අරුණි ශපීරෝ‍ වෙතින්

කියුබාවේ වෛද්‍ය ක්ෂේත්‍රය

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 15, 2017

ජෝර්ජ් ඔර්වෙල් ලියූ සත්ව ගොවිපොළ පොතේ “සියළු සත්තු එක හා සමානයි” යන්න වැඩිකල් නොගිහින් “සියළු සත්තු එක හා සමානයි, නමුත් සමහර සත්තු අනික් සත්තුන්ට වඩා සමානයි,” යැයි වෙනස් කිරීම සිද්ධ වේ. සෑම කොමියුනිස්ට් සහ සමාජවාදී වෑයමක දී ම, ආණ්ඩුව විසින් තීන්දු කළ අසමාන තත්වයන් රටවැසියන්ට අත්විඳින්නට සිද්ධ වූ බව පැහැදිලිවම දකින්නට ලැබේ. මැතිවරණ නොමැතිව බලය අල්ලාගෙන සිටි “ජනතා හිතවාදී” කොමියුනිස්ට්/සමාජවාදී පාලකයන් සියල්ලන්ම පාහේ සාමාන්‍ය රටවැසියාට හිතන්නට පවා නොහැකි වූ සුඛෝපභෝගී ජීවිත ගත කළහ.

කොමියුනිස්ට්/සමාජවාදී පාලකයන් ගෙන ගිය/යන කුරිරු ඝාතන, වධහිංසා සහ ප්‍රජා පීඩනය නොදන්නා ලොව බහුතරය, ඒ රටවල ආර්ථික බංකොළොත් වූවා යැයි පැහැදිලිවම පෙනෙද්දී වැරැද්ද නායකත්වයේ හෝ සමාජවාදයේ නොවේ යැයි කියති.

ඇමෙරිකාවේ වැසියන් පවා (නොමිලේ බෙදන පාසැල් ක්‍රමය තුලින්) කොමියුනිස්ට් වෑයම් වලින් සිද්ධ වූවාට වැඩියෙන් ඇමෙරිකන් රජය විසින් ලොව මරා දමන ලද මිනිස් ජීවිත සංඛ්‍යාව වැඩි යැයි විශ්වාස කරති. සත්‍යය ඊට හාත්පසින්ම වෙනස් වූවකි. හිට්ලර් ගැන දැඩි අප්‍රසාදය පළ කරන ඇමෙරිකන් ගුරු වෘත්තියේ යෙදෙන අය පවා, “ඔවුන් ඇත්තෙන්ම වැරදිකරුවන් දැයි නොදැන අපි ගොඩක් අයව වෙඩි තබන පේලි ඉදිරියට ගෙනැවිත් මරා දැමුවා. සමහර අවස්ථාවල දී, විමර්ශනයක් පැවැත්වීම සඳහා විප්ලවයට නවතින්න බැහැ,” (විප්ලවය, කාලෝස් ෆ්‍රැන්කුවි, 1962) යැයි කියූ චේ ගුවේරා වීරයෙක් යැයි විශ්වාස කරති.

“මම, පැන්සල” වැනි සරල කතන්දරයකින් කියාදෙන සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් වෙන ස්වභාවික ක්‍රියාවලිය හඳුනාගන්නට උපන් දා පටන් “පිවිතුරු පරමාර්ථ” හැටියට ගිලින ලද සමාජවාදයේ හිර වී සිටින අයට නොහැකියි. රටක සම්පත් සියල්ලන් වෙතම සමාන වූ ආකාරයෙන් බෙදා දෙන්නට හැකි ක්‍රමයක් ඇතැයි විශ්වාස කරමින් ඔවුන් “සමහර සත්තු අනික් සත්තුන්ට වඩා සමාන” කරවන පිළිවෙත යනු වැඩියෙන් ජනතා හිතවාදී ක්‍රමය යැයි තරයේ එල්බ සිටිති.

නොමිලේ බෙදන ඕනෑම දෙයක් “සමහර සත්තු අනික් සත්තුන්ට වඩා සමාන” කරවන ක්‍රමයකි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ද එසේම වෙති. “සමහර සත්තුන්ට” පමණක් යන්නට අවසර ලැබෙන විශේෂ රෝහල් සහ පෞද්ගලික රෝහල් පැවතීම පමණින්, නොමිලේ බෙදීමෙන් පමණක් “සියළු සත්තු එක හා සමාන” ලෙසින් තෘප්තියක් නොලබන බව අවබෝධ කරගත හැකි විය යුතුයි. ඒත් එතරම් සරල සත්‍යයක් තේරුම් ගන්නට නොහැකි අය උගතුන් යැයි කියාගන්නා අය අතර පවා සිටිති. ඔවුන් අතර අල්පයක් සැබැවින්ම සිය නායකයන්ට පමණක් නොමිලේ යා හැකි විශේෂ රෝහල් සහ පෞද්ගලික රෝහල් ගැන නොදන්නවා විය හැකියි. එහෙත් ඉන් බහුතරය, නායකත්වය හැර සෙසු මහත් සමාජය එක හා සමාන කරවන නිසා නායකත්වය පමණක් අනික් සත්තුන්ට වඩා සමාන සත්තු වෙති යැයි, පිළිගෙන සිටිති. මේ පිරිස අර කැමැත්තෙන් දෙන්න කැමති අයගෙන් කැමැත්තෙන් ගන්න කැමති අයට එකිනෙකා හා හුවමාරුවේ නියැළීමට තරයේ විරෝධය දක්වන කොට්ඨාශය වීම කොතරම් අරුමයක් ද?

නොමිලේ බෙදන සෞඛ්‍ය සේවයක් ලබාගන්නා වර්තමාන ලංකාවේ අය බෙහෙතක්, එන්නතක්, වෛද්‍ය වාර්තාවක් යනාදියට මුදල් ගෙවන්නේ ඇයි? සැත්කමකට පෙර අවශ්‍ය වාර්තා, සැත්කමෙන් පසු බෙහෙත් යනාදිය සෞඛ්‍ය සේවාවට අයිති නැද්ද?

කියුබාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ගැන පැසසුම් තරම් ප්‍රථුල ලෙසින් ලොව වපුරන ලද මිථ්‍යාවක් ලොව නැති තරම්ය.

කියුබාවේ වෛද්‍ය ක්ෂේත්‍රය ස්තර 3 කින් යුතුයි. එකක් විදේශ ව්‍යවහාර මුදල් වලින් ගෙවත හැකියාව පවතින විදේශිකයන්ටයි. කියුබාවේ ආණ්ඩුවේ නිලධාරීන්ට සහ කැස්ත්‍රෝ සහෝදරයන්ගේ විශේෂ සැලකිලිවලට පාත්‍රවන කියුබාවේ වැසියන්ට ලබාගත හැකි වෛද්‍ය සේවය අනෙක් ස්තරයයි. ඊ ළඟ ස්තරය, සමාජවාදයේ පරම වෙළඳාම් අවිය හැටියට යොදාගන්නා “සියළු සත්තු එක හා සමාන” යැයි සැලකෙන වෛද්‍ය සේවයයි.

යම් තරමකට ආණ්ඩුව මැදිහත්වීමෙන් නොමිලේ වෛද්‍ය සේවා සපයන ඇමෙරිකාවේ වෛද්‍යවරයෙකුගේ වාර්ෂික සාමාන්‍ය වැටුප ඇමෙරිකන් ඩොලර් මිලියන භාගයකට ආසන්නයි. ලංකාවේ වෛද්‍යවරයෙක්ගේ සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් දහදාහකට (රුපියල් 1,300,000) ආසන්නයි. චීනයේ වෛද්‍යවරයෙකුට වසරකට ලැබෙන්නේ ඩොලර් පන්දාහක් පමණ වේ. කියුබාවේ වෛද්‍යවරයෙක් වසරකට ඩොලර් 500 ක් පමණ උපයයි.

ලංකාවේ නොමිලේ බෙදන සෞඛ්‍ය සේවා ලබාගන්නා අය නිතරම ඒ ඒ සැත්කම් හා බෙහෙත් සඳහා දන්නා කියන අය වෙතින් ආධාර එකතු කරන ආකාරය දකින්නට ලැබේ. රෝහල්ගත වී සිටින අයට ද බෙහෙත් පිටතින් මිල දී ගන්නට සිද්ධ වෙන අවස්ථා වැඩි මිසෙක අඩු නැති බව පෙනී යයි.

කියුබාවේ නොමිලේ බෙදන සෞඛ්‍ය සේවය ලංකාවටත් වඩා ඛේදනීය වූවකි.

කැනඩාවේ National Post පුවත්පතේ ඉසබෙල් වින්සන්ට් සමඟ කතා කරන හෙදියක් පවසන්නේ “වසරකට වඩා කාලයක් පුරා කියුබන් කඩේක ඇස්ප්‍රින් පෙත්තක් දැකල නැහැ. ඔයාගෙ පර්ස් එකේ තියනවා නම් පෙති, ඒවා කල් ඉක්ම වී ගිහින් තුබණත් මම ගන්නම්,” කියායි.

ඇස්ප්‍රින් පෙත්තකට පවා බෙහෙත් සීට්ටුවක් ලියන්නට සිද්ධ වෙන කියුබන් රෝහල් පාමසි වල ඇස්ප්‍රින් පවා නැති අවස්ථා වැඩි අතර බාහිර රෝගීන්ට නොමිලේ බෙහෙත් සපයන්නේ නැත.

රාජ්‍ය මැදිහත්වීම් ඇතිවෙද්දී නිරතයෙන්ම ඇතිවන කළුකඩ පාමසි හැරෙන්නට පෞද්ගලික පාමසි තවම විවෘත නැත. ඒ කළුකඩ පාමසි වලින් මුදල් අතැති ජනතාවට බෙහෙත් මිල දී ගන්නට රජයේ රෝහල් වලින් හොරාගත් බෙහෙත් සපයන්නේ වෙන කිසිවෙක් නොව සමහර වෛද්‍යවරුන්, හෙදි සේවකයන් සහ රෝහල සුද්ධ පවිත්‍ර කරන සේවකයන් විසිනි.

කියුබාවේ ළදරු මරණ සංඛ්‍යාව ඉතා අඩු යැයි පැසසුමට ලක්වෙද්දී 2007 දී මේ ගැන වාර්තාවක් ගෙනෙන ලද්දේ ජේ නොර්ඩ්ලින්ගර් විසිනි. රටක සාමාන්‍ය සෞඛ්‍ය සේවා මට්ටම් ගණනයේ දී ළදරු මරණ සංඛ්‍යාව සලකා බලන හේතුව නිසා ගර්භනී සහ ළදරු සෞඛ්‍ය සේවා ගැන වැඩි අවධානයක් යොමු කරන්නට කියුබාවේ වෛද්‍යවරුන්ට නියම වී ඇත. ගර්භනී මව ගැන විශේෂ අවධානයකින් සිටින රජයේ වෛද්‍යවරයා ඕනෑම හේතුවක් නිසා යම් විපරිතයක් ඇතැයි සැක කළේ නම් එවිට ගැබ්ගෙන සිටීම “විච්ඡින්න” (interrupt) කිරීම සිද්ධ වේ. එය ගබ්සාව හැඳින්වෙන වෙනත් නමකි. කියුබාවේ ගබ්සා සංඛ්‍යාව ඉතා ඉහළ වේ. එසේ ඔවුන් ඉහළ ළදරු මරණ සංඛ්‍යාව අඩු මට්ටමකින් පවත්වා ගනිති.

ක්ෂය රෝගය, ලාදුරු සහ ටයිෆොයිඩ් උණ වැනි බෝවෙන රෝග මෙන්ම එහි පවතින ඩෙංගු උණ ද කියුබාව ලොවෙන් වසන් කරනු ලබයි. 1997 ජූනි මාසයේ සැන්තියාගෝ ද කියුබා හි ස්වාධීන වෛද්‍ය විද්‍යාලයේ නිර්මාතෘ සහ සභාපති සැන්තියාගෝ හි පැතිර ඇති ඩෙංගු වසංගතය ගැන ලොවට හෙළි කළේය. විශාල පිරිසක් රෝගී වුවත් රජය ඩෙංගු වසංගතය පැතිර ඇතැයි ජනතාවට දැන්වූයේ නැතැයි හේ ඇමෙරිකන්, මෙක්සිකෝ, නෙදර්ලන්ත, ස්පාඤ්ඤ මාධ්‍ය හමුවේ කියා සිටියේය. 1997 නොවැම්බර් 18 වැනිදා ඔහුව අත් අඩංගුවට ගැනිණ. හතුරු ප්‍රොපගැන්ඩා සඳහා සහාය දුන්නා යැයි ඔහු වරදකරුවෙක් විණ. වසර 8 ක් හිරේට නියම වූ ඔහු සැන්තියාගෝ හි බොනියාටෝ සිරගෙදර වසර එකහමාරක සිරදඬුවමක් ගෙවීය. මානුෂීය අයිතිවාසිකම් ව්‍යාපාර ඇතුළු Human Rights Watch වැනි සංවිධාන ඔහු වෙනුවෙන් බටහිර රටවල හඬක් නැඟූ නිසා කියුබාවෙන් ස්පාඤ්ඤයට පිටමං වෙන කොන්දේසිය අනුව ඔහුව කියුබාවෙන් 1998 නොවැම්බරයේ දී නිදහස් කෙරුණි.

ඒත් කියුබාවේ සෞඛ්‍ය සේවා අගයන, ලංකාවේ ඩෙංගු මර්ධනයට කියුබන් පිළියම් සොයන ජනතාව කියුබාවේ ඩෙංගු වසංගතය ගැන කියුබාවේම වෛද්‍යවරයෙක්ව සිටි ඩෙසි මැන්ඩෝසා රිවෙරෝ ලියූ පොත පක්ෂපාතී යැයි කියනු ඇත. ඒ අය නිකලායි ඔස්ත්‍රොවෙස්කි ලියූ වානේ පන්නරය ලැබූ හැටි යනු සැබෑ සෝවියට් ජන ජීවිතය ලෙසින් පිළිගන්නා අයයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: