අරුණි ශපීරෝ‍ වෙතින්

කියුබන් සිහිනය මල්ඵල ගත්තේ ෆිඩෙල් සහෝදරයන්ට පමණි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 8, 2017

කියුබන් ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තියට අනුව රජය “රටේ සියළු ආර්ථික කටයුතු සංවිධානය, මෙහෙයවීම සහ නියාමනය කරන්නේ සමාජ සහ ආර්ථික වර්ධනය සඳහා වූ කේවල අරමුණේ නියෝගයන් අනුව” වෙයි. මේ සාමූහික අගය කියාපාන පද වහරෙන් සරල සත්‍යයක් සඟවනු ලබයි.

කැමති රස්සාවක යෙදෙන්නට කියුබන් වැසියන්ට අවසරයක් තිබුණේ නැත. එසේම තම මුදල් තමන් කැමති ලෙසකින් වියදම් කරන්නට නිදහසක් ද ඔවුනට වූයේ නැත. ඊට අවසර ලැබෙන්නට පටන් ගන්නේ සෝවියට් දේශයෙන් හිඟා කෑ සහනාධාර නැති වී යද්දී හටගත් “විශේෂ කාලය” තුල දී ජනතාවට එතෙක් කාලයක් බෙදා දුන් සලාක ඩිංගිත්ත පවා නැතිවී යද්දීය.

1980 ගණන් අග දී කියුබාව පුරා වියවුල් වාතාවරණයක් පැතිර ගියේය. ඒ බංකොළොත් වූ සෝවියට් රුසියාවෙන් එන සහනාධාර ක්‍රමයෙන් අඩු වී යන්නට පටන් ගනිද්දී ය. කම්හල් සහ තොග ගබඩා වලට ජනතාව පහර දෙන ලදි. සමහර තැන් පුළුස්සා දමන ලදි. පැය 72 ක් ඇතුලත දී විරුද්ධවාදීන් 500 ක් පමණ අත් අඩංගුවට ගැනිණ. ගම්බද වැසියන් පවත්වාගෙන ගිය පොළවල් වසා දමන ලදි. රට පුරා පැවති කළුකඩ වලට එරෙහිව ප්‍රධාන මෙහෙයුමක් දියත් විණ.

1978 දී සම්මතව පැවති නීතියක් අනුව ඕනෑම කියුබන් පුරවැසියක්ව රටේ ආරක්ෂාවට අනතුරුදායක යැයි කියමින්, සාක්ෂි සහ හේතු නොදක්වා අත් අඩංගුවට ගැනීමේ හැකියාව ලැබුණි. අපරාධකරුවෙක් වෙන්නට කළින් හිරබාරයට ගැනෙන ඒ පිළිවෙත රෙජිමයේ අදහස් සමඟ එකඟ නොවෙන චින්තනය සාපරාධී යැයි කියැවෙන, ඒ මඟින් ඕනෑම කියුබන් පුරවැසියෙක්ව සැකයට පාත්‍ර වෙන නීතියකි. නමුත් එය අත් අඩංගුවට ගැනීමෙන් පමණක් මර්ධනය කළ හැකි වාතාවරණයක් නොවිණ. ආහාර හිඟය මෙන්ම සියල්ලන්ම පාහේ රජයේ සේවකයන් වූ නිසා ඔවුන්ට පඩි නඩි ගෙවන්නට රජයට මුදල් ද නොමැති විය.

නැහැ, රටේ මිනිස්සු කන්න නැතිව ඉන්ඳැද්දී ස්විමිං පූල්, ටෙනිස් පිටි සහ මන්දිරයක් තිබූ සිය දූපත ෆිඩෙල් විකුණුවේ නැහැ.

විප්ලවීය කියුබාව බිහි වූ දා පටන් හැකියාව තිබූ කියුබන් වැසියන්, ෆිඩෙල්ගේ රෙජිමයට සිය අප්‍රසාදය පෙන්වීමේ නියැළුනහ. 1961 දී බෝට්ටු වලින් පළා යන්නට පටන් ගත්තේ (බල්සේරොස්) ධීවර ජනතාවයි.

මැරියෙල් අර්බූදයේ දී මිලියන 10 ක් වූ රටෙන් එක්ලක්ෂ විසිපන්දාහක් පිටවූහ. එහි දී රටෙන් පැනගත්තේ සමාජවාදය විසින් ආරක්ෂා කරගන්නවා යැයි හැම විටම උලුප්පමින් කියන අන්ත දුප්පත් ජනතාවයි.

සෑම ජන වර්ගයකම, සෑම වයසකම කියුබන් වැසියන්, විප්ලවීය රජය පටන් ගත් දා පටන් කළේ හැකි අවස්ථාවක දී කියුබන් සමාජවාදයෙන් පළා යාමයි. “මගේ මව්බිම මෙය වුණා නම්” යැයි කවි ලියන මනෝජ් ජයසේකර ගොතන “කියුබානු සිහිනය” කියුබාවේ පැවති සත්‍යය ජන ජීවිතය නොවීය.

මේ දිනවල ඇමෙරිකාවේ වොෂිංටන්, ඔරිගන්, මොන්ටෑනා සහ කැලිෆෝර්නියා ප්‍රාන්තවල ලැව්ගිනි පවතී. ටෙක්සාස් හි හාර්වි සුළි සුළං නිසා හටගත් ගංවතුර හානි පවතී. ෆ්ලෝරිඩාවට පාත්වෙන්නට යන අර්මා සහ එය පිටුපසින් එන හෝසේ සුළි සුළං අනතුරු අඟවයි. ඒත්, සිංහලෙන් කියවන අය අතර කතාබහ දුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ගහයි ද ගැනයි! වෙනිසියුලාවේ ජනතා නියෝජිත පාර්ලිමේන්තු සභාව විසුරුවා හැරි ආඥාදායක මධූරෝගේ ක්‍රියාව පැසසූ එකම ලෝක නායකයා ව්ලැඩමියර් පූටින් වීම ගැන සිංහලෙන් කියවන්නාට පුවත්පතකින් දැන ගන්නට ලැබෙන්නේ නැත.

ඉතින් කියුබාවේ වූ මේ දේවල් සිංහලෙන් කියවන්නාට ප්‍රධාන ජනමාධ්‍ය වලින් කවදා දැනගන්නට කවදා ලැබේවි ද?

රුසියාවෙන් එන සහනාධාර නවතිද්දී, 1994 දී ප්‍රචණ්ඩ කෝලාහල 1959 න් පසුව ප්‍රථම වරට හාවානා හි දකින්නට ලැබිණ. ඒ ෆිඩෙල් රෙජිමය විසින් ගෙනෙන ලද සියළු මර්ධන නීති එලෙසින්ම තව දුරටත් පවතිද්දීමය.

බල්සාස් නමින් හැඳින්වෙන පාරු වලින් රටෙන් පැන යන්නට හැදූ ජනතාව පොලීසිය විසින් වළක්වන ලදි. ඔවුන් මෙලාකොන් මුහුදු තීරයේ කොලොම්බො ප්‍රදේශයේ කොල්ලකෑම් පටන් ගත්හ. ජනතාව අත් අඩංගුවට ගත්ත ද, තත්වය පාලනය කර ගැනීම පිණිස ෆිඩෙල් විසින් 25,000 ක පිරිසකට රටෙන් පිටවන්නට අවසර දුනි.

එසේ රටෙන් පළා යන අයගේ බල්සාස් පාරු වලට ගුවනින් පැමිණෙන හෙලිකොප්ටර් වලින් වැලි ගෝනි දමන ලද්දේ ඒවා මුහුදු බත් කරන්නටයි. 1994 වසර තුළ දී කියුබාවෙන් පළා යන්නට හැදූ ජනතාව අතරින් 7,000 ක් මුහුදේ දී ජීවිතක්ෂයට පත්වූහ. බල්සේරෝස් අයගෙන් තුනෙන් දෙකක් මුහුදේ දී මිය ගියා යැයි ගණන් බලා ඇත.

වසර 30 ක් ඇතුලත ලක්ෂයකට වඩා පිරිසක් රටෙන් පැන යන්නට සමත් වූහ. ෆ්ලෝරීඩාවේ මයාමි, ස්පාඤ්ඤය සහ පුවෙර්තො රීකෝ හි මේ කියුබාවෙන් පළාගිය ජනතාව මිලියන 2 ක් පමණ ජීවත් වෙති.

මයාමි පැත්තේ සංචාරය කරද්දී කියුබන් ස්පාඤ්ඤ බස හැම තැනක දී ම අසන්නට ලැබේ. ඒ කෑම බීම වර්ග සහ සිංදු නොමඳව වින්ඳනයට හැකියාව පවතී. කියුබාවෙන් පාරුවක නැඟ අතේ සතයක් නැතිව පළා ඇවිත් මයාමි හි කෝපි කඩයක අයිතිකාරියක් වන්නට හැකි වූ කාන්තාවක් අපි හා පැවසූ කතාවක් මෙසේය. ඇය ප්‍රාථමික පාසැල් අධ්‍යාපනයේ යෙදී සිටිය දී වරක් ෆිඩෙල් ඇයගේ පාසැලට පැමිණ ඇත. බහුතරය කතෝලික ආගමිකයන් වූ දරුවන් ඉදිරියේ ෆිඩෙල් “දෙවියන්ගෙන් අයිස් ක්‍රීම් ඉල්ලන්න,” යැයි කියා ඇත. පාසැල් දරුවන් එසේ දෙවියන් වෙතින් අයිස් ක්‍රීම් ඉල්ලා යාඥා කළහ. අනතුරුව මඳ වේලාවක් බලා සිටි ෆිඩෙල්, “දැන් ෆිඩෙල්ගෙන් අයිස් ක්‍රීම් ඉල්ලන්න,” යැයි කීය. ඔවුන් ෆිඩෙල් ගෙන් අයිස් ක්‍රීම් ඉල්ලූහ. සැනෙකින් අයිස් ක්‍රීම් බෙදා දුනි. දෙවියන්ට වඩා රජය සර්වබලධාරී බව අමතක නොකරන්න යන සමාජවාදී පාඩම ළමා මනස්වලට කාවද්දන ලද්දේ එලෙසිනි.

කැමති උත්සාහයක නියැළී ආදායමක් උපයන්නට හෝ තම වෙහෙසේ ඵලදාව කැමති ලෙසකින් වියදම් කරන්නට හෝ කිසිත් ඉඩ නොදී, වසර 56 ක් පමණ කාලයක් ජනමතය විමසන මැතිවරණයක් නොමැතිව, පළා යන්නට පවා ඉඩ නොදෙමින්, හිංසනයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් බලය අල්ලාගෙන සිටින ආඥාදායකයෙකුගේ කේවල කැමැත්ත පරිදි ආහාර බෙදන ක්‍රමයක් ගැන සිහින මවන අයවළුන්ගේ මනස් කොතරම් පටු රාමුවක හිර වී ඇත්ද!!!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Ajith Dharma said, on සැප්තැම්බර් 22, 2017 at 10:48 පෙ.ව.

    //1980 අග දී කියුබාව පුරා වියවුල් වාතාවරණයක් පැතිර ගියේය. ඒ බංකොළොත් වූ සෝවියට් රුසියාවෙන් එන සහනාධාර ක්‍රමයෙන් අඩු වී යන්නට පටන් ගනිද්දී ය. කම්හල් සහ තොග ගබඩා වලට ජනතාව පහර දෙන ලදි. සමහර තැන් පුළුස්සා දමන ලදි. පැය 72 ක් ඇතුලත දී විරුද්ධවාදීන් 500 ක් පමණ අත් අඩංගුවට ගැනිණ. ගම්බද වැසියන් පවත්වාගෙන ගිය පොළවල් වසා දමන ලදි. රට පුරා පැවති කළුකඩ වලට එරෙහිව ප්‍රධාන මෙහෙයුමක් දියත් විණ.// අරුණි මම සෝවියට් දේශයේ හිටියේ 1984 සිට 1991 දක්වා කාලය තුල. මම ඉගෙන ගත්ත පන්තියේ තාප බලාගාරයක ඉංජිනේරුවන් ලෙස වැඩ කරන්න යන කියුබනුවන් 20 පමණ හිටියා . ඔවුන් අතේ වැඩිපුර මුදල් ගැවසුණේ නැති එක ඇත්ත. නමුත් රුසියානු සහනාධාර අඩුවෙන්න පටන් ගත්තේ 1988-89 වනවිට වෙන්න ඕනේ. සෝවියට් දේශය වැටුනේ 1991 නේ. ඔවුන් කිසිම දවසක මෙහම ප්‍රශ්නයක් ගැන කියල නැහැ. මම ලියු ලිපියක් තිබෙනවා ඔබ කැමති නම් මෙතැන් ලින්ක් එක දාන්නම්. ඔවුන්ට මට ඇත්ත කියන්න තිබ්බ. එතැන් කණඩායමේ එක්කෙනෙක් පමණයි පක්ෂය එක්ක හිටියේ. අනිත් අය සාමාන්‍ය ශිෂ්‍යයෝ. එක්කෝ මොලේ හෝදලද ද්දන්නේ නැහැ, චේ ට උන් කවදාවත් බන්නේ නැහැ. කස්ත්‍රෝට විරුද්ධව නම් යම් යම් දේ කිව්වා.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2017 at 10:33 පෙ.ව.

      Ajith Dharma,

      විශේෂ කාලයේ ආරම්භය 1989. සංශෝධනය කළා, පෙන්වා දුන්නට ස්තූතියි.

      ඔයා ලියන ලින්ක් මෙතැන දාන්න ඕනෙ නෑ. 🙂

      චේ ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු අප්‍රිකාවේ සිටිය දී ෆිඩෙල් ප්‍රසිද්ධ කිරීම නිසා චේ ට ආපහු කියුබාවට යන්න හේතුවක් නැතිව ගියා. ෆිඩෙල් චේ ව අයින් කරගත්තෙ එහෙමයි. අදත් කැස්ත්‍රෝට සහ චේ ට විරුද්ධව කිසිත් කියන අය කියුබාවේ සහ වෙනිසියුලාවේ අඩුයි කියල තමයි අහන්න ලැබෙන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: