අරුණි ශපීරෝ‍ වෙතින්

උද්යාචනයට ඉඩ නැති උතුරු කොරියාව

Posted in Uncategorized by arunishapiro on ජූලි 24, 2017

ස්වයං පාලනය, ස්වාධීන, සහ ස්වයංපෝෂිත යන ත්‍රිත්වයෙන් හැදෙන ‘ජූෂේ’ යන පරමාදර්ශී සංකල්පය අනුව, දේශයේ ශ්‍රී විභූතිය මනරම් යැයි ද විදේශ බලවේග නිසා හානිකර බලපෑම් ඇතිවේ යැයි කියමින් ජනතාව ආරක්ෂා කරනු පිණිස රාජ්‍ය ප්‍රතිපත්ති හැදූ රට උතුරු කොරියාවයි. ලෝකයේ යම් ජනතාවක් ඔවුන්ගේ නොවූ තෝරාගැනීම් නිසා අසරණ වූයේ ද ඒ උතුරු කොරියාවේ අයයි.

කොමියුනිස්ට්/සමාජවාදී රටවල අයිතීන් ඉල්ලා උද්ඝෝෂණ, පෙළපාලි සහ රැළි පැවැත්වීමට ඉඩ නොදෙන්නේ ඒවායේ ආණ්ඩුවල ක්‍රියාකලාපය ගැන කිසිත් පැමිණිල්ලක් එහි මහජනතාවට නැති නිසා නොවේ. පාරිභෝගික ඉල්ලුම සපයන්නට වෙළඳපොලට හැකි වූවත්, ජනතා උද්යාචනයට ඉඩ දුන්නොත් ඒ දෑ දෙන්නට සමාජවාදී ආණ්ඩුවකට නොහැකි නිසයි.

වසර 5000 ක ඉතිහාසයක් සතු වූ උතුරු කොරියාව 1945 දී දෙකට බෙදන්නට තීරණය කළේ රුසියාව සමඟ ගිවිසුමක් අත්සන් කළ ඇමෙරිකාවයි. දකුණු කොරියාවේ පරිපාලනය ඇමෙරිකාව බාරගැනීමත්, උතුරු කොරියාවේ වගකීම රුසියාව බාරගැනීමත් සිද්ධ විණ.

උතුරු කොරියාව යැයි නමින් රට බිහිවූ මුල් වසර දෙකේදී විදේශිකයන්ට ඊට ඇතුල්වීමේ තහනමක් සෝවියට් රුසියාව විසින් පැනවීය. උතුරු කොරියන් නායකයන් වරෙක චීනයට ද වරෙක සෝවියට් දේශයට ද නැඹුරු වූව ද, ඔවුනට වූයේ ඔවුන්ගේම වූ රහසිගත රාජ්‍ය පරිපාලනයකි. සෑම සියළු තොරතුරක්ම රාජ්‍ය රහසක් හැටියට වර්ගීකරණය කිරීම සාමාන්‍යයක් හැටියට රට ආරම්භයේ පටන් පැවත එන්නකි.

ජපනුන් යටතේ 1910 සිට යටත්විජිතයක්ව සිටිය දී ස්වෛරී රාජ්‍යයක් සඳහා උද්ඝෝෂණ කළවුන් අතර කොමියුනිස්ට් අය ප්‍රමුඛත්වය ගත්හ. එනමුත් ඒ කොමියුනිස්ට් කාදර්ලා බොහොමයක් සෝවියට් පුහුණුව ලැබ සිටි නමුත් කොරියාවේ බිම් මට්ටමින් පැවති තත්වය ගැන දැන සිටියේ මඳ වශයෙනි. ඒ නිසා ඔවුන් ජපනුන් වෙතින් දැඩි මර්ධනයට ලක්වූහ.

උතුරු කොරියන් කොමියුනිස්ට්වාදයේ නිර්මාතෘවරයා කිම් ඉල් සුන් නොවේ. 1919 දී බොල්ෂෙවික් පන්නයේ කල්ලි දෙකක් එහි තිබුණි. ඒ පාර්ශව දෙක අතර ප්‍රචණ්ඩ සටන් බහුල වූහ. මුල් කාලයේ දී ලෝක කොමියුනිස්ට් මූලස්ථානය වූ මොස්කව් බොල්ෂෙවික්ස් පක්ෂය ඒ කල්ලි දෙකින් එකක්වත් නිල වශයෙන් පිළිගත්තේ නැත. ගැටුම් නිසා සිය ගණනක් කොමියුනිස්ට් කොරියානුවන් මිය ගියහ. කාලයක් තිස්සේ සටන් වැදි කොමියුනිස්ට් අය සිටිය ද, මොස්කව් මැදිහත්වී උතුරු කොරියාවේ නායකත්වය සඳහා කිම් ඉල් සුන්ව තෝරා ගත්හ.

කිම් ඉල් සුන් ජපනුන් වෙතින් රට නිදහස් කරගන්නට විප්ලවීය නායකයෙක් හැටියට කළ සටන් ගැන කිසිවක් දැනගන්නට නොමැත. රාජ්‍ය ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය දියත් වෙන්නේ ඒ ජපන් නිසිබලධාරීන් ඔහු කරන ලද වික්‍රමයන් සියල්ල ප්‍රචාරය තහනම් කරන ලද නිසා කියායි. කොමියුනිස්ට් අය බලයට පැමිණීමත් සමඟ ජපනුන් හා ගණුදෙනු කරන ලද්දවුන්, දේශපාලන විරුද්ධවාදීන්, කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ වූවන් සහ ඉඩම් හිමියන් යනාදී වශයෙන් ජනතාව ක්‍රමානුකූලව මර්ධනයට සහ තර්ජනයට පාත්‍ර වූහ. ජාතිකවාදී අදහස් වලට මුල්තැනක් ලැබිණ.

සෝවියට් දේශය අනුව උතුරු කොරියාව හැඩ ගැසිණ. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සහ සාමූහිකරණය තුලින් රටේ ජනගහණය විශාල පරිමාණයේ සංවිධාන වලට බලහත්කාරයෙන් යොමු කරවන ලදි. එක දේශපාලන පක්ෂයකින් යුතු ආණ්ඩු ක්‍රමය පටන් ගැනිණ.

1945 සැප්තැම්බරයේ දී කිම් ඉල් සුන්ට විරෝධය පෑ කල්ලිවල අය ඇතුළු කොමියුනිස්ට් නායකයෙක් වූ Hyon Chun Hoyk ව පියොන්ග්යැන්ග් හි දී වෙඩි තබා මරා දැමිණ. අත් අඩංගුවට ගැනීම් සිද්ධ විය. වසර පහක් පුරා කාලයක් උතුරු කොරියාව මොස්කව් බාරකාරත්වයේ පැවතීමට විරෝධය පෑ අයව ඝාතනය කෙරිණ. විරෝධතා මැඬලන ක්‍රමය එයයි.

දේශපාලන සිර කඳවුරු යන්න භාෂාවේ ඇතැයි පාලකයන් පිළිනොගන්නා නිසා එරටේ දේශපාලන සිර කඳවුරු නැතැයි කීම ඔවුන්ගේ නිල ප්‍රතිපත්තියයි. විප්ලවයට එරෙහි වූයේ නම් පරම්පරා තුනක් තුරන් කළ යුතු යැයි කිම් ඉල් සුන් කියා සිටියේය. ඒ නිසා, විරෝධය දැක්වූ අය පමණක් නොව පවුල පිටින්ම දේශපාලන සිර කඳවුරු වෙතට ගාල් කරති. පරම ආඥාදායකත්වය යටතේ ජීවිතය රැකගන්නට මහජනතාව තම ජීවිතයේ සෑම අංශයක දී ම පාලකයන්ගේ රූකඩයන් සේ හැසිරෙන්නට පටන් ගත්හ.

කිම් ඉල් සුන් විසින් පාලනය ආරම්භ කළේ දස දහස් ගණනින් ජනතාවක් දකුණු කොරියාව බලා පා ගමන් ඇරඹෙද්දීය. තවමත් ස්වෛරී රාජ්‍යයක් හැටියට ප්‍රකාශ කර නොතිබුණ මුල් වසර තුනේ දී මෙසේ මහත් ජනගහණයක් ඉවත් වී යෑම ගැන කොමියුනිස්ට් නායකයන් කළබල වූයේ නැත. ඔවුන් සිතුවේ වැඩිකල් නොයා මුළු දේශයම එකම කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්වෙනවා නිසැකයි කියායි. පටන්ගත් මුල් කාලයේ දී කෘෂිකාර්මික දකුණු කොරියාවට වඩා මහා පරිමාණ කාර්මික ක්ෂේත්‍රයේ ආරම්භය එහි දකින්නට ලැබුණි. එනිසා ඔවුන් දකුණ ආක්‍රමණය කළේ ද ජයග්‍රහණය බලාපොරොත්තුවෙනි.

සෝවියට් සහ චීනය වෙතින් ලබන සහාය යටතේ කොමියුනිස්ට් උතුරු කොරියාව ලිබරල් දකුණ අල්ලා ගනිද්දී ඇමෙරිකාව ඇතුළු අලුත උපන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ව ආපසු උතුරට තල්ලු කරන්නට යුද්ධයට ගියහ. අනුන්ගේ රටවල යුද්ධ කරන්නට යන ඇමෙරිකාවට වෙනත් හැම වතාවක දී සේ ම, ඒ ගැනත් පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොතිබුණි.

සෝවියට් දේශය කඩා වැටීමත් සමඟ සෝවියට් රටවල් ස්වාධීන වී කොමියුනිස්ට් පීඩනයෙන් ඉවත්ව දියුණු වන්නට පටන් ගනිද්දී උතුරු කොරියාව ආර්ථික වශයෙන් බංකොළොත් විය. දකුණු කොරියාව අද ඔවුනට වඩා සශ්‍රීක බව නිල වශයෙන් පිළිගන්නා රජය තම රටවැසියන්ට කියන්නේ පිවිතුරු කොරියානුවන් යන ප්‍රෞඪත්වයෙන් උදම් විය යුතු යැයි කියායි.

නායකත්ව වන්දනාව සඳහා ඉහළ ලකුණු ලැබූ අයට පමණක් පියොන්ග්යැන්ග් නගරයට ඇතුල්වීමට අවසර ඇත. ජුෂේ යන පරමාදර්ශය අනුව ඕනෑම දෙයක් වැරදි දැයි නිවැරදි දැයි වර්ගීකරණයට පාලකයන්ට බලය තිබේ. හාමතෙන් සිටින අය එසේ නොවේ යැයි පාලකයන් තීන්දු කළහොත් බඩගිනි යැයි කියන්නට කිසිවෙකුට අවසර නැත. සෑම පුද්ගලයෙක් ගැනම අවධාරණයෙන් සිට ඔත්තු සපයන්නට තවත් අයට ඉඩ තිබේ. දඬුවම් ලබන්නේ නීති කඩන අය පමණක් නොව පවුල පිටින්ම බව සියල්ලන්ම දන්නා නිසා රටෙන් පළා යන අය පවා ඥාතීන් සිහිවී නැවත යන හැදියාවෙන් යුතුයි.

රජයට, පරිපාලනයට, රාජ්‍ය දේපල වලට, අනෙකුත් අයට කරන වැරදි, සහ හමුදා වැරදි යනාදී මරණ දණ්ඩනය ලබන වරදවල් 47 ක් ඇත. 1958-1960 දක්වා කාලයේ දී පක්ෂයෙන් 9,000 ක් ඉවත් කර මරා දමන ලදි. තවත් පක්ෂ ශුද්ධ කිරීම් 9 ක දී 90,000 ක සංඛ්‍යාවකට මරණය අත්වූහ.

එවැනි පක්ෂ ශුද්ධ කිරීමකට ලක් වූ Li Sun Ok මහත්මිය, වතුර සහ විදුලියෙන් ශාරීරික වධ විඳ අනතුරුව වසර 13 කට සිරගත වූවාය. සිර කඳවුර යැයි නම් නොවූ සිර කඳවුරේ 6,000 ක් පිරිසක් සිටියහ. උදෑසන 5:30 සිට රාත්‍රි මැදියම දක්වා ඔවුන් සපත්තු මැහීම, බෑග්, බෙල්ට්, තුවක්කු රඳවන කොපු සහ කෘතීම මල් යනාදිය නිෂ්පාදනයේ යෙදුනහ. රැඳවුම්කරුවන් අතර කාන්තාවන් 2,000 ක් පමණ වූ අතර ගැබ්ගත්තේ නම් ඔවුන්ව ප්‍රචණ්ඩ ලෙසින් ගබ්සා වූහ. එහි දී දරුවෙක් ඉපිද අසුවූයේ නම් එක්කෝ හුස්ම හිර කර නැත්නම් බෙල්ල කපා මරා දැමීම සාමාන්‍යයක් විය.

තමන්ගේ හෝ අනුන්ගේ ජීවිත අයිතියක් ගැන උද්යාචනයට ඔවුනට අවසර නැත.

අලි ලමේදා වෙනිසියුලාවේ වැසියෙකි. කොමියුනිස්ට් ක්‍රමය ප්‍රිය කළ කිවිඳෙකි. ඔහු උතුරු කොරියාවට කැමැත්තෙන් ගියේ කිම් ඉල් සුන් ලියූ දේවල් පරිවර්තනයටයි. එහෙත් උතුරු කොරියන් වැසියන් දිනපතා මුහුණ දෙන ඛේදනීය තත්වය හමුවේ දී ඒ ගැන ගෙදරට ලියුම් ලියූ විට ඔහුව ඔත්තුකාරයෙක් යැයි තීන්දු විය. වසර 6 ක් සිරගත කෙරිණ. එහි දී දවසකට පැය 12 ක් වැඩකරන්නට ඔහුට සිද්ධ විය. එහි සිර කඳවුරුවල ලක්ෂ අටක පමණ පිරිසක් රඳවා ඇතැයි සැලකේ.

දයාබර නායකයා නමින් කිම් ජොන්ග් ඉල් ගැන නිල නොවන චරිතපදානයෙන් මයිකල් මැලිස් මෑතක දී උතුරු කොරියාව ගැන ලිවීය. එය සහ කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරින් මේ සටහන ලියමි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Manoj said, on ජූලි 25, 2017 at 1:40 පෙ.ව.

    උතුරු කොරියාවේ ළමා කාලය ගත කර පසුව ඉන් පලා ගිය අයෙක් ලියු කෘතියක සිංහල පරිවර්තනයක් මා කලකට පෙර කියවූවා.මේ ඒ ගැන මා ලිවූ සටහනක්.http://manogeloka.blogspot.com/2016/01/blog-post_18.html

    ලෝකේ අනිත් ඕනෑම රටක් ගැන අපිට ඉතා සුළුවෙන් හෝ හොයා ගන්න පුළුවන් උනත් උතුරු කොරියාවේ එහෙමෙ හැකියාවක් ඇත්තේම නැති තරම් වෙන්නේ.උතුරු කොරියාව ලෝකෙන්ම හුදකලා වෙලා කටයුතු කරන නිසා විය යුතුයි.

    • arunishapiro said, on ජූලි 25, 2017 at 8:13 ප.ව.

      Manoj,

      ඔබ ලියූ සටහන කියෙව්වා. බෙදාගත්තාට ස්තූතියි.

      උතුරු කොරියාව කොමියුනිස්ට් රටවල් අතර ද විශේෂයෙන් හුදකලා වෙච්ච එකක්.

      ඇමෙරිකාවේ සිද්ධ වෙන බොහෝ දේවල් ගැන මෙහෙ ඉන්න අය දැනගනිද්දී ම මුළු ලෝකයම දැනගන්නව. ඒත්, ජනතාවගේ නිදහස වෙනුවෙන් කියා සමාජවාදී ක්‍රමය ගෙන යන රටවල් වල සිද්ධ වෙන දේවල් දැනගන්න හැම තැනින්ම හොයන්න ඕන. උදාහරණයක් හැටියට පහුගිය සති අන්තයේ කියුබාවේ ආණ්ඩුව රජය විවේචනය කළ 70 දෙනෙක් අත් අඩංගුවට ගත්ත. ජූලි 26 වැනි සඳුදා, වෙනිසියුලාවෙන් 26,000 ක් ජනතාව කොලොම්බියාවට පැනලා ගියා. දැන් කොලොම්බියාවේ ගණිකා වෘත්තියෙ නියැළෙන්නට වෙනිසියුලානු කාන්තාවන්ට නීතිමය අවසර දීලා තියෙනව, නැත්නම් ඒ රටට බරක් වෙනවනේ!

  2. Yasas said, on ජූලි 25, 2017 at 7:58 පෙ.ව.

    Hi ,mama obage lipi keepayak pahugiya dinawala kiyewwa,’sitehen wada ganna hati’ lipiya 2010.Ema lipiya mama asawen kiyewwa,mama thawama igena ganna sisuwek,
    Oba ehi sadahan kara thibu akarayata eka warin padam mathaka thaba gatte keseda,
    Mata wistarayak labadiya hakida,
    Sthuthi.

    • arunishapiro said, on ජූලි 25, 2017 at 8:15 ප.ව.

      Yasas,

      ස්තූතියි කියවන්න පැමිණියාට.

      //පොත් කියවද්දී එක වරින්ම ධාරණයට සමත් වීමි// සරලව පැහැදිලි කළොත් මෙහෙමයි:

      පොතක් කියවද්දී වෙන අනන් මනන් ගැන සිතට දුවන්න ඉඩ නොදී, ඒ කියවන දේ ගැන සිත යොමුකරන්න.

      පාඩම් කළාට මතක නැහැයි කියන අයට, වැල් වටාරම් එක්ක කියවන කතන්දර හොඳට මතක තියෙනව. එතකොට විතරක් සිත යොමු කරගෙන කියවන නිසා.

      අවශ්‍ය ඒ අවධානය පාඩමට යොදවන එක.

      සිත වෙන අහක දුවනවා නම්, හඬනඟා කියැවීමෙන් අවධානය රඳවා ගන්න පුළුවන්. නැත්නම් කියවන කරුණු අතරින් වැදගත් කොටස් සාරාංශ කරල සටහන් ගහන්න පුරුදු වෙන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: