අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රේෂ්ඨ ශ්‍රමික සංස්කෘතික විප්ලවය

Posted in Uncategorized by arunishapiro on ජූලි 17, 2017

පාරට්ටු බාන අරමුණු සාර්ථක නොවෙද්දී පමණක් නොව පැවතියාටත් වඩා තත්වය ඛේදනීය වෙද්දී වුවද සමාජවාදීන් අනුන් වෙනුවෙන් සැලසුම් හැදීමෙන් ඉවත් නොවෙති. ප්‍රතිපත්ති යාන්තමින් වෙනස් කරද්දී පවා සැලසෙන සශ්‍රීකත්වය ඉදිරියේ ඒත් නිර්බාධ වෙළඳපොලක අපූර්වත්වය පිළි නොගනිති.

චීනයේ පළමු පස් අවුරුදු සැලැස්ම ගැන එහි ඉතිහාස පොත්වල තවමත් ලියැවෙන්නේ “ස්වභාවික විපත්ති පැමිණි තුන් වසර” කියා මිසෙක මහා සාගතයක් පැවති බව නොවේ. ගංවතුර, ඉඩෝර, සුළි සුළං මෙන්ම බෝවෙන රෝග සහ කෘමි තර්ජන අනෙක් සෑම කාලයක දී ම සේ පැවතිණ. මිනිස් වැරැද්ද නිසා විපත්තිය සිද්ධ වූවා යැයි කියූ Peng Dehuai වැනි අයව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කෙරිණ, සිරගත කෙරිණ.

පිම්ම ඉහළින්ම වැරදීම නිසා පක්ෂය තුල මාඕට තිබි ගෞරවය පහළ බැස 1959 දී ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වෙන්නට සිද්ධ විණ. 1960 ගණන් මුල දී ෂූ එන්ලායි, ඩෙන් ක්ෂියාඕපිං, ලියු ශාඕකි යන ‘මධ්‍යස්ථ මතධාරීන්’ එතෙක් ගෙන ගිය ශ්‍රේෂ්ඨ නොවූ ඉදිරියට නොගිය පිම්මේ ප්‍රතිපත්ති වෙනස් කළහ. මහජනයාට කුඩා ඉඩම් අයිතියට අවසර ලැබිණ. ගම්බද වැසියන්ට පොළ විවෘත කිරීමට අවසර ලැබිණ. කුඩා පෞද්ගලික කම්මල් අයිතියට අවසර ලැබිණ.

සෝවියට් නායකයන් ස්ටාලින්වාදයෙන් බැහැර වූයේ තව දුරටත් බලයේ ඉන්නට නව ප්‍රතිපත්තියක් ජනතාවට ගිල්ලවන්නට අවශ්‍ය වූ නිසා පමණි. කුරිරු මතවාදයෙන් අයින් වීමට නොවේ. ඇමෙරිකන් සංචාරයක දී අයෝවා ප්‍රාන්තයේ ඉරිඟු වතුයායන් දැක ඒ විදියට රුසියාවේ ඉරිඟු වගා කරන්නට නිකිටා කෘෂ්චෙව් සැලසුම් ගැසීය. අයෝවා ඉරිඟු ගොවියෙක් වූ රොස්වෙල් ග්‍රාස්ට් සෝවියට් දේශයට ටොන් පන්දාහක පමණ බීජ ඉරිඟු විකිණීය. ඒවා දකුණු පළාත්වල වවන්න යැයි ද, පොහොර, පලිබෝධ හා කෘමි නාශක ප්‍රමාණවත් පරිදි යොදන්න යැයි ද රුසියාවන්ව දැනුවත් කළේය. නමුත් ස්වභාව ධර්මය නොසලකා සැලසුම් හදන හැදියාවෙන් යුතු නිසා රුසියන් රජය ඒ දැනුම නොසලකා හැරියහ. බීජ මිය යෑමෙන් වෑයම අසාර්ථක විණ.

ඇමෙරිකාව හා වෙළඳ ගණුදෙනු පටන් ගෙන සිටින සහ ස්ටාලින්වාදය හෙළා දුටු නිකිටා කෘශ්චෙව් යනු තමා අගයන මාක්ස්වාදී-ලෙනින්වාදී මතවාදයෙන් බැහැර මාර්ගයක යන්නෙක් යැයි විශ්වාස කළ මාඕ නිසා සෝවියට් දේශය සහ චීනය අතර සබඳතා පළුදු වන්නට පටන් ගැනිණ. චීනයට න්‍යෂ්ටික අවි සැපයීමට දුන් පොරොන්දුව රුසියාව අත්හැර දැමීමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකතුවීමට සහාය නොදීමත් නිසා ලොව විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් දෙක තවත් දුරස් වූහ. ඒ අස්සේ ඇතුලත බල අරගලයකින් කෘශ්චෙව් පරාජය විය. තමන්ට ද එලෙසින්ම තර්ජනයක් ඇතිවේ යැයි සිතූ මාඕ බලගතු පක්ෂ නිලධාරීන් අතරින් දක්ෂිණාංශ සහ ධනවාදී දැක්ම ඇති අයව ශුද්ධ කර දැමිය යුතු යැයි කියා ඊට මෙහෙයුමක් පටන් ගත්තේය. පුවත්පත් ලිපි, රැස්වීම් සහ දේශපාලන හිතවාදීන් යොදා ගනිමින් හේ එය ඇරඹීය. සංස්කෘතික විප්ලවයේ ආරම්භය එතැනින් සිද්ධ විය. මාඕ දර්ශනයෙන් පන්නරය ලැබූ තරුණ පරම්පරාව සියළු පැරණි දේවල් විනාශ කිරීමේ මූලිකත්වය ගත්හ.

1966 අගෝස්තු 8 වැනිදා, කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව සංස්කෘතික විප්ලවය සඳහා යැයි කියා කරුණු 16 ක් සම්මත කළහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ සමාජය ‘සුපිරි ව්‍යුහයක්’ හැටියට නැවත හැඩ ගැසීමයි. ජනාධිපති වූ Lin Biao කියා සිටියේ සිරිත් විරිත්, සංස්කෘතිය, හැදියාවන්, සහ අදහස් නම් “පරණ හතර” විනාශ කර දැමිය යුතු බවයි.

වීදිවල නම් වෙනස් කිරීම් සහ දරුවන්ට ‘විප්ලවීය’ නම් දැමීමට අමතරව රතු හමුදාව විසින් ඵෛතිහාසික ස්ථාන, පුස්තකාල, පැරණි පොතපත, පංසල්, පල්ලි, ආශ්‍රම යනාදියට අමතරව සූසාන භූමි පවා විනාශ කර දමන ලදි.

“සාර භූමි” ලියූ පර්ල් එස්. බක් වැනි විදේශීය ලේඛකයන් ඒ වෙද්දී චීනයේ නොසිටියහ. ඒ කාලය ගැන ගෙතෙන ප්‍රබන්ධ කියවන්නට ලැබෙන්නේ Dai Sijie වැනි අය මෑතක දී පළ කරන පොත් වලින්. ‘බල්සැක් සහ පුංචි චීන සන්නාලිය” Sijie ලියන මුල් ප්‍රබන්ධයයි. එහි කතන්දරය ඔහුගේ ජීවිත කතාව හා සමාන වූවකි. සංස්කෘතිය ආපස්සට ඇද දැමූ විප්ලවය මනාව එයින් දිග හැරේ. ආචාර්යවරු දෙදෙනෙකුගේ එකම පුතා වූ ඔහුව සංස්කෘතික විප්ලවයේ දී ‘නැවත ඉගෙනීම’ සඳහා 1971 සිට 1974 දක්වා කඳවුරක රඳවන ලදි. ශිෂ්‍යත්වයක් දිනා ප්‍රංශයට යන ඔහු අද එහි වාසය කරමින් ප්‍රංශ බසින් ප්‍රබන්ධ ලියන්නෙකි.

1966 අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල දී බෙයිජිං නගරයේ පමණක් 1,772 ක ජනතාවක් රතු හමුදාව විසින් මරා දමන ලදි. මාඕ පාඨ කට පාඩම් කරගත් රතු හමුදාවේ කටයුතු ගැන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසරයක් නොවීය. මාඕ නැවත වතාවක් කුරිරු බලය ජනතාවට එරෙහිව යෙදීමට සියතට ගත්තේ එසේය.

සංස්කෘතික විප්ලවයේ ‘නිවැරදි කිරීම්’ අනුව කටයුතු නොකරන්නේ යැයි කියමින් මාඕ ඔක්තෝබර් මාසයේ දී සම්මන්ත්‍රණයක් පැවැත්වීය. මැදිහත් ප්‍රතිපත්ති ගෙනා ලියු ශාඕකි යනු මාඕට පසුව චීනයේ සිටි බලගතුම පුද්ගලයා හැටියට එවක සැලකිණ. එහෙත් සම්මන්ත්‍රණයෙන් පසුව මාඕ ඔහුව සිරගෙදරට ගාල් කළේය. ඩෙන් ක්ෂියාඕපිං ද ‘නැවත ඉගෙනීම’ සඳහා තෙවරක් ද, අනතුරුව එන්ජින් හදන කම්හලක වහල් සේවයට යැවිණ.

මාඕ කියූ අදහස් රැගත් කොමියුනිස්ට් රතු පොත අනුව සෑම සියළු වැසියෙක්ම ජීවත් විය යුතු විය. වසර 10 ක් පුරා හානිය පැතිරීමෙන් පසුව 1976 අප්‍රේල් 4 වැනිදා ටියෑනමන් චතුරශ්‍රයට රැස්වූ ජනතාව මාඕ විවේචනය කරමින් සටන් පාඨ කියන ලදහ. ඒ ශුද්ධ කිරීම් ගැන මතුවූ අප්‍රසාදයත්, මිය ගිය ෂූ එන්ලායිගේ මරණයට මාඕ සහභාගී නොවීම හෑල්ලු කිරීමක් යැයි අප්‍රසාදයට පත්වී සිටීමත් නිසයි. පොලිස් වාහන වලට ගිනි තැබිණ. එම උද්ඝෝෂණ වලට සහභාගී වූවා සැක කළ අයව ශ්‍රමික සිර කඳවුරු වලට පිටත් කෙරිණ.

1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ ඩෙන් ක්ෂියාඕපිං සමන්විත දූත පිරිසට ගමන අත්හැර දමන්නට තරම් කලබැගෑනියක් ඇතිවිය. ඒ වෙද්දී චීන බැංකුවේ, (එනම් චීනයේ තිබූ සියළුම බැංකු වල) ගමන යන දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත්‍ර ගන්නට ප්‍රමාණවත් මුදලක් නොවිණ. මෙම සඳහන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ පළ වූවකි.

1976 සැප්තැම්බර් 9 වැනිදා මාඕ මිය ගියේය. ඒත් ඔවුන් විනාශයට යන මාර්ගය වෙනස් නොකළහ. මාඕ නම් අසහාය නායකයා ගෙනෙන ලද ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරන බව රට බාරගත් පාලකයන් කියා සිටියහ.

1978 වෙද්දී චීනයේ ඉතිරි වූයේ එක ජනතා බැංකුවක් පමණි. එහි සේවකයන් 80 ක් පමණක් විය. එය මුදල් අමාත්‍යාංශය යටතේ තිබිණ. ධනවාදය යාන්තමින් ගාවා ගන්නට මධ්‍යම ආර්ථික ක්‍රමයකට චීනය හැරෙන්නේ එවිටයි.

ඉලක්කයක් කරා යන්නට “සැලසුම්” ගැසීම මිනිස් ස්වභාවයකි. රටවැසියන් අතර ඒ ඒ අයගේ දැනුම අනුව, ඒ ඒ අයගේ උවමනාවට අනුව තීරණය කරගත් ඔවුන්ගේ ඉලක්ක කරා යෑම සඳහා තමන් වෙනුවෙන් සහ එකිනෙකා සමඟ හදාගන්නා සැලසුම් නිර්මාණය හෙළා දැකීම සංවිධානාත්මකව ලොව පටන් ගැනෙනුයේ කාල් මාක්ස් දායාද කළ කුරිරු දැක්ම තුලිනි.

වර්තමානයේ ලොව පවතින බොහෝ මතභේද වනුයේ සැලසුම් ගැසීම ගැනයි. ඒකාබද්ධ සැලසුමකට අනුව හැදෙන පොදු මාර්ගයක, සම්පූර්ණ ආර්ථිකය ගෙන යා යුතුයි කියන මාක්ස්වාදී දැක්ම මේ අයගේ මතයයි. ධනවාදයත් සමාජවාදයත් අතර මධ්‍යස්ථ මතවාදීන් යැයි කියාගන්නා අය පෙනී සිටින්නේ සැලසුම් හැදීම සංවිධානාත්මක කර්මාන්ත අංශ වලට පැවරීමටයි. ඒත් ඔවුන් නොදකින්නේ (නොපිළිගන්නේ) ඒ මාර්ගයෙන් ඔවුන් අකමැති යැයි පෙනී සිටින දැය, එනම් ඒකාධිකාරය බිහි කරන බවයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )