අරුණි ශපීරෝ‍ වෙතින්

වියෙට්නාම් කොමියුනිස්ට්වාදය

Posted in Uncategorized by arunishapiro on ජූලි 25, 2017

බටහිර ඇතුළු ලෝකයේ බොහෝ පිරිසකට උවමනා වූයේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය තවත් ස්ටාලින් වැනි රෙජිමයක් නොවන බව විශ්වාස කරන්නටයි. වියට්නාම් කොමියුනිස්ට්වාදීන් ජාතික අරමුණු පෙරදැරි කරගත් බව ඔවුන් ප්‍රංශ, ඇමෙරිකන්, චීන සහ ජපනුන්ට එරෙහිව සටන් වදිනා විට මනාව පෙන්නුම් කළහ. සෝවියට් දේශයෙන් සහ චීනයෙන් ආධාර ලබාගැනීම පිණිස මූලික වශයෙන් ජාතිකවාදී වූවක් කොමියුනිස්ට් ලේබලයක් පාවිච්චි කළා පමණක් යැයි හිතන්නට බොහෝ පිරිසක් කැමති වූහ. ඒත් ජාතිකවාදය සහ කොමියුනිස්ට්වාදය එකට එකතු කරන්නට ස්ටාලින් හෝ මාඕ විධි ක්‍රමයක් නැතිව කළ නොහැකි බව දකින්නට වැඩිකල් ගියේ නැත.

ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂයේ (ICP) ආරම්භය මුල පටන්ම වියවුල් විය. පක්ෂයේ සාමාජිකාවක් ලිංගිකව දූෂණය කිරීම නිසා පක්ෂය විසින් සාමාජික වරදකරුවාට වෙඩිතබා මරා ඔහුගේ මළසිරුර පුලුස්සා දමන ලදි. ඒ ගැන පක්ෂ ක්‍රියාකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ගිය නඩුව ආන්දෝලාත්මක ලෙසින් දිග හැරුණි.

චීන Jiangxi මොඩලය අනුසාරයෙන් පක්ෂය 1931 දී Nge Tinh හි ‘සෝවියට්කරණය’ සඳහා පිවිසුනේ රටේ භූමිය චීනය හා සසඳද්දී ප්‍රමාණයෙන් කොතරම් කුඩා දැයි නොසලකා හරිමිනි. පළාතේ සිය ගණනක් අයිතිකරුවන් ගෙන් ඉඩම් අල්ලා ගනිද්දී ඔවුන් ප්‍රදේශයෙන් ඉවත් වී ගියහ. එහි දී යටත්විජිත හමුදාවලට ආපහු භූමිය අල්ලා ගැනීමට හැකියාව ලැබිණ.

වියෙට් මින්හ් නමින් හැඳින්වුනේ ස්වාධීන වියෙට්නාමයක් පැතූ අයයි. ඔවුන් යටතේ වූ “එකාබද්ධ පෙරමුණ” අස්සේ ICP සැඟවී සිටියහ. මුල පටන් වැඩ වරද්දා ගත් ඔවුන් 1945 වසන්තයේ දී නිසි පරිදි ගෙනා අවිගත් මෙහෙයුම “ප්‍රතිවිප්ලවාදීන්” සහ “දේශද්‍රෝහීන්” යන කොටස් ඉලක්ක කරගත්තක් විය. වියෙට්නාම් ජාතිකවාදීන්ට වඩා අවි බලය වැඩියෙන් පැවති ජපන් හමුදා වෙනුවට වැඩියෙන් මරා දමන ලද්දේ තමන්ගේම ජනතාවයි. “ව්‍යාපාරයේ උන්නතිය සඳහා වෙඩිතැබීමේ මෙහෙයුම ඉක්මන් කළ යුතුයි” යැයි පක්ෂයේ ඉහළ නායකයෙක් කියා සිටියේය.

ඉඩම් හිමියන් සහ පළාත් මූලිකයන් (mandarins) මරණයට ඉලක්ක වූහ. ජනතා උසාවි වලින් ඔවුන් වරදකරුවන් යැයි තීන්දු කර ඔවුන්ගේ දේපල රාජ සන්තක කෙරිණ. සාමාජිකයන් පන්දාහක් පමණක් සිටි, එවක එතරම් ශක්තිමත් පක්ෂයක් නොවූ ICP ගැන විවේචනය කළ අයව භීෂණයට ලක්වූහ.

දායි වියෙට් නමින් හැඳින්වුනේ ජපනුන් සමඟ හවුලේ සිටි ජාතිකවාදී පක්ෂයයි. හැනෝයි වලින් විදුලි බලය සපයන ජෙනරේටරයක් ඉල්ලා යැවූ වියෙට් මින්හ් බලකායේ Son Tay නැමැත්තා, එය අවශ්‍ය “දේශද්‍රෝහීන්ට” මහා පරිමාණයෙන් වදහිංසා පමුණුවන්නට යැයි කියා සිටියේය.

ICP ට අවශ්‍ය වූයේ රට තුල වියවුල් වාතාවරණයක් ඇති කිරීමෙන් පාලන බලය සඳහා ඉඩක් පාදා ගෙන ජාතිකවාදී මෙහෙවරේ නායකත්වය අල්ලා ගැනීමටයි. ජපනුන් යටත් වූ අගොස්තු විප්ලවය, නව රාජ්‍යය තුල ප්‍රධාන තැනට ICP ගෙනැවිත් හෝ චි මින්හ්ව ප්‍රමුඛ ස්ථානයට පත්කරන ලදි.

චීන හමුදා උතුරෙන් ද, ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා දකුණෙන් ද, එන්නට ගෙවී ගිය සති කිහිපය ඇතුලත හැනෝයි සිටි ඔවුන්ගේ සෙසු සියළු තරඟකරුවන් තුරන් කරදමන්නට ICP විසින් මෙහෙයුම තීක්ෂණව ගෙන ගියහ. දේශපාලන ආගමික, දේශපාලන දක්ෂිණාංශ යනාදී පමණක් නොව සයිගොන් ප්‍රදේශයේ යාන්තමට සිටි ට්‍රොට්ස්කිවාදීන් ඇතුළු රටේ විරුද්ධ පක්ෂයන්හි සිටි නායකයන්ව මෙම ත්‍රස්තවාදයට ගොදුරු වූහ.

හැනොයි වියෙට් මින්හ් පුවත්පතකින් කියා සිටියේ සියළු ජනතාව විසින් තම ගමේ සහ අසල්වැසියන් අතර “දේශද්‍රෝහීන් තුරන් කරන” කමිටු පිහිටුවා ගත යුතු බවයි. ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය හමුදා වලින් සයිගොන් ආරක්ෂා කරගැනීමට උදව් කළ සිය ගණනක් ට්‍රොට්ස්කිවාදීන්ට වෙඩි උණ්ඩ නොදී, ආහාර නොදී, අමු අමුවේ මරා දැමිණ. සෝවියට් මොඩලයට අනුව රාජ්‍ය ආරක්ෂක සංවිධානයක් පිහිටුවා සිරගෙවල් පුරවන්නට පටන් ගැනිණ.

වියෙට් මින්හ් “පහර දෙන ඝාතන කමිටුවක්” හදා වීදිවල පාගමන් කරවීය. එහි සාමාජිකයන් පාතාල කල්ලි වලින් එකතු කර ගත් අයයි. ප්‍රංශ ජාතිකයන් හා විවාහ ගත් වියෙට්නාම් කාන්තාවන් ඝාතනය වූහ. ප්‍රංශ විරෝධී ශුද්ධ කිරීම් පවත්වමින් ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් විකෘති කළ මළ සිරුරු පාරේ දමා ගියහ. පැහැර ගැනීම් සහ වෙඩි තබා මරා දැමීම් දහස් ගණනින් සිදු කළහ. පසු කාලයක දී ICP ප්‍රසිද්ධියේම කියා සිටියේ ඒ අවස්ථාවේ දී ඊට වඩා ප්‍රමාණයක් මරා දමන්නට නොහැකි වීම ගැන කණගාටුවයි.

1946 දී ඉන්දුචීන යුද්ධය දිග හැරෙන්නට පෙර ICP පාලනය යටතේ පැවතියේ උතුරු පෙදෙස පමණි. එහි රහසිගත රැඳවුම් කඳවුරු තිබිණ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, ප්‍රංශ යටත්විජිත පාලනයට එරෙහිව කරන සටන් නාමයෙන් රැඩිකල් ජාතිකවාදී පාක්ෂිකයන් තුරන් කර දමන්නට ICP ට හැකිවිණ. ප්‍රංශ හමුදා භටයන් 20,000 න් ජීනිවා සාම සම්මුතිය 1954 දී අත්සන් කිරීමත් සමඟ ගලවා ගැනෙන්නේ 9,000 ක් පමණි. ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් නොදීමත්, උවමනාවෙන්ම ආහාර නොමැතිව තැබීමත්, සහ නිතර පහර දීම වලට ලක්වීමත් නිසා සෙසු පිරිස කඳවුරු තුල මිය ගියහ. කෙසේ වෙතත්, ප්‍රංශ ජාතික සිරකරුවන්ට වඩා දැඩි ලෙසකින් දකුණු වියට්නාම් වැසියන් පීඩනයට ලක්වූහ.

1953 දෙසැම්බර් මාසය වෙද්දී, වියෙට් මින්හ් විසින් ජය නිශ්චිත යැයි දකිද්දී, තමන් යටතේ වූ ප්‍රදේශයන්හි කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ පටන් ගත්හ. 1956 වසර අවසානය වෙද්දී උතුරු ප්‍රදේශයේ සියළු භූමිය එම ප්‍රතිසංස්කරණ වලට භාජනය වී සිටියහ. ඒවා සියල්ල 1946-1952 දක්වා චීනයේ වූ පිළිවෙත්ම වූහ. ඉඩම් ජනසතු කිරීම මාර්ගයෙන් ගෙනෙන ලද්දේ ආර්ථිකයේ පාලන බලය අල්ලා ගැනීමයි.

ජාතිකවාදී ලක්ෂණය ඉස්මතු කර දැක්වීම නිසා ගම්බද සාම්ප්‍රදායික එලීට් ජනතාව වියෙට් මින්හ් වෙතට සිය ප්‍රසාදය දැක්වූහ. ICP ලෙසින්ම වියෙට් මින්හ් ද, සිය පක්ෂ ක්‍රියාකරුවන්ගේ මාර්ගයෙන් සියළු ගම්මාන වැසියන් අතර මහජනතාව ඉදිරියේ අහන නඩු සඳහා සිය අසල්වැසියන් පාවා දෙන්නට යොමු කළහ. සමහර විට ඔවුන් රංගන කණ්ඩායම් පවා යොදාගත්හ. 5% ක කෝටාවක් පුරවන්නට හතුරන් අල්ලා ගැනීම කළ යුතු වගකීමක් හැටියට ජනතාවට ගිල්ලවන ලදි. චීනයේ ලෙසින්ම, මුළු පවුලම වරදක් සඳහා දඬුවම් විඳිය යුතු විය.

වියෙට් මින්හ් බලකායේ සෙබළුන් දෙදෙනෙකුගේ මවක් වූ කාන්තාවක් සාර්ථක ව්‍යවසායකයෙකු සහ ඉඩම් හිමි ධනපතියෙක් වූ නිසා දඬුවම් විඳින්නට තෝරා ගැනුනේ ඇය විප්ලවයට සහාය දුන් බව නොසලකා හරිමිනි. ගමේ වැසියන් ඇයට දඬුවම් කරන්නට ඉදිරිපත් නොවෙද්දී, චීනයේ පුහුණුව ලත් කණ්ඩායමක් පිට ගමකින් ගෙන්වන ලදි. ලෝන්ග් මහත්මිය අඳේට වැඩ කළ තුන්දෙනෙක් මරා දැමුවා යැයි ද, ප්‍රංශ වැසියෙක් හා යහන්ගත වූවා යැයි ද, ප්‍රංශ අයට ඔත්තු සැපයුවා යැයි ද කියා චෝදනා එල්ල කළහ. වද හිංසා සහ උද්ගත වී ඇති තත්වය දරාගත නොහැකි ශෝකයෙන් ඇය සියළු වරදවල් පිළිගත් විට ඇයට මරණ දණ්ඩනය නියම විය. ඇයගේ පුතා එවක දී චීනයට ගොස් සිටියේය. ඔහුව ගෙන්වා ඔහුගේ නිලතල අයින් කර, මෙඩල් ගලවා, ඔහුව වසර දෙකකට සිරබාරයට යවන ලදි.

වරදක් කළා යැයි චෝදනාව එල්ල වීම නිසා පමණින් වරදකරුවෙකු වීම චීනයේ ලෙසම සිද්ධ විණ. පක්ෂයට කිසි විටෙක වැරදෙන්නේ නැති නිසා කරන්නට සිද්ධ වෙන්නේ අපේක්ෂා කරන පරිදි සමාව ඇයදීම පමණි. වරදක් කළේ නැතැයි ඔප්පු කරන්නට ඉඩක් නොලැබුණි.

කොමියුනිස්ට්වාදයේ කළු පොතේ වියට්නාම් සහ ලාඕස් පරිච්ඡේදය ඇසුරින් මේ සටහන ලියමි. මූලාශ්‍ර, දත්ත සහ වැඩි විස්තර අවශ්‍ය අයට ඒවා එතැනින් ලබාගත හැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: