අරුණි ශපීරෝ‍ වෙතින්

පෙරූ රටෙන් සෙන්ඩෙරෝ ලුමිනෝසෝ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 2, 2017

1980 මැයි 17 වැනිදා පෙරූ රටේ ජනාධිපති මැතිවරණ දිනය විය. එරට ඉතිහාසයේ ප්‍රථම වරට අවිගත් ගරිල්ලා කණ්ඩායමක් සටන් වැදුනේ එදිනය. සෙන්ඩෙරෝ ලුමිනෝසෝ නොහොත් “දීප්තිමත් මාර්ගය” නමින් තමන් හඳුන්වාගත් මාඕවාදී ගරිල්ලා කණ්ඩායම “ජනතාවගේ යුද්ධය” ආරම්භ වූ බව කියන්නට එදා චුස්චි හි මැතිවරණ මධ්‍යස්ථාන වලට ගිනි තැබූහ.

ඒත් කිසිවෙක් එය ගණන් නොගත්හ.

සති කිහිපයකට අනතුරුව, ලීමා අගනගරයේ සහ අයාචූචෝ නගරයේ විදුලි පහන් කණු වලින් “ඩෙන් ක්ෂියාඕපින්ග්: බැල්ලිගෙ පුතා” යැයි සඳහන් පුවරු එල්ලන ලද මරා දමන ලද බල්ලන් එල්ලා තිබිණ. ඒ මාඕගේ සංස්කෘතික විප්ලවය පාවා දුන් චීන නායකයාට දොස් පවරන්නටයි.

කෙචුවා භාෂාවේ එන අයාචූචෝ යන වචනයේ තේරුම “අභාවයට පත්වූ ස්ථානය” වෙයි. මෙම පළාත පෙරූ රටේ ඉතාමත්ම දුප්පත් ප්‍රදේශය විය. එහි භූමියෙන් වගාවට සුදුසු වූයේ 5% කට අඩු ප්‍රමාණයකි. සාමාන්‍ය වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 100 කට වඩා අඩු විණ. ආයුෂ අපේක්ෂාව වයස 45 ක් පමණක් විය. රටේ සාමාන්‍ය ළදරු මර්ත්‍යතාව 11% ක් වෙද්දී මේ පළාතේ එය 20% ක් විය.

1970 ගණන් අග පෙරූ රටේ මහා වැඩ වර්ජන ගණනාවක් විවිධ නගරවලින් දකින්නට ලැබිණ. වර්ජකයන්ගේ උද්යාචනයන් අනුව හැඩ ගැසුණු “ආරක්ෂක පෙරමුණු” පැතිර යන්නට පටන් ගැනිණ. ආයාචූචෝ පළාතේ මෙවැනි පෙරමුණක් කාලයක් තිස්සේ පැවතිණ. වැඩ වර්ජන වලට සහාය දෙමින්, බල්ලන් මරා විදුලි පහන් කණුවල එල්ලන, “දීප්තිමත් මාර්ගය” බිහිවූයේ මේ පළාතේ දී ය.

අයාචූචෝ හි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පෙරමුණ මුලින්ම හොබවන්නේ කොමියුනිස්ට්වාදීන් විසිනි. අනතුරුව චේ ගුවේරා සහායකයන්ය. 1960 ගණන් මුල දී දර්ශනය ඉගැන්වූ ගුරුවරයෙකු වූ අබිමයෙල් ගුස්මාන් නම් තරුණ මාඕවාදියෙක් මේ ශිෂ්‍ය පෙරමුණේ මුලසන ගත්තේය.

වාග් කෞෂල්‍යයට දස්කම් පෑ ගුස්මාන් 1958 දී කොමියුනිස්ට් පක්ෂයට බැඳුණි. චීන-සෝවියට් බෙදීමත් සමඟ, පෙරූ රටේ කොමියුනිස්ට් පක්ෂය ද බෙදී යද්දී, බන්ඩේරා රොහා (රතු කොඩිය) නම් කොමියුනිස්ට් කණ්ඩායම නිර්මාණයට 1965 දී ගුස්මාන් සහාය විය. ගුස්මාන් චීනයට ද ගියා යැයි මතයක් පවතී.

කැරලි කෝලාහල වැඩිවීමත් සමඟ 1966 දී විශ්වවිද්‍යාලය වසා දැමුණි. අයාචුචෝ වැසියන් සඳහා ආරක්ෂක පෙරමුණක් පිහිටුවන ගුස්මාන් නායකත්වය දෙන රතු කොඩිය කණ්ඩායම, 1969 ජූනි මාසයේ දී ඔක්ටාවියෝ කබෙරේරා රෝචා නම් සහායක ප්‍රාන්ත නිලධාරියෙක්ව පැහැරගෙන ගියහ.

රටේ ආරක්ෂාවට එරෙහිව කටයුතු කළා යැයි ගුස්මාන්ව 1970 දී සිරගත වෙයි. ඒත් මාස කිහිපයක දී හේ නිදහස් වෙයි.

රතු කොඩිය සංවිධානය 1971 වසරේ දී පවත්වන හතරවැනි සම්මන්ත්‍රණයේ දී තවත් විරසකයක් හට ගනියි. එහි දී රතු කොඩියෙන් අයින්වන අයවළුන් දීප්තිමත් මාර්ගය නොහොත් සෙන්ඩේරෝ ලුමිනෝසෝ පිහිටුවා ගන්නේ “විප්ලවයට මග පෙන්වන දීප්තිමත් මාර්ගයය මාක්ස්වාදී-ලෙනින්වාදය විවෘත කරයි,” යන හෝසෙ කාලෝස් මරියාටේගි වාක්‍යය සිහිකරමිනි.

මාක්ස්, ලෙනින් සහ මාඕ අනුව යමින් “මාක්ස්වාදයේ හතරවැනි අසිපත” යැයි ගුස්මාන් මේ සටන්කරුවන් අතර වීරයෙක් බවට පත්වෙයි. නවකතාකරුවෙක් වන මරියෝ වර්ගාස් ලෝසා, ගුස්මාන්ගේ විප්ලවීය ව්‍යාපෘතිය මෙසේ විශ්ලේෂණය කරයි: “මරියාටේගි 1920 ගණන් වල දී විස්තර කරන පෙරූ රට ඔහු දකින්නේ මාඕ දකින චීනයේ සත්‍යය තත්වය සමඟ අනන්‍ය ලෙසින්ම සමාන හැටියට -‘ නගරවලට පහර දෙන, ගමේ පදනමින් යුතු ජනතාවගේ යුද්ධයක්: එනම් චීන විප්ලවය හා අනන්‍ය වූ ක්‍රමවේදයකින් නිදහස් කරගන්න පුළුවන් වෙන ‘අර්ධ වැඩවසම්, අර්ධ යටත්විජිත සමාජයක්’ කියල… ඔහු අනුගමනය කරන ක්‍රමය රුසියාවේ ස්ටාලින්ගෙ ක්‍රමයයි, හතරේ කල්ලියේ චීන විප්ලවයයි, කාම්බෝජයේ පොල් පොට්ගේ රෙජිමයයි.”

1972 සිට 1979 දක්වා කාලය තුල දී ශිෂ්‍ය සංවිධානවල පාලන බලය අල්ලා ගැනීමට සමත්වීමෙන් පමණක් “දීප්තිමත් මාර්ගය” තුටු වූහ. ලීමා හි සැන් මාටින් ඩ ටොරේස් හි තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහාය ඔවුනට ලැබිණ. ඔවුන් ප්‍රාථමික ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියට ද රිංගා ගත්හ. දීප්තිමත් මාර්ගයේ බොහෝ ග්‍රාමීය ගරිල්ලා කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ගුරුවරු විසිනි.

1977 අග දී ගුස්මාන් සැඟවී සිටිමින් අවිගත් සටනක් සැලසුම් කරන්නට පටන් ගති. 1980 මාර්තු 17 වැනිදා පක්ෂ සාමාජිකයන් එම වෑයම නිල වශයෙන් අපරානුමත කරන ලදි. දීප්තිමත් මාර්ගයේ සටන් කණ්ඩායම් වලට කාලෝස් මෙසීච් ගේ ට්‍රොට්ස්කිවාදීන් ද, පුකාලාක්ටා කණ්ඩායමේ මාඕ විරෝධීන් ද එකතු වූහ.

බෙනිග්නෝ මෙදීනා නම් ඉඩම් හිමියාව ඔවුන් විසින් 1980 දෙසැම්බර් 23 වැනිදා ඝාතනය කළහ. මෙය ඔවුන් ගෙනෙන ප්‍රථම “ජනප්‍රිය යුක්තිය” පසඳලීමයි. එවක දී දීප්තිමත් මාර්ගයට හිටියේ 200-300 ක පිරිසක් වුවත්, ඔවුන් හනිකට සහ ක්‍රමානුකූලව මැද පංතියේ සහ ඉහළ පංතියේ පුරවැසියන්වත්, රටේ ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්වත් ඝාතනය ඇරඹූහ.

1981 වසරේ දී, ටොටොස්, සැන් හෝසෙ ඩ සෙසෙ, සහ කින්සා යන පොලිස් මධ්‍යස්ථාන වලට පහර දෙන ලදි. 1982 දී දීප්තිමත් මාර්ගය වියෙකාහියුමන් හි පොලිස් මූලස්ථානයට කඩා පැන, (නිර්භීත නොහොත් වීරෝධාර යැයි කුවෙචුවා වචනයෙන් අර්ථ දැක්වෙන) සින්චිස් හෙවත් ගරිල්ලා විරෝධී පොලිස් නිලධාරීන් හය දෙනෙක් ඝාතනය කළහ. තවත් 15 ක් සිරකරුවන් හැටියට අල්ලා ගත්හ.

දීප්තිමත් මාර්ගයට පිටතින් සහායක් නොතිබූ බැවින්, ඔවුන් පොලිස් ස්ථාන වලින් අවි සහ පතල් වලින් පුපුරන ද්‍රව්‍ය අල්ලා ගත්හ. පතල්කරුවන් විරෝධය දැක්වුවහොත් ඔවුන්ට පහර දෙන්නටත් ඔවුන් පසුබට නොවූහ. විරෝධය දක්වන්නට ඩයිනමයිට් කරලක් ගැසීම දීප්තිමත් මාර්ගයේ ප්‍රියතම ආයුධය බවට හැරිණ.

ඒ හැරෙන්නට ඔවුන් මහජන ගොඩනැඟිලි, විදුලි රැහැන් කුළුණු සහ පාලම් පුපුරුවා කඩා බිඳ දමන්නට යුහුසුළු වූහ. ජනතාවගේ සාමූහික වාසස්ථාන පිහිටුවීම සඳහා රට පුරා සම්බන්ධතා ගොඩනඟන්නට ඔවුන් රජයේ සියළු යටිතල පහසුකම් විනාශය ආරම්භ කළහ.

ෆෙඩරික් බැස්ටියාට් “කැඩුණු ජනේලය” උපමාව කියා දීලා වසර 132 ක් ගෙවී යන මේ 1982 වසරේ අගෝස්තු මාසය. ඒ වෙද්දී “ශ්‍රේෂ්ඨ පිම්ම” කියල චීනයත් පැනලා තිබුනේ ආපස්සට බව ඔප්පු වෙලා තිබුණ. දීප්තිමත් මාර්ගයක් කියල නම දාගත්තට මදි, ඒකෙ ගියාම වැටෙන්නෙ අඳුරු වූ අගාධයකට නම්.

මේ සටහන ද කොමියුනිස්ට්වාදයේ කළුපොත ඇසුරින් ලියන සටහන් පෙලට අයිතියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: