අරුණි ශපීරෝ‍ වෙතින්

වියෙට්නාමයේ ද මිනිසා විසින් ඇති කළ සාගතයක් පැවතිණ

Posted in Uncategorized by arunishapiro on ජූලි 31, 2017

උතුරේ පාලනයට අවසර ලැබුණ ගිවිසුමේ කොන්දේසි නොසලකා හරිමින්, තමන් යටතේ වූ උතුරු වියට්නාම් වැසියන්ට සිද්ධ වන හානිය ද නොතකා හරිමින්, 1959 මැයි මාසයේ දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය, ඇමෙරිකන් රැකවරණය යටතේ පැවති දකුණු වියට්නාමයට හමුදා සහ අවි යවන්නට තීරණය කළහ. ඔවුන් උතුරේ වැසියන්ට සැලකූ ආකාරයෙන්ම දකුණේ වැසියන්ට ද සලකන ලදහ. උතුරේ කොමියුනිස්ට් ක්‍රියාකරුවන් ගැන උරණ වී සිටි දකුණේ පාලකයන් තමන්ගේම දකුණේ ජනතාව සැක කරමින් ඔවුනට සලකන ලද්දේ දැඩි කෲරත්වයෙනි.

වියෙට්නාම් සිවිල් යුද්ධය යනු ධනවාදය කියන්නේ කුමක්දැයි පවා නොදත් මහත් ජන කොට්ඨාශයක් එයට දැක්වූ විරෝධය තුලින් එකිනෙකාව මරාගත් සිවිල් යුද්ධයකි.

එපමණක් නොව චීනයේ මෙන් කෘෂිකර්මය තුලින් ශ්‍රේෂ්ඨ ඉදිරි පිම්මක් ගහන්නට වියෙට්නාම් කොමියුනිස්ට් පක්ෂය ද පටන් ගත්හ. රුසියාවේ නිකිටා කෘශ්චෙව් තාලයේ ප්‍රතිපත්ති වැරදුනාට, ඒ තාලයේ ප්‍රතිපත්ති චීනයේත් වැරදුනාට, සාගත හටගෙන මිනිස් ජීවිත අහිමි වූවාට, ඒ තම ප්‍රතිපත්ති නිසා බැවින් කොමියුනිස්ට් පාලකයන් පිළිගත්තේ නැත. සාගතයක් පැවති බව නිල වශයෙන් පිළි නොගැනීම නිසා, වෙනත් කොමියුනිස්ට් සහ ලංකාව ඇතුළු බොහෝ සමාජවාදී රටවල් ද ඒ අහිතකර ඵලවිපාක ගෙනෙන පිළිවෙත් ආදේශ කරන්නට පෙළඹුනහ.

සමාජවාදීන් තමන්ගේ ඇස් පනා පිට පෙනෙන සත්‍ය සඟවන හැදියාවෙන් යුතු නිසා අයහපත් ඵලවිපාක ගෙනෙන පිළිවෙත්හි යළි යළිත් නියැළෙති. පහුගිය දා වෙනිසියුලාවේ පැවති විරෝධතා ජනමතවිචාරයෙන් මිලියන 7 ක සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සභාව වෙනස් කරනවාට විරුද්ධව චන්දය ප්‍රකාශ කළහ. ඒත් එය නොසලකා හරිමින් මධුරෝ පාලනය පැවැත්වූ මැතිවරණය ජනතාවගේ සහයෝගය තමනට ලැබී ඇතැයි නිල වශයෙන් නිවේදනය කළහ. ඊට සහභාගී වූ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කර දැක්වීමෙන් රැවටෙන්නේ සමාජවාදීන්ම පමණකි.

1958 ඔක්තෝබරයේ පටන් ගත් දැවැන්ත වාරිමාර්ග ව්‍යාපෘති නිසාත්, සාමූහික අයිතියෙන් යුතු කෘෂිකාර්මික වෑයම් නිසාත්, ඒ අස්සේ පැතිර ගිය නියඟයක් නිසාත්, නිකිටාගේ රුසියාවේ මෙන්ම, මා ඕ ගේ චීනයේ මෙන්ම, හෝ චී මින්හ් ගේ වියට්නාමයේ ද සාගතයක් පැතිරිණ. එහි දී මිය ගිය සංඛ්‍යාව ලොවෙන් වසන් කරන ලදි.

රුසියන් ජනාධිපති නිකිටා කෘශ්චෙව් සමඟ පුද්ගලික පන්නයේ තරඟයක යෙදී සිටි ජෝන් එෆ්. කෙනඩි ලෝකය කොමියුනිස්ට් වීමෙන් (රුසියාවට යාමෙන්) වළක්වා ගන්නට “ඕනෑම මුදලක් යට කර, ඕනෑම බරක් උසුලමින්,” ගෙන ගිය “ප්‍රශ්න විසඳන, ප්‍රශ්න ඇතිකරන,” රාජ්‍ය පිළිවෙතක් පටන් ගත්තේය.* ඇමෙරිකන් තරුණයන්ව දකුණු වියෙට්නාමයේ නිදහස ආරක්ෂා කරන්නට යැයි බලහත්කාරයෙන් පිටත්කර යැවීම පටන් ගැනිණ. රුසියාවේ සහායෙන් උතුරු වියෙට්නාමයත්, ප්‍රංශ සහ ඇමෙරිකන් සහායෙන් දකුණු වියෙට්නාමයත් එකිනෙකා හා සිවිල් යුද්ධයක නියැළෙද්දී වැඩියෙන්ම බැට කෑවේ පක්ෂපාතීත්වය දක්වන්නට පාර්ශවයක් තෝරාගත් වියෙට්නාම් මහජනතාවයි.

1968 පෙබරවාරියේ දී වියෙට්නාම් පූජකයන්, ප්‍රංශ මිෂනාරි සේවකයන්, ජර්මන් වෛද්‍යවරු, සහ රජයේ නිලධාරීන් හා සේවකයන් ඇතුළු 3,000 ක පිරිසක් Hue නම් පැරණි අගනගරයේ දී කොමියුනිස්ට් භටයන් අතින් සමූල ඝාතනය විය. සමහර අයව පණ පිටින් පුළුස්සා දැමිණ. බොහෝ පිරිසක් නැවත නොඑන දේශපාලන සිරකඳවුරු වෙතට පිටත් කර යැවිණ. ඒවායේ දී ආහාර හිඟයත්, වෛද්‍ය පහසුකම් නොමැති වීමත්, සහ මහත් සංඛ්‍යාවක පිරිසක් එක්තැන ගාල් කර තිබීමත් නිසා බොහෝ දෙනෙක් සතියකින් දෙකකින් මිය ගියහ.

1973 ජනවාරියේ පැරිස් සාම ගිවිසුමක් අත්සන් කිරීමත් සමඟින් වියෙට්නාම්-ඇමෙරිකන් යුද්ධය අවසන් විණ. 1975 අප්‍රේල් 30 වැනිදා දකුණු වියෙට්නාම් රෙජිමය බිඳ වැටිණ. ඇමෙරිකන් මෙහෙයුම් නිසා මිය ගිය වියෙට්නාම් ජාතිකයන්ට වඩා ඉතා මහත් වූ සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වූයේ වියෙට්නාම් කොමියුනිස්ට් පක්ෂය නිසා යැයි අවිවාදයෙන් තොරව පිළිගන්නට යම් අයෙකුට නොහැකි නම් එවැන්නා සත්‍ය තොරතුරු සලකා බැලීමෙන් බැහැර වී සිටින්නෙකි.

කුරිරු දැක්ම ස්ථාපනය කරන නැවත උගන්වන කඳවුරු වෙත 1975 දී දකුණු වියෙට්නාමයේ මිලියනයක් පමණ රාජ්‍ය නිලධාරීන්ව සහ හමුදා භටයන්ව පිටත්කර හරින ලදි. එවැනි කඳවුරු වලින් ඔවුන් ගැලවී ගෙදර එන්නේ 1986 දී ය. එවක අගමැති වූ Pham Van Dong ලක්ෂ දෙකක ජනතාවක් දකුණේ එවැනි නැවත ඉගැන්වීම් සඳහා යවන ලද්දේ යැයි 1980 දී පිළිගෙන තිබුණි. ඒත් සත්‍ය දත්ත පෙන්වනුයේ ලක්ෂ පහක සිට මිලියනයක් පමණ සිසුන්, වියතුන්, ගුරුවරු, පූජ්‍ය පක්ෂය (බෞද්ධ සහ කතෝලික), සහ කොමියුනිස්ට් ද ඇතුළු දේශපාලන සටන්කාමීන්ව ගාල් කර තබන ලද බවයි. ජාතිකවාදී ව්‍යාපාරයන්හි සටන් කළ, කොමියුනිස්ට් අරගලය වෙනුවෙන් වෙහෙසුණ, කළකට ඉහත දී උතුරු කොමියුනිස්ට්ලාගේ පැත්ත ගෙන සිටි අයව ද කඳවුරු වලට දමා අගුල් දැමිණ.

බෝට්ටුවලට නැඟී රටෙන් පලා යන්නවුන් බහුතරයක් මහ මුහුදේ බෝට්ටු ගිලීම නිසා හෝ මුහුදු කොල්ලකරුවන්ට අසුවී මිය ගියහ. ඒ කොතරම් පිරිසක් දැයි කිසිවෙක් නිල වශයෙන් සොයා බැලුවේ නැත.

කුරිරු දැක්ම ස්ථාපිතයට දියත් කළ ප්‍රතිපත්ති කිසිවක් සාර්ථක නොවෙද්දී, එන්න එන්නම රටේ ආර්ථිකය බංකොළොත් වෙද්දී, 1986 දී ලිබරල්කරණයට පිවිසෙන්නට වියෙට්නාම් කොමියුනිස්ට් පක්ෂයට ද සිද්ධ විය. සාමූහිකරණ ගොවිතැන් වෙනුවට පුද්ගලික ඉඩම් අයිතියට ඉඩ දීම හෙමිහින් යළි පටන් ගැනිණ. ස්වයංපෝෂිත දේශයක් හැදීමේ මිථ්‍යාවෙන් අයින් වී එරටට ආනයනයට යළි ඉඩ ලැබිණ.

ඒත්, තවමත් ධනවාදය කුමක්දැයි අවබෝධය ඇත්තේ ලොව සුලුතරයකට පමණි. පාලකයන් විසින් සත්‍ය තොරතුරු වසන් කර තැබීම තවමත් යහතින් පැවතෙන සිරිතකි. නිදහස සාධනය වෙන්නේ යැයි කියා, ධනේශ්වරයේ වහල් බැවින් ගැලවෙන්නට යැයි කියා, දක්කාගෙන යන්නේ කුමන ඛේදනීය අන්තයකට දැයි පහදා ගන්නට හැකියාව ලැබෙන්නේ පාලනයක් විවේචනය කරන්නට නිදහසක් ඇත්නම් පමණකි. රටේ පාලකයන්ව විහිළුවට ගන්නා ජනතාව හිරේ යන්නේ නැත්නම් එවිට යම් තරමක නිදහසක් එරටේ ඇත. එය දුර්වලතාවයක් ලෙස දැකීමේ හුරුවෙන් අයින් වී එය අගය කළ යුත්තක් ලෙස නොදකින්නේ නම් කප්පාදු වෙන්නේ පුරවැසියාගේම අයිතීන් වෙති.

* Paul Johnson ලියූ A History of the American People (1997) පොතේ, 8 වැනි පරිච්ඡේදයේ සිරස්තලයයි: ‘We Will Pay Any Price, Bear Any Burden’, Problem-Solving, Problem-Creating America, 1960-1997.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: