in Uncategorized by arunishapiro on ජූලි 13, 2017

නිර්බාධ වෙළඳපොලට යාන්තමින් හෝ ඉඩක් ලැබීම නිසා එක දූරදර්ශී මිනිසෙක්ට ආසියාවේ මිලියන ගණනින් මිනිස් ජීවිත බේරාගන්නට හැකි වූ යුගයක දී, කුරිරු මතවාදයක් අල්ලාගත් එක අදූරදර්ශී මිනිසෙක් බලය අල්ලා ගැනීම නිසා ආසියාවේ මිලියන 20 ත් 75 ත් අතර සංඛ්‍යාවක මිනිස් ජීවිත අහිමි වූ අවස්ථාවක් ගැනයි මේ සටහන.

1955 දී මාඕගේ මූලිකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කළ සාමූහිකරණය ගම්බද වැසියන් විසින් පිළිගන්නා ලදි. ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම (Great Leap Forward) යන ප්‍රතිපත්තිය රටවැසියන්ට මුලින්ම දන්වන ලද්දේ 1957 දෙසැම්බර් මාසයේ දී ය. එය 1958 මැයි මාසයේ දී සකසුරුවම් කර මහජනතාවගේ සාමූහිකත්ව තුලින් සාක්ෂාත් කරගන්නා ආකාරය 1958 අගෝස්තුවේ දී නිවේදනය විය.

“වසර තුනක බර වැඩ සහ දුක තුලින් වසර දහසක් පැතිරෙන සමෘද්ධිය ගෙන ඒම” යන පාඨය ඉදිරිපත් කෙරුණි. ගම්බදවැසි පවුල් දහස් ගණනින් හෝ දස දහස් ගණනින් සාමූහික දිවි ගෙවීම සඳහා එක්කාසු කරන ලදි. ගෙදරක ආහාර පිසීම නැවතී එය ද සාමූහිකයට අයත් විණ. මෙය වසර 335 කට පෙර 1623 දී අත්හදා බලා අසාර්ථක වූ ක්‍රමයක් යැයි කියන්නට කිසිවක් ඉදිරිපත් වූයේ නැත. ඒ වෙද්දී ප්ලිමත් වතුයාය ගැන දැන සිටි අයෙක් වී නම් ඔහු සිරගෙදරක හෝ ශ්‍රම කඳවුරක රඳවා තිබුණෙකි. නැත්නම් බටහිර ගැත්තෙක් නැත්නම් දක්ෂිණාංශිකයෙක් යැයි අවඥාවට පත්කර සමාජයෙන් කොන් කර දමන ලද්දෙකි.

ජනතාව සාමූහික ජන වාසයට දමා, දැවැන්ත ජල සම්පාදන ව්‍යාපෘති හදමින් සහ නව වගා ක්‍රමවේද අනුව විශාල පරිමාණයෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය දියත් කිරීම ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්මේ සැලැස්ම විය. කෘෂිකර්මය සහ කාර්මික යන අංශ දෙක එක්කාසු කර ඒ අතර වෙනසක් නැති අයුරින් සෑම ගම්මානයක්ම ස්වයංපූරිත කිරීමට සැලැස්මට හැකි යැයි කියා සිටියහ.

මෙය එවක සෝවියට් දේශයේ, නිකිතා කෘශ්නෙව් ගෙනෙන ලද ‘ඇග්‍රොටවුන්’ පරමාදර්ශය හා සමාන වූවකි. ගම ස්වයංපෝෂිත කර, ගම්බද නව කර්මාන්ත නිර්මාණයෙන් කාර්මික අංශය සිඝ්‍රයෙන් දියුණු කරවා, රජයේ හා කර්මාන්ත යටතේ පාලනය තුලින් අතිරික්තව ලැබෙන කෘෂිකාර්මික නිෂ්පාදන සියල්ලන් විසින් භුක්ති විඳීම සැලැසුමේ පරමාර්ථය විය. මේ සමාජවාදී සැලසුම අනුව ප්‍රාග්ධනය එක්රාශි වී ජීවන මට්ටම් ඉහළ යනු ඇතැයි රතු සහෝදරයන් අපේක්ෂා කළහ. කළ යුතු වූයේ පක්ෂය විසින් ඉදිරිපත් කරන සරල වූ ඉලක්ක එකින් එක සාක්ෂාත් කිරීම පමණකි.

සැලැස්ම පටන් ගැනිණ. මුල් මාස වල දී රතු කොඩි සුළඟේ ලෙළ දෙද්දී චීන ජනයා එකා මෙන් දිවා රෑ වෙහෙසුනහ. වාර්තා බිඳ හෙළමින් ජනතාව විශාල ප්‍රමාණ වලින් “වැඩි ඉක්මණින්, වැඩි හොඳින්, වැඩි අරපිරිමැස්මෙන්” ඉලක්ක ඉටු කරනවා යැයි පළාත් නායකයන් ඉහළට දැනුම් දුන්හ. 1958 දී ඉලක්කය වූයේ ධාන්‍ය ටොන් මිලියන 375 ක් නිෂ්පාදනයයි. ඊට කළින් වසරට වඩා දෙගුණයක් පමණ වැඩියෙන්. සැක නිසා ගමට ගොස් වාර්තා පොත් ද විමසා බලා, දෙසැම්බර් මාසයේ දී ඉලක්කය සාක්ෂාත් වූවා යැයි ගණන් බැලූ මධ්‍යම සංඛ්‍යාන බියුරෝවේ සේවකයන් දැනුම් දුන්හ.

මාඕ චීනයේ මුල් සැලැස්ම වූයේ වසර 15 ක දී මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය ඉක්මවා යන්නටයි. දැන් එය වසර දෙකකින් කරගන්නට හැකියාව ඇතැයි පෙනිණ. නිෂ්පාදන දත්ත ආශ්චර්යමත් ලෙසින් ඉහළ වෙද්දී කෘෂිකර්මයෙන් කාර්මික අංශයට ජනතාව යොමු කරන්නට තීරණය කරන ලදි.

සියළු පෞද්ගලික ඉඩම් ජනසතු කර තිබිණ. නිර්බාධ වෙළඳාම අහෝසි කර තිබිණ. එසේම සාමූහිකයෙන් ඉවත් වී යෑම ද තහනම් විය. රජය විසින් යකඩ හැදීම සඳහා සියළුම වානේ ආම්පන්න එකතු කරන දැවැන්ත ව්‍යාපෘතියක් පටන් ගැනිණ. එසේම දොරවල් ඇතුළු ලී එකතු කරන ව්‍යාපෘතියක් ද ඇරඹුනේ අලුතින් හැම පළාතකම පිහිටුවන ලද, සාමූහිකව උයන්නට හැදූ, කුඩා උදුන් සඳහා ඉන්ධන පිණිස යොදා ගන්නටයි. සාමූහිකය එකතු වී ආහාර ගැනීම උත්සවාකාරයෙන් කරන ලදහ.

ඒත් බෙයිජිං නගරයෙන් පිටතට ආ පක්ෂ නිලධාරීන්ට සත්‍යය අවබෝධ වෙන්නට වැඩිකල් නොගියේය. මාඕ ඉන් පිටත ගියේ කලාතුරකිනි. පක්ෂ සේවකයන් තමනට පැවරී තිබූ පැතිවල ඉලක්ක සාක්ෂාත් වූ ලෙසකින් බොරු වාර්තා හදා තිබිණ. මහ ඉහළින් බොරු කියන්නාට ඉතා ඉක්මණින් උසස්වීම් ලැබිණ. එකා පරයා අනෙකා අතිවිශාල ජයග්‍රහණයන් වාර්තා කරද්දී සත්‍යය හෙළිකරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවූහ.

මාඕ කැමති වූ නිසා චීනය යොදාගත් සමහර කෘෂිකාර්මික ක්‍රමවේද සෝවියට් වියතෙක් වූ Tromfim Lysenko පෙනී සිටිය ජාන ප්‍රතික්ෂේපය මත පදනම් වූහ. “සමූහය අතර ධාන්‍ය ඉක්මණින් වැවෙයි; බීජ වැඩියෙන්ම සතුටින් ඉන්නේ එකමුතුව වැඩෙද්දීය,” යනාදී පංති එකමුතුව ස්වභාව ධර්මයට අනුගත කිරීමට ගම්බද වැසියන්ට සිද්ධ විණ. සාමාන්‍ය පරතරයට වඩා පස් ගුණයක සිට දහ ගුණයක් තරම් ළංවෙන පරිද්දෙන් බීජ රෝපණය කරන ලදි. මිලියන ගණනින් නව පැළෑටි මැරුණි. මේ වගා ක්‍රමය නිසා පස් වියළී ගියේය. ලුණු ඉහළට ආවේය. තිරිඟු සහ බඩ ඉරිඟු එකම වතුයායේ සරුව වැඩුනේ නැත. සාම්ප්‍රදායික බාර්ලි වෙනුවට ටිබෙට් හි සීතල වතුයායන්හි තිරිඟු වගා කිරීමේ විශාල පරිමාණ උත්සාහය අසාර්ථක විය. Fujian හි ඉතා සාර්ථකව පැවත ආ තේ වතුයායන් සියල්ලේ සහල් වගා කෙරිණ.

රට පුරා ක්‍රියාත්මක වෙන අන්දමින් නීති හැදීම මධ්‍යම පාලන සැලසුම් ක්‍රමයයි. මීයන්, මැස්සන් සහ මදුරුවන් සමඟින් වගාව බේරාගන්නට යැයි කියමින් කරල් බුදින්නට එන ගේ කුරුල්ලන් වඳ කර දමන ලදි. ඉන් සිද්ධ වූයේ කුරුමිණියන් වැනි පරපෝෂිතයන් අතිශයෙන් වර්ධනය වී පාරිසරික අර්බූදයක් හටගැනීමයි. එහි දී මාඕ ගේ කුරුල්ලන් වෙනුවට ඇඳ මකුණන් මරන්න යැයි කීවේය.

මහා විශාල ප්‍රමාණයකින් ජල සම්පාදන කටයුතු සඳහා අවශ්‍ය හයිඩ්‍රොලික් උපකරණ නිමකරන ලදි. ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් නිමවන ලද ඒවායෙන් වැඩක් ගැනීම පමණක් නොව යෙදවීම අනතුරුදායක විය. Henan හි පමණක් ඒවා හදන්නට යොදවන ලද සේවකයන් හැටදාහෙන් දහ දාහකට වඩා සංඛ්‍යාවක් මිය යන ලදි.

මහා විශාල ධාන්‍ය අස්වැන්නක් ගෙන ඒම සඳහා ගෙන ගිය “ලොකු නම් ලස්සනයි” යන පාඨය නිසා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය සත්ව පරිපාලනය වැනි කුඩා වෑයම් සියල්ල නැවතිණ.

ජලසම්පාදන ව්‍යාපෘති සීයයට සීයයක්ම සම්පූර්ණ කළ Henan ප්‍රදේශය මහා සාගතයෙන් මුලින්ම බැට කෑ පළාත විය. කන්න හිඟ වී තිබීම නිසා යාන්තම් හෝ තිබූ අස්වැන්නක් වූයේ නම් එය නෙළන්නට පවා ජනතාවට ශක්තියක් නොතිබිණ. බොරු වාර්තා බව ඔප්පු වෙද්දී පවා පාලකයන් සත්‍යය පිළිගත්තේ නැත. වතුර වලින් උයන බත් සුප් කන්න යැයි ජනතාවට නිර්දේශ කෙරිණ. 1959 People’s Daily පුවත්පතේ කියැවුනේ “ඇති තරම් අස්වැන්න ඇති වසරක සමවිකතාවයෙන් (frugally) ජීවත්වන්න” කියායි. ජාතික මාධ්‍ය වලින් දවල් කාලයේ නිදා ගැනීම වර්ණනා කෙරිණ. චීන අයට සුවිශේෂී වූ ශරීර පද්ධතියක් ඇති බැවින් මේද සහ ප්‍රෝටීන් ඔවුන අනවශ්‍ය වූ සුඛෝපභෝගීත්වයන් යැයි වෛද්‍ය මහාචාර්යවරු කියා සිටියහ.

ධාන්‍ය ළඟ තිබී අසුවුවහොත් වෙඩි තබා මරා දමන ලදි. අනවසර ගිනි මැළ ගැසීම තහනම් විය. නාස්තිකාර හැදියාවක් යැයි කියා අවමංගල තහනම් විය.

ඒ චීනය ලෝක වෙළඳපොලේ මිලට වඩා අඩු මිලකට ලංකාවට චීන සහල් එවා ලංකාවෙන් ලෝක වෙළඳපොලේ මිලට වඩා වැඩි මිලකට රබර් ලබාගත් කාලයයි. ආර්ථික ඝාතකයන් ගැන කතා කරන ලෝකයක ඒ ගිවිසුම් ගැන අපි නිහඬව සිටිමු.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. saliya said, on ජූලි 13, 2017 at 5:57 පෙ.ව.

    නිවරැදි ඉතිහාසය දැන ගැනීම වරදක් නොවේ

    • arunishapiro said, on ජූලි 13, 2017 at 6:00 පෙ.ව.

      saliya,

      ඉතිහාසයේ නිවැරදි කොටස් මොනවාදැයි තෝරා බේරාගන්න ලැබෙන්නෙ වර්තමානයේ දී සාමාන්‍ය ජනතාවට අදහස් ප්‍රකාශයට නිදහස තියෙනවා නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: