අරුණි ශපීරෝ‍ වෙතින්

භීෂණය අවසන්, ඒත් මර්ධනය දිගටම

Posted in Uncategorized by arunishapiro on ජූලි 18, 2017

1976 සැප්තැම්බර් මාසයේ මාඕ මිය ගිය පසු මාසයක් ඇතුලත ඔහුගේ සමීපතමයන් වූ “හතර දෙනාගේ කල්ලිය” සිරබාරයට ගැනිණ. මාඕ පාර්ශවයේ තද විවේචනයට හසුව සිටි ඩෙන්ග් ක්ෂියාඕපිං පාලන බලය අල්ලාගන්නට සමත් විය.

ඒත්, රට පාලන කරන ක්‍රමයේ වෙනසක් ඇතැයි පෙන්වීම සඳහා 1978 නොවැම්බර් මාසයේ බෙයිජිං නගරයේ දිග ගඩොල් තාප්පයක විශාල අක්ෂර වලින් ලියැවුණ පෝස්ටර් ඇලවීමට ඉඩ දෙන ලදි. එය 1979 දෙසැම්බර් දක්වා පැවතිණ. ඊට අමතරව නිල නොවන පත්‍රිකා, පෙත්සම්, පෙළපාලි යනාදියට ඉඩ ලැබිණි. මේ මෙහෙයුම “ප්‍රජාතන්ත්‍රවාදයේ තාප්පය” යන නමින් හැඳින්වේ.

“පස්වැනි නවීකරණය: ප්‍රජාතන්ත්‍රවාදය” යන සිරස්තලයෙන් වූ පෝස්ටරයක් හදා Wei Jingsheng කියා සිටියේ වැඩවසම් සමාජවාදී ක්‍රමයකින් පාලක පංතිය ජනතාව සූරා කන බවයි. තිරසාර වෙනසක් සඳහා අවශ්‍ය එකම මාර්ගය ප්‍රජාතන්ත්‍රවාදය බවත්, ඩෙන්ග් විසින් යෝජනා කළ අනෙකුත් නවීකරණ හතරට එකතු විය යුතු පස්වැන්න එය බවත්, සියළු ඒකාධිපතිවාදයන්හි ප්‍රභවය වූ මාක්ස්වාදය අත්හැර දමා ඒ වෙනුවට සමාජවාදයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම යොදා ගත යුතු බවත් එහි දී ඔහු තර්ක කළේය.

1979 මාර්තු මාසය වෙද්දී ඩෙන්ග් සිය බලය තහවුරු කරගෙන සිටියේය. මාක්ස්වාදය අත්හරින්න යැයි කියූ Wei ට වසර 15 ක සිරදණ්ඩනයක් නියම කරන ලදි. 1993 දී නිදහස් වූ පසුව ද විවේචනයේ යෙදීම දිගටම කරගෙන ගිය නිසා මාස අටකට පසුව යළිත් ඔහුව අඩංගුවට ගැනිණ. එවර ද එළියට ආ පසු නැවතත් හේ විවේචනය පටන් ගති. 1995 දී ඔහුව වසර 14 කට යළිත් සිරගත විය. 1997 නොවැම්බර් මාසයේ දී ඔහුව හදිසියේම වෛද්‍ය හේතුවක් දක්වා සිරගෙදරින් නිදහස් කර කොන්දේසි පිට ඇමෙරිකාවට පිටුවහල් කරන ලදි.

1980 ගණන් වෙද්දී දුප්පත් සහ මධ්‍යම පාංතික ගම්බද වැසියන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජනය වූයේ දහයෙන් එකක් පමණි. මාඕ යටතේ පක්ෂයේ බලතල සතුව සිටි ගම්බද පිරිස් විශාල වශයෙන් සාම්ප්‍රදායක පවුල් ගොවිතැන් කරන්නට ගම් පළාත් බලා ආපසු ගිහින් තිබුණහ. පක්ෂය ඇතුලත ඔවුන්ගේ සංවිධානාත්මක කටයුතු ඒ වෙද්දී ක්‍රමවත් ලෙසින් යටපත් කර තිබෙන ලදි.

නගරවල පෞද්ගලික ව්‍යවසායක කටයුතු හතු පිපෙනා සේ හටගැනිණ. රටේ ශ්‍රම බලකායෙන් විශාල වූ ඒ කොටස ඍජු දේශපාලන පාලනයකට හසු නොවුනහ. 1978 න් පසුව ලක්ෂයක පමණ දේශපාලන සිරකරුවන් මුදා හැරිණ. සංස්කෘතික විප්ලවයේ දී ගම්මාන වලට පළවා හැර තිබුණ රටේ තුනෙන් දෙකක ජනතාවක් නැවත නගර බලා පැමිණියහ.

1979 දී චීන ජනතා ජනරජය එහි ප්‍රථම දණ්ඩ නීති සංග්‍රහය ඉදිරිපත් කළහ. මරණ දඬුවම ‘අතිශයින් පිළිකුල් සහගත අපරාධ” සඳහා පමණක් නියම විය. ආයාචනා ඉදිරිපත් කිරීම (ඒ නිසාම නියම වූවාටත් වඩා දැඩි දඬුවම් ලැබීමේ ක්‍රමය අයින් කර දමා) අයිතියක් හැටියට ස්ථාපිත විය. නීති යාන්ත්‍රණය ඍජු පක්ෂ පාලනය යටතෙන් ඉවත් කෙරිණ.

1982 වසරේ දී මාඕ යුගයේ ‘ප්‍රතිවිප්ලවාදීන්’ යැයි හැඳින්වීම නිල වශයෙන් ඒ අය වෙතින් ඉවත් කෙරිණ. ඔවුන් සිරගතව සිටි සෑම වසරක් වෙනුවෙන්ම සුළු වන්දියක් පවා ගෙවන ලදි. 1982 දී සිරගත කරන ලද අයගෙන් දේශපාලන සිරකරුවන් වූයේ 0.5% ක් පමණි.

1983 දී ආරක්ෂක ඇමතිවරායේ වගකීම් විශාල වශයෙන් අඩුකරන ලදි. ලඕගායි පරිපාලනය අධිකරණ අමාත්‍යාංශයට පවරන ලදි. උසාවියෙන් අත්අඩංගුවට ගැනීම් ප්‍රතික්ෂේප වීම ආරම්භ විය. පොලීසියට එරෙහි පැමිණිලි දමන්නට හැකියාව ලැබිණ. වදහිංසා පමුණවන අයව නීති මාර්ගයෙන් මහජනයා ඉදිරියේ විමර්ශනයට ගෙනෙන ලදි. සිරකඳවුරු තත්වයන් ගැන නව සොයාබැලීම් පැවැත්විණ. නඩු විමසද්දී තව දුරටත් සමාජ පංතිය සාධකයක් වීම නවතා දැමිණ.

1990 වසරේ සිට ජනතාවට ආණ්ඩුවට එරෙහිව නඩු දමන්නටත් හැකියාව පෑදිණ. 1996 දී පටන් නඩු අසන්නේ නැතිව අත් අඩංගුවේ තබා ගැනීම දැඩි සේ නියාමනයට ලක්වෙයි. එසේ තබාගැනීමට හැකියාව ඇත්තේ මාසයක කාලයක් පමණි. දේශපාලන හේතුවක් නිසා නම් වසර 3 ක කාලයකි. නීතීඥයන්ට ඉඩකඩ ලැබීම නිසා 1990 ත් 1996 ත් අතර කාලය තුල දී නීතිඥ වෘත්තීයේ යෙදෙන සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවිය.

එහෙත් තවමත් චීනයේ දී ඔප්පු කරන තුරු පවතින නිවරද්‍යතාවයක් චෝදනා ලැබූ අයෙකු සතු නැත. නීති පොත්වල ප්‍රතිවිප්ලවීය කටයුතු යැයි අපරාධ වර්ගීකරණයක් පවතී. ඉඳහිට පක්ෂය ඇතුලතින්ම සොයා බලා අත් අඩංගුවට ගැනුන ද, කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් බොහෝ ව්‍යාපාරික කටයුතු වල යෙදෙන අතර ඔවුන් ගැන නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.

විසිවැනි සියවස අග කොමියුනිස්ට් චීනය මාඕ කාලයට වඩා සමෘද්ධිමත් වූ සහ ප්‍රචණ්ඩත්වයෙන් අඩු වූ කාලය හැටියට සැලකේ. ඒත් ඔවුන් කිසිම අවස්ථාවක දී මාඕ සේතුං යන කොමියුනිස්ට් චීනයේ නිර්මාතෘවරයා වූ ජනතා නායකයාව ප්‍රතික්ෂේප නොකරන ලද නිසා, යම් අවස්ථාවක දී ඔහුගේ මුල් ප්‍රතිපත්ති වලට යළි පිවිසීමට ඉඩකඩක් ඇත.

සෑම වසර පහක දී ම පැවැත්වෙන ඊ ළඟ මහලේකම් තෝරන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කල්ලියේ පොලිටිබියුරෝ රැස්වීම මෙවසර සිසිරයේ පැවැත්වීමට නියමිතයි. 5-9 ත් අතර සාමාජික සංඛ්‍යාවක් සිටින මෙම පොලිටිබියුරෝවේ වර්තමානයේ සිටිනුයේ හත් දෙනෙකි. මහලේකම් යනු පක්ෂයේ ඉහළම නායකත්ව තනතුරයි. මෙම හත්දෙනාගේ කැමැත්තෙන් ඒ තනතුරට පත්කරගන්නා අය, එක දේශපාලන පක්ෂයක් පමණක් ඇති රටේ නායකයා බවට ද පත් වේ. චීන සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය එයයි.

යළිත් වතාවක් මහලේකම් තනතුරට පත්වන්නට නියමිත ක්ෂි ජින්පෙන්ග් ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරනු පිණිස මේ දිනවල චීනයේ සෝෂල් මීඩියා අතරේ ‘විනී ද පූ’ නම සඳහන් කිරීම තහනම් වී ඇත. විනී ද පූ චරිතය ඔහුට ඈඳා පිංතූර කිහිපයක් චීන ජනතාව එකිනෙකා අතර බෙදාගැනීම නිසා, ඊට ඉඩ දුනහොත් ජනාධිපතිවරයාගේ චරිතයට කැළලක් වේයැයි නිසිබලධාරීන් සලකති. ඒ වාර්තාව සමඟ පළවූ සටහනට එකතු කරන ඡායාරූපය ගත්තේ බීබීසී අඩවියකින්.

වෙන රටවල සිට චීනයේ සිද්ධ වෙන දේවල් දැනගැනීම පහසු වූවකි. වෙන රටවල අයටත් චීනයේ දී එහි සිද්ධ වෙන දේවල් දැනගැනීමට සහ ඒ ගැන සෙසු ලෝකය සමඟ අදහස් හුවමාරුවට කිසිදු බාධාවක් නැත. නිසිබලධාරීන් කපා හරින්නේ චීන්නු ඔවුනොවුන් අතර හුවමාරු කරගන්නා දැනුමයි. උදාහරණයක් හැටියට නොබෙල් තෑග්ගක් දිනාගත් චීනයේ ජීවත්වන චීන පමණක් වූ පුරවැසියන් හතරදෙනා අතරට එක්වූ ලියු ක්ෂියාබෝ ගැන බොහෝ චීන්නු අසා නැත. ඔහුගේ නම ඇතුලත් පණිවුඩ යැව්වොත් ඒවා ගියා ලෙස සඳහන් වුවත් අනෙකාට නොලැබේ.

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂය විසින් සංවිධානය කළ ජනමතවිචාරයට මිලියන හතකට වැඩි ජනතාවක් සහභාගී වී තිබේ. ජූලි 30 වැනිදා රටේ ව්‍යවස්ථාව අලුතින් ලියා ජාතික මන්ත්‍රණ සභාව අයින් කරන්නට යන මධූරෝ ආණ්ඩුවේ සැලසුමට චන්දදායකයන් එසේ විරෝධය දක්වති. චෑවේස් තෙවැනි වතාවටත් ජනමතවිචාරයන් ජයගනිද්දී ඒ ගැන කියවන්නට ලැබුණු ලංකාවේ සිංහලෙන් කියවන වැසියන්ට ප්‍රධාන මාධ්‍ය වලින් අද මේ ජනමතවිචාරය ගැන දැනගන්නට ලැබී ඇත්ද?

සියළු දැනුම සියළු දෙනා ඉදිරියේ අවශ්‍ය විටෙක යොදාගැනීමට නිති සූදානමින් පැවතිය යුතු යැයි කියමින් නොමිලේ දැනුම බෙදන වැඩ සටහන් වෙනුවෙන් පෙනී සිටින අය දැනුම පුළුල් ලෙසින් පවතින එකම ක්‍රමවේදය කුමක්දැයි කියා කවදා වටහා ගනීවි ද?

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on ජූලි 18, 2017 at 9:41 පෙ.ව.

    ගොඩාක් හොද සටහනක් .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: