අරුණි ශපීරෝ‍ වෙතින්

සැන්ඩිනිස්ටා සහ ස්වදේශී ඉන්දියානුවන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 20, 2017

එවක දී නිකරාගුවා හි අත්ලාන්තික් වෙරළබඩ ස්වදේශී ඉන්දියානු සම්භවයෙන් යුතු වැසියන් එක්ලක්ෂ පනස්දාහක් පමණ ජීවත් වූහ. මිස්කිටෝ, සුමො සහ රාමා යන ගෝත්‍රික කණ්ඩායම් මෙන්ම, ස්පාඤ්ඤ සහ මායා ජනවාර්ගික පසුබිමෙන් යුතු ලැඩිනොස් සහ ක්‍රියෝල (ප්‍රංශ ඇමෙරිකන්) කණ්ඩායම් ද ඒ අතර වූහ.

නිකරාගුවා හි පාලකයන් වෙතින් ඒ දක්වා මේ ජනවාර්ගික කණ්ඩායම් යම් දුරකට වූ ස්වෛරී තත්වයකින් ජීවත් වූහ. ඔවුන් හමුදා සේවයට යා යුතු නොවීය. එසේම ඔවුනට බදු ගෙවන්නට සිද්ධ නොවූහ.

බලය අල්ලා ගත් සැන්ඩිනිස්ටා පෙරමුණ මේ ජනවාර්ගික කොට්ඨාශයන්ගේ ඉඩම් අල්ලා ගැනීමත් ඔවුන්ගේ ස්වභාෂා මර්ධනයත් පටන් ගත්හ.

ලිස්ටර් ඇත්ඩර්ස් නැමැත්තා මිස්කිටෝ සහ සුමො (ඇල්ප්‍රොමිසූ) ප්‍රගතිය සඳහා වූ හවුලේ නායකයායි. 1979 අගෝස්තුවේ ඔහුව අත් අඩංගුවට ගෙන මාස දෙකකට පසුව ඔහුව ඝාතනය කරන ලදි. 1981 මුල් කාලයේ දී මිසුරාසාටා නමින් වූ ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක් එකතුවෙන් හැදුණ දේශපාලන සංවිධානයේ ජාතික නායකයන්ව අත් අඩංගුවට ගන්නා ලදි. 1981 පෙබරවාරි 21 වැනිදා හමුදාව විසින් මිස්කිටෝ ස්වදේශීන් 7 ක් මරා, 17 ක් තුවාල කළහ. 1981 දෙසැම්බර් 23 දා ලෙයිමස් හි දී, සැන්ඩිනිස්ටා හමුදාව තමනට නොගෙවන ලද වේතන වෙනුවෙන් උද්යාචනය කළ පතල්කරුවන් 75 ක් සමූල ඝාතනය කළහ. ඊ ළඟ දවසේ දී තවත් පතල්කරුවන් 35 කට ඒ ඉරණමම අත්විය.

හොන්ඩූරා රටේ සිට “කඩා වදින අවිගත් සොමොසා මුරකරුවන් වෙතින්” ආරක්ෂාව ලබාදීම පිණිස යැයි කියමින් ස්වදේශී ජනගහණය බලාත්කාරයෙන් ඔවුන් වාසය කරන ලද පෙදෙස් වලින් ඉවත් කළහ. 1982 දී දහ දාහකට අධික ස්වදේශීන් සංඛ්‍යාවක් වෙරළබඩ පෙදෙසින් රට ඇතුලට බලාත්කාරයෙන් පිටමං කරන ලදි. මෙම වෙරළබඩ ගෝත්‍රිකයන්ගේ ජීවන මාර්ග පාලනය කිරීමෙන් ඔවුන්ගේ කුසගින්න අවියක් කරගැනිණ. රට ඇතුලට ගෙන යන ලද ගෝත්‍රිකයන්ට රජයෙන් ආහාර බෙදා දුනි. වෙරළබඩ අය කුසගින්නේ සිටියහ.

සැන්ඩිනිස්ටා හමුදාව මේ ස්වදේශීන් හමුවේ බොහෝ ක්‍රෲර ක්‍රියාවන්හි නියැළුනහ. 7,000 සිට 15,000 ක් පමණ ස්වදේශීන් හොන්ඩූරා හි සරණාගතයන් වූහ. 14,000 ක් පමණ ස්වදේශීන් නිකරාගුවා හි සිරබන්ධනාගාර වලට යැවිණ.

කොකො ගඟ හරහා පළා ගිය ජනතාවට සැන්ඩිනිස්ටා හමුදාව වෙඩි තැබූහ. සමූල ඝාතන, ජනගහණයක් අවතැන් කිරීම සහ රටෙන් පිටමං වීම හමුවේ ප්‍රංශ ජාතික සමාජවේදියෙක් වූ ජිල් බටයියොන් නිකරාගුවා හි “දේශපාලන ජනවාර්ගික සමූලඝාතනය” ගැන ලෝක අවධානය යොමු කරවන්නට පටන් ගත්තේය.

ස්වදේශීන් මැනාගුවාහි පාලකයන්ට විරෝධය පාමින් සුමෝ, රාමා සහ මිස්කිටෝ යන ගෝත්‍රිකයන් වෙතින් මිසූරා සහ මිසුරාසාටා යැයි ගරිල්ලා කණ්ඩායම් දෙකක් හැදූහ. ඒ ගෝත්‍රික කණ්ඩායම් ගෙවූ ජන ජීවිත එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූව ද, නිකරාගුවා ආණ්ඩුවේ ස්වදේශී ප්‍රතිපත්ති වලට විරුද්ධත්වය දක්වන්නට ඔවුන් එකිනෙකා සමඟ එකතු වූහ.

සැන්ඩිනිස්ටා පෙරමුණේ මර්ධන ප්‍රතිපත්ති හමුවේ ඇමති මණ්ඩලය තුල දී ඒඩන් පැස්ටෝරා විසින් “අර සොමෝසා ආඥාදායකයාත් ඔවුන්ට නිදහසේ ඉන්න ඉඩ දුන්නා! ඔහු පොඩ්ඩක් ඔවුන්ව සූරා කන්නට ඇති, ඒත් ඔබට අවශ්‍ය ඔවුන්ව බලාත්කාරයෙන් කම්කරුවන් කරවන්නයි!” යැයි කීය. එවිට අභ්‍යන්තර කටයුතු ඇමති තොමාස් බොර්ජෙ, “අරගලයට ව්‍යතිරේකයන්ට ඉඩදෙන්න බැහැ,” යැයි පිළිතුරු දෙන ලදි.

බලාත්කාරයෙන් ස්වදේශීන්ව රටේ ප්‍රතිපත්ති වලට අනුකූල කරවීම අවශ්‍ය යැයි ආණ්ඩුව තීරණයකට එළඹුනහ. 1982 සිට 1987 දක්වා නිකරාගුවා හි අත්ලාන්තික් වෙරළබඩ ස්වදේශී ගෝත්‍රිකයන් වටලෑම ක්‍රියාත්මකව පැවතිණ. මානුෂීය අයිතීන් උල්ලංඝණය, බලය අනිසි ලෙස යොදා ගැනීම සහ ක්‍රමානුකූලව ස්වදේශී ගම්මාන විනාශය සිද්ධ විණ.

ස්වදේශීන් වටලෑම, ඔවුන්ගේ ගම්මාන ගිනි තැබීම, පැහරගෙන යාම, කාන්තාවන් දූෂණය සහ සිරුර කපා කොටා මරා දැමීම යනාදී නිකරාගුවා පාලකයන් අතින් කෙරෙන කෲරත්වයන් තවමත් නිකරාගුවා හි සිදුවේ. ඔවුන් තවමත් උන්හිටි තැන් වලින් පළා යන්නට සිද්ධ වී ඇති ජනවාර්ගික කොට්ඨාශයකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: