අරුණි ශපීරෝ‍ වෙතින්

ටිබෙට් රටට එල්ල වූ චීන පීඩනය

Posted in Uncategorized by arunishapiro on ජූලි 19, 2017

ඵෛතිහාසිකව චීනයේ සුළු ජාතිකයන්ට ඒ ඒ අය විසූ පළාත්වල ස්වතන්ත්‍ර පාලනයට ඉඩ ලැබී තිබිණ. වෙනත් පෙදෙස්වල විසූ ටිබෙට් අයට සැලකුනේ පහත් ලෙසකිනි. ටිබෙට් දේශය චීනයට එකතු කරගනිද්දී මිලියන 4-6 කට අතර සංඛ්‍යාවක ටිබෙට් ජාතිකයන් චීන රාජ්‍යයේ කොටසක් වීමට අකමැත්ත දක්වා සිටියහ.

සංස්කෘතික විප්ලවය නිසා ටිබෙට් දේශය ද අයහපත් ඵලවිපාක අත්වින්ඳහ. 1959 සිට 1963 කාලය තුල දී ටිබෙට් වැසියන් 70,000 ක් මිය යන ලදි. “පසුගාමී ම්ලේච්ඡයන්” හැටියට හෑල්ලුවට පත් වූ කඳුකර චීන වැසියන් පීඩනයට පත්වෙද්දී ඒ ගැන විරෝධය පාන්නට සිටියේ ගොලොක් වැනි එඬේර යුදකාමීන් පමණි. 1965 සිට 1970 දක්වා කාලයේ දී ටිබෙට් පවුල් ජනතා සාමූහිකවල රඳවන ලදි. ඒවා හමුදා පාලනයක් ලෙසින් පැවතිණ.

චීනයේ සැලසුම් කළ “ශ්‍රේෂ්ඨ” ධාන්‍ය වගාව එලෙසින්ම ටිබෙට් හි ද නිෂ්පාදනයට යාම නිසා එතෙක් ඵලදායීත්වයක් ගෙනෙන ලද නිෂ්පාදන නවතා දමන ලදි. සීතල කාලගුණයට ඔරොත්තු දුන් බාර්ලි වගාව නවතා තිරිඟු නිෂ්පාදනය නියම විණ. ගොවිතැන් වෙනස් කරන්නට සිද්ධ වීමෙන් යැක් සත්වයන්ට උලා කන්නට හැකි බිම් හිඟ වී උන් මිය ගියහ. ටිබෙට් අයගේ ආහාර වේලට කිරි හා බටර් සැපයීම නැවතිණ. යැක් හම් සීතල කාලයේ ඔවුන්ගේ කුඩාරම් ආවරණයට යොදාගත් දැයයි. ඒත් යැක් හිඟවී යාමත් සමඟ හේමන්තයේ දී සීතල දරාගත නොහැකිව බොහෝ ටිබෙට් වැසියන් මිය ගියහ.

1966 ජූලි මාසයේ දී රතු මුරකරුවන් ලාමා ආරාමවල බුද්ධ ප්‍රතිමා ඉවත් කර මාඕ ඡායාරූප තබන ලදි. පැවිද්දන්ව ‘පොර බදින’ සටන්වලට බලහත්කාරයෙන් යැවීම නිසා ඔවුන් බොහොමයක් එහි දී මිය ගියහ. රතු මුරකරුවන් ආරාමවලට පහර දුන්හ. ඒවායේ ප්‍රතිමා, පොත්පත් සහ වන්දනා වස්තු විනාශ කර දැමීමත්, වටිනා වස්තු පැහැර ගෙන යාමත් සිදු කළහ. ලාසා හි 7 වැනි සියවසේ ආරම්භ වූවා යැයි සැලකෙන ජොකැන්ග් පංසලට ඇතුල්වන ස්ථානයේ වූ ශාක්‍යමුණි ප්‍රතිමාව ඔවුන් ටිබෙට් සහ චීන සම්බන්ධය පෙන්වීම සඳහා තබාගත්හ. ඒත් ජොකැන්ග් ආරාමය චීන සොල්දාදුවන්ගේ හමුදා වාසස්ථානය බවට පත්විය.

බොහෝ ටිබෙට් වැසියන් සමූල ඝාතනය කිරීම සිද්ධ වූවා යැයි සැලකෙන්නේ 1968 අවසාන කාලයේ දී ය. ඒ මාඕ පාර්ශවයන් එකිනෙකා අතර කරගත් සටන්වල ප්‍රතිඵලයක් හැටියට සිය ගණනක් ලාසා වැසියන් මිය ගියහ.

1956 දී ටිබෙටන් අලුත් අවුරුදු උත්සව පැවැත්වෙද්දී, බාටන්ග් හි Chode Gaden Phendeling ආරාමය ගුවනින් හෙළූ බෝම්බ ප්‍රහාර වලින් සුන්නත් දූවිලි කර දමන ලදි. වැඳ පුදා ගන්නට හා බැතිමතුන් ඇතුළු ලාමාවරුන් 2,000 ක් මිය ගියහ.

ටිබෙට් අයට වෙඩි තැබුවා පමණක් නොව ඔවුන්ට මිය යන තෙක් පහර දුන්හ. කුරුසවල ඇණ ගැසූහ. පණ පිටින් පුළුස්සන ලදි. මිය යන තෙක් කුසගින්නේ තැබීම, ගෙල මිරිකා මරා දැමීම, අඟපසඟ විකෘතිය, ගිල්වා මැරීම, එල්ලා මැරීම, පණ පිටින් උණු දියේ දමා මැරීම, පණ පිටින් වැළලීම, ඇඟ ඇද ඉරා මැරීම මෙන්ම හිස ගසා දැමීම ද සිද්ධ විණ.

1959 දී ලාසා අල්ලා ගැනීමට විරුද්ධකරුවන් සමත්වීමෙන් දිග හැරුණේ ටිබෙට්හි අඳුරුම ඛේදවාචකය ලෙස හැඳින්වෙන්නයි. නැගෙනහිර ටිබෙට් දේශයේ ඛාම් හි උද්ඝෝෂණයක් ඇතිවීමෙන් පසුව විරෝධීන්ට ලාසා අල්ලා ගන්නට හැකිවිය. සාමූහික වාසස්ථාන ප්‍රතික්ෂේපය ඊට මූලික වූ කරුණකි. ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්ම, සලාක වලට තිබූ අප්‍රසාදය යනාදී කරුණු මෙන්ම ඇමෙරිකාවේ CIA විසින් කොලරාඩෝ ප්‍රාන්තයේ සහ ගුවාම් හි දී පුහුණු කර එවන ලද Khampa සටන්කාමීන් ද මේ ඛේදවාචකයේ හවුල්කරුවන් වූහ. විරෝධීන්ට සිවිල් සමාජයේ රැකවරණය ලබාදීම නිසා චීන හමුදාව සිවිල් වැසියන්ට විශාල වශයෙන් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදි. තුවාල ලද්දවුන්ට සාත්තු සප්පායම් කරන්නට කිසිවෙක් නොවූහ. සමහරු පණපිටින් වළලා දමන ලද අතර අයාලේ යන බල්ලන් සමහර තුවාලකරුවන්ව බුදින ලදි.

රටේ විද්වතුන් අතලොස්ස සහ සරණාගතයන් ලක්ෂයක් සමඟ දළෙයි ලාමා ඉන්දියාවට පැන යාම නිසා කොමියුනිස්ට් චීනය ටිබෙට් හි රැඳී සිටි ලාමා අනුගාමිකයන්ව දැඩි සේ පීඩාවට පත් කළහ. ඔවුන් ස්වාධීනත්වය අගය කළවුන් මෙන්ම ප්‍රචණ්ඩත්වය හෙළා දැකි ආරාම අසල එඬේර ලෙස ජීවත් වූ පිරිසකි. ඔවුන්ට සාමූහිකරණ පිළිවෙත් මානසිකව දරා ගැනීමට නොහැකි විය.

1969 දී තවත් දැවැන්ත උද්ඝෝෂණයක් හටගති. 1972 දක්වා Khampa ගරිල්ලා භටයන් සටන් වැදුණහ.

දේශපාලන සිරකඳවුරු වලට යැවීම නිසා ටිබෙට් වැසියන් 173,000 ක් මිය යන ලද බව 1984 දී දළෙයි ලාමා කියා සිටියේය. සමස්ත ලාමා පැවිදි පරපුරම මාඕ ගෙනෙන ලද සංස්කෘතික විප්ලවය තුල දී ගල් අඟුරු පතල්වල වහල් සේවයට යොදවා තිබිණ. ටිබෙට් නිදහස අත්හැරීමට අකමැති වීම ලාමාවරුන්ට එල්ල වූ චෝදනාවකි. සෑම වැඩිහිටි පිරිමි හතර දෙනෙකුගෙන් එක් අයෙක් ලාමා කෙනෙක් වීම නිසා සියළු වැඩිහිටි පිරිමින්ව සැකයට බඳුන් වූහ.

ටිබෙට් හි Sichuan තැනිතලා බිම් ප්‍රදේශයේ තුනෙන් දෙකක ජනතාවක් 1950 ගණන් හි අත් අඩංගුවට ගෙන 1964 නැත්නම් 1977 වෙන තුරුම නිදහස් නොකරන ලදි. Panchen Lama තම රටවැසියන්ට කරන උවදුරු ගැන මාඕට පැමිණිලි කිරීම නිසා ඔහුව සිරගෙදරට දමන ලදි. අනතුරුව 1977 දක්වා නිවාස අඩස්සියේ තබන ලදි. ඔහුගේ දඬුවම් තීන්දුව 1988 තෙක් ඉවත් නොකරන ලදි.

සංස්කෘතික විප්ලවය ඉවර වෙද්දී බෞද්ධයන්ට වතාවත් සඳහා විවෘත වූ ස්ථාන 6,259 න් විවෘතව තිබුනේ 13 ක් පමණි.

1973 වෙද්දී බෙයිජිං හි වාත්තු වැඩපොළ ටිබෙට් ප්‍රතිමා ටොන් 600 ක් උණුකර දමා තිබුණි.

1983 දී ලාසා වෙතින් ආ දූත පිරිසක් ටිබෙට් වෙතින් හොරාගත් ප්‍රතිමා රූප 13,537 ක් බෙයිජිං නගරයේ තිබෙන බව සොයා ගත්හ.

බෞද්ධාගම තුරන් කරනු පිණිස අලුත උපදින ලද ටිබෙට් දරුවන්ට චීන නම් දමා තිබිණ.

1979 තෙක් පාසැල්වල සියළු පංති පැවැත්වූයේ මැන්ඩරින් භාෂාවෙන් විය.

රතු මුරකරුවන් ටිබෙට් අයගේ දිගු කොණ්ඩා කපා දමා හන් විලාසිතාවේ චීන ඇඳුම් අඳින්නට යැයි මුළු ටිබෙට් ජාතියටම අණ කළහ.

ලංකාවේ දළදා මාලිගාව වැඳ පුදා ගන්නට කැමැත්තෙන් සිටින දළෙයි ලාමාට ඊට අවස්ථාවක් නොලැබෙන්නේ චීනය තරහ කරගන්නට පාලකයන් තුල ඇති අකමැත්ත හේතුවෙනි. ඒත් බොහෝ ලාංකිකයන් අහිතකර යැයි කියමින් කතාබහ කරද්දී සඳහන් කරන්නේ බටහිර හා ඇමෙරිකන් බලපෑම් පමණි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. kasunmathota said, on ජූලි 19, 2017 at 6:40 පෙ.ව.

    Thanks for the information. I met some people fled Tibet. Now they introduce them as Nepal citizens.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: