අරුණි ශපීරෝ‍ වෙතින්

දියුණුව ලබන්නට නම් වෙනස් විය යුතු දැක්ම කුමක්ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 1, 2017

දක්ෂිණාංශ යැයි සැලකෙන ආඥාදායකයන් රට පාලනයේ යෙදී සිටින අවධි සම්බන්ධයෙන් ලියැවෙන ප්‍රබන්ධ ලොව බොහොමයකි. මෑතක දී මම කියැවූ “ලිස්බන් වෙත රාත්‍රී දුම්රියෙන්,” නමින් පැස්කල් මර්සියෙර් ලියූ ප්‍රබන්ධය එවැන්නකි. ඇන්ටෝනියෝ ද ඔලිවේරා සලසාර් නම් දක්ෂිණාංශ ආඥාදායකයා ගෙන ගිය කුරිරු වධහිංසා කතාවේ ප්‍රධාන චරිත බොහොමයක් හැඩගස්වන්නට දායක කරගෙන ඇත.

එනමුත්, කොමියුනිස්ට්/සමාජවාදී/වාමාංශික ආඥාදායකයන්ගේ කෲර පාලන පසුබිම් කරගෙන ලියැවෙන (ඈන් ඇපල්බාම් ලියූ “ගුලාග්” සහ අයින් රූන්ඩ් ලියූ “අප ජීවත්වන්නෝ” වැනි) ප්‍රබන්ධ ඇත්තේ ලොව ඉතා අල්පයකි. වාමාංශික දේශපාලන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණ “වානේ පන්නරය ලැබූ හැටි” වැනි පොත් ප්‍රසිද්ධියට දායක වෙති. බොහෝ විට වැඩියෙන් අප්‍රසාදය එල්ල වන්නේ වෙළඳ භාණ්ඩ මාකටින් කිරීමට වුවත්, ජනතා බදු මුදල් යොදවමින් කරන රාජ්‍ය ප්‍රොපගැන්ඩා සමඟ ඒ ඒ පුද්ගලයා තනිවම බර උසුලන වෙළඳපල අලෙවිකරණයට තරඟ කළ නොහැකියි.

කුරිරු වූ දක්ෂිණාංශ ආඥාදායකයෙක් පළවා හරින්නට ජීවිකාව සහ ජීවිතය පරදුවට තබමින් විරෝධය පාන්නට සැඟවී කටයුතු කරන අයවළුන් වාමාංශිකයාගේ ප්‍රශංසාවට ලක් වෙති. ඒත්, ආඥාදායකයා කෲර සහ වාමාංශික වෙද්දී, එහි දී ඒ ගැන වාමාංශික නායකයන් නිහඬව සිටිති.

“දුප්පතුන් වැදගත් කියා සහ ධනය බෙදාගන්න පුළුවන් කියා පෙන්වා දුන් උගෝ චෑවේස්ට ස්තූතිය,” යැයි ට්විටර් මාර්ගයෙන් උගෝ චෑවේස් සමඟ ගත් පිංතූරයක් බෙදා ගනිමින් ජෙරමි කෝබින් 2015 සැප්තැම්බර් 16 වැනිදා කියා සිටියේය. 2017 වෙද්දී වෙනිසියුලාවේ දේශපාලන අර්බූදය සහ ආර්ථික බංකොළොත් භාවය ඇමෙරිකන් අධිරාජ්‍යවාදී අත පෙවීමක් නිසා නොවන බව පැහැදිලිවම පෙනෙද්දී, ඉහත ට්විටර් පණිවුඩය හේ ඉවත් කරගනියි. වෙනිසියුලාවේ චෑවේස් පවුල එහි ධනවත්ම පුද්ගලයන් බවට පත්වී සිටිය දී සහ වෙනිසියුලාවේ දුප්පතුන් අද වැඩියෙන්ම පීඩනයට ලක්ව සිටින අවස්ථාවේ දී, චෑවේස් පටන් ගත් සහ මධූරෝ ගෙන යන ජනතා මර්ධන කටයුතු ගැන ජෙරමි කෝබින් නිහඬව සිටියි.

ඉතින්, නිකරාගුවා වැනි කුඩා රටක පැවති බිහිසුණු සහ ඛේදනීය වූ වාමාංශික ක්‍රියාපටිපාටියක් ගැන අයෙකුට දැනගන්නට ලැබෙන්නේ කවරෙකු වෙතින් ද?

මිලියන 3.883 ක ජනගහණයක් වූ 1987 නිකරාගුවාවේ දේශපාලන සිරකරුවන් 3,700 කට වඩා සංඛ්‍යාවක් එහි සිරගෙවල්හි ලැග සිටියහ. 1987 අගෝස්තු 19 වැනිදා එල් චිපෝටෙ හි රැඳවුම්කරුවන් 12 කට පමණ මුරකරුවන් විසින් පහර දුන්හ. විදුලි බලය සහිත බැටන් පොළු භාවිතා කළ බව සිරකරුවන් කියා සිටියහ. 1989 පෙබරවාරියේ කාසෙල් මොඩෙලෝ යන සිරගෙදර කර්කශ තත්වයන් දරාගත නොහැකි යැයි කියා සිරකරුවන් 90 දෙනෙක් ආහාර වර්ජනයක් පටන් ගත්හ. ඒ ආහාර වර්ජනයේ යෙදී සිටි සිරකරුවන් 30 දෙනෙක්ව එල් චිපොටෙ සිරකඳවුරට යැවිණ. එහි දී දඬුවමක් හැටියට එක සිරකුටියක ඔවුන් සියල්ලන්වම දවස් දෙකක් වස්ත්‍ර නොමැතිව තබන ලදි.

සිරගත වූවන් වර්ග 5 කට බෙදන ලදි. දැඩි ආරක්ෂාව යටතේ රඳවන ලද්දේ කිසිදු රක්ෂාවක් සඳහා යළි ප්‍රතිසංස්කරණයට අවසර නොලැබුණු අයවයි. ඔවුන්ට සෑම දවස් 45 කටම වතාවක් සිය පවුලේ ඥාතීන් දකින්නට හැකියාව ලැබුණි. සතියකට පැය 6 ක් පමණක් සිර කුටියෙන් ඉවතට යන්නට අවසර ලැබුණි. නැවත සමාජයට හැඩ ගස්වන මෙහෙයුම් සඳහා අවසර ලද සිරකරුවන් වේතනයට ශ්‍රමය වෙහෙසූහ. ඔවුනට මාසයකට වතාවක් සංවාස පැමිණීමකට ද, සති දෙකකට සැරයක් ළඟ ඥාතියෙක් පැමිණීමට ද ඉඩ ලැබුණි.

ලිබරල් ක්‍රමය නිසා පුද්ගලයෙක් කැමැත්තෙන් යොදවන ශ්‍රමය ගැන නිතර නෝක්කඩු කියන වාමාංශිකයා, දේශපාලනික වෙනස් අදහස් තිබූ පමණින් මෙලෙස බලාත්කාරයෙන් පුද්ගලයන්ව ශ්‍රම කඳවුරු වෙත යැවීම ගැන නිහඬ වෙති.

තම අයිඩියලොජිය බලහත්කාරයෙන් ස්ථාපනය කළ නොහැකි වූ බව පෙනී යද්දී, නැගෙනහිර සමාජවාදී රටවල් දෙන සහායෙන් සැන්ඩිනිස්ටා පෙරමුණ අනතුරුව මැතිවරණයක් පවත්වති.

1990 පෙබරවාරි 25 වැනිදා, ප්‍රජාතන්ත්‍රවාදී වයලෙටා චොමොරෝ චන්ද 54.7% ක් දිනාගෙන ජනාධිපති බවට තේරී පත්වූවාය. ස්වාධීන නිකරාගුවාවේ වසර 160 ක ඉතිහාසයේ සාමකාමීව පාලන බල හුවමාරුවක් සිද්ධ වූයේ ඒ අවස්ථාවේ දී ය. දිනුම අපේක්ෂා කළ සැන්ඩිනිස්ටා පෙරමුණ අන්දුන් කුන්දුන් වූහ. මැතිවරණ නීති වෙනස් කිරීමෙන් පසුව, 2006 නොවැම්බර් 5 වැනිදා ඩැනියෙල් ඕටෙගා නැවතත් ජනාධිපති වන්නට සමත් විය. 2011 දී නැවතත් හේ ජයග්‍රහණය කළේය. 2014 දී ජාතික සභාව ඕටෙගාට තෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට පෙනී සිටිය හැකි ලෙසින් රටේ ව්‍යවස්ථාව වෙනස් කළහ. 2016 නොවැම්බරයේ දී ඕටෙගා ජනාධිපති ලෙසින් ඔහුගේ තුන්වැනි වාරයට (පාලනය කරන හතරවැනි අවස්ථාවට) පත්විය. රටවැසියන් 70% ක් චන්දය වර්ජනය කළහ. අනතුරුව ඩැනියෙල් ඕටෙගාගේ බිරිඳ වන රොසාරියෝ මුරියෝ නිකරාගුවාවේ උප ජනාධිපති තනතුරට පත්වූවාය.

2013 දී නිකරාගුවා රජය, චීන ධනකුවේරයෙකුගේ මෙහෙයවීම සහිත නව කොම්පැණියකට අන්තර් සාමූද්‍රික වාරිමාර්ග ව්‍යාපෘතියක් පටන් ගන්නට, ඩොලර් බිලියන 50 ක් ද, වසර 50 ක් පුරා බදු සහන සමඟ තවත් වසර 50 කට ඒවා ලබාගැනීමේ හැකියාව පවරා දුන්හ. ඒත් ඒ කැනාල් ඉදිකිරීම් කටයුතු 2017 වෙද්දී ද ආරම්භ වී නැත.

වර්තමාන නිකරාගුවාව ඉතා දුප්පත් රටකි. කැමති වෙළඳ භාණ්ඩයක් මිල දී ගන්නට හැකියාව ඇති වෙළඳපොල හාස්‍යයට ලක් කරන වාමාංශිකයා ලෝක ඉතිහාසය තුල රටවල් දියුණු වූයේ හුවමාරු වෙළඳාමට ඉඩ ලැබීම නිසා යැයි නොදැක්කා සේ සිටියි. ජනතාවගේ ආරක්ෂාව පිණිස යැයි කියා සෑම පුරවැසියෙකුටම මිල දී ගත හැකියාව ඇත්තේ මොනවා පමණක් ද, කුමන මිලකට ද කියා රටේ ප්‍රධානියෙක්, හෝ යම් කමිටුවක් තුලින් තීන්දු විය යුතු යන යල්පැන ගිය මිථ්‍යාව තරයේ විශ්වාස කරයි. දුප්පත් රටවල් දුප්පත් ඒ නිසා බව පැහැදිලි කරන අර්ථ ශාස්ත්‍ර අවබෝධයට සිය අනුගාමිකයන්ට ඉඩ නොලැබෙන සේ නැති අධිරාජ්‍යවාදී අතපෙවීම් ගැන නිති අවධානය යොමු කරති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: