අරුණි ශපීරෝ‍ වෙතින්

නිකරාගුවා: ආඥාදායකත්වයේ අසාර්ථක මෙහෙයුම්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 17, 2017

නිකරාගුවා යනු මධ්‍යම ඇමෙරිකාවේ පිහිටි පුංචි රටකි. ලෝකයේ දුප්පත්ම රටවල් අතරට වැටෙන එය ප්‍රචණ්ඩත්වයෙන් පිරී පවතී. විප්ලවීය කැරලිකරුවෙකු වූ ඔගුස්ටෝ සෙසාර් සැන්ඩිනෝ නැමැත්තාව සාම සාකච්ඡා සඳහා එකඟ කරවාගෙන අනතුරුව ඔහුව ඝාතනය කළ ඇනස්ටාසියෝ සොමොසා ගාසියා නිකරාගුවා හි ජනාධිපති තනතුර අල්ලා ගත්තේය. 1896 සිට 1956 දක්වා කාලයෙන් කාලයට නිල වශයෙන් බලයේ සිටිමින් අනෙක් කාලයන් හි දී ජාතික හමුදාව (National Guard) තුලින් බලය මෙහෙයවමින් සොමෝසා පවුල (පියා, වැඩිමහල් පුතා, දෙවැනි පුතා) වසර 43 ක කාලයක් රට අල්ලා ගෙන සිටියහ.

සොමෝසා පවුලේ බලය ජාතික හමුදාව විය. වගා කළ හැකි භූමියෙන් 25% ක්, සියළුම දුම්කොළ, සීනි, සහල් හා කෝපි වතුයායන් වගේම රටේ කම්හල් වලින් වැඩිපුර ප්‍රමාණය සොමෝසා පවුලේ පාලනය යටතට ගෙන තිබිණ.

දෙවැනි පුතා වූ ඇනස්ටාසියෝ සොමෝසා ඩිබායල් 1967 පෙබරවාරියේ ජනාධිපති වශයෙන් “තේරී පත් වෙද්දී” අවිගත් විරෝධතා ව්‍යාපාර ගණනාවක් නිකරාගුවා හි ඇරඹී තිබිණ. කියුබන් මොඩලය අනුව යමින් කාලොස් ෆොන්සේකා අමඩෝර් සහ තොමාස් බොර්ජෙ 1961 දී සැන්ඩිනිස්ටා ජාතික නිදහස් පෙරමුණ (FSLN) පටන් ගන්නා ලදහ. ඔවුන්ගේ පෙරමුණේ නම් වූයේ 1920 ගණන් සිට ගරිල්ලා යුද්ධයක් මෙහෙයවා අනතුරුව 1934 දී සොමෝසා රජය විසින් ඝාතනය කරනු ලැබූ වාමාංශික හමුදා ජනරාල් ඔගුස්ටෝ සේසාර් සැන්ඩිනෝ සිහි කරන්නටයි.

සැන්ඩිනිස්ටා පෙරමුණ දූලි ගෑවි යන තරම් අසාර්ථක මෙහෙයුම් ගණනාවක ඔවුන් යෙදුනහ. ඒත් උතුරු කොරියාව සහ කියුබාව ලබා දුන් සහායෙන් ඔවුනට සිය පැවැත්ම ආරක්ෂා කරගන්නට හැකිවිණ.

1967 දී මැනාගුවා හි කැරලි කෝලාහල හටගති. ජාතික හමුදාව විසින් එය මර්ධනය කළේ පාරට බැස සිටි පිරිසෙන් අඩුම වශයෙන් 200 ක් පමණ මිනිසුන් මරා දැමීමෙනි. මෙම ඝාතන හමුවේ සොමෝසා විරෝධීන් ලෙසින් පෙනී සිටි සැන්ඩිනිස්ටා පෙරමුණ මහජනතාවගේ ප්‍රසාදය දිනාගන්නට සමත් වූහ.

පේද්‍රෝ හුවාකින් චමෝරෝ නැමැත්තා ‘ලා ප්‍රෙන්සා’ නම් ලිබරල් පුවත්පතේ අයිතිකරු විය. ඔහු සොමෝසා පාලනයට විරෝධය පෑ අය අතර නායකත්වය ගත්තෙකි. 1978 දී ඔහුව ඝාතනය විය. එහි දී සැන්ඩිනිස්ටා පෙරමුණ යළිත් සිය ගරිල්ලා කටයුතු පටන් ගත්හ. සැන්ඩිනිස්ටා පෙරමුණ සහ සොමෝසාගේ ජාතික හමුදාව අතර පැහැදිලිවම සිවිල් යුද්ධයක් ආරම්භ විය.

1978 පෙබරවාරි 21 දා මසායා නගරය කැරල්ලකින් නැඟී සිටියහ. අගෝස්තු මාසයේ දී එඩේන් පැස්ටෝරා නම් වූ ගරිල්ලා නායකයෙක් මනාගුවාහි ජනාධිපති මන්දිරයේ දී සොමෝසා සමඟ ජීවිත ඇපකරුවන් 1,200 ක් අල්ලා ගන්නට සමත් විය. සැන්ඩිනිස්ටා පෙරමුණේ නායකයන් කිහිප දෙනෙක් නිදහස් කරමින් ඒ ඇපකරුවන් බේරාගන්නට රජය සමත් විය. සැප්තැම්බර් මාසයේ එස්ටෙලි නගරය සැන්ඩිනිස්ටා ප්‍රහාරයකින් පසුව ආපසු අල්ලා ගන්නට වෑයම් කළ ජාතික හමුදාව ටවුමට නේපාම් බෝම්බයක් දැමූහ. වීදිවල සටන් වදිමින් සිටි සිවිල් ජනතාව අමු අමුවේ මරා දැමූහ.

එක්ලක්ෂ හැට දහසකට වැඩි නිකරාගුවා වැසියන් පිරිසක් අසල්වැසි කොස්ටා රීකා රටට පළා ගියහ.

කළින් වසර වල දී ට වඩා හොඳින් සංවිධානය වූ කැරලිකරුවන් නැවතත් එස්ටෙලි නගරයේ පමණක් නොව ලියොන් සහ ග්‍රැනඩා යන නගරවලින් ද නැඟී සිටියහ. සොමෝසා ප්‍රචණ්ඩත්වය පරාජයට නිකරාගුවා මහජනතාව සැන්ඩිනිස්ටා ප්‍රචණ්ඩත්වයට සහාය දුන්හ. ජූනි මාසය තුල සැන්ඩිනිස්ටා පෙරමුණට ගම්බද පළාත් වැඩි වැඩියෙන් තම පැත්තට නතු කරගන්නට හැකියාව ලැබිණ. ඔවුන් මැනාගුවා ආසන්නයටම පැමිණ සිටියහ.

1979 ජූලි 17 වැනිදා සියළු ජාත්‍යන්තර සහයෝගය අහිමි වී සිටි ආඥාදායක ඇනස්ටාසියෝ සොමෝසා ඩිබායල්ට රටෙන් පිටවී යන්නට සිද්ධ විය. (ඔහුව පසුකාලයක පැරාගුවේ හි විවාසිතව සිටිය දී ඝාතනය විය.)

මේ සොමෝසා ආඥාදායකයා ගෙන ගිය මැඬලීම් සහ සිවිල් යුද්ධය නිසා නිකරාගුවා වැසියන් විසිපන්දාහත් තිස්දාහත් අතර සංඛ්‍යාවක් මිය ගියහ. මිලියන තුනක පමණ ජනගහණයක් තිබූ රටක ආඥාදායකයෙක් පළවා ගන්නට එවන් මහත් සංඛ්‍යාවක් කැප කිරීම රටට දැඩි පාඩුවකි.

බලය අල්ලා ගන්නට සමත් වූ අනෙක් සෑම කොමියුනිස්ට් කණ්ඩායමක් සේ ම, සැන්ඩිනිස්ටා පෙරමුණ ද බලයට පැමිණි පසු එතෙක් පැවති සොමෝසා පවුලේ ප්‍රචණ්ඩත්වයෙන් වෙනස් මාර්ගයක නොගියහ. විකල්ප තෝරාගැනීමේ දී, නිදහස සහ සමෘද්ධිය සාක්ෂාත් වෙන්නේ කෙසේදැයි කියා නොදන්නාකම නිසා එක ප්‍රචණ්ඩත්වයක් පරාජය කරන්නට ඊටත් වැඩි ප්‍රචණ්ඩත්වයකට සහාය දීමෙන් අන්ත ඛේදනීය තත්වයට පත්වෙන්නේ අසරණ පුරවැසියා බව නැවත නැවතත් ලෝක ඉතිහාසය ඔප්පු කර පෙන්වයි.

නිකරාගුවා ගැන ලියන මේ සටහන් කොමියුනිස්ට්වාදයේ කළු පොතේ, ලතින් ඇමෙරිකාවේ කොමියුනිස්ට්වාදය යන පරිච්ඡේදය ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Nanda Wanninayaka said, on සැප්තැම්බර් 17, 2017 at 11:56 පෙ.ව.

    ඩැනියෙල් ඔටේගා අමතක නොවෙන නමක් වුනේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳල.

    • arunishapiro said, on සැප්තැම්බර් 18, 2017 at 9:04 පෙ.ව.

      Nanda Wanninayaka,

      ඔව්, ලෝකේ ඕන තැනක ඉන්න මාක්ස්වාදී-ලෙනින්වාදී අදහස් ඇති අය ගැන ලංකාවේ ඉස්කෝලේ යන ළමයින්ට මිස් වෙන්නෙ නෑනේ. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: