අරුණි ශපීරෝ‍ වෙතින්

රටේ ආරක්ෂාව වෙනුවෙන් කියා අයිතීන් කප්පාදු කිරීම

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 22, 2017

රුසියාව විසින් පසුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයට බලපෑම් එල්ල කළ දැන්වීම් ෆේස්බුක් හරහා පළ කරන ලදැයි විභාගයක් මේ දිනවල කතාබහට ලක්වී ඇත. ඒ හිලරි ක්ලින්ටන් පරාජය පූටින්ගේ අභිප්‍රාය වූවා යැයි ඔප්පු කරන්නට ගන්නා තවත් නිෂ්ඵල වූ වෑයමකි. එක රටක් තවත් රටක දේශපාලනයට ඇඟිලි ගැසීම චිරාත් කාලයක සිට පැවතෙන්නකි. මෙතෙක් කාලයක් ඇමෙරිකාව හේත්තු වූ තැන සිට පමණක් තතු දැනගන්නට ලැබුණු ලෝකයට අද සෝවියට් දේශය පමණක් නොව සෝවියට් දේශයෙන් හිඟා කෑ කියුබාව ද මැදිහත් වූ ආකාර ගැන ද දැනගන්නට අවස්ථාව පෑදී ඇත.

රොනල්ඩ් රේගන් විසින් නිකරාගුවා හි ‘කොන්ට්‍රා’ විප්ලවකරුවන්ට සහාය දීම ගැන ඕනෑතරම් තොරතුරු ලොව පැතිර පැවතිය ද, මේ අනිත් පැත්ත ගැන ප්‍රධාන ජනමාධ්‍ය තුලින් හෝ රජය බෙදන පාසැල්/විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් නොලැබේ.

නිකරාගුවා හි මිලිටරි ඇකඩමියෙන් උපාධියක් ලැබුව ද සොමෝසාගේ ආඥාදායක්වය යටතේ හමුදාවේ සේවයට යෑම ප්‍රතික්ෂේප කළ ආතූරෝ කෲස්, ඇමෙරිකාවේ ඉගෙනීම ලබන්නට ගිය අයෙකි. 1947 දී ආපහු නිකරාගුවා එන ඔහු සොමෝසා බලයෙන් පළවා හරින්නට කුමන්ත්‍රණයට එකතු වූවෙකි. මාස 4 ක් සිරගතව සිටි ඔහු පසුව විප්ලවයට එකතු වූයේය. නැවතත් වසරකට සිරගතවන ඔහු අනතුරුව දේශපාලනයෙන් ඉවත්වී ඇමෙරිකාවේ වොෂිංටන් ඩීසී හි බැංකුවක රස්සාවකට ගිය ද, සොමෝසා ආණ්ඩුව පෙරළන්නට සැන්ඩිනිස්ටා පෙරමුණට සහාය දෙන්නට ඉදිරිපත් වූ ප්‍රසිද්ධ පුද්ගලයන් 12 දෙනාට එකතු විය. ආතූරෝ කෲස් නම යොදා ගැනීමෙන් සැන්ඩිනිස්ටා පෙරමුණ ඔවුන්ගේ විප්ලවය කොමියුනිස්ට් අයගේ පමණක් වූ වෑයමක් නොවන ලෙස 1977 ගණන් වල දී පෙන්වන්නට සමත් වූහ.

ඒත්, 1984 වෙද්දී, සෝවියට් හිතවාදී නිකරාගුවානු සමාජවාදීය එක පක්ෂයක් පමණක් හදන්නට යද්දී, ඒ සඳහා සැන්ඩිනිස්ටා පෙරමුණ තර්බා (turbas) නම් මැරවරයන් යොදා ප්‍රචණ්ඩත්වයේ යෙදීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරණයට තරඟ කරන්නට ඉදිරිපත් වූ අතූරෝ කෲස් එයින් ඉවත් විය.

ඩැනියෙල් ඕටෙගා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම ගැන කිසිවෙකු පුදුමයට පත් නොවූහ. ඒත් රටේ හටගෙන තිබුණ වියවුල් වාතාවරණය පහ වී නොගියේය. 1984 සහ 1985 වසර දෙකේ දී සැන්ඩිනිස්ටා විරෝධීන් මර්ධනයට ප්‍රධාන මෙහෙයුම් කිහිපයක් රජය විසින් ගෙන ගියහ. 1985 සහ 1986 වසර දෙකේ දී කොස්ටා රීකා මායිමේ දී මැනාගුවා සිට යවන ලද හමුදාව විරුද්ධවාදීන්ට පහර දුන්හ.

ඒඩන් පැස්ටෝරාගේ ජනප්‍රියත්වය නැඟී ගියත් ඔහු 1986 සී සටන් වැදීම නවතා, සිය සටන්කරුවන් රැගෙන කොස්ටා රීකා වෙතට පළා ගියේය. සැන්ඩිනිස්ටා කොමාන්ඩෝ භටයන් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉඳහිටක හෝ රජයට විරෝධයක් පාන්නට ඉතිරි වූයේ මිස්කිටෝ ස්වදේශීන් පමණකි. සැන්ඩිනිස්ටා පෙරමුණට විරෝධය පෑ කණ්ඩායම් අබලන් වී ගිය ද, ඔවුන් තැන තැන ඉඳහිට ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන ගියහ.

පටන්ගත් මාක්ස්වාදී-ලෙනින්වාදී ක්‍රමයේ අසාර්ථකත්වය පෙනී යෑම වළක්වනු පිණිස සැන්ඩිනිස්ටා පෙරමුණ, මේ රජයට විරෝධී කණ්ඩායම් උලුප්පා දක්වමින් රටේ ආර්ථිකය අබලන්වීමට හේතුව ඔවුන් යැයි කීහ. තව දුරටත් දේශපාලන නිදහස කප්පාදුවට සහ පුද්ගලයන් අත් අඩංගුවට ගන්නට ඔවුන් එය යොදාගත්හ. රජයේ අයවැයෙන් 50% කට වඩා යොදවන ලද්දේ හමුදා වැය සඳහායි.

1985 මැයි 1 වැනිදා ඇමෙරිකාව විසින් පනවන ලද වෙළඳ සම්බාධකය නිසා නිකරාගුවා හි ආර්ථිකය තවත් අඩාල විය. එම වෙළඳ සම්බාධකයට බොහෝ බටහිර යුරෝපීය රටවල් ද සහාය දුන්හ.

යුද්ධ නිසා රටේ ප්‍රධාන අපනයන ආදායමක් ලැබූ කෝපි වතුයායන් විනාශයට පත්ව තිබිණ. පිටතින් ගත් ණය ඉහළ ගිහින් 1989 දී උද්ධමනය 36,000% ක තිබිණ. සැන්ඩිනිස්ටා පෙරමුණ මුලසුන ගත් රජය එවිට සලාක ක්‍රමය හඳුන්වා දුන්හ. කිරි සහ මස් ඉතා හිඟ වූහ.

සැන්ඩිනිස්ටා පෙරමුණ රටේ බලයට පත්වීමත් සමඟ දේශපාලන විරුද්ධකරුවන්ගේ නඩු අහන්නට විශේෂ උසාවි හඳුන්වා දුන්හ. සොමොසා පවුලට සහාය දුන් සිවිල් වැසියන්, ජාතික හමුදාවේ හිටපු සාමාජිකයන් යනාදී වශයෙන්, බතීස්තාට සහාය දුන් අයව විභාග කරන්නට කැස්ත්‍රෝ දැමූ උසාවි මෙන්ම 1979 දෙසැම්බර් 5 වැනිදා නිකුරාගුවාව අංක 185 අණසිටුව නිකුත් කළහ. පැවති දණ්ඩ නීති සංග්‍රහය අනුව නඩු තීන්දු කළ ද, ඇපෑල ක්‍රියාවලිය මේ විශේෂ උසාවි මඟින් සිද්ධ විණ. මෙයාකාරයෙන් සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් එපිටත වූ නීති යාන්ත්‍රණයක් පිහිටුවන්නට ඔවුන් සමත් වූහ. නඩු ඇසීමේ දී බොහෝ අක්‍රමිකතා දකින්නට ලැබුණි. සමහර අවස්ථාවල දී අපරාධය ඔප්පු වී ඇතැයි තීන්දු වුව ද, කිසිදු සාක්ෂි ඉදිරිපත් කර නොතිබිණ. විනිසුරුවන් කටයුතු කළේ අහිංසක යැයි කියන තැන නොව වරදකරු යැයි සලකමිනි. පුද්ගලයා වරදක් කළ බවේ සාක්ෂි පෙන්වන වගකීම නොව තීන්දු බොහෝවිට පදනම් වූයේ සාමූහිකත්වය ගැන මති පදනම් කරගෙනයි.

1982 මැයි 15 වැනිදා ජුන්ටා රජය රටේ ආක්‍රමණික තත්වයක් හටගෙන ඇතැයි ප්‍රකාශ කළහ. එහි දී ස්වාධීන ගුවන්විදුලි සේවාවන් සියල්ලම වසා දමන ලදි. පුද්ගලයන් ඇසුරු කිරීමේ අයිතිය නවත්වා දමන ලදි. සැන්ඩිනිස්ටා පෙරමුණට සහාය නොදී සිටි නිසාත්, මධ්‍යම ආණ්ඩුවේ කොටසක් හැටියට කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන ලද නිසාත්, වෘත්තීය සමිති නිදහස සීමා කරන ලදි. ආගමික කණ්ඩායම් වලට ද එරෙහිව මෙහෙයුම් ගෙනෙන ලදි.

ජුන්ටා විසින් හිටපු සොමොසා ජාතික හමුදාවේ මුරකරුවන් 4,000 ක් සහ වරදකරුවන් යැයි සැක කරන අය සිය ගණනක් සිරබාරයේ තබාගෙන සිටිනවා යැයි 1982 ජූනි මාසයේ දී ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ඇස්තමේන්තු කළහ. වසරක් ගෙවෙද්දී දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව 20,000 ඉක්මවා යන ලදි. 1982 වෙද්දී එක්සත් ජාතීන්ගේ මානුෂික අයිතිවාසිකම් කමිටුව නිකරාගුවා හි “අතුරුදහන්” වෙන අය ගැන නිවේදනය කළහ. එමෙන්ම ප්‍රතිවිප්ලවවාදීන් යැයි අල්ලා ගත්තවුවන් “පළායන්නට තැත් කරද්දී” මරණයට පත්වීමේ සංඛ්‍යාව ගැන ද ඔවුන් ලෝක අවධානය යොමු කළහ.

විරෝධය පාන කණ්ඩායම් මැඬලීමට සාඩිනිස්ටා පෙරමුණ 1983 අප්‍රේල් මාසයේ දී ජනප්‍රිය සොමෝසා-විරෝධී පරිෂදයන් (TPAs) පිහිටුවන ලදි. විරුද්ධ කණ්ඩායමකට අයිති ඕනෑම කෙනෙක් ගැන සහ හමුදා පන්නයේ අවිගත් අයෙක් ගැන තීන්දු ගන්නට මේ පරිෂදයන්ට බලය ලැබුණි. TPA සාමාජිකයන් පත්වූයේ රජයෙන් නියම කරන නාමාවලියක් අනුවයි. සැන්ඩිනිස්ටා පෙරමුණ හා ළඟින් ඇසුරු කරන ආයතනවල අය එම තනතුරු සඳහා තෝරා ගැනිණ. පුහුණුව සම්පූර්ණ නොකරන ලද නීතීඥයන් පවා නීතිමය ක්‍රියා කටයුතුවල නිරත වූහ. වරදකාරීත්වයේ ඕනෑම අධිකරණ-බාහ්‍ය වූ ආවිශ්‍යයක් සාක්ෂි වශයෙන් මෙම TPA බාරගන්නා ලදි. එය ඔප්පු කරන්නට අවශ්‍ය නොවිණ. 1988 දී මේ TPA විසුරුවා හැරිණ.

නිකරාගුවා ගැන ලියන මේ සටහන් කොමියුනිස්ට්වාදයේ කළු පොතේ, ලතින් ඇමෙරිකාවේ කොමියුනිස්ට්වාදය යන පරිච්ඡේදය ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Ajith Dharma said, on සැප්තැම්බර් 22, 2017 at 10:37 පෙ.ව.

    /පටන්ගත් මාක්ස්වාදී-ලෙනින්වාදී ක්‍රමයේ අසාර්ථකත්වය පෙනී යෑම වළක්වනු පිණිස සැන්ඩිනිස්ටා පෙරමුණ, මේ රජයට විරෝධී කණ්ඩායම් උලුප්පා දක්වමින් රටේ ආර්ථිකය අබලන්වීමට හේතුව ඔවුන් යැයි කීහ// ඔවුන් කල සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක බව ඇත්ත. නමුත් එසේම වෙළඳ සම්බන්ධක නිසාත් ඔවුන් ට්ව දුරටත් වැටුනේ නැත්ද? කොටිනම් ඇමෙරික එක්සත් ජනපදය හා යුරෝපය වෙළඳ සම්බද්හල දැම්මොත් රටකට පවතින්න කොහොමත් අමාරුයි.

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2017 at 10:37 පෙ.ව.

      Ajith Dharma,

      නැහැ, සම්බාධක නිසා නෙමෙයි නිකරාගුවාව තව දුරටත් වැටෙන්නේ. ආදේශ කරගත්ත වැරදි ක්‍රමය අත්නොහරින නිසා. අප්‍රිකාවේ සමාජවාදී රටවල් වගේම, අසාර්ථක යැයි යළි යලිත් ඔප්පු වෙන ක්‍රමයෙන් පාලකයන්ට ලැබෙන අසීමිත බලය නිසා නිකරාගුවාව දිගටම වැටෙන්නේ අක්‍රමිකතා සහ දූෂණ වැඩිවීම නිසයි.

      සම්බාධක නිසා (තව එක රටක් හෝ උදව්වට ආවේ නැත්නම්) රටක් වැටෙන බව ඇත්ත. වෙළඳපොල, ගණුදෙනු, සහ මිල ගණන්, ඒ කියන්නේ ධනවාදය යාන්තමට හෝ ක්‍රියාකාරීව නැත්නම් මොනවා ද නිෂ්පාදනය කරන්නේ, ඒව වැඩියෙන්ම හොඳින් නිෂ්පාදනය කරන්නෙ කොහොම ද කියන එක දැනගන්න ක්‍රමයක් නැහැ කියල ලුඩ්විග් වොන් මීසස් පෙන්වලා දුන්නට පසුව ඒකනෙ සෝවියට් දේශයේ නිකිටා කෘශ්චෙව් කිව්වෙ, මුළු ලෝකෙම කොමියුනිස්ට් අධිරාජ්‍යයක් කළාට, ස්විට්ස්සර්ලන්තය තියන විදියට තියාගම්මු කියල.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: