අරුණි ශපීරෝ‍ වෙතින්

ඕටෙගා සහ පැස්ටෝරාගේ විප්ලවීය ජීවිත

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 18, 2017

ඒඩන් පැස්ටෝරා සහ ඩැනියෙල් ඕටෙගා තරුණ කාලයේ දී සොමෝසා රෙජිමයට විරුද්ධ වී සිරබත් කෑ අය වූහ. ෆිඩෙල් කැස්ත්‍රෝ කියුබාවේ පාලනය අල්ලා ගනිද්දී, පැස්ටෝරාට වයස 20 ක් වූ අතර ඔහු ඉඩම් හිමි මැදපංතියක උපන්නෙකි. 1960 ගණන් මුල සිට සොමෝසා විරෝධී ව්‍යාපාරවලට සහාය දැක්වූ ඕටෙගා ධනවත් පවුලකින් ආ අයෙක් නොවීය.

සැන්ඩිනිස්ටා පෙරමුණ හැදුනේ විවිධ දේශපාලන නැඹුරු වලින් යුතු වූ පුද්ගලයන් වෙතිනි. එය දූෂිත පාලකයන් හැටියට සැලකුණු සොමෝසා පවුලට එරෙහිව සියල්ලන්වම එකමුතු කරන ලද්දයි. එහි නිර්මාතෘන් වූ කාලෝස් ෆොන්සේකා අමඩෝර් සහ තොමාස් බොර්ජෙ ද එකිනෙකාට වෙනස් දේශපාලන දැක්ම දැරූ අය වූහ. ෆොන්සේකා කැස්ත්‍රෝ අගය කරන ලද්දෙකි. බොර්ජේ අගය කළේ මාඕ සේතුං වයි.

සැන්ඩිනිස්ටා පෙරමුණ තුල ප්‍රවණතා තුනක් දකින්නට ලැබිණ. ගම්බද පළාත්වල අරගලයට මුල් තැන දෙන මා ඕ කල්ලිය, ෆොන්සේකා සහ ජෙයිමි වීලොක් නායකත්වය දුන් “කම්කරු” පාර්ශවයට මුල්තැන දෙන මාක්ස්වාදී-ලෙනින්වාදී කල්ලිය, සහ “තෙවැනි මාර්ගය” නමින් වූ මාක්ස්වාදය ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී කල්ලියයි. ටර්සෙරිස්ටා නම් වූ මේ තෙවැනි මාර්ගයේ කල්ලියට උවමනා වූයේ නගරාශ්‍රිත ගරිල්ලා කණ්ඩායම් හදමින් මාක්ස්වාදී නොවන අය හා සන්ධාන ගොඩනඟා ගනිමින් සමස්ත මහජනතාව අතර සොමෝසා පාලනයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පටන් ගැනීමයි.

පැස්ටෝරා සහ ඕටේගා යන දෙදෙනා මුලින් අයිති වූයේ මේ ටර්සෙරිස්ටා කණ්ඩායමටයි. එහෙත් වැඩිකල් නොගොස් ඕටෙගා මාක්ස්වාදී-ලෙනින්වාදී කම්කරු කල්ලියට බැඳුනේය. පැස්ටෝරා විරෝධතා ව්‍යාපාරයට එකතු වූයේ සොමෝසා රජයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීය විරෝධයක් පෑ සිය පියාව සොමෝසා රජය විසින් ඝාතනය කිරීමේ පළිය ගන්නටයි.

1967 දී ඇනස්ටාසියෝ සොමෝසා ඩිබායල් හොර චන්ද වලින් ජනාධිපති ලෙසින් පත්වීම නිසා හටගත් ප්‍රචණ්ඩ කැරලි කෝලාහල වල දී පැස්ටෝරාව අත්අඩංගුවට ගැනිණ. ඔහුට දුන් වධහිංසා අතර ඔහුගේ ලේ ඉවත්කර බලාත්කාරයෙන් ඔහුටම බොන්නට සිද්ධ විය. පැස්ටෝරා නිදහස් වූ පසුව ඩැනියෙල් සහ උම්බෙර්ටෝ ඕටෙගා යන ගරිල්ලා සටන්කරුවන් ඔහු හා එකතු වූහ. ඩැනියෙල් ඕටේගා සොමෝසා පොලීසිය අල්ලා ගත්හ. ඔහු 1974 දක්වා සිරබාරයේ සිටියේය. පැස්ටෝරා ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවිය. ගරිල්ලා ව්‍යාපාරය ගොඩ නැඟීය. පැස්ටෝරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීත්වය දක්වන බව තරයේ කියා සිටියේය. මධ්‍යම ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන් වූ කොස්ටා රීකා හි හෝසේ මරියා ෆුවගුරේස් සහ පැනමා හි ඕමාර් ටොරියෝස් සමඟ සම්බන්ධතා පැවැත්වීය. 1974 දී සොමෝසා රජයේ ප්‍රභූ නිලධාරීයෙක් වෙනුවෙන් ඕටේගාව නිදහස් කරන ලදි. ඔහු හාවානා වෙත පළා ගියේය. පැස්ටෝරා ගරිල්ලන් සමඟ සිටියේය.

1977 ඔක්තෝබර් උද්ඝෝෂණය නිකරාගුවා හි නගර කිහිපයක පවත්වන්නට සංවිධානය කෙරිණ. ජාතික හමුදාව සහ සොමෝසා රජයේ ගුවන් හමුදාවෙන් බැට කෑ පැස්ටෝරා සහ ඕටෙගා කෑලෑවක සැඟවුණහ. 1978 ජනවාරි වෙද්දී කැරල්ල රට පුරා පැතිර ගියේය. ජාතික මාලිගාවට පහර දුන් පැස්ටෝරා තොමාස් බොර්ජෙ ඇතුළු අනෙකුත් දේශපාලන සිරකරුවන් සියල්ලන්වම මුදවා ගත්තේය.

හාවානා වාසය සහ නිකරාගුවා උතුරු මෙහෙයුම් අතර ඕටේගා නියැළෙද්දී සොමෝසා රෙජිමය මසායාට පහර දුන් අවස්ථාවක දී ඔහුගේ සහෝදරයෙක් වූ කැමිලෝ මිය ගියේය. දකුණු නිකරාගුවා පළාත් හි පැස්ටෝරාගේ ගරිල්ලා හමුදාව ජාතික හමුදාවේ එලීට් කණ්ඩායම් සමඟ සටන් වදිද්දී, ඕටෙගාට කියුබන් හමුදා උපදේශකයන් දුන් සහායෙන් කියුබාවේ සැඟවී සිටි සැන්ඩිනිස්ටා කාදර්වරුන් නැවත පැමිණ නිකරාගුවා උතුරු ප්‍රදේශයේ කැරලි පණ ගැන්වුණි.

1979 ජූලි මාසයේ දී සැන්ඩිනිස්ටා පෙරමුණ ජයග්‍රහණය කළ පසුව පැස්ටෝරා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා විය. ජනාධිපති වූ ඔටේගා එළිපිටම කියුබාව පැත්තට පාක්ෂික වූයේය. කියුබන් හමුදා උපදේශකයන් සහ කියුබන් “ජාත්‍යන්තරය” මනාගුවා නගරයට එක්රොක් වූහ. පාර්ලිමේන්තු ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටි පැස්ටෝරා දේශපාලන පිටියේ එන්න එන්නම තනි වූයේය. 1981 ජූනි මාසයේ දී පැස්ටෝරා ඉල්ලා අස්වූයේය. ඔහු නිකරාගුවාහි දකුණු පළාතේ තමන් බලයට ගෙනෙන්නට සහාය දුන් රජයටම එරෙහිව අවිගත් විරෝධතාවයක් සංවිධානය කිරීම ඇරඹීය.

නිකරාගුවා ගැන ලියන මේ සටහන් කොමියුනිස්ට්වාදයේ කළු පොතේ, ලතින් ඇමෙරිකාවේ කොමියුනිස්ට්වාදය යන පරිච්ඡේදය ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: