අරුණි ශපීරෝ‍ වෙතින්

ඉල්ලන්නෙ වෙනසක්, ලැබෙන්නෙ එයමයි යළි යළිත්!

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 21, 2017

වැඩිකල් යන්නට පෙර නිකරාගුවාහි ජනතාව මැනාගුවා හි නව ආඥාදායක රෙජිමයට එරෙහිව නැඟී සිටියහ. ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශයට ඉඩ නොදීම සහ රට තුල ජනමාධ්‍ය මර්ධනය නිසාත් සෙසු ලෝකයේ බහුතරයක් විශ්වාස කරනුයේ මෙහි දී මාක්ස්වාදී-ලෙනින්වාදී පාලනයට ප්‍රසාදය සහ සහයෝගය ධනවත් සුළු පිරිසක් වෙතින් හැරෙන්නට රටේ බහුතර රටවැසියන් දැක්වූ බවයි. ඒත් සත්‍ය තත්වය එය නොවීය.

අලුත් සිවිල් යුද්ධයක් ඇරඹිණ. ජින්ටෝගා, එස්ටෙලි, උතුරේ නුවේවා සිගෝවියා, රට මැද වූ මටගල්පා සහ බොආකෝ, දකුණේ සෙලායා සහ රියෝ සැන් හුවාන් යන පළාත් අවුල් වියවුල් වලින් පිරුණි.

1981 ජූලි 9 වැනිදා ඒඩන් පැස්ටෝරා ප්‍රසිද්ධියේම සැන්ඩිනිස්ටා පෙරමුණෙන් අයින් වී නිකරාගුවා හැර දා ගියේය.

සැන්ඩිනිස්ටා පෙරමුණට එරෙහි වූ ව්‍යාපාරය සංවිධානාත්මක වන්නට පටන් ගැනිණ. එය “කොන්ට්‍රා” නොහොත් “ප්‍රතිවිප්ලවීය” යැයි සෙසු ලෝකය වැරදියට හැඳින්වූහ. ප්‍රතිවිප්ලවීය යැයි කියන්නට නම් ජයගත් විප්ලවයේ දැක්ම සඳහා ප්‍රසාදය සහ සහාය දුන් අය තුලින් එය පටන් ගත යුතුයි. ඒත් සාමෝසා පවුලේ කුරිරු පාලන ආධිපත්‍යය පෙරළා දමා ජයගන්නට හැකි වූ සැන්ඩිනිස්ටා පෙරමුණට සහාය දී එය සාමෝසා පවුලේ රෙජිමය මෙන්ම කුරිරු වධහිංසා පටන් ගනිද්දී ප්‍රතිවිප්ලවය අරඹා තිබුණේ මාක්ස්වාදී-ලෙනින්වාදී හෝ මාඕවාදී පිළිවෙත් මුල පටන්ම නිකරාගුවා සඳහා ඉල්ලා නොසිටි අයයි.

උතුරු පෙදෙස්වල නිකරාගුවා ප්‍රජාතන්ත්‍රවාදී බලය (FDN) කටයුතු කරන්නට පටන් ගත්හ. මෙය හිටපු සාමෝසා හිතවාදීන් මෙන්ම අව්‍යාජව නිදහස වෙනුවෙන් සටන් කළ අයගෙන් හැදී තිබුණි. දකුණු පැත්තේ සටන් වැදුනේ භූමිය ජනසතු කරන්නට පටන් ගැනීම ප්‍රතික්ෂේප කළ හිටපු සැන්ඩිනිස්ටා පෙරමුණේ අය සහ හොන්ඩූරාස් සහ කොස්ටා රීකා වෙත පළා ගිය ස්වදේශීන්ය. මේ කණ්ඩායම් සියල්ල ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවීය ඒකාබද්ධය (ARDE) නමින් එකතු වූහ. ඔවුන්ගේ දේශපාලන නායකයා වූයේ ඇල්ෆොන්සෝ රොබෙලෝ නැමැත්තාය. ඔවුන්ගේ හමුදා නායකයා වූයේ ඒඩන් පැස්ටෝරා ය.

නව සිවිල් යුද්ධය වහාම පැතිර ගියේය. 1982 සහ 1987 වසර දෙකේ දී උතුරේ සහ දකුණේ දරුණුතම සටන් දකින්නට ලැබුණි. දෙපැත්තම කෲර අපරාධ කළහ. නිකරාගුවා අර්බූදය තවත් පෙරදිග-අපරදිග සටනක් බවට පත්විය. ෆිඩෙල් කැස්ත්‍රෝ නිකරාගුවා පාලකයන්ගේ මාර්ගෝපදේශකයා විය. සැන්ඩිනිස්ටා හමුදාවේ සහ මැනාගුවා හි ඇමති මණ්ඩලයේ උපදේශකයන් හැටියට කියුබානුවන් කටයුතු කළහ.

ඒඩන් පැස්ටෝරා ඒ නව නිකරාගුවා රජය හා එකතුව සිටිය දී, ඔහු හවානා වෙත ගිය අවස්ථාවක සම්පූර්ණ සැන්ඩිනිස්ටා කැබිනෙට්ටුව කැස්ත්‍රෝගේ කාර්යාලයේ රැස්ව කෘෂිකර්මය, ආරක්ෂාව, අභ්‍යන්තර කටයුතු සහ රජයේ වෙනත් අංශ පරිපාලනය කරන හැටි ගැන උපදෙස් ඔහුගෙන් ලබාගත් හැටි දුටු බව කීය. මුල් කාලය තුල දී කියුබන් හමුදා උපදෙස් සපයන ලද්දේ ජනරාල් ආර්නල්ඩෝ ඔචොආ විසිනි. නිකරාගුවා හි ස්වදේශීන්ව වෙනස් ස්ථානවල පදිංචි කරවීම ගැන උපදෙස් දෙන්නට පැමිණි පිරිස් අතර බුල්ගේරියාවෙන්, නැගෙනහිර ජර්මනියෙන්, සහ පලස්තීන උපදේශකයන් ද සිටියහ.

1984 වෙද්දී නිකරාගුවා රජය ප්‍රජාත්ත්‍රවාදී මුහුණුවරකින් ජනාධිපති මැතිවරණ වලට ඉඩදෙමින් එහි විශ්වාසනීයත්වය යළි ගොඩනඟා ගන්නට වෑයමක් ගති. 1984 මැයි මාසයේ බයාර්ඩෝ ආර්සෙ නම් සැන්ඩිනිස්ටා පෙරමුණේ නායකත්වය කවුන්සිලයේ සමාජිකයන් 9 දෙනාගෙන් එක් අයෙක් වූවා පැවැත්වූ කතාවක් ඔවුන්ගේ අරමුණ කුමක්දැයි පැහැදිලි කරයි: “මේ මැතිවරණ යොදාගන්න ඕන සැන්ඩිනිස්වාදයට චන්ද දාන්න, මොකද ඒක ප්‍රශ්න කෙරිල තියනව සහ අධිරාජ්‍යවාදය නිසා කැළලක් ඇතිවෙලා තියනව. කුමක් සිද්ධ වුනත් නිකරාගුවාහි ජනතාව මාක්ස්වාදී-ලෙනින්වාදයට සහ ඒකාධිපතිවාදයට සහාය දෙනවා යැයි පෙන්වන්නට මෙයින් අපට හැකිවෙන්න ඕන… අපි දැන් එකඟවෙන්න ඕන බහු පක්ෂවාදය අයින් කරල සමාජවාදී පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියල්ලම තුරන් කරල දාන්න. ඒ ඔක්කොම මේ වෙනකම් ප්‍රයෝජනවත් වුණා, ඒත් ඒවයේ කාලය ඉවරයි, ඒ නිසා අපි ඒවා ඉවත් කරන්න ඕන.”

අනතුරුව ආර්සෙ ඔහුට සවන් දුන් සියල්ලන්ටම (සෝවියට් පාක්ෂික නිකරාගුවා සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට) මුළු නිකරාගුවා වෙනුවෙන් එක පක්ෂයක් හදන්නට ආරාධනා කර සිටියේය.

නිකරාගුවා ගැන ලියන මේ සටහන් කොමියුනිස්ට්වාදයේ කළු පොතේ, ලතින් ඇමෙරිකාවේ කොමියුනිස්ට්වාදය යන පරිච්ඡේදය ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: