අරුණි ශපීරෝ‍ වෙතින්

අපේ රටවැසියන් අපි මරා දමද්දී පිටස්තර කිසිවෙක් අත නොතබනු!

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2017

පිටිසර ගම්මාන වල වැසියන්ව හිටිහැටියේ අත් අඩංගුවට ගන්නා රැල්ලක් නිකරාගුවාවේ 1984 දී ඇරඹිණ. දින නියමයක් නැතිව දීර්ඝ කාලයක් හිරබාරයේ තබාගෙන සිටීමට පක්ෂව, සැන්ඩිනිස්ටා පෙරමුණේ කාලොස් නුවේව්ස් ටෙලොස් කියා සිටියේ, එය “පිටිසර ගම්මානවල සිය ගණනින් මහජනතාව ප්‍රශ්න කිරීමේ දී ඇතිවන අනිවාර්ය දුෂ්කරතාවයක්,” හැටියටයි.

විරුද්ධ මත දරණ අයව කුදලාගෙන යෑම අද වෙනිසියුලාවේ ද දකින්නට හැකියි. එහි විරුද්ධ පක්ෂ නායකයා ලෙස සැලකෙන ලියොපෝල්ඩෝ ලෝපෙස්ව මහ රෑ කුදලාගෙන යෑම නිතිපතා සිද්ධ වේ. කියුබාවේ උපදේශකයන් නිකරාගුවාහි ස්වදේශීන්ව උපන් ගම් බිම් වලින් පළවා හරින්නට සහාය දුන්නා සේ, තමන් පක්ෂ නොවන අධිරාජ්‍යවාදීන්ට පමණක් අත පොවන්නට එපා යැයි උද්යාචනය කරන සමාජවාදීන්, හැමවිටම රටේ පාලන බලය අල්ලා ගන්නට පෙර වූ ආඥාදායකයන්ටත් වඩා දරුණු ආඥාදායකත්වයෙන් කටයුතු කිරීම මහජනතාවගේම හිතසුව පිණිස යැයි නිවේදනය කරන්නේ ඊට එකඟ නොවන්නට ඉඩක් නොදීය.

“හතුරන්ට වාසිදායක කටයුතුවල නියැළීම” අත්අඩංගුවට ගත හැකි හේතුවක් යැයි නිකරාගුවාව කියා සිටියේය. ඒවා මොනවාදැයි පැහැදිලි නොකරීම මඟින් වරද කුමක්දැයි ඉදිරිපත් නොකර, පුද්ගලයෙකුගේ ඕනෑම කටයුත්තක් ගැන ප්‍රශ්න කරන්නට ඔහුව අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන තබා ගැනීම සඳහා නීති විපර්යාසය කිරීමත්, ඇපෑල් ඉල්ලන්නට ඉඩකඩ නොතැබීමත්, විරුද්ධ අදහස් ප්‍රචණ්ඩත්වයෙන් මර්ධනය ඉතා පහසු විය.

රහස් පොලීසිය ඉතා කුරිරු වූහ. නීතීඥයන්ට හෝ පවුලේ අයට තමන් සිරබාරයේ යැයි කියා දන්වන්නට අත් අඩංගුවට ගත්තවුන්ට ඉඩක් නොදී සිටින කාලය තීන්දු කිරීම රහස් පොලීසියේ බලය විය. සමහර අත් අඩංගුවට ගත්තවුන්ට ඒ නිසා නීතීඥයෙක් කැඳවන්නට කිසිදු අවස්ථාවක් නොලැබිණ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය යටතේ වූ 15,000 ක විශේෂ හමුදා බලකායට සම්පූර්ණ නිකරාගුවාවම නතු විය.

කොමියුනිස්ට් ශතකය පුරාම, ඒ අසාර්ථක ක්‍රමය අත්හදා බලන්නට යද්දී යොදාගත් කුරිරු ක්‍රමවේද ක්‍රියාවට නැංවීම සඳහා ස්ථාපනය කළ රහස් පොලිස්, විශේෂ හමුදා බලකායන් වෙතින් එම රටවල ජනතාවට දරුණු පීඩා වධහිංසා සිද්ධ වූහ. ඒත් පොලිස් බලයට එරෙහිව නිරතුරුව පෙළපාලි යන වාමාංශිකයන් කොමියුනිස්ට් උත්සාහයන් සියල්ලේ දී ම රාජ්‍ය පොලිස්/හමුදා යොදාගෙන ජනතාව මර්ධනය කිරීම නොවූවා සේ නිහඬව සිටිති. ඔවුන්ට අනුව ජනතාව බඩගින්නේ තියන්නේ, ලෙඩ රෝග වලින් පීඩා විඳින්නට සලස්වන්නේ, අත් අඩංගුවේ තියන්නේ සහ සිරගත කරන්නේ කොමියුනිස්ට් උත්කෘෂ්ටය වෙනුවෙන් නිසා එහි දී ඒ කටයුතු පිවිතුරු වෙති. ඒත් කොමියුනිස්ට් ශතකයේ අවසානය අපිට ඔප්පු කර පෙන්වන්නේ ඒ කොමියුනිස්ට් පාලකයන් සහ ඔවුනට හේත්තු වී සිටි අතලොස්සක් හැරෙන්නට ඒ රටවල සෙසු රටවැසියන් සියල්ලන්ම අන්ත දුගී දුක්ඛිත තත්වයේ සිටීම මිසෙක ඔවුන් පාරට්ටු බෑ සශ්‍රීකත්වය සාක්ෂාත් නොවූ බවයි.

නිකරාගුවාවේ මහජනතාව ප්‍රවීක්ෂණය (surveillance) කිරීම සහ රට තුල සිද්ධ වූ විශේෂ මෙහෙයුම් බාරව සිටියේ බුද්ධි අංශය හෙවත් G-2 හි කියුබන් ඒජන්තවරුන් අතින් පුහුණුව ලද Dirección General de Seguridad del Estado (DGSE) නම් විශේෂ අංශය විය.

දේශපාලන සිරකරුවන්ව අත් අඩංගුවට ගැනීම සහ ප්‍රශ්න කිරීම බාරව සිටි (DGSE) කියුබන් සහ නැගෙනහිර ජර්මන් විශේෂඥයන් වෙතින් ආදේශ කරගත් “සම්පූර්ණ වධහිංසාව” යැයි හැඳින්වෙන ක්‍රමවේදය යොදා ගැනිණ. බහුතර ප්‍රශ්න කිරීම් සිද්ධ වූයේ මැනාගුවාහි ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලය පිටුපස වූ ලෝමා ඩ ටිස්කාපා ගිනිකන්ද බෑවුමේ පිහිටි ජර්මන්-පොමාරේස් හමුදා සංකීර්ණයේ එල් ජිපෝටෙ (El Chipote) රැඳවුම් මධ්‍යස්ථානයේ දී ය.

හෝසෙ රොඩ්රිගුවේස් සහ හුවානා බ්ලැන්ඩන් නම් ක්‍රිස්තියානි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් දෙදෙනා එහි දී තමන්ව ප්‍රශ්න කිරීමට ලක් වෙද්දී නිදා ගන්නට නොදීමත්, පවුලේ අයට තර්ජනය කිරීම සිද්ධ වූ බවත් කියා සිටියහ. රැඳවුම්කරුවන්ව චිකිටා (ඉතා කුඩා) නම් වූ ඉඩ වර්ග මීටරයකට වඩා අඩු වූ අඳුරු කුටිවල රඳවා තැබුණහ. ඒවා කළුවර වූහ. වාඩිවෙන්නට ඉඩක් නොමැති වූහ. වාතාශ්‍රය මඳ වූහ. එසේම වැසිකිළි පහසුකම් නොමැති විය. ඒවයේ සිරකරුවන් සතියකට වඩා කාලයක් රඳවා තැබිණ. ප්‍රශ්න කිරීම් දිවා රෑ ඕනෑම අවස්ථාවක දී සිද්ධ විණ. සමහර අවස්ථාවල දී තුවක්කු එල්ල කරමින් මරණ තර්ජන හමුවේ ප්‍රශ්න කෙරිණ. සමහර අවස්ථාවල දී වෙඩි තබන ආකාරය මවා පාමින් ප්‍රශ්න කෙරිණ. සමහර සිරකරුවන්ට ආහාර හා වතුර නොලැබිණ. දවස් කිහිපයක් එසේ රඳවා තැබීමෙන් පසුව ශාරීරිකව අඩපණ වූ බොහෝ සිරකරුවන් තමන් වරද කළා යැයි පිළිගන්නා බොරු දෝෂෝච්චාරණ වලට අත්සන් තැබූහ.

ගම්බද පළාත්වල දී සාමාන්‍ය හමුදාවේ කාණ්ඩ සැක සහිත රටවැසියන් අත් අඩංගුවට ගෙන DGSE ට බාර දෙන්නට පෙර ඔවුන්ගේ හමුදා කෑම්ප්වල දින ගණනාවක් රඳවා ගෙන සිටියහ.

ලාස් ටේහාස් (Las Tejas) වැනි සිරකරුවන්ට අත් හෝ කකුල් නොනවා සිටගෙන ඉන්නට සිද්ධ වූ DGSE සිරබන්ධනාගාර ද පැවතිණ. සියළු සිරගෙවල් පාහේ ඉතා කුඩා කුටි වලින් යුතු, අඳුරු, වාතාශ්‍රයක් නොමැති, වැසිකිළි නොමැති, ජනේල නොමැති, සිමෙන්ති බිත්ති වලින් නිමැවී තිබිණ. ඒවාට ලැබෙන එකම එළිය වූයේ යකඩ දොරට උඩින් තිබුණ කුඩා උළුවහුවෙන් ගලා ආ එළියයි.

මානුෂික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෝක සංවිධාන වලින් මේ අමානුෂික තත්වයන්ට විරෝධය දක්වමින් හඬ නැඟීම නිසා 1989 දී චිකිටා ආලෝපනය කර දමන ලදි.

ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් කියන අන්දමට මේ DGSE මධ්‍යස්ථාන තුල පිහිටන ලද චිකිටා ඇතුලේ මිය යන ලද්දේ ස්වල්ප දෙනෙකි. ඩැනිලෝ රොසාලේස් සහ සැලොමොන් ටෙලෙවියා නිල වශයෙන් මිය ගියේ “හෘදයාබාධ” නිසායි. 1985 දී තුවක්කු අගට මුහුණ දෙමින් ප්‍රශ්න කිරීමට මුහුණ දුන් හෝසේ ඒන්ජල් විල්චිස් ටියෙරීනෝ කුරිරු වධහිංසා නිසා තම සගයෙක් මිය යනවා දුටුවේය. තමන්ව තවත් රැඳවුම්කරුවන් 20 ක් සමඟ සිරගත කළ නිසා ඔවුනට හිටගෙන නිදාගන්නට වූවා යැයි මතාගල්පා හි රියෝ බ්ලාන්කෝ සිරගෙදර රැඳවුම්කරුවෙක් කියා සිටියේය. දවස් පහක් තිස්සේ ආහාර හෝ වතුර නොලැබුණ නිසා ජීවිතය බේරාගන්නට තමනට තමන්ගේ මුත්‍රා බොන්නට සිද්ධ වූවා තවකෙක් කීය. ඒවායේ දී විදුලිබලය ඇති බැටන් පොළු භාවිතය සාමාන්‍යයක් විය.

මේ කොමියුනිස්ට්වාදයේ කළුපොත ඇසුරින් ලියන සටහන් කියවද්දී, සමහර විට එකම සිද්ධීන් ගැන නැවත නැවතත් ලියනවා යැයි අයෙකුට හිතෙන්නට පුළුවනි. සෝවියට් දේශයේ පටන් සියළු කොමියුනිස්ට් රටවල් තුල සිය රටවැසියන්ට අමානුෂික ආකාරයෙන් රාජ්‍ය බලය යොදා ගැනීමේ ක්‍රමවේදය එකම ලෙසකින් දිගහැරිණ. 1920 ගණන් වල දී සිද්ධ වූ තතු නොදන්නා කළ නැවත නැවතත් එයාකාරයෙන්ම දිග හැරෙන කෲරත්වය, යළි 1985 දී ලෝකයේ වෙනත් පෙදෙසක දිග හැරෙයි. ඉතිහාසය නොදන්නා මිනිසාව රැවටීම ඉතා පහසුයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: