අරුණි ශපීරෝ‍ වෙතින්

කියුබන් ජනතාව ගෙවූ විශේෂ කාලපරිච්ඡේදය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2017

තම ආර්ථිකය බංකොළොත්වී කඩා වැටෙන්නට පෙර සෝවියට් රුසියාවෙන් කොමියුනිස්ට් කියුබාවට වසරක් පාසා ඩොලර් බිලියන 6 ක ආර්ථික සහනාධාර ලැබී තිබුණි.

සෝවියට් දේශය සමඟ තිබූ සීනි-පෙට්‍රෝලියම් වැනි ගණුදෙනු වලින්, දිවයින තුල පරිභෝජනය නොකළ බොරතෙල් කියුබාව විසින් විදේශයන්ට විකුණන ලදි. 1990 ට පෙර කියුබාවේ දෙවැනි විශාලතම අපනයනය එය විය. සෝවියට් දේශය පොරොන්දු වී සිටි සහනාධාර තව දුරටත් යැවීම රුසියන් සමූහාණ්ඩුව නවතා දැමිණ.

1989 සිට 1993 දක්වා කාලය කියුබන් ජනතාව හඳුන්වන්නේ ‘ස්පෙෂල් පීරියඩ්’ හෙවත් විශේෂ කාලපරිච්ඡේදය කියායි.

ප්‍රවාහනය සහ විදුලිය ඇණ හිටීම දිනපතා සිද්ධ විය. ගොවිතැන් සහ කම්හල් ක්‍රියාවිරහිතව පැවතිණ. සමහර දිනවල බසයක් එනතුරු පැය තුනක් බලා සිටින්නට සිද්ධ විණ. විදුලිය ඇණ සිටීම එක දිගට පැය 16 ක් පමණ පැවතිණ.

බුදින්නට ආහාර ලැබුනේ සෝවියට් සහනාධාර ලැබෙන කාලයට වඩා පහෙන් එකකි. කියුබන් ජනතාව කොතරම් කුසගින්නේ සිටියා ද කියතොත් දූපතේ පූසන් සහ පරෙයියන් වඳ වී ගියහ. හාවානා සත්තු වත්තේ මොනරුන්, මීහරකා සහ රියා (ඔස්ට්‍රිච් වැනි කුරුල්ලන්) අතුරුදහන් වූහ.

රජයෙන් ලැබුණු සලාක ඉතා කුඩා වූහ. කියුබන් හමුදාවේ සේවය කළ මවක් සිය දවල් ආහාරයට එහි දී ලැබුණු කෑම වේල ඉතිරි කරගෙන ගෙදර ගෙන ආවේ බාලාංශයට යන වයසේ වූ පුතුට එක වේලක් හෝ කන්නට ලබාදෙනු පිණිසයි.

මේ විශේෂ කාලපරිච්ඡේදයේ දී මන්දපෝෂණය නිසා ලෙඩරෝග පැතිර ගියේය. රට පුරා දියවැඩියාව, හෘදයාබාධ වැඩිවිණ. 1982 සිට 1993 දක්වා කාලයේ දී වයසක උදවිය අතර මරණ 20% කින් ඉහළ යන ලදි.

තිස්දාහක කියුබන් වැසියන් රටෙන් පළා ගියහ. දහස් ගණනක් මුහුදේ ගිලී මළහ. සමහරු මෝරුන්ට බිලි වූහ.

කියුබන් රජය 1993 තෙක් ඇමෙරිකන් සහනාධාර ප්‍රතික්ෂේප කළහ. 1993 දී ආහාර සහ බෙහෙත් ඖෂධ යනාදී වශයෙන් මානවවාදී ආධාර යවන්නට ඇමෙරිකන් රජය පෞද්ගලික සංවිධාන වලට ඉඩ දුනි. කියුබාවේ කම්හල් වසා දමන්නට සිද්ධ වූ බැවින් රජයේ රස්සා මිලියන ගණනක් නැතිවී යන ලදි. ඒ රජයේ සේවකයන්ට ලබාදෙන්නට වෙන රස්සා නොතිබිණ. කාබනික වගාවේ යෙදෙන්න යැයි කිව්ව ද, ඊට ඔස්ට්‍රේලියන් කණ්ඩායම් වල සහාය ලැබුණ ද, බඩගින්නේ සිටි ජනතාව එහි නියැළුනේ නැත.

වර්තමාන අර්බූදකාරී වෙනිසියුලාවේ වැසියෙක්ගේ බර අවම වශයෙන් රාත්තල් 19 ක් දක්වා අඩු වී ගියා යැයි වාර්තා වේ. කියුබාවේ විශේෂ කාලපරිච්ඡේදය ගෙවී යද්දී කියුබන් වැසියෙක්ගේ බර රාත්තල් 20 (කිලෝ 9) දක්වා අඩු වූවා යැයි සැලකේ. එදා වෙනිසියුලාවට පුහුණු ශ්‍රමිකයන් යවා ඒ වෙනුවට අඩු මිලට බොර තෙල් ලබාගන්නට කියුබාවට අවස්ථාව පෑදිණ. ඒත් රජයක් ආර්ථිකය මෙහෙයවන්නට නොදන්නේ යැයි සනාථ කරමින් වෙනිසියුලාවේ ද ආර්ථිකය බංකොළොත් වෙද්දී, එහි තෙල් නිෂ්පාදනය අඩපණ වී පවතිද්දී අද කියුබාව තෙල් අර්බූදයකට මුහුණ පාමින් සිටියි.

සෝවියට් දේශය මෙන්, කොමියුනිස්ට් චීන සමූහාණ්ඩුව මෙන්, කැස්ත්‍රෝ සහෝදරයන්ගේ කියුබන් දූපත ද පෞද්ගලික ආර්ථික කටයුතුවල නියැළෙන්නට ජනතාවට ඉඩදෙන්නට පටන් ගත්හ.

මහත් පිරිසක් සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපාර කටයුතු පටන් ගත්හ. රාජ්‍ය නොවන රස්සා අතර වැඩිම ආදායමක් උපයන්නට හැකියාව ඇත්තේ සංචාරකයන්ට මඟපෙන්වන රස්සාවන්හි නියැළෙන අයටයි. රජයේ සේවකයෙක් මාසයක දී හොයන වේතනය මෙවැන්නෙක් එක සංචාරකයන් කණ්ඩායමකින් ටිප් හැටියට උපයයි. සමාජවාදී පස් අවුරුදු සැලසුම් අසාර්ථක වූ තවත් දූපතක එක් කාලයක දී දන්න කියන හැම අයෙක්ම පාහේ තමන් ‘ටුවරිස්ට් ගයිඩ්” යැයි කියාගත් හැටි මෙහි දී මගේ සිහියට නැඟේ.

පැලඩාර් නමින් හැඳින්වෙන්නේ මේ විශේෂ කාලපරිච්ඡේදයේ දී පටන් දකින්නට ලැබෙන පෞද්ගලික අයිතියෙන් යුතු කුඩා අවන්හලකි. අලාමේසා (AlaMesa) නමින් ඇති කියුබන් ස්මාට් ෆෝන් ඇප් එක යෙල්ප් හා සමාන වූවකි. එය ඉන්ටනෙට් හා සම්බන්ධ නොවීම සංචාරකයන් විසින් ශ්‍රේණිගත කරන අවන්හල් සොයා දෙන්නකි. එය භාවිතා කරන අය ඉන්ටනෙට් හා සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙද්දී තොරතුරු අප්ඩේට් කරති.

සංචාරකයන්ට විකුණන්නට ඇති ටී-ෂර්ට් අතර හිනා උපදවන පාඨ ද දකින්නට ලැබේ. “කියුබන් අය ගෝලීය උෂ්ණත්වය වැඩිවීම ගැන බිය නොවෙති. ඒ අපි දැනටමත් දැවෙන ගින්න මැද්දේ ඉන්න නිසයි.”

සංචාරයට යන්නට අවසර ලැබීමත් සමඟ 2016 දී පමණක් ලක්ෂ 6 ක ඇමෙරිකන් සංචාරකයන් කියුබාවට ගොඩවැදී ඇත. දිවයිනට එන සංචාරකයන් ගෙන් 60-80% ත් අතර ඉන්නේ ඇමෙරිකන් (කියුබන් ඇමෙරිකන් ද ඇතුළුව) යැයි කියුබන් අවන්හල් හා නවාතැන් අයිතිකරුවන් කියති.

කියුබාව තුල නිසියාකාර ඉන්ටනෙට් පහසුකම් නොමැතිවීම නිසා ව්‍යාපාර කටයුතු කරගෙන යෑම දුෂ්කර බව එවැනි නවාතැනක අයිතිකාරියක් පවසයි. 22 කට නවාතැන් සපයන ව්‍යාපාරයක් අයිති ඇය ඔවුන්ගේ වෙබ් අඩවිය පවත්වාගන්නේ ඉතාලියේ වැසියන්ට ගාණක් ගෙවීමෙනි. ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මාර්ගයෙන් එන විමසීම් වලට උත්තර දෙන්නට ඔවුන් ඉක්වදෝරයේ අයට ගෙවති. ඉන්ටනෙට් මාර්ගයෙන් කරන ගෙවීම් සිද්ධ වෙන්නේ මයාමි හි දී ය, එහි වාසීන් ඒ මුදල් හවානා වෙත අරගෙන යති.

සාමූහිකත්වයේ මුලාවට රැවටීම නිසා මුහුණ දෙන බංකොළොත් වූ ආර්ථිකයෙන් ගොඩ එන්නට කියුබන් වැසියන් ඒකීය වූ උත්සාහයන්හි නියැළීම අරඹා ඇත. ඒත් ඔවුන් මුහුණ දුන් “විශේෂ කාලපරිච්ඡේද” තත්වය යළිත් කියුබාවේ පමණක් නොව වෙන ඕනෑම රටක, සැබැවින්ම ‘නව ලිබරල්වාදී’ ඇමෙරිකාවේ වුවද ඇතිවිය හැකියි. නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එහි සෑම බිම් අඟලක්ම රජයේ අභිප්‍රාය යටතේ දියුණු කරන්නට පෙරුම් පුරන බව ප්‍රසිද්ධියේ කීය. පෞද්ගලික අයිතියෙන් යුතු සිය වෙහෙස හා වෙහෙසේ ඵලදාව ගැන මිනිසුන් ගන්නා තීරණ ඔවුන් අතින් ඉවත්ව රජය සතුවෙද්දී දුප්පත්ම මිනිසා වැඩිම පීඩනයට පත්වූ බව ඉතිහාසය නැවත නැවතත් පෙන්වයි.

අද කියුබාව ගැන තොරතුරු “හාමතය නොව කියුබානුවන් ධනවාදීන් කරන්නේ වෙළඳාම හා සංචාරක වෘත්තියයි” යන උප සිරස්තලයෙන් යුතු ස්ටෙෆනී ස්ලේඩ් ලියූ ලිපිය ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: