අරුණි ශපීරෝ‍ වෙතින්

සැන්ඩිනිස්ටා පෙරමුණ දේශපාලන ජුන්ටාව හැදීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2017

සොමෝසා පවුල එළවා දමන ජයග්‍රහණයත් සමඟ පාලන බලය අල්ලා ගන්නා සැන්ඩිනිස්ටා පෙරමුණ විසින් සමාජවාදීන්, කොමියුනිස්ට්වාදීන්, ප්‍රජාතන්ත්‍රවාදීන් සහ මධ්‍යස්ථවාදීන් සියල්ලන්වම එකතු කරගෙන ‘ජාතික ප්‍රතිසංස්කරණ ජුන්ටාව’ හැදූහ. රටක පවතින රජය පෙරළා දමා පාලන බලය බලහත්කාරයෙන් අල්ලා ගෙන හදන සන්ධානය ‘ජුන්ටා’ නමින් හැඳින්වේ. මේ අවස්ථාවේ දී නිකරාගුවා හි දකින්නට ලැබුණේ මිලටරි ජුන්ටාවක් නොව දේශපාලන ජුන්ටාවකි.

සර්වජන චන්ද බලය සහ විවිධ දේශපාලන පක්ෂ වලට අවසර ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී රෙජිමයක් ගොඩනැඟීම සඳහා මේ ජුන්ටාව කරුණු 15 ක් සහිත වැඩසටහනක් යෝජනා කළහ. රටේ විධායක බලය ජුන්ටාව සතුව පැවතිය යුතු යැයි කීව ද වැඩිකල් නොගොස් එය සැන්ඩිනිස්ටා පෙරමුණ අතට පත්විය.

කියුබාව සමඟ විශේෂ සබඳතා පවත්වා ගත යුතු යැයි ජුන්ටාව පිළිගත්ත ද, නිකරාගුවා ප්‍රතිසංස්කරණයට බටහිර රටවල සහයෝගය ද ලබාගැනීම බැහැර දැමිය නොයුතු යැයි ජුන්ටාව කියා සිටියහ. සිවිල් යුද්ධය නිසා එරට දේපල සහ යටිතල පහසුකම් වලට මිලියන 800 ක පමණ අලාබ හානි පැමිණ තිබුණි.

ඒත් බලයට පත්ව වැඩිකල් නොයා ජුන්ටාවේ සිටි ප්‍රජාතන්ත්‍රවාදීන් පැත්තකට දැමුණි. 1980 අප්‍රේල් මාසයේ දී අල්ෆොන්සෝ රොබෙලෝ සහ (පේඩ්‍රෝ හුවාකින් චාමොරෝ නම් ඝාතනය කරන ලද මාධ්‍යවේදියාගේ වැන්දඹුව වූ) වයලෙටා චාමොරෝ යන දෙදෙනාම ජුන්ටාවෙන් ඉල්ලා අස්වූහ. ඔවුන් සිය ඉල්ලා අස්වීමේ හේතුව හැටියට දැක්වූයේ සැන්ඩිනිස්ටා පෙරමුණ රාජ්‍ය සභාවේ පාලනය ඔවුන් යටතට ගැනීමට විරෝධතාවයයි.

සමෝසා ආඥාදායකයන් පළවා හරින්නට හවුල් වූ සියල්ලන්ම සැන්ඩිනිස්ටා පෙරමුණේ අය නොවූ බව මෙහි දී යළිත් සිහි කළ යුතුයි. ඒත් සියල්ලන්ගේම දායකත්වයෙන් ආඥාදායක පවුල නෙරපා හරින සැන්ඩිනිස්ටා පෙරමුණ, සියල්ලන් හා එක්ව රට සමෘද්ධිමත් කරන කටයුතු ගැන අවධානය යොමු කරනවා වෙනුවට තම පෙරමුණේ බලය වැඩිකරගන්නට වෙහෙසුණහ.

ඊට විරෝධය පාමින් ජුන්ටාවේ අය ඉල්ලා අස්වෙද්දී, ජුන්ටාව සැන්ඩිනිස්ටා පෙරමුණේ බලයට පත්විය. රටවැසියන් නැවතත් දේශපාලන අර්බූදයකට මුහුණ දුන්හ.

ඒ අස්සේ සැන්ඩිනිස්ටා පෙරමුණ රහස් පොලීසියක් පිහිට වූහ! ඔවුන් ගරිල්ලා භටයන් 6,000 ක් 1979 දී හමුදාවට බඳවාගෙන තිබිණ. එය ඊ ළග දශකය තුල දී 75,000 හමුදාවක් ලෙසින් ව්‍යාප්ත කරනු ලැබීය. 1980 වසරෙන් පසුව, වයස 17-35 ත් අතර පිරිමි අයට හමුදාවේ සේවය අනිවාර්ය කෙරිණ. ශිෂ්‍යයන්ට අධ්‍යාපනයේ නියැළිය හැකි වූයේ හමුදා පුහුණුව අවසන් කළ පසුව පමණි. මෙවැනි උත්සාහ මෑත ලංකාවේ ද පටන්ගන්නට වෑයම් කළ බව කාට ද මතක?

තම රටවැසියන්ගේ සමෘද්ධිය වෙනුවෙන් වෙහෙසීම වෙනුවට සැන්ඩිනිස්ටා පෙරමුණ ඊ ළඟට කළේ මධ්‍යම ඇමෙරිකාවේ ගරිල්ලා කණ්ඩායම් සඳහා තමන් බලහත්කාරයෙන් බඳවා ගත් ජනතාව යවමින් මිලිටරි සහාය සැපයීමයි. එය පටන් ගැනුණේ එල් සැල්වදෝරයෙනි. 1981 ජනවාරියේ දී සැන්ඩිනිස්ටා කණ්ඩායම් තම භූමියට රිංගාගෙන ඇතැයි එල් සැල්වදෝර් විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළහ.

සැන්ඩිනිස්ටා පෙරමුණේ වාමාංශික දැක්ම අනුව යමින් රටේ දේපල ජනසතු කිරීමේ ව්‍යාපාරය ඉක්මණින් දියත් කරමින්, ඒ සමඟම මධ්‍යම සැලසුම් ආර්ථික ක්‍රමය ස්ථාපිත කළහ. නිකරාගුවා හි නිෂ්පාදන ක්‍රම සියල්ලෙන්ම 50% කට වඩා ප්‍රමාණයක් රජය විසින් පාලනය කළහ.

සැන්ඩිනිස්ටා පෙරමුණේ සමාජ මොඩලය අනුගමනය කරන්නට මුළු රටටම සිද්ධ විණ. කියුබන් මොඩලය අනුගමනයෙන් සැන්ඩිනිස්ටා පෙරමුණ රට පුරාම සංවිධාන හැදූහ. සැන්ඩිනිස්ටා ආරක්ෂක කමිටු නමින් සංගම් සෑම පළාතකම පිහිටුවන ලදි. මේ කමිටුවල කාර්ය භාර්ය වූයේ රට බෙදමින් එහි වැසියන් ගැන විපරම්ශීලීව සිටීමයි. සොමෝසා පවුලේ පාලන සමයට වඩා පාසැල් අධ්‍යාපනයට වරම් ලැබී සිටි පාසැල් දරුවන්ව විපරම්ශීලීව සිටින කමිටුවලට සහ පුරෝගාමී සංවිධාන වලට එකතු කරන ලදි. මේ සංවිධාන “කැමිලිටෝස්” යැයි හැඳින්වූයේ ඩැනියෙල් ඕටෙගාගේ සහෝදරයා වූ කැමිලෝ නමිනි. කාන්තාවන්, ශ්‍රමිකයන්, ගම්බද වැසියන් සියල්ලන්වම සැන්ඩිනිස්ටා පෙරමුණ යටතේ ඉතා විපරම්ශීලීව පැවති කිසියම් හෝ සංවිධානයකට බඳවා ගන්නා ලදි.

දේශපාලන පක්ෂ වලට සැබෑ නිදහසක් නොමැති විය. ජනමාධ්‍ය මර්ධනය විය. මධ්‍යවේදීන්ට නිසිබලධාරීන්ගේ අනසකට නතු වෙන්නට සිද්ධ විණ. සැන්ඩිනිස්ටාට අවශ්‍ය “රටේ සමාජයීය සහ දේශපාලන පැතිකඩ සම්පූර්ණයෙන් අල්ලා ගන්නටයි” යැයි සමාජවේදියෙක් වූ ප්‍රංශ ජාතික ජිල් බටෙයියොන් මේ තත්වය ගැන කියා සිටියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: