අරුණි ශපීරෝ‍ වෙතින්

එක හතුරෙක් නොනැසේ නම් ඊට අහිංසකයන් දහයක් ඝාතනය වීම හොඳයි

Posted in Uncategorized by arunishapiro on ජූලි 28, 2017

මිනිසා වෙනස් වෙන්නේ ඔහුගේ අදහස් වෙනස් වෙද්දී ය. යම් ක්‍රියාවකින් ලැබෙන විපාකය අයහපත්, විනාශකාරී හෝ නිෂ්ඵල යැයි අවබෝධයක් ලැබීම නිසා එයින් ඈත්වීමත්, සමහර අවස්ථාවල දී දැන දැනම එහි නියැළීමත් වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවයයි.

තම යහපත වෙනුවෙන් වෙනස් වෙන්නට යම් පුද්ගලයෙකුට උවමනාවක් නැත්තේ ද, බාහිර ක්‍රමයකින් එය ඔහු වෙනුවෙන් ඉටු කළ හැකියාවක් ලොව නොමැත. රූකඩ රටවැසියන් ඔවුන්ගේ ජීවිත හෝ සමාජයේ යහපත සහ සශ්‍රීකත්වය තිරසාර ලෙසින් සාධනය කළ අවස්ථාවක් ඉතිහාසයෙන් දකින්නට නොලැබේ.

අදහස් තුලින් නොව, භෞතිකව සහ හුරුවෙන් මිනිස් ස්වභාවය වෙනස් මාර්ගයකට යොමු කළ හැකි යැයි ද, එය නොවැරදීම උදාවෙන අනාගතය වේයැයි ද කියා, “විද්‍යාත්මක ක්‍රමයක්” හැටියට අදහසක් ඉදිරිපත් කළේ කාල් මාක්ස් විසිනි. එයින් බලතණ්හාධික දේශපාලකයන්ට රටවැසියන් රූකඩ සේ නටවත හැකි අගනා පොටක් පෑදිණ.

කුරිරු දේශපාලන මතයක් සඳහා සාමකාමී උද්ඝෝෂණයක යෙදෙන්නේ නම් ඒ පුද්ගලයාව අත් අඩංගුවට ගත යුතුය යන්න වැරදි දැක්මකි. මුග්ධ අදහස් වුවද ලොවට හඬගා කියන්නට යමෙක් ඉදිරිපත් වෙයිද එයට ඉඩදීම තුලින් ඒ අදහස් මුග්ධ යැයි පෙන්වා දෙන්නට අවස්ථාව විදග්ධයන්ට පෑදේ.

කාල් මාක්ස් ලියූ අදහස් නිසා කොතරම් විනාශකාරී තත්වයක් ලොව හටගන්නේදැයි පැහැදිලි කරන්නට ලොව සිටියේ දේශපාලනඥයන් නොවූ විදග්ධ ස්වල්පයකි. අදහස් වලින් හරඹ කරන්නට නොදන්නාකම නිසා, මාක්ස්වාදයට විරෝධය පෑ බොහෝ දේශපාලනඥයන් ගියේ හමුදා සහ පොලීසිය සන්නද්ධ කර කුරිරු අදහස්හි එල්බ ගත්තවුන් යටපත් කරන්නටයි. එක පැත්තකින් කුරිරු මතවාදය පමණක් පෙළ පොතෙන් හුරුකරවමින්, අනතුරුව ඒ නිසාම අයහපත් විපාක ලැබෙන ක්‍රමය වෙනුවෙන් රටවැසියන් උද්යාචනය කරද්දී, අදත් ලෝකයේ බොහෝ රටවල නායකයන් ඊ ළඟට ජනතා මර්ධනය සඳහා ප්‍රචණ්ඩත්වය යොදා ගනිති.

යහපත් විපාක ලැබෙන අදහස් අවබෝධයෙන් පමණක්ම බහුතරයට යහපත උදාවෙන බව ප්‍රචණ්ඩත්වයෙන් තොරව පැහැදිලි කරන්නට පෙනී සිටින, දේශපාලන නොවූ, විදග්ධ ස්වල්පයේ කාර්ය භාරය මේ නිසා ඉතා දුෂ්කර වූවක් බවට පත්වී ඇත.

ඇමෙරිකාව යුද්ධයට සම්බන්ධ වූ තැන දී පටන් පමණක් වියට්නාම් යුද්ධය ගැන දන්නා ලොව බහුතරය, ඊට පෙර වියට්නාම් කොමියුනිස්ට්වාදීන් ඔවුන්ගේම රටේ ජනතාව කොතරම් සංඛ්‍යාවක් මරා දැමුවා දැයි නොදනිති.

“හුදී ජනතාව ලවා අවිගත් පෙරමුණක් හදන්නට නම්, පළමුවෙන් ඔවුන් තුල ද්වේෂය පුරවන්නට අවශ්‍යයයි.” -ල ඩක් තෝ, ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂය.

1956 ජනවාරි මස Nhan da (මහජනතාව) නමින් වූ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත් ලිපියක දැක්වෙන්නේ “මුලිනුපුටා දමන තෙක්, ඉඩම් හිමි පංතිය කිසිදා නිහඬ කරවනු නොහැකි” බවයි. මිනිස් ජීවිත මිලියනයක් ඝාතනයෙන් පසුව, වසර 30 ක් ගෙවී යද්දී, 1986 දී ඔවුන්ට ඉඩම් හිමි පංතියක් නැතිව ආර්ථිකය බේරාගන්නට නොහැකි බව අවබෝධ විණ.

කුරිරු මතවාදය පෙරදැරි කරගත් භීෂණය වියට්නාම් ඉතිහාසයේ නොවූ විරූ ලෙසකින් පැතිර ගිය ලද්දකි. “එක හතුරෙක් නොනැසේ නම් ඊට අහිංසකයන් දහයක් ඝාතනය හොඳයි,” යන චීන කියමන ඔවුන් සිය ප්‍රචණ්ඩත්ව දේශපාලනයට යොදා ගත්හ. අදහස් කුරිරු වෙද්දී, දරුණු වධ හිංසා සාමාන්‍යයක් විණ.

‘නිරවද්‍ය කිරීම’ යන පරමාදර්ශය 1951 පටන් ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය අනුගමනය කරන ලද්දකි. 1952 සිට 1956 දක්වා එය නිති යොදන ලද්දකි. ශාරීරික වධ හිංසා කොතරම් ප්‍රථුලව පැතිර ගියාදැයි කිවහොත්, ගැලවුම්කරුවන් කියාගත්තවුන් පීඩකයන් බවට පත්වෙන ආකාරය හෝ චී මින්හ් ද දැකීය. 1954 අවසානයේ දී සිය පක්ෂ කාදර්වරුන්වම මෙල්ල කරගන්නට හේ වධ හිංසා තහනම් කරන ලදි. එහි දී හෝ චී මින්හ් කියා සිටියේ වධ හිංසා යනු අධිරාජ්‍යවාදීන්, ධනවාදීන්, සහ වැඩවසම් ඉඩම් හිමියන් විසින් මහජනතාව ගෙනෙන විප්ලවය මර්ධනයට යොදාගත් ම්ලේච්ඡ ක්‍රමය හැටියටයි. වධ හිංසාව යම් තරමකට මෙල්ල වූවත් ප්‍රතිවාදීන් ඝාතනය පිළිගත් ක්‍රමවේදයක් හැටියට ගෙන යන ලදි.

සෙසු කොමියුනිස්ට් රටවල් හි පැවති සේ ම, ප්‍රතිවාදීන් මරා දැමීමෙන් නිරවද්‍ය ක්‍රමයට පිවිසිය යුතු යැයි සලකන වියෙට්නාමයේ ද, කොමියුනිස්ට්වාදීන් අතරම පැවති බල අරගලය දරුණු වූයේ 1956 දී ය. වියෙට්නාම් ජනතාවගෙන් 5% ක්, බොල්ෂෙවික් විරෝධී ප්‍රතිවිප්ලවවාදීන් හැටියට සැකයට පාත්‍ර වූහ. එපමණක් නොව ඉන්දුචීන යුද්ධයේ දී වීරයන් වූ කොමියුනිස්ට් කාදර්වරුන් පවා මෙම බල අරගලයේ දී දේශපාලන සිරකඳවුරු වලට යැවිණ.

එක් කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරයෙක් වෙඩි තබන තම පක්ෂයේම අවිගත් පිරිස ඉදිරියේ මැරී ඇද වැටුනේ “ඉන්දුචීන කොමියුනිස්ට් පක්ෂය සදා දිනේවා!” යැයි කෑ ගසමිනි. සිද්ධ වෙනුයේ කුමක්දැයි අවබෝධයට නොහැකි වූ ඔහු සිතුවේ ෆැසිස්ට්වාදීන් වෙතින් තමා මැරුම් කරනවා යැයි කියායි.

මුහුණට මුහණ ලා කළ සටන් වලින් නොව, ගම්බද පළාත්වල වෙඩි තබා මරා දමන ලද ප්‍රතිවාදීන් යැයි සැලකූ සංඛ්‍යාව පමණක් 50,000 ක් පමණ වූහ. 50,000 ත් ලක්ෂයත් අතර සංඛ්‍යාවක් සිර කඳවුරු වෙත යැවිණ. ගම්බද පක්ෂ කල්ලි වල සාමාජිකයන් අතරින් 86% ක් ශුද්ධ කිරීම් වලට ලක්වූහ. ප්‍රංශ ආක්‍රමණයන්ට විරෝධය පාමින් ජාතිකවාදී මෙහෙයුම්වල නියැළී සිටි අය අතරින් 95% ක් ශුද්ධ කිරීම් වලට ලක්වූහ. ඒ ශුද්ධ කිරීම් බාරව සිටි ප්‍රධානියාම එම මෙහෙයුම වරදක් යැයි පිළිගත්තේ මහා විශාල සංඛ්‍යා වලින් ජනතාව දකුණට පළා යන්නට පටන් ගනිද්දීය. වියෙට්නාම් වැසියන් 600,000 ක් පමණ ප්‍රංශ හමුදා රැකවරණය යටතේ දකුණුට පළා ගියහ.

දත්ත සහ මූලාශ්‍ර තුලින් අවබෝධ කරගන්නා දැනුමෙන් නොව නායකත්වයේ දැක්ම තුලින් විශ්වාසයෙන් පමණක් මත පිළිගන්නා රූකඩයන් අදත් ලෝක ඉතිහාසයේ වධ හිංසාවන් හි වැඩියෙන්ම නියැළී ඇත්තේ අධිරාජ්‍යවාදීන්, ධනවාදීන් සහ වැඩවසම් ඉඩම් හිමියන් යැයි සිතති.

කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරෙනි. දත්ත හා මූලාශ්‍ර ඉන් ලබාගත හැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: