අරුණි ශපීරෝ‍ වෙතින්

චීනය සැඟවූ දේශපාලන සිර කඳවුරු

Posted in Uncategorized by arunishapiro on ජූලි 14, 2017

ජර්මනියේ සහ පෝලන්තයේ නාට්සීන් විසින් පවත්වාගෙන ගිය දේශපාලන සිර කඳවුරු ගැන මුළු ලොවම දැන සිටිය ද, චීනයේ මහා පරිමාණ ලෙසින් රට පුරා කඳවුරු පවත්වා ගෙන ගිය බව ලොව බහුතරයක් නොදනිති.

“ජින්ග්සූ කාර්මික ඩයි වැඩ” යැයි ගේට්ටුවේ සඳහන් නමින් පවත්වාගෙන යන ලද්දේ හුබෙයි පළාතේ අංක 3 වැනි සිරගෙදරයි. “යින්ග්ඩෙ තේ වතුයාය” නමින් වූයේ ගුවාන්ග්ඩොන්ග් පළාතේ ශ්‍රමිකයන්ට නැවත ඉගැන්වීමේ මධ්‍යස්ථානයයි.

ලාඕගායි නොහොත් “ශ්‍රමය තුලින් ප්‍රතිසංස්කරණය” යන අදහස යුතු පාඨයෙන් හැඳින්වුනේ දණ්ඩන ශ්‍රම කඳවුරු සහ සිරගත ගොවිපොල ක්‍රමයයි. ලඕජියාඕ නමින් වූයේ “ශ්‍රමය තුලින් නැවත ඉගෙනීම” විය. වර්තමාන චීන අපරාධ දණ්ඩන ක්‍රමයේ ද “ශ්‍රමය තුලින් අධ්‍යාපනය සහ ප්‍රතිසංස්කරණය පිළිගැනීම” අඩංගු වෙයි.

සිරකරුවන්ගේ පවුල්වල අය ඔවුන්ට ලිපි යවද්දී භාවිතා කළේ නිර්නාමික තැපැල් පෙට්ටි අංක වූහ. මාඕගේ පාලන කාලයේ මතවාද ඉගැන්වීම් සඳහා සිරගත කරන ලද අයව හමුවන්නට පවුලේ හෝ ඥාතී හිතවතුන් කිසිවෙකුට අවසර නොලැබුණි. Liu Shaoqi, ජනතා ජනරජයේ හිටපු ජනාධිපති, සිරගතව සිටිය දී 1969 නොවැම්බරයේ දී මිය ගියේය. ඔහුගේ දරුවන් ඒ ගැන දැනගත්තේ 1972 අගෝස්තු මාසයේ දී ය. 1967 සිට ශාඕකිගේ බිරිඳද සිරගතව සිටියාය. දරුවන්ට මව බලන්නට අවසර ලැබෙන්නේ පියා මිය ගිය බව දැනගන්නට ලැබුණු පසුවයි.

සිරගෙදර අත්දැකීම් හෙළි කිරීම තහනම් විය. තතු හෙළිකර අසුවුවහොත් යළි සිරගත කෙරිණ. සිරකරුවන් ප්‍රවාහනය කරද්දී සිරකරුවන් ලෙසින් හැසිරීම තහනම් විය. එහෙත් අනවශ්‍ය දේ කතාබහ කළොත් හෝ අනවශ්‍ය ලෙසින් හැසිරුණ හොත් වෙඩි තැබීමට රතු මුරකරුවන්ට අවසර තිබිණ.

ඒවායේ රඳවන ලද විදේශික සිරකරුවන් අතලොස්සක් නොවන්නට, මේ මහා විශාල පරිමාණයෙන් පවත්වාගෙන ගිය දේශපාලන සිරකඳවුරු ගැන ලොව කිසිවෙක් දැන ගන්නේ නැත. විදේශීය සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන ඔවුන්ගේ ආණ්ඩු විසින් විමසන ලද නිසා ඔවුන් සිරබත් කා නිරුප්‍රදිතව එළියට ආහ. ශෝන් පැස්කුවාලිනි එවැන්නෙකි. ඔහුගේ චීන නම වූයේ Bao Ruo-wang කියායි. ඔහු සිටි කඳවුරේ අනික් සිරකරුවන් ඔහුව ඉතා හොඳින් බලාගන්නේ මන්දැයි කියා ඔහුට පහදා දුන්හ. “මාත් ඇතුළු මේ සියළු දෙනාම කිසිදා එළියට එන්නෙ නෑ. ජීවිත කොන්ත්‍රාත්තුවක්. ඔබ විතරයි වෙනස් එකම කෙනා, බාඕ. ලොකු දොරෙන් ඔබ දවසක පිටත් වෙලා යාවි. ඒක විදේශිකයෙකුට වෙයි, අපිට වෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔයාට විතරයි පුළුවන් ඒ ගැන කියන්න. ඒ නිසයි අපිට ඔබ ජීවතුන් අතර තියාගන්න ඕන… සිත් කරදර කරගන්න එපා, ඔබ මෙතැන ඉන්න තාක් කල්, ඔබ ජීවත් වේවි. මට පුළුවන් ඒක පොරොන්දු වෙන්න. ඔයා වෙන කඳවුරකට මාරු කළොත්, අපි විදියට හිතන අය එතැනත් සිටීවි. ඔබ වටිනා බඩුතොගයක්, වයසක මනුස්සයෝ!”

1980 ගණන් මැද දක්වා මිලියන 50 ක ජනතාවක් ඒ සිරකඳවුරු අතරට පැමිණියහ. ඉන් මිලියන 20 ක් එහි දී මිය ගියා යැයි සැලකේ.

1955 දී එසේ රඳවන ලද සිරකරුවන් අතරින් 80% ක් දේශපාලන සිරකරුවන් වූහ. ඊ ළඟ දශකය වෙද්දී එය 50% ක් දක්වා පහළ යන ලදි. 1971 වෙද්දී තුනෙන් එකක් දේශපාලන සිරකරුවන් වූහ.

හිටපු නායකයන් සඳහා වෙනම බන්ධානාගාර ද, පිටමං කරන අයව තැබෙන සිර මධ්‍යස්ථාන ද, සමාජයෙන් අයින් කරන අය සඳහා වූ රැඳවුම් කඳවුරු මෙන්ම දැඩි අන්ධකාරයේ අඳුරු තැන්වල පිහිටි රැඳවුම් කඳවුරු ද වූහ. රට පුරා විවිධ නගරවල රැඳවුම් කඳවුරු 2,500 ක් පමණ තිබිණ. එතැනින් යම් දුරබැහැර දූපත් දණ්ඩන කොළණි වලට සිරකරුවන්ව පිටමං කෙරිණ. ඒ සඳහා තීන්දු ගන්නට සාමාන්‍යයෙන් වසර 10 ක් පමණ කාලයක් ගතවිණ.

බෙයිජිං සිරගෙය අංක 1 යනු විදෙස් අමුත්තන්ට දැකබලා ගත හැකි සිරගෙදර විය. එහි වූ සිරකරුවන්ට ඇති තරම් ආහාර පාන ලැබිණ. තතාමි පැදුරු වල නිදාගන්නට හැකියාව ලැබිණ. ඒත් එහි පක්ෂ දැක්ම නිතර බෙදන විනය නීති ඉතා දරුණු වූ නිසා මානසික පීඩාවට පත් බොහෝ සිරකරුවන් ශ්‍රම කඳවුරු සඳහා මාරුවීම් ඉල්ලන ලදි.

උතුරු මැන්චූරියාවේ, අභ්‍යන්තර මොංගෝලියාවේ, ටිබෙට්, ක්ෂින්ජියැන්ග් යනාදී අර්ධ කාන්තාර පෙදෙස්වල වැඩියෙන්ම ජනගහණයක් වූ ලොකුම සිර කඳවුරු පැවතිණ. කින්ග්හායි නමින් වූ දණ්ඩන පළාතේ ගිම්හානයේ උෂ්ණය දැඩි විය, හේමන්තයේ සීතල දරුණු විය. එහි පිහිටි අංක 2 කඳවුර, පනස්දහසක් පිටමං කරන ලදවුන් රඳවා සිටි චීනයේ විශාලතම කඳවුර විය.

මහා සාගතය පැවති කාලයේ සිරකරුවන් අතර මිලියන 4 ක් පමණ මිය යන ලදි. එහෙත් සිරකරුවන්ට දිවි පවත්වා ගන්නට ප්‍රමාණවත් තරමින් ආහාර ඇතැයි දැනගනිද්දී ආණ්ඩුවේ වැරදි ප්‍රසිද්ධියේ කියූ නිසා සමාව කමදින්නට සිරකඳවුරු වලට එන්නට ඕනෑ යැයි මිනිස්සු ඉල්ලා සිටියහ.

පාපෝච්චාරණය නොකිරීම සිර දඬුවමේ කාලය දීර්ඝ වීමට හේතු වූවකි. අනෙක් සිරකරුවන් පාවා දීම නොකළ හොත් රජයෙන් තොරතුරු වසන් කළා යන්න දඬුවම් ලැබිය හැකි වරදක් විය. තමන් වරදක් නොකළා යැයි කීම රජයට විරුද්ධ ක්‍රියාවක් හැටියට සලකන ලදි. ඒ හෙයින් සිරකාලය දීර්ඝ කරන්න යැයි ඉල්ලීම සාධාරණ වූ අතර කෙටි කරන්න යැයි ඉල්ලීම වරදක් හැටියට සැලකුණි. සුළු හේතුවක් නිසා වසර පහක සිර දඬුවම ජීවිතාන්තය දක්වා දීර්ඝ වෙන දඬුවමක් බවට හැරෙන ඉඩකඩ නිතර පැවතිණ.

චීනයේ ජනතාව අත්අඩංගුවට ගැනුනේ ඔවුන් වරදේ යෙදුන ලදැයි ඔප්පු වූ නිසා නොවේ. ඔවුන් වරදක් කළා යැයි සැලකුනේ ඔවුන් අත්අඩංගුවට පත් වූ නිසයි. මාඕ යටතේ වූ කොමියුනිස්ට් පක්ෂයේ ‘ජනතාවගේ ආණ්ඩුව’ සියළු අත්අඩංගුවට ගැනීම් පොලීසියට බාර දී තිබුණහ. තමන් අත්අඩංගුවට ගනිද්දී ඒ ගැන ප්‍රශ්න කිරීම ඒ නිසා මාඕව ප්‍රශ්න කිරීම හා සමාන ලෙසින් සැලකිණ.

ශාරීරික වදහිංසා දුලබ විය. බොහෝ විට සිද්ධ වූයේ මාඕ ඉදිරිපත් කරන මතවාදී වගන්ති කටපාඩමෙන් උපුටන්නට සිද්ධ වීමයි. ඒවා ගැන අහන ප්‍රශ්න වලට සිරගෙදර නිලධාරීන් විසින් ඉල්ලා සිටින උත්තර සපයන්නට සිද්ධ වීමයි. ඔවුනට උවමනා වූයේ සිරකරුවා ලවා ඔහුගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය නිෂ්ඵල වූ ද, පව්කාර වූ ද, රජයෙන් දඬුවම් ලැබිය යුතු වූ ද, ජීවිතයක් යැයි ඔහු ලවාම පිළිගන්නා අසරණ තත්වයට පත්කරවීමයි.

සංස්කෘතික විප්ලවය කාලයේ දී සිරකරුවන්ට පහර දීම, අතින් ඇල්ලීම පවා තහනම් විය. එහෙත් දඬුවම් සඳහා ‘පොර අල්ලන’ ඉඩකඩ සැපයිණ. එහි දී එක් සිරකරුවෙකුට පහර දෙන්නට අනිත් සිරකරුවන්ට අවසර ලැබිණ. මතවාද විරෝධී අදහස් ඇති අයට පහර දීම වරදක් හැටියට නොසැලකිණ. එසේම වායුව හමා නොයන සීතල කුඩා කුටි වල අත් පා දිග හරින්නට නොහැකි වන සේ රඳවා තැබීම, මාංචු හෝ දම්වැල් එහි රඳවන සම්පූර්ණ කාලය තුල දමා තැබීම යනාදිය සිද්ධ විණ. සමහර අවස්ථාවල දී පිටුපසට කර මාංචු දමා තබා ඒවා ආහාර අනුභවයට ගලවා නොදැමුණි. ඒ නිසා ඔවුන්ට ආහාර අනුභවයට හැකියාව නොලැබිණ. දින අටකට වඩා එවැනි දඬුවමක් දීර්ඝ වූ අවස්ථාවල සිරකරුවන් මිය ගියහ.

දේශපාලන සිරකරුවනට සිර ඇඳුම් නොමැති විය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී හැඳගෙන සිටි ඇඳුම් සිරගෙදර ජීවිතයේ ද භාවිතා විය. උතුරු මැන්චූරියාව වැනි සීත පෙදෙස් හි දී හේමන්ත කබා ලැබුණි. සෑම වසරකට එක අලුත් යට ඇඳුමක් ලැබුණි.

ඒ සිර කඳවුරු වලින් ජනතාව ඉවත් කර ගැනීමේ මුල් වෑයම පටන් ගැනෙනුයේ 1978 දී ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: