අරුණි ශපීරෝ‍ වෙතින්

කොමියුනිස්ට් විසඳුම්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2017

‘අපි පක්ෂයේ ඉතිහාසය ගැන නිරූපණයක් පිවිතුරු සහ පරිපූර්ණ ලෙසින් දිය යුතුයි.” පොල් පොට්

ලේ වලින් කේමර් රූඡ් ඉතිහාසය ලියන්නට හැකිවීම ගැන පොල් පොට් ආඩම්බර විය. මාක්ස්ට, ලෙනින්ට, ස්ටාලින්ට, හෝ මා ඕ ට වඩා ඉහළින් ඉතිහාසයට නම එකතු කරන්නට අවශ්‍ය වූ පොල් පොට් පාලනය යටතේ කාම්බෝජය තුල මුදල් භාවිතය අහෝසි කර දැමීම සතියක දී සිද්ධ විණ. ‘කොළඹට කිරි ගමට කැකිරි’ ආකාරයේ විශ්වාසයක් කාම්බෝජයේ ද පැවතිණ. ඒ නිසා නගරවාසීන් සහ ගම්වැසියන් දෙගොල්ලන්ම එක හා සමාන තත්වයකට දමන්නට එක සතියක දී සියළු නගරවාසීන්ව ගම්වලට පිටත් කර හරින ලදි. පරිපූර්ණ සාමූහිකකරණය තුලින් කාම්බෝජය කොමියුනිස්ට් කිරීම වසර දෙකකින් සිද්ධ විය.

1973 අප්‍රේල් මාසයේ දී වියට්නාමයට බෝම්බ හෙළීම ඇමෙරිකාව නවතා දැමීමත් සමඟ උතුරු වියට්නාමය විසින් කේමර් රූඡ් වෙත සැපයූ ආධාර ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු විය. ආධාර අඩු වූ නිසා වියෙට්නාමයෙන් කාම්බෝජයට කළ හැකි බලපෑම් ද අඩුවිය. පොල් පොට් පාර්ශවය විසින් එහි දී කාම්බෝජය බලා ආපසු පැමිණි වියට් මින්හ් කේමර් දාහක පමණ පිරිසක් මරා දැමූහ. ඉන්දු චීන යුද්ධයෙන් පසුව ප්‍රංශයේ අධ්‍යනය කරමින් සිටිය දී, ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සටන්කාමීන් හැටියට දේශපාලන පුහුණුව ලබා සිටි කොමියුනිස්ට්වාදීන් වූ ඔවුන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය වෙතින් ලැබූ පුහුණුවෙන් සහ ගොඩනඟා ගත් සම්බන්ධතා වලින් යුතු වූ අයයි, එසේම දේශපාලන නායකයන් හැටියට කේමර් රූඡ් වෙනුවට කාම්බෝජ වැසියන්ට පැවති විකල්පය ඔවුන් වූ නිසා, ඔවුන්ව ඝාතනය දේශපාලනිකව දැඩි වාසි ලැබුණ පියවරකි.

වියට්නාමයෙන් අයින් වෙන කේමර් රූඡ් සිය ඉතිහාසය අලුතින් ලියුවේ කම්පූචියන් කොමියුනිස්ට් පක්ෂය (CPK) 1960 දී පටන් ගත්තක් හැටියටයි. එහෙත් එය හෝ චි මින්හ් ගේ ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂයේ කොටසක් හැටියට 1951 සිට වියට්නාමය කේන්ද්‍රීයව පැවතියකි. මෙසේ ඉතිහාසය වෙනස් කර ලිවීමෙන්, 51 කල්ලිය දේශපාලන වරදකරුවන් බවට පත් කරන්නට හැකිවිණ. එසේම, වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය හා පැවැත්වූ සබඳතා වලින් අයින් වන්නට ද හැකියාව ලැබිණ. කේමර් රූඡ් සහ වියෙට්නාම් හමුදා අතර බරපතළ සටන් පටන් ගන්නේ මෙතැන් පටයි.

කේමර් රූඡ් දේශපාලන බලය අල්ලා ගැනීමෙන් පසුව නොම් පෙන් නගරයෙන් සම්පූර්ණ සිවිල් ජනතාව ඉවත් කර දැමිණ. ඇමෙරිකන් බෝම්බ වලින් ආරක්ෂා කරගන්නට සහ නිසි ආහාර සැපයුමක් වෙනුවෙන් එසේ කරනවා යැයි දැනුම් දෙද්දී නගරවාසීන් ඒ බොරුව පිළිගත්හ. නගර වලින් ජනතාව ඉවත් කිරීම හැම පැත්තකින්ම ඇරඹිණ. රත්තරන්, ආබරණ (ඩොලර් පවා) හුවමාරු වටිනාකමින් යුතු දේපල කැටුව යන්නට ද අවසර දුනි. ක්‍රමවත් ප්‍රචණ්ඩත්වය අඩු වූව ද, විරෝධය පෑ අයව, අන්‍යයන්ට ආදර්ශයක් ලෙසින් හිංසාවට ලක් කළහ. හතුරු සිරකරුවන් මරා දැමීම සාමාන්‍යයක් විය. නගර වලින් පිටමං කරන ලැබූවන්ගේ පෞද්ගලික දේපල හොරකම් කිරීම හෝ ඒවා මොනවාදැයි සොයා බැලීමක් සිද්ධ නොවීය.

නමුත් මිලියන 2-3 ක් සිටි නගරයක දී සාමාන්‍ය වශයෙන් දහ දාහක් පමණ, සමහර විට පවුල පිටින්ම, වැසියන් සියදිවිනසා ගත්හ. ඉස්පිරිතාලයන්හි නේවාසික රෝගීන්, වයසක උදවිය, ලෙඩ්ඩු යනාදීන් ද ඒ පිරිසට අයත් වූහ.

ගම්බද ජනතාවගෙන් 46-54% ක ප්‍රමාණයක් තමන් මහපාරට වැටී ඇතැයි දකින්නේ මෙසේ රට පුරා නගර හිස් වෙන්නට පටන් ගැනීමෙන් පසුවයි. ශාරීරික ප්‍රචණ්ඩත්වයක් අත් නොදුටුව ද, ජීවිත බේරාගත්තවුන් සියල්ලන්ටම මේ නගරවලින් තමන්ව ඉවත් කර දැමීම සදා නොමැකෙන සිත් සසල කරන ලද සිද්ධියකි. ඔවුන්ට ගෙවල් දොරවල් හැරදා යන්නට ලැබුනේ පැය 24 කි.

දවස් තුනකින් ආපහු එන්නට ලැබෙනවා යැයි කියූ බොරුවෙන් සැනසුන ද, මහා ජනකායක් ලෙසින් රට පුරා එහා මෙහා යවන ලද නිසා ඉතා ළඟ ඥාතීන් පවා සදා අස්ථානගත වූහ. ගමනාන්තයකට පිටමං කරන්නට කළින් ඔවුන්ව ගම්බද මහා මාර්ග අසල මධ්‍යස්ථාන වලට ගාල් කළහ. ගමනාන්තය තීරණය වූයේ ඔවුන්ව ඉවත් කරන ලද වාසස්ථානය අනුවයි. ඒ මධ්‍යස්ථාන වලට ගාල් කරන්නට පෙර ඥාතීන් මඟ හැරුනේ ද, එවිට යළි පදිංචියට කොහාට යැව්වේදැයි සොයා ගැනීම නොහැකි විය.

මධ්‍යස්ථානයට යවද්දී ආහාර ලැබුණාට, එතැන සිට ගමනාන්තය දක්වා සති කිහිපයක් යද්දී කිසිවෙකුටත් කේමර් රූඡ් වෙතින් ආහාර හෝ සෞඛ්‍ය පහසුකම් නොලැබිණ. එහි දී බොහෝ දෙනෙක් මිය ගියහ.

නගරවාසීන්ව වර්ගීකරණය කිරීම ගාල් කළ මධ්‍යස්ථානයේ දී සිද්ධ විය. වර්ගීකරණය සිද්ධ වූයේ ජනතාව තමන් ගැන කියූ දේවල් අනුවයි. සිහනූක් කුමරාට අගනගරයේ අලුත් ආණ්ඩුවක් පිහිටවනු සඳහා හැකි තරම් හමුදා නිලධාරීන් සහ මධ්‍යම සහ ඉහළ රජයේ නිලධාරීන් එකතු කරගන්නට අවශ්‍ය යැයි ජනතාවට කියන ලදි. එහෙත් සිද්ධ වූයේ තමන් ඒ වර්ගීකරණයට අයත් යැයි කියූ සැණින් එක්කෝ ඝාතනය වීම හෝ නැත්නම් සිරබාරයේ දී මිය යෑමයි.

කේමර් රූඡ් විසින් සියළු අනන්‍යතා සහතික විනාශ කර දමන්නට යැයි නියෝග කරන ලදි. ඒ නිසා හටගෙන ඇති ඛේදවාචකය හඳුනාගන්නට සමත් වූ, හිටපු සොල්දාදුවන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ගම්බද වැසියන් සේ පෙනී සිට ජීවිත ගලවා ගන්නට ද හැකිවිය.

උන්හිටි තැන් වලින් ඉවත් කරනු ලැබූ වැසියන්ට තමන්ට කැමති තැනක, (හැකියාව ඇති තැනක), ගම්මුලාදෑනියා ඉඩ දෙන්නේ නම්, නව වාසස්ථානයක් අරඹන්නට අවසර ලැබිණ. ගමේ ඥාතියෙක් සිටියේ නම්, ඔවුන් හා වාසස්ථානය නගරවාසියෙකුට හැකිවූයේ එතැනින් වෙනත් තැනකට පිටමං නොකළ අවස්ථාවක දී පමණි.

මෙසේ පිටමං කර එවන ලද නගරවැසියන්ට, ගම්වාසීන් වාසස්ථාන හදාගන්නට උදව් කරන ලදි. ඔවුන් එකිනෙකා මරා නොගත්හ. ඒත් හදිසියේම මහත් ජනකායක් ගම්මාන වලට ඒම නිසා අගහිඟයන් පැතිර ගියහ. 170,000 ක් පමණ වැසියන් සිටි ඊසාන දිග සරු වී වගා භූමි ප්‍රදේශයට සතියක් දෙකක් ඇතුලත 210,000 ක නව ජනකායක් එකතු වීම ආර්ථික ගැටළු බොහොමයක් ඇති කරන ලදි.

වර්ගීකරණයෙන් ආර්ථික ගැටළු විසඳීම යන කොමියුනිස්ට් විසඳුම එහි දී ද ක්‍රියාත්මක කරන ලදි!

CPK විසින් ගම්බද ජනතාව, නොහොත් 70 ගණන් අය, දේශප්‍රේමී ශ්‍රමිකයන් යැයි හැඳින්වන කොට්ඨාශය අතරත්, අලුත් ජනතාව, නොහොත් 75 ගණන් අය, අප්‍රේල් 17 අය, ධනවාදී අධිරාජ්‍යවාදීන්ගේ ලැකියන් යැයි හැඳින්වෙන කොට්ඨාශයත් අතරත් පංති ද්වේෂයක් ඇති කරන්නට පරිශ්‍රමයක් ගත්හ. ඒ සඳහා ශ්‍රේණි දෙකක නීති පද්ධතියක් හඳුන්වා දෙන ලදි. එයින් අයිතිවාසිකම් ලැබුනේ ගම්බද වැසියන්ට පමණි. මුල් කාලයේ දී පෞද්ගලික ඉඩම් වල ඔවුන්ගේ ආහාර පිණිස කුඩා ප්‍රමාණයක් වගා කරගන්නට අවසර ලැබුණි. ඒ කෑම අනුභවය සාමූහික කුඩාරමක දී අනුන් බලා සිටිය දී කළ යුතු විය. එසේම එක චන්ද අපේක්ෂකයෙක් පමණක් සිටින මැතිවරණ වල දී චන්දය ප්‍රකාශ කරන අවසරය ද ඔවුනට ලැබුණි.

එකම ජනකොට්ඨාශයක් තුල එසේ භේදවාදයක් පිහිටුවා, ගම්මානයේ දෙපැත්තක වාසය නියම කරන ලදි. එකිනෙකා හා කතාබහ ද තහනම් විය. අනෙත් පැත්තේ අයෙක් හා විවාහය තහනම් විය.

ආර්ථික ගැටළු විසඳුනේ නැති බැවින් වර්ගීකරණයක් ගෙනෙන ලදි!

වැඩිකල් යන්නට මත්තෙන්, ඒ දෙකොට්ඨාශය තවත් කොටස් වලට බෙදා දැමිණ. ගම්බද වැසියන්ව “දුප්පත් ගම්වැසියන්,” “ඉඩම් හිමි ගම්වැසියන්,” “ධනවත් ගම්වැසියන්,” සහ හිටපු වෙළන්ඳන් යැයි වර්ගීකරණය කළහ. අලුත් වැසියන් අතරින් උගත් අය සහ අධ්‍යාපනයක් නොතිබි අය යැයි වෙන් කරන ලදි. උගත් අය අතරින් හිටපු සිවිල් සේවකයන් සහ වියතුන්ව ශුද්ධ කිරීම් වලට භාජනය කළහ. ඔවුන් සියල්ලන්ම තුරන් වී ගියහ. 1978 න් පසුව කාන්තාවන් සහ දරුවන් ද ශුද්ධ කිරීම් වලට භාජනය වූහ.

ශුද්ධ කිරීම යනුවෙන් හැඳින්වෙන්නේ කොමියුනිස්ට් රටවල දී පුද්ගලයෙක්ව සමාජයේ හතුරෙක් යැයි හංවඩු ගැසීමයි. එයින් රස්සාවක්, අධ්‍යාපනයක්, වාසස්ථානයක් හෝ ආහාර හිඟන්නට පවා නොහැකි වන, අයිතිවාසිකම් කිසිවක් නොමැති තත්වයකට පුද්ගලයාව ඇද දැමීම සිද්ධ වෙයි. ශුද්ධ කිරීම් වලට ලක්වන අයෙක් ජීවිතය පවත්වා ගන්නට ක්‍රමවේදයක් නොමැති නිසා ඔහු ඉක්මණින් මිය යයි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

    • arunishapiro said, on අගෝස්තු 14, 2017 at 7:47 පෙ.ව.

      Pra Jay,

      //රට පුරා ක්‍රියාත්මක වෙන අන්දමින් නීති හැදීම මධ්‍යම පාලන සැලසුම් ක්‍රමයයි. මීයන්, මැස්සන් සහ මදුරුවන් සමඟින් වගාව බේරාගන්නට යැයි කියමින් කරල් බුදින්නට එන ගේ කුරුල්ලන් වඳ කර දමන ලදි. ඉන් සිද්ධ වූයේ කුරුමිණියන් වැනි පරපෝෂිතයන් අතිශයෙන් වර්ධනය වී පාරිසරික අර්බූදයක් හටගැනීමයි. එහි දී මාඕ ගේ කුරුල්ලන් වෙනුවට ඇඳ මකුණන් මරන්න යැයි කීවේය. // https://arunishapiro.wordpress.com/2017/07/13/ඉතිහාසයේ-දරුණුතම-මහා-සාග/

      විකිපීඩියාවේ තියෙන්නෙ ගේ කුරුල්ලො වෙනුවට මරන්න කිව්වෙ ඇඳ මකුණන් නෙමෙයි කැරපොත්තො කියලයි.

      ඒ වගේම මාඕ වරක් මැලේරියා මදුරුවො බෝවෙනව කියල තණකොළ සම්පූර්ණයෙන් ඉවත් කළා මුළු බෙයිජිං නගරයෙන්ම. අදත් එහි තණකොළ දකින්නට ඇත්තේ ඉඳහිට තැනක ඉතා ඇබිත්තක්. මේ 2016 අපි එහි ගිය විට දුටු, පාර්ක් එකක තණකොළ හිටවන අය.

      grass in Beijing


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: