අරුණි ශපීරෝ‍ වෙතින්

අපි යන්නට පෙර එය එක් වරක් හෝ පවසන්නෙමු

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 6, 2017

සිංහලෙන් කියවන්නට නොලැබෙන මේ ලෝක ඉතිහාසයේ අමිහිරි වූ ඛේදවාචකයන් ලියා තැබීමෙන් මා කිසිත් සතුටක් ලබන්නේ නැති බව යළිත් කිව යුතුයි. ඒත් දුප්පත්කමෙන් සහ නින්දිත ලෙසින් ජීවිතය ගත කරන්නට සැබැවින්ම සිද්ධ වූයේ කුමන දේශපාලන ක්‍රමයක් යටතේදැයි නොදන්නාකම නිසා, 1917 සිට මේ දක්වා එයාකාරයෙන්ම යළි යළිත් ඉතිහාසය දිග හැරිණ. ඉංග්‍රීසියෙන් කියවන්නට හැකි අයට ඒ සඳහා ඕනෑ තරම් විකිපීඩියා, ප්‍රධාන පුවත්පත් හා වෙබ් අඩවි පවතී.

වාමාංශිකයාට “සූරියකන්ද” පෙනෙන්නේ අනිත් පැත්තෙන් සිද්ධ වූ විට පමණකි. හිට්ලර්ගේ ජර්මනිය තම රටවැසියන්ට කළ කී කුරිරුකම් ගැන නොමඳව අසා තිබුණ ද, ඊට නොදෙවෙනි ආකාර වලින් වූ බිහිසුණු ඝාතන ඊට වඩා මහත් පරිමාණයකින් සිද්ධ වූ සෑම කොමියුනිස්ට් රටකින්ම “සත්‍ය කොමිෂන් සභා” ඉල්ලන වාමාංශිකයන් ලොව නොමැත.

එෆ්. ඒ. හයෙක් ලියූ “දාස භාවයට යන පාර” පොතේ “නරකම අයෙක් උඩටම එන්නේ කෙසේද” යන පරිච්ඡේදය කවදා හෝ සිංහලට පරිවර්තනය වූවහොත්, එම පොත සිතට අවංකව කියවන අයෙකුට කොමියුනිස්ට් ශතකය තුල විවිධ කොමියුනිස්ට් දේශයන්හි දිග හැරුණු මිනිසුන් මුහුණ පෑ මේ අතිශය ඛේදනීය තත්වයන් එයාකාරයෙන් දිග හැරුනේ ඇයිදැයි හරිහැටි පසක් වනු ඇත.

“සියළු බලය දූෂණයට මග පාදයි; සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි,” යන බ්‍රිතාන්‍ය ඉතිහාසඥ ලෝඩ් ඇක්ටන්ගේ ප්‍රකාශයේ සත්‍ය බව කොමියුනිස්ට් රටවල් තුල යළි යළිත් ඔප්පු කර පෙන්වන ලද්දකි. ජනතාව බිය ගන්වන්නට තරම් බලයක් අල්ලා ගන්නට සමත් වෙද්දී ලංකාව වැනි සමාජවාදී රටවල පවා මේ ප්‍රවණතාවය මැනවින් දකින්නට ලැබුණි. විනාශකාරී අදහස් කරපින්නාගෙන සිටින ජනතාවක් තවමත් රට පෙරට ගෙන යන්නට ‘බලය’ පවරන්නට ‘පුද්ගලයෙක්’ සෙවීමේ යෙදෙන්නේ සාමය සහ සෞභාග්‍ය සැබැවින් ගෙනෙන විශිෂ්ට අදහස් මොනවාදැයි නොදන්නාකම නිසයි.

කොමියුනිස්ට් ශතකයේ කිසිම කොමියුනිස්ට් නායකයෙක් තමන්ට ලැබුණු ජනප්‍රසාදයක් නිසා පමණින් ඒ දේශයේ පාලන බලයට පත්වූයේ නැත. කොමියුනිස්ට් නායකයන් සියල්ලන්ම සිය පක්ෂය සහ රටේ ජනතාව රවට්ටා බලයට පත්වීමෙන් අනතුරුව විප්ලවීය සටනට සහාය දුන් සිය සගයන්වම මරා දැමූ සහ සිරගත කරන ලද අයයි. කියුබාවේ ද එය එසේම දිග හැරුණි.

කියුබාවේ දේශපාලන සිරකඳවුරු අතරින් විශාලතම වූව ලෙස සැලකෙන කැමාගුවේ පළාතේ පිහිටන එල් මැන්බූ (El Manbu) හි 1980 ගණන් වල දී ද 3,000 කට අධික පිරිසක් රඳවා තිබුණි.

සිබොනේ කඳවුරේ තත්වය දැඩි සේ දුක්ඛිත විය. ඉන් පළා යන සිරකරුවන් සොයා අල්ලා ගන්නට ජර්මන් ශෙපර්ඩ් සුනඛයන් යොදවන ලදි. අල්ලා ගත් පසුව ඔවුන්ව කඳවුර ඇතුලේ වූ මහජන විනිසුරු සභාවක් ඉදිරියට ගෙනෙනු ලැබීය. වරදකරුවන් යැයි තීන්දු වූ අයව කර්කශ නීති වලින් යුතු වූ ශ්‍රම කඳවුරු වලට පිටත් කෙරිණ. මේ සිරකඳවුරු වල දී විනිසුරුකරුවන් හැටියට කටයුතු කළේ අනෙක් සිරකරුවන්ට දඬුවම් දෙන්නට සිරකරුවන් අතරින්ම තෝරාගන්නා ලද අයයි.

දේශපාලන සිරකරුවන් අනෙකුත් දේශපාලන සිරකරුවන් ගැන කරුණාවෙන් යුතු වූවා යැයි අයෙක් සිතන්නට පුළුවනි. ඒත්, දරුණු වධහිංසා මුරකරුවන් අතින් ලැබෙද්දී මුරකරුවන් සතුටින් තබනු පිණිස අනෙක් සිරකරුවන් පාවා දීම නොමඳව සිද්ධ වීම මිනිස් ස්වභාවයයි. සමාජවාදය ක්‍රියාත්මක වූ සෑම රටකම පාහේ, මිනිසා ගෙනෙන ලද ව්‍යසනයක දී හෝ ස්වභාවික විපැත්තියක දී අනෙකාට පිහිට වීමට පුද්ගලයෙක් ඉදිරිපත් නොවන මානසිකත්වයක් පැතිර පැවතිණ.

වික්ටෝරියා ඩ ලාස් ටූනාස් පළාතේ පිහිටි පොටෝසි කඳවුරේ දේශපාලන අපරාධ, ගණිකා සේවය යනාදී වරදට 1986 දී කාන්තාවන් 3,000 ක් පමණ රඳවා තිබිණ. දරුවන් සහ ගැටවර වියේ තරුණ අය වෙනුවෙන් විශේෂ කඳවුරු පැවතිණ. සැන්තියාගෝ ඩා ලාස් වේගාස් පළාතේ ආර්කෝ අයිරිස් (දේදුන්න) කඳවුර ගැටවර වියේ අය 1,500 ක් රඳවන ලද්දකි. ඒ ගැටවරයන් අතින් හැදූ සරල උපකරණ වලින් උක් කැපූහ. ඒ උක් රජය විසින් විකුණා ආදායම් උපයන ලදි. එමෙන්ම නුවේවා විඩා (නව ජීවිතය) කඳවුර ද දරුවන් පිණිස වූවකි. වයස අවුරුදු 10 දක්වා දරුවන් රඳවන ලද විශේෂ කඳවුර පාලොස් හි පිහිටි කැපිටියෝලේ නමින් විය.

ධනවාදයේ අයහපත් තත්වයක් හැටියට දිනපතා වේතන උපයන කම්කරු ජීවිතය දක්වන වාමාංශිකයා කොමියුනිස්ට් සහ සමාජවාදී ක්‍රමයේ දී එවැනි කම්කරුවාගේ ජීවිතය ප්‍රශංසා කරන්නට යොදාගන්නේ වානේ පන්නරය ලැබූ හැටි වැනි ප්‍රබන්ධ වෙති.

“මේ ජීවිත ගමනේ දී අපිත්
සිතුවිල්ලකින්, විශ්වාසයකින්, යම් අර්ථයකින් ඉතිරි කරමු
අපි යන්නට පෙර එය එක් වරක් හෝ පවසන්නෙමු
නිහඬ ලෙසකින් නිහඬ සොහොනට”
-ජෝර්ජ් ඕර්වෙල්

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. sunilrdblog said, on සැප්තැම්බර් 6, 2017 at 11:34 පෙ.ව.

    We have a right to be informed of the writer ? Please?

    • arunishapiro said, on සැප්තැම්බර් 6, 2017 at 10:33 ප.ව.

      sunilrdblog,

      මෙතැන් පටන් මේ සටහන් ලියාගෙන එන්නෙ අත්හදා බලපු හැම තැනකම කොමියුනිස්ට් ක්‍රමය අසාර්ථක වූ ශතකය ගෙවෙද්දී ඒ ගැන සිංහලෙන් කියවන්නා නොදන්න කරුණු බොහොමයක් එකතු කරන්නටයි. ඒවායේ මූලාශ්‍ර ගත් තැන් ඔය විදියටම සබැඳි අමුණලා තියනව. කොමියුනිස්ට්වාදයේ කළු පොත (Black Book of Communism) ඇසුරින් ලියන්න පටන් ගනිද්දී ඒ ගැන සඳහන් කරලා තියෙනව. ඒකෙ විවිධ පරිච්ඡේද විවිධ අය විසින් ලියපුව. ඒ අය ගැන තොරතුරු අවශ්‍ය අයෙකුට අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් සොයාගන්න හැකියි. මේ සටහන් ඒ පොතේ ඍජු පරිවර්තනයක් නෙමෙයි, මේවට වෙනත් මූලාශ්‍ර වලින් සොයාගත් තොරතුරු ද එකතු වෙනව. එක සඳහනක් ගන්නවාට වඩා බොහෝ තැන්වල විවිධ අය අතින් සඳහන් කරුණු තමයි සටහන් වලට එකතු කරන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: