අරුණි ශපීරෝ‍ වෙතින්

කොමියුනිස්ට් කාම්බෝජය

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 3, 2017

1863 සිට කේමර් රාජ්‍යය ප්‍රංශයේ ආරක්ෂාව යටතේ පැවති දේශයකි. 1946-1954 පැවති ඉන්දුචීන යුද්ධයෙන් ඔවුන් එතරම් බැට කෑවේ නැත. පැරීසිය සහ සිහනූක් කුමරු අතර දේශපාලන සබඳතා යහපත් විය. ඔහු තම රටට ස්වාධීනත්වය ඉල්ලා සිටියෙකි. වියට්නාමයේ කොමියුනිස්ට් උතුර සහ ඇමෙරිකන් ආණ්ඩුව අතර ඔහු ගෙන ගිය අපක්ෂපාතීත්වය ඔහුගේ අවාසනාවට හේතු විණ. 1970 මාර්තුවේ දී ඇමෙරිකාවේ කැමැත්ත (මැදිහත්වීමක් නොමැතිව) සිහනූක් කුමරුව ආණ්ඩුවෙන් ඉවත් කෙරුණි.

කාම්බෝජයේ ජීවත් වූ වියෙට්නාම් ජාතිකයන්ව මරා දැමීම පටන් ගැනිණ. 450,000 ක් පමණ එරටේ ජීවත් වූ වියෙට්නාම් වැසියන් අතරින් තුනෙන් දෙකක් දකුණු වියට්නාමයට පළා ගියහ. කොමියුනිස්ට් වියෙට්නාම් තානාපති කාර්යාලයට ගිනි තැබුණි. සියළු විදේශ හමුදා වලට රටෙන් පිටවන්න යැයි අණ ලැබුණි.

කාම්බෝජයේ කොමියුනිස්ට් ව්‍යාපාරය ඇරඹුනේ 1950 ගණන් වල දී පැරිසීයේ ඉගෙන ගත් සිසුන් පිරිසක් මව්රට බලා ආපසු පැමිණි පසුවයි. ඔවුන් අතර පැරිසියේ දී රේඩියෝ ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගත් පොල් පොට් ද විය. ඒ අය සියල්ලන්ම පැරිසියේ අධ්‍යාපන ආයතන වලින් බෙදා හැරි මාක්ස්වාදී ලෙනින්වාදී අදහස් ප්‍රිය කළ අය වූහ. ඉන් සමහරු ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් ද වූහ.

උතුරු වියට්නාමය හා එකතුව කටයුතු කළ ‘කම්පූචියාවේ කොමියුනිස්ට් පක්ෂයේ’ සාමාජිකයන්ව පැරිසියේ දී හැඳින්වෙන්නට පටන් ගත්තේ කේමර් යන නමින්. පැරිසියේ බොහෝ කේමර් සිසුන් බැඳී සිටි කේමර් ශිෂ්‍ය සංගමය ජාතිකවාදී සහ වාමාංශික අදහස් ඇති සංවිධානයක් විය. එම සංවිධානය තුල ‘මාක්ස්වාදී වටරවුම’ නමින් රහසිගත කල්ලියක් ද ඔවුන් පටන් ගත්හ. මව්බිමට පැමිණි ඔවුන් කාම්බෝජ සිවිල් යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව, එතෙක් පැවති හමුදා ආඥාදායකත්වය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදී කම්පූචියාව යැයි ආණ්ඩුවක් පිහිටුවන ලදි.

කාම්බෝජයේ වැසියන් තැතිගත යුතුව තිබුනේ එහි දී ය. ඒත්, හිට්ලර් බලයට එද්දී තමන් ජර්මන් පුරවැසියන් බැවින් ගාල් කර මරා දමන්නේ නැතැයි විශ්වාස කළ යුදෙව්වන් සේ ම, කාම්බෝජයේ වැසියන් ජීවිත අනතුරක් ගැන එදා සිතුවේ නැත.

කැමැත්තෙන් වෙහෙසෙන මිනිසාගේ ශ්‍රමය “සූරා කනවා” යැයි කියමින් ඉන් නිවහල් බවක් පොරොන්දු වෙන වාමාංශිකයන්, ඔවුනට පාලන බලය ලැබුණු සෑම අවස්ථාවක දී ම, මිනිසා වහලෙක් කරන ලදි. අපරාධකාරයෙක් යැයි නම් කරන ලදි. ජීවිතය අහිමි කළහ. ධනේශ්වරයෙන් දුප්පත් පීඩිතයාව නිවහල් කරන ආකාරය ගැන සංවාදයට සහ සැලසුමට රහසිගත කල්ලි හදන ඔවුන් පාලන බලයට පත් වූ වහාම ඒ දේශයේ රහසිගත තියා, වෙනත් මතයක් එළිපිට කියන සංවිධානයකට පවා ඉඩක් නොදුන්හ.

වාමාංශිකයේ ඉතිහාසය ලොව හැම පැත්තක දී ම, එයාකාරයෙන්ම යළි යළිත් දිග හැරුනේ මන්දැයි සොයා නොබලන ආසියානුවා තවමත් වැඩිපුර කැමැත්ත දක්වන්නේ සමාජවාදයටයි. මෙතෙක් ලෝක සමාජවාදීන්ට කළ නොහැකි වූවාට ‘අපේ සමාජවාදීන්ට’ ගෙනෙත හැකි නිවහල් බවක් ගැන පාරට්ටු බාති. නැත්නම්, ඔවුන් පෙනී සිටින සමාජවාදය කුමක්දැයි පැහැදිලි නොකර, මෙතෙක් ලොව වූයේ සැබෑ සමාජවාදය නොවේ යැයි කියති.

උතුරු වියෙට්නාමය වියවුලෙන් පිරී ගිය කේමර් රාජ්‍යයට අවි ආයුධ සහ පුහුණු කඳවුරු මෙන්ම හමුදා උපදේශකයන් ද ලබා දුන්හ. කේමර් රාජ්‍යයේ නාමයෙන්, සිහනූක්ගේ නාමයෙන්, ඔවුන් ඔවුන් කාම්බෝජයේ බහුතර ප්‍රදේශයක් අල්ලා ගත්හ. රජයෙන් ඉවත් කර දැමූ ලැජ්ජාවෙන් සිටි සිහනූක් කුමරා ද එතෙක් තම හතුරන් වී සිටි රටේ කොමියුනිස්ට් අය සමඟ එකතු වූයේය. චීනයේ සහ වියෙට්නාමයේ උපදෙස් මත කේමර් කොමියුනිස්ට් පක්ෂය ඔහුව මහ ඉහළින් පිළිගත්ත ද, කිසිදු දේශපාලන බලයක් පැවරුවේ නැත.

රාජකීය කොමියුනිස්ට් සහ කේමර් ජනරජය යැයි රට ඇතුලත අර්බූදයේ පැති දෙකක් හැදුණි. කේමර් ජනරජය දුර්වල වූවකි. සිහනූක් කුමරුට උගත් සහ නගරබද මැද පංතියේ රටවැසියන් වෙතින් පිළිගැනීමක් නොතිබුණි. ඒත් එයින් ප්‍රයෝජනයක් ගන්නට කේමර් ජනරජය අසමත් විය. එසේම කේමර් ජනරජයට ඇමෙරිකන් සහනාධාර, අවි, හමුදා උපදේශකයන් සහ බෝම්බ දැමීම ඇති පදමට ලැබිණ. සටන් භූමි වලට ටොන් 540,000 කට වඩා ප්‍රමාණයක් පුපුරණ ද්‍රව්‍ය, 1973 අගොස්තු මාසයේ දී ඇමෙරිකන් කොංග්‍රසය විසින් සහනාධාර කපා හරින්නට පෙර වූ මාස 6 තුල දී දමා ඇත. බෝම්බ හෙළීම කොමියුනිස්ට් ප්‍රගතිය අඩාල කළ ද, එතැන් පටන් ගම්බද පැතිවලින් ඇමෙරිකාව හෙළා දුටු අයව ඕනෑ තරම් කේමර් රූඡ් පැත්තට බඳවා ගන්නට හැකියාව පෑදිණ.

බෝම්බ වැටීම නිසා ගම්මාන හැරදා නගරවලට ජනතාව ඇදී ආහ. සමස්ත ජනගහණය වූ මිලියන 8 න්, තුනෙන් එකක් සරණාගතයන් වූහ. ඇමෙරිකන් බෝම්බ හෙළීම කොංග්‍රසය විසින් නවතා දමද්දී, “ලෝකයේ ශ්‍රේෂ්ඨතම සුපර් පවර් එක අපි පරාජය කළා, ඒ නිසා අපිට විරුද්ධ පක්ෂයත් පරාජය කළ හැකියි, අපිට ස්වභාව ධර්මයත් පරාජය කළ හැකියි, වියට්නාම් ජාතිකයන් පරාජය කළ හැකියි, සහ අනෙකුත් සියළු දෑ පරාජය කළ හැකියි,” කියමින් කේමර් රූඡ් ජයග්‍රහණය ප්‍රකාශ කළහ.

රාජකීය අගනගරය වූ උඩොන්ග් අල්ලා ගත් පසු, කේමර් රූඡ් විසින් දස දහසක් ජනතාව සමූල ඝාතනය කළහ. ‘නිදහස්’ කරගත් රට පුරා ‘නැවත ඉගෙනීම’ සඳහා මධ්‍යස්ථාන ඉදි කරනු ලැබූහ. ඒවාට මුලින්ම වැටුනේ හතුරු හමුදාවේ අයවයි. ඔවුන් යුද සිරකරුවන් නොව දේශද්‍රෝහීන් නිසා ජීනීවා ප්‍රඥ්පත්තියක් අදාළ නොවීය. දේශපාලන සිර කඳවුරට යන්නාගේ ඉරණම මරණය යැයි තීන්දු විය. 1971 හෝ 72 දී පිහිට වූ එක කඳවුරක දහසක් සතුරු සොල්දාදුවන් සිටියහ. ඔවුන්ගේ පවුල්, දරුවන් ද ඇතුළුව, බෞද්ධ භික්ෂූන්, සැකයට පාත්‍ර වූ මගියන් සිටියහ. හාමතේ සිටින, ලෙඩ රෝග පැතිර යන, සහ කර්කශ පහර දීම් වලට ලක්වූ බැවින් සියළු දරුවන් ඉක්මණින් මිය ගියහ. එක සන්ධ්‍යාවක දී තිස් දෙනෙක් මරා දැමීම සාමාන්‍යයක් විය.

1975 අප්‍රේල් 17 වැනිදා බිඳ වැටෙන නොම් පෙන්, අවසාන ජනරජ නගරයයි. එය කොමියුනිස්ට් අය අතට යද්දී පරාජිතයන්ට පවා එය සිවිල් යුද්ධයේ අවසානය හැටියට දැනුනේ සැනසිල්ලකි. ජයගත් කොමියුනිස්ට් අය වෙතින් ක්ෂණයෙන් පටන් ගැනෙන මහා විනාශය අවසන් වූ සිවිල් යුද්ධයටත් වඩා දරුණු වේයැයි ඔවුන් කිසිවිටෙක නොසිතූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: