අරුණි ශපීරෝ‍ වෙතින්

අපරාධකරුවෙක් යැයි නම්කර ශ්‍රමය සුරා කන ක්‍රමය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 7, 2017

ෆිඩෙල්ගෙ කියුබාවේ සිරකරුවන්ට අයිතීන් නොමැති වූවත් සමාජයට ගැලපෙන පරිදි හැඩගස්සවනු පිණිස ඔවුන්ව ප්‍රතිසංස්කරණ වැඩ සටහන් සඳහා යවන ලදි. එවැනි වැඩ සටහනක අවධි තුනක් විය. සිරගෙදරක පටන් ගැනෙන පළමු අවධිය “අධි ආරක්ෂිත කාලය” යනුවෙන් හැඳින්විණ. දෙවැනි අවධිය වූ “මධ්‍යම ආරක්ෂිත කාලය” ගෙවුනේ ගොවිපොලකය. තෙවැනි අවධිය “අවම ආරක්ෂිත කාලය” විය. එය ගෙවන ලද්දේ “විවෘත රෙජිමය” නම් පිළිවෙත අනුවයි. මේ වැඩ සටහන්වලට යැවෙන අයට ද සාමාන්‍ය අපරාධකරුවන් හැඳි නිල් පැහැති නිල ඇඳුමම නියම කරන ලදි.

බතීස්තා පාලනයට එරෙහි සටන් වැද අල්ලා ගත් අයට බතීස්තාගේ හමුදාව විසින් නියම කළ කහ පැහැති නිල ඇඳුම මුල් කාලයේ දී මේ වැඩ සටහන් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කළ අයට නියම වූ අතර ඒ නිල ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කළ අයට අවුරුදු කිහිපයක්ම යට ඇඳුම් වලින් ඉන්නට සිද්ධ විණ. එමෙන්ම තමන්ව හමුවෙන්නට එන අමුත්තන් මුණගැසීමට අවසර නොලැබිණ.

දේශපාලන සිරකරුවන් සහ අනිකුත් අපරාධකරුවන් එක හා සමාන පෙනුමකින් තැබීම නිසා ෆිඩෙල්ගේ පාලනයට හෘදය සාක්ෂියට අනුව විරෝධය පාන ලද අයට බරපතල වූ මානසික පීඩනයක් එල්ල වුණි. බතීස්තා පලවා හරින්නට ෆිඩෙල් හා එකතු වූ සටන් වැදීමෙන් පසුව හිරගෙදරට යැවුණු හියුබට් මාතෝස් එවැනි අයෙකි.

“මාස ගණනක් නිල ඇඳුමක් නැතිව හමුවන්නට එන අමුත්තන් නොමැතිව මම සිටියෙමි. පාලනයේ හිතුමතයට අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළනිසා මාව බාහිර ලෝකයෙන් කොන් කර දමන ලදි… සිරකරුවන්ගෙන් පිරුණු හිරකූඩුවල පවා අනෙකුත් නිරුවත් සිරකරුවන් සමඟ නිරුවතෙන් සිටීම පාලනයේ හිතුමතයට හිස නමනවාට වඩා මට ප්‍රිය විය.”

එක අවධියකින් තව අවධියකට යාම “නැවත උගන්වන නිලධාරියාගේ” තීන්දුව මත රඳා පවතින ලද්දකි. නිලධාරියාගේ අරමුණ වූයේ ශාරීරික වූ ද සහ මානසික වූ ද තෙහෙට්ටුව මත පාලනයේ දැක්ම බාරගන්නා තත්වයට සිරකරුවාව ගෙන ඒමයි. ෆිඩෙල්ගේ පාලනයේ හිටපු නිලධාරියෙක් වූ කාලොස් ෆ්‍රැන්කුවි වැඩ සටහනේ උද්‍යෝගය මෙසේ විස්තර කරන ලදි: “රෙජිමයට විරුද්ධ වූ අය ලෙඩෙක්. මුරකරුවා කියන්නෙ වෛද්‍යවරයා. ප්‍රතිකාරය හරි ගිහිල්ලා යැයි මුරකරුවා තීන්දු කළාම සිරකරුවා නිදහස් කරනව. කාලය කියන එක වැදගත් නැහැ ලෙඩාට සනීප වෙනකම්.”

1974 දී ලා කබාන්‍යා සිරගෙදර සිවිල් වරදකරුවන් සඳහා විශේෂ කලාපයක් (Zone 2) ද, හමුදා සිරකරුවන් සඳහා විශේෂ කලාපයක් ද (Zone 1) වෙන්කර තිබුණි. මිනිසුන් දහසකට වඩා පිරිසක් Zone 2 රඳවා තිබුනේ මීටර් 30 දිග මීටර් 6 ක් පළල ගැලරි වලයි.

රහස් පොලීසිය (G-2) මෙහෙය වු සිරගෙවල් ද තිබිණ.

අඩු දඬුවම් කාලය ලෙසින් වසර 3-7 ත් කාලයක් සිරබාරයට නියම වූ අයව ගොවිපොළ වෙත යැවුණි. ඒවා සෝවියට් ශ්‍රම කඳවුරු අනුසාරයෙන් මෙහෙයවනු ලැබූහ. මේ “ගොවිපොළ” නිරීක්ෂණ කුළුණු පිහිටා තිබුණු, කටුකම්බි වැටවල් කිහිපයකින් ආවරණය කරන ලද බැරැක්ක වලින් සමන්විත විය. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ මුරකරුවන් ඒවා අධීක්ෂණයේ යෙදුණහ. පළා යන්නට අයෙක් උත්සාහ කරතැයි විශ්වාස කළහොත් වෙඩි තබන්නට ඔවුනට අවසර ලැබුණි. සෑම කඳවුරකම 500-700 ත් අතර සිරකරුවන් රඳවා තිබිණ. දවසකට පැය 12-15 කාලයක් ඔවුන් වැඩ කළ යුතු වූහ. ඔවුන් ලවා ඉක්මණින් වැඩ කරවන්නට ඕනෑම ක්‍රමෝපායක් භාවිතයට, ඔවුනට තුවක්කුවෙන් පහර දෙන්නට පවා මුරකරුවන්ට අවසර තිබිණ.

“විවෘත රෙජිමය” යනු සිරකරුවන් ජීවත් වූ ඉදිකිරීම් කටයුතු වැඩබිමකි. සාමාන්‍යයෙන් එවැන්නක් හමුදාව යටතේ පැවතිණ. 50 – 200 ත් අතර සිරකරුවන් සංඛ්‍යාවක් ව්‍යාපෘතියේ ප්‍රමාණය අනුව එවැනි තැනක රඳවා තැබිණ. බර වැඩ ගන්නා ලද මෙවැනි තැන්වල දී සිරකරුවන්ට ලැබුණ ආහාර අනෙකුත් කඳවුරුවලට වඩා හොඳ විය. සෑම මාසයක් අවසානයේ දී ම දවස් තුනක නිවාඩුවක් ලැබිණි. සෑම වැඩබිමක්ම අනෙකුත් එවැනි වැඩබිම් වලින් ස්වෛරීව නඩත්තු කරනු ලැබීය. ඒ නිසා එකවර බොහෝ සිරකරුවන් එක්රාශී වීමෙන් කැරැල්ලක් හටගැනීම වැළැක්විණ. මෙවැනි “විවෘත රෙජිම” වැඩබිම් නගරබද පෙදෙස්වල ද පිහිටන ලදි. 1980 ගණන් අග දී හවානා හි ඒවා 6 ක් පැවතිණ.

මෙවැනි ක්‍රමයකින් ෆිඩෙල්ගේ ආණ්ඩුවට පැහැදිලි ආර්ථික වාසියක් ගෙනෙයි. උදාහරණයක් හැටියට සීනි අස්වැන්න නෙළන්නට සියළු රැඳවුම්කරුවන් යොදවන ලදි. 1974 දී ඔරියෙන්ටෙ ප්‍රදේශයේ සිරබන්ධනාගාර ප්‍රධානියා වූ පපිටෝ ස්ටෘච් කියා සිටියේ “දූපතේ ප්‍රධාන ශ්‍රම බලකාය සිරකරුවන්” යැයි කියායි. 1974 දී ඔවුන්ගේ ශ්‍රමයේ අගය ඩොලර් මිලියන 348 ක් විය.

කියුබාවේ බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තු මේ දේශපාලන සිරකරුවන් වෙතින් ශ්‍රමය ලබාගත්හ. සමාජ සහ කෘෂිකාර්මික වැඩ සංවර්ධනය සඳහා වූ දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් 60% ක් මේ දේශපාලන සිරකරුවන් වූහ. වැඩ මාර්ගයෙන් නැවත උගන්වන ක්‍රමය උලුප්පා දක්වන ප්‍රධාන ස්ථානය වූ පිකාඩුරා මිටියාවතේ ගොවිපොළ දුසිම් ගණනක් එසේ දේශපාලන සිරකරුවන්ගෙන් වැඩ ගත්හ.

මේ ස්ථාන නරඹන්නට පැමිණි විදේශ අමුත්තන් අතර ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, හුවාරි බූමෙඩින් සහ ෆ්‍රැන්සුවා මිතරොන් යන රාජ්‍ය නායකයන් ද වෙති.

සියළු ද්වීතිය අධ්‍යාපන පාසැල් ඉදිකරන ලද්දේ දේශපාලන සිරකරුවන් අතිනි. ඉඳහිටෙක සිවිල් ඉංජිනේරුවක් අතලොස්සක් සහාය වූවා පමණි. ඔරියෙන්ටෙ සහ කැමාගුවේ ප්‍රදේශයන්හි දේශපාලන සිරකරුවන් පොලිටෙක්නික් ආයතන 20 කට වඩා ඉදි කරන ලදහ. එමෙන්ම දිවයින පුරා ඔවුන් විසින් සීනි ගබඩා ද ඉදි කර ඇත. හාවානා පළාතේ පශු මධ්‍යස්ථාන, වඩුවැඩ කම්හල්, සහ පිනාර් ඩෙල් රියෝ හි ද්වීතිය පාසැල්, මැටැන්සාස් හි වඩුවැඩ මධ්‍යස්ථානයක් සහ කිරි ගොවිපොළක් ද, ලාස් විලාස් හි ද්වීතිය පාසැල් දෙකක් සහ කිරි ගොවිපොළවල් 10 ක් ෆිඩෙල්ගේ ක්‍රමයට විරෝධය පෑ නිසා දේශපාලන සිරකරුවන් බවට පත් වූ මිනිසුන් අතින් නිම කරවන ලදි.

එන්න එන්නම මේ වැඩ සැලසුම් වැඩි වැඩියෙන් සංකීර්ණ වෙන්නට පටන් ගැනිණ. වැඩි වැඩියෙන් සිරකරුවන් අවශ්‍ය වන්නට පටන් ගැනිණ.

ප්‍රතිවිප්ලවීය අදහස් ඇති අය ගැන විපරමින් සිටින කමිටු අසල්වැසියන් අතර පටන් ගැනිණ. පවුලේ අය අතර පවා සමීප සම්බන්ධකම් නැතිවෙන තත්වයට මහජනතාව අනිකුත් අයව පාවා දෙන්නට පටන් ගත්හ.

විප්ලවයේ ආරක්ෂාව පිණිස සඳහා වූ කමිටු (CDRs) ආරක්ෂක හමුදා ප්‍රධානියා වූ රමිරෝ වල්ඩේස් අතින් මෙහෙයවුනේ එක සති අන්තයක දී ලැයිස්තු අනුව ලක්ෂයකට වඩා පිරිසක් ප්‍රශ්න කරමින්, එයින් දහස් ගණනක් රට පුරා පැවති සිර කඳවුරු වලට පිටත් කර හැරීමෙනි.

“ප්‍රතික්ෂේප ක්‍රියාදාමය” (actos de repudio) නමින් පිළිවෙතක් සංවිධානය කරන ලද්දේ CDR විසිනි. එමඟින් ප්‍රතිවිප්ලවීය අදහස් ඇති අය යැයි ඉලක්ක වූවන් සහ ඔවුන්ගේ පවුල්වල අයට පණුවන් (gusanos) යැයි ලේබල් ගැසිණ. එවැනි “පණුවෙකුගේ” නිවසක් ඉදිරියේ රොක්වන ජනතාව ගෙදර අයට ගල් ගැසූහ. කැස්ත්‍රෝගේ සටන් පාඨ බිත්තිවල ලියන ලදි. පොලීසිය පැමිණියේ “මහජන විප්ලවීය ක්‍රියාකාරීත්වය” නිවැසියන්ට අනතුරුදායක තත්වයක් ඇතිකරද්දී පමණකි.

මෙවැනි නඩු නැතිව දඬුවම් පමුණුවන ක්‍රමවේදයෙන් කුඩා දූපතේ රටවැසියන් අතර ද්වේශය පැතිර යාම දිරිමත් කරවන ලදි. ප්‍රතික්ෂේප ක්‍රියාදාමයෙන් සමාජයේ සබඳතා පළුදු කර දමමින් සමාජවාදී රජයේ සර්වශක්තිය ඉස්මතු කෙරිණ. “පණුවෙකුට” තමන්ගේ ආරක්ෂාව සඳහා කළ හැකි වූ කිසිවක් නොමැති විය.

1988 දී එවැනි ප්‍රතික්ෂේප ක්‍රියාදාමයකට මුහුණ දෙන්නට සිද්ධ වූයේ කියුබන් මානුෂීය අයිතීන් කමිටුවේ සභාපති වූ රිකාඩෝ බොෆිල් පේජස් නැමැත්තාටයි. ඔහු මාක්ස්වාදය ඉගැන්වූ මහාචාර්යවරයෙකි. හාවානා විශ්ව විද්‍යාලයේ උප ප්‍රධානියා (rector) හැටියට තුරුණු වියේ දී ම පත්වූයෙකි. සිරගත කරනු ලැබූව ද, දීර්ඝ කාලයක් හුදකලාව වෙන් කර තැබුව ද, මානසික රෝහලක දමා තැබූව ද, භාර්යාව හා පුතු වෙතින් අයින් කර තැබූව ද, ආහාර නොමැතිව සහ දරුණු වධහිංසා වලට ලක් කළ ද, ඔහුගේ අදහස් වෙනස් කරන්නට ෆිඩෙල්ගේ පාලනයට නොහැකි විණ. ඔහුව මුලින්ම අත් අඩංගුවට ගැනෙන්නේ 1967 දී ය. දැක්ම වැරදි නිසා වසර 12 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ඔහුට නියම විණ. 1972 දී ඔහු සිරගෙදරින් නිදහස් කළ පසුව හාවානා හි කම්හලක් අතුගාන රස්සාවකට පත් කෙරිණ. ඒත් ෆිඩෙල්ගේ රජය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරනවා යැයි විරෝධය දැක්වූ නිසා 1980 දී ඔහුව යළිත් අත් අඩංගුවට ගැනිණ. කොම්බිනාඩෝ ඩෙල් එස්ටෙ සිරගෙදරට වසර 5 කට යැවිණ. හවානා හි ප්‍රංශ තානාපති කාර්යාලයට පළා ගොස් අනතුරුව ඇමෙරිකාවේ මයාමි හි පදිංචියට එන්නට හේ සමත් වෙන්නේ ප්‍රංශ ආණ්ඩුව වෙනස් වීමත් සමඟයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: